UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

නිවැරැදි දියුණුව උදාකරගන්නේ කෙසේද?

 

ලෝකයේ සෑම කෙනෙකුම දියුණුවක් ලබන්න කැමැතියි. නිවැරැදි දියුණුවක් ලබන්න බුදුදහමෙන් ලැබෙන පිටිවහල ඉමහත්. ශීල, සමාධි , ප්‍රඥා , ගුණ දිනෙන් දින දියුණු කිරීම තුළින් ලෝකෝත්තර දියුණුවක් ලබන්න පුළුවන්. සද්පුරුෂ ආශ්‍රය , ධර්ම ශ්‍රවණය, යෝනිසෝමනසිකාරය , ධම්මානුධම්ම ප්‍රතිපත්තිය යන සතර හැම මොහොතකම දියුණු කළ යුතු බව තථාගත ධර්මයේ පෙන්වනවා. එය මෙලොව දියුණුවටත් පරලොව සුගතියටත් අවශ්‍යයයි. සංසාරයේ ගමන් කරන ඔබ, අප හැමෝටම දෙමාපියන්, සහෝදර සහෝදරියන්, දුවා දරුවන් ආදී හිතවතුන් ඉන්නවානම් අපට විශාල දියුණුවක් සකසා ගන්න පුළුවන්.

නිවැරැදි සද්ධර්මය ශ්‍රවණය කරන්නට තියෙනවානම් එමගිනුත් අපට යහපතක් සලසා ගන්න පුළුවන්. බණ ශ්‍රවණය කළාට පමණක් ප්‍රමාණවත් නැහැ. දරාගැනීමත් අවශ්‍යයයි. එයට අනුකූලව වැඩ කිරීම “සුනාථ ධාරෙථ චරාථ ධම්මේ” කියලා පෙන්නුම් කරනවා. එහෙම පින්වතුන්ට මේ ධර්මයෙන් විශාල ශක්තියක් ගොඩ නඟන්න පුළුවන්.

පවින් වැළකීම සහ පින් දහම් කිරීමට මුළුමහත් හැමෝටම යහපතක් පිණිසම දේශනා කරන්නට යෙදුණේ මේ බුදු දහමයි. බුදු දහමින් මේ සියල්ලම ඉස්මතුකරමින් දියුණුව යහපත සලසා දෙමින් කටයුතු කරනවා. ඒ කටයුතු කරන හැමදෙනාටම කවදාකවත් වැරදුණේ නැහැ. කුමන දවසකවත් පිරිහීමක් වුණේ නැහැ. සතුන් මැරීමෙන් ව ැළකීම, සොරකම් කිරීමෙන් වැළකීම, කාම මිථ්‍යාචාරයෙන් වැළකීම, බොරුවෙන් වැළකීම, මත් පැනින් වැළකීම දියුණුවේ දොරටුයි. බෝධි පාක්ෂික ධර්ම දියුණු කර ගැනීම, පාරමිතාවන් දිියුණු කර ගැනීම මහා මංගල ගුණ දියුණු කර ගැනීමෙන් පුදුම දියුණුවක් සලසාගන්න පුළුවන් ප්‍රතිපත්ති මාලාවක්. සිඟාලෝවාද සූත්‍රය, පරාභව සූත්‍රය, වසළ සූත්‍රය ආදී මේවා අපේ ජීවිතවලට දියුණුව සලසගන්න පුළුවන් ක්‍රම රාශියක්.

කරණීය මෙත්ත සූත්‍රය බැලුවොත් අගේ ඇති දියුණුවක් අපට පෙන්වා දෙනවා. දක්ෂයෙක්වීම, අවංක විය යුතුයි. විශේෂයෙන් අවංක විය යුතුයි. ඒ වගේම , මෘදු ගති ගුණ, නිහතමානී ගුණ. ලද දෙයින් සතුටුවීම, පෝෂණයට සමර්ථයෙක් වීම, අල්ප කෘත්‍ය ඇත්තෙක් වීම, සැහැල්ලු පැවැතුම් ඇත්තෙක් වීම, ඒ වගේම ඇස් කන් නාසාදී ඉඳුරන් සංවර කරගත යුතුයි. නුවණැත්තෙක් වීම, නපුරු ගති පැවැතුම් නොමැත්තෙක් වීම, ඥාති මිත්‍රාදීන්ට නොඇලීම, කුඩා වූ නමