UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

එදත් අදත් විරාජමානව වැඩ සිටින ශ්‍රී මහා බෝ සමිඳුන්

එදත් අදත් විරාජමානව වැඩ සිටින ශ්‍රී මහා බෝ සමිඳුන්

බෝධීන් වහන්සේ වනාහි අපගේ බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලයේත්, පිරිනිවන් පෑමෙන් පසුවත් එකසේම පූජනීයත්වයට පත් වූ මහා වෘක්ෂ රජාණෝ ය. බෝධීන් වහන්සේ වැඩ සිටීද එතැන බුදුරජාණන් වහන්සේ වැඩ සිටින සේය. භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පෑමෙන් අනතුරුව ගයාවේ උතුම් ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ රාජ රාජ මහා අමාත්‍යයන්ගේ පිදුම් ලබමින් විරාජමානව වැඩ සිටින්නට ඇත. නමුත් ධර්මාශෝක රජ සමය දක්වා මූලාශ්‍රවල මහා බෝධීන් වහන්සේ පිළිබඳ විස්තරයක් හමු නොවේ. මහා බෝ වංශ කතාවේ ජය ශී‍්‍ර මහා බෝධීන් වහන්සේට ඉතාමත් ආදරයෙන් උපස්ථාන කළ ධර්මාශෝක නරේන්ද්‍රයා ගැන බෞද්ධයකු හට සැළකිය යුතු දැනුමත් තිබිය යුතු වේ.

මගධයේ රාජ පරම්පරාව

සිතුවම - ආර්. එම්. බී. එන්. රත්නමලල

මගධ රාජ්‍යයේ ප්‍රධාන පාලකයා වූ බිම්බිසාර රජු මරා දමා අජාසත් රජ විය. ඒ කාලයේම බුද්ධ පරිනිර්වාණය සිදු වූයෙන් ප්‍රථම ධර්ම සංගායනාව සිදුවූයේද ඒ රාජ සමයේ ය. ඉන් අනතුරුව අජාසත් පුත් වූ උදායි භද්‍ර පියා මරා රජ වූයේය. ඉන් පසුව උදාවූයේ පීතෘ ඝාතක රාජ පරම්පරාවක්ම යි. ඉන් කිපුණු ජනයා පීතෘ ඝාතන රාජ පරම්පරා පන්නා සුසුනාග අමාත්‍යයා රජ කරවීය. ඉක්බිති රජ වූයේ කාලාශෝක රජුය. මගධයේ රාජ්‍යය පාඨලීපුත්‍රයට ගෙන ගියේ මෙතුමා ය. එතුමාගේ රජ සමයේම දෙවන ධර්ම සංගායනාවද සිදුවිය.

ධර්මාශෝකයන්ගේ පහළ වීම

කාලාශෝක රජුට පුත් කුමාරවරුන් දස දෙනෙකි. ඒ සහෝදරයන් දස දෙනා අවුරුදු විසි දෙකක් පාඨලිපුත්‍ර නගරයේ රාජ්‍ය අනුශාසනා කළේය. ඒ සහෝදර දස දෙනාගේ ඇවෑමෙන් නන්ද නමින් රජ පරම්පරාවක් බිහිවී ඔවුන්ගේ රජවරු නව දෙනෙකු ක්‍රමයෙන් රාජ්‍ය පාලනයෙහි යෙදුණි. ඔවුනුත් වසර විසි දෙකක් රජකම් කළේය.

විඩූඩභ රජු විසින් ශාක්‍යයන්ගේ පළිගැනීම පිණිස මහා ශාක්‍ය සංහාරයක් සිදු කළේය. එයින් බේරුණු ශාක්‍යවරුන් හිමාලයට පැනගොස් සිය පරම්පරාව දිගටම පවත්වාගෙන ගියේය. ඔවුන්ගේ රාජ සංකේතය වශයෙන් මොණරෙකු තබාගත් නිසාවෙන් ඔවුන්ගේ වංශය “මෞර්ය වංශය” නම් විය. ඒ මෞර්ය වංශයේ උපන් නොයෙක් ශ්‍රී සෞභාග්‍යයෙන් යුක්ත වූ “චන්ද්‍රගුප්ත” නම් කුමරු රාජ්‍යත්වය සඳහා සුදුස්සෙක් බවට පත් කරවූයේ චාණක්‍ය නම් බමුණාය.

ඒ චාණක්‍ය නම් වූ චණ්ඩ ක්‍රෝධ ගති ඇති බ්‍රාහ්මණයා මහලෝභීව සිටි නවවෙනි ධනනන්ද නම් රජුන්ගෙන් එක්තරා අවස්ථාවක නින්දා අපහාසයට පත්විය. ඒ රාජවංශය ම නැති කර අලුත් රජ පරපුරක් බිහිකිරීම පිණිස මොහු කුමන්ත්‍රණය කළේ එදා සිටය. එහි ප්‍රතිඵලයක් ලෙස චන්ද්‍රගුප්ත කුමාරයා බලවත් කළේය. ධනනන්ද රජුන් ඝාතනය කර චන්ද්‍රගුප්ත කුමාරයා මුළු දඹදිව් තලයටම රාජ්‍යානුශාසනාව පිණිස අභිෂේක කරවීය. ඒ චන්ද්‍රගුප්ත රජුන් විසි හතර අවුරුද්දක් පාඨලීපුත්‍රයෙහි රජකම් කළේය. ඔහුගේ ඇවෑමෙන් සිය පුත්‍ර වූ බිංදුසාර රජු විසි අට අවුරුද්දක් රජ වූයේය. ඒ බිංදුසාර රජුන්ට ප්‍රසිද්ධ පුත් කුමාරවරුන් එකසිය එක් දෙනෙක් සිටියේ ය. ඒ සියලු පුත් කුමාරවරුන් අතරින් අශෝක කුමාරයා පුණ්‍ය තේජසින් සහ බල සෘර්ධියෙන් යුක්ත වූයේය.

ඒ අශෝක කුමරු විවිධ මෑණිවරුන්ගෙන් ලද ඒ සොයුරු කුමාරවරුන් අනූනව දෙනෙකුව ඝාතනය කළේය. මුළු මහත් දඹදිවට තනි රජෙක් බවට පත්විය. අශෝක රජුගේ අභිෂේකයට කලින් අප භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පා වසර දෙසිය දහඅටක් ගෙවීගොස් තිබුණි. මහා යස පිරිවර ඇති අශෝක රජතුමා සතර අවුරුද්දක් දඹදිවම තනි රාජ්‍යයක් බවට පත්කර පාඨලීපුත්‍ර නගරයේදී තමන්ගේ රාජාභිෂේකය කරවීය.

ධර්මාශෝක රජුගේ විශ්මිත පුණ්‍යය මහිමය

අශෝකයන්ගේ රාජාභිෂේකයත් සමඟ ම අහසේ වගේම පොළොවෙත් යොදුනෙන් යොදුන (කිලෝ මීටර් 10ක් පමණ) ප්‍රදේශය පුරා නිරන්තරයෙන් තමන්ගේ ආඥාව පිහිටන රාජ සෘර්ධියක් ඇතිවුණි. මහාවංශයේ සඳහන් වන්නේ දෙවිවරු දිනපතා හිමාලයේ මුදුනෙහි ඇති අනෝතත්ත විලෙන් මිහිරි පැන් අට කදක් රජුට ගෙන ආ බවය. රජතුමා ඒවායෙන් කොටසක් ජනතාවටත් බෙදා දුණි. ඒ වගේම දෙවිවරු හිමාල වන ප්‍රදේශයෙන් නාගලතා නමැති දැහැටි දඬු සැමට සරිලන පරිදි ගෙන ආයේය. ඒ හිමාල වනයෙන් ම බෙහෙත් නෙල්ලි, බෙහෙත් අරළු ගෙනාවේය. ඒ වනයෙන්ම ඉතා පෙනුමැති සුවඳවත් වූ රසැති ඉදුනු අඹත්, දෙවිවරු වර්ණ සයකින් යුතු වස්ත්‍රත්, කහපාට වර්ණයෙන් යුතු අත්පිසිනා රෙදිපිළිත් ගෙනාවෝය. දිව්‍ය වූ පාන වර්ග “ඡද්දන්ත විලෙන්” ගෙනාවේය.

නාගයෝ නාග ලෝකයෙන් දිව්‍යසළු බඳු මැස්මක් නොපෙනෙන පරිදි සමන් මලින් කළ වස්ත්‍ර රැගෙන ආහ. දිව්‍ය මහනෙල් මල් රැගෙන ආහ. සුවඳ විලවුන්ද ගෙනා අතර, ගිරව් ද දිනපතා ඡද්දන්ත විලෙන් නැළි එක් ලක්ෂ අසූ දහසක් පමණ වූ ඇල්හාල් රැගෙන ආවේය. ගිරවුන් විසින් ගෙනෙන ලද පොතු සහිත වූ ඇල්හාල් නො කැඩෙන ලෙසින් පොතු ඉවත් කළේ මීයන් විසිනි. රජ පවුලේ සියල්ලන්ටම බත පිළියෙල වූයේ ඒ හාලෙනි. මී මැස්සන් වනාන්තරයෙන් පැමිණ ඉඩ ඇති තැන්වල නිතර මීවද බැන්ෙඳ්ය. අශෝක රජුන් ගේ කම්මල් වැඩ කරන තැන්වල වළස්සු ඇවිදින් යකඩවලට කුළු පහර ගැසුවේය. ඇසූ ඇසූවන් ගේ සිත් පිනවීමට සමත් මිහිරි හඬ ඇති කුරවි කොවුලන් ලෙස නම්ඇති කුරුල්ලෝ හිමාල වනයෙන් ආහ. ඔවුන් අශෝක රජුට ඇසෙන මායිමේ අතු අග හිඳ මිහිරි නාද පතුරවා තමන් නො දක්වා ම යති. අශෝක රජුන් තමන් එක කුස උපන් තමන්ගේ බාල සොහොයුරා වූ තිස්ස කුමාරයා යුවරජ ලෙස අභිෂේක කළේය. (මහාවංශයෙනි)

චණ්ඩාශෝක ධර්මාශෝක වීම

මහා යුධ සංග්‍රාමයන් ජය ගනිමින් ලක්ෂ ගණන් මිනිසුන් මරා දමමින් ලේ තැවරුණු අත් ඇතිව සිටි ඒ අශෝකයන් ඇතැමුන් චණ්ඩාශෝක ලෙස හැඳින්වීය. නමුත් ප්‍රාණඝතයෙන් වික්ෂිප්තව සිටි රජු “නිග්‍රෝධ” නම්ඇති සාමණේරයන් වහන්සේගේ ප්‍රසන්න ඉරියව් දැකීමෙන්ද, උන්වහන්සේ වදාළ ධම්මපදයේ අප්‍රමාද වර්ගයෙන් ධර්ම ශ්‍රවණය කිරීමෙන් පසු ගෞතම බුදු සසුන කෙරෙහි අතිශයින් ප්‍රසාදයට පත් විය. මහා පින්වන්ත වූ මොග්ගලිපුත්තතිස්ස මහ රහතන් වහන්සේගෙන් පිරිසුදු බුදු සසුන මනාව ඉගෙන ගන්නට ඔහුට වාසනාව උදාවිය.

ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ හමුවීම

ධර්මාශෝක රජතුමා මොග්ගලිපුත්තතිස්ස මහරහතන් වහන්සේ සෘර්ධියෙන්, අනුග්‍රහයෙන් මුළු දඹදිවම බුද්ධ භූමි වන්දනා කරමින් සුවාසු දහසක් වෙහෙර විහාර කරමින් ඒ ඒ ස්ථානවල ස්මාරක පිහිටුවමින් ඓතිහාසික ශාසන මෙහෙවරක් සිදු කළහ. ඒ අතරේදී ගයාවේ නේරංජරා නදිය අසබඩ මහා බෝ රජුන් දැක ගන්නට ලැබිණ. මහා රහතන් වහන්සේ වදාළේ “මහරජ මේ අපගේ භාග්‍යවතුන් වහන්සේ උතුම් සම්බුද්ධත්වයට පත්වන මොහොතේ සෙවන සැළසු උතුම් බෝධීන් වහන්සේ”යි කියායි. නොයෙක් ආකාරයෙන් බෝධි වර්ණනාව සිදු කළහ. පෙර කිසි තැනක හට නොගත් මහා ප්‍රසාද සංවේගයක් ජීවමානව වැඩසිටින මහා බෝධින් වහන්සේ දැකීමෙන් රජුට ඇතිවිය. මහත් හරසරින්, ආදර ගෞරවයෙන් බෝධින් වහන්සේට සත්කාර කරමින් බෝධින් වහන්සේ රැක ගැනීමට කටයුතු සැලැස්වූ රජතුමා එදා පටන් නිරන්තරයෙන් බෝධි උපස්ථානයට ලොල්ව ඉතාමත් පී‍්‍රතියෙන් බෝධිපූජා පැවැත්විය. ඒ සඳහා අසත්ධිමිත්‍රා නම් බිසව රජුට සහය විය.

මිහිඳු මහ රහතන් වහන්සේගේ පහළවීම

අසූහාරදහසක් වෙහෙර විහාර ඉදිකළ රජු ශාසනයට උරුමකම් කීවේ තමාගේ පුත්‍ර මහින්ද කුමරු සහ දියණිය සංඝමිත්තාවන්ගේ පැවිදි වීමෙන් පසුවයි . ඒ දෙදෙනාම අරහත්වයට පත්වූ සේක. ශ්‍රී සම්බුද්ධ ශාසනය නමැති ගගනතලයේ මිහිඳු මහරහතන් වහන්සේ හිරු මඬල ලෙසත්, සංඝ මිත්තාවෝ සඳරේඛාව ලෙසත් අතිශය ශෝභමානව වැඩ සිටිසේක. ඒ අතරේ මොග්ගලිපුත්තතිස්ස මහරහතන් වහන්සේ මුල්වී තුන්වෙනි ධර්ම සංගායනාව පැවැත්වීය. තුන්වෙනි ධර්ම සංගායනාවේ ප්‍රතිඵලයක් ලෙස රටවල් නවයක ශ්‍රී සද්ධර්මය ප්‍රචාරය කරන්නට යෙදුණි. ඒ සඳහා ධර්මාශෝක රජු විශාල ලෙස කැපවීම් කළේය.

මිහින්තලාවෙන් පෑ පොසොන් සඳ

ඒ අනුව මිහිඳු මහරහතන් වහන්සේ ඉට්ඨිය, උත්තිය, සම්බල, බද්ධසාල, සුමන සාමණේරයන් වහන්සේ යන රහතන් වහන්සේ සහ භණ්ඩුක යන අනාගාමී තරුණ රාජ කුමාරයත් සමඟ ලංකාදීපයේ ධර්මදූත සේවයට වැඩම කළහ. ඒ ප්‍රාසාදික මිහිඳු මහරහතන් වහන්සේගේ ආගමනය ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඩම කිරීමේ අරුණෝදය වුණි.


පසුගිය සතියෙන්:-  ශ්‍රී මහා බෝධි පුරාණය - 6:  කාලිංග බෝධි ජාතකය

 

  ඇසළ අමාවක පෝය

  ඇසළ අමාවක පෝය අගෝස්තු 02 වන දා අඟහරුවාදා පූර්වභාග 03.14 ට ලබයි. 03 වනදා බදාදා පූර්ව භාග 02.14 දක්වා පෝය පවතී සිල් සමාදන්වීම අගෝස්තු 02 වනදා අඟහරුවාදාය.

මීළඟ පෝය අගෝස්තු 10 වනදා බදාදාය.
 


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

අගෝස්තු 02

First Quarterපුර අටවක

අගෝස්තු 10

Full Moonපසෙලාස්වක

අගෝස්තු 17

Second Quarterඅව අටවක

අගෝස්තු 25


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]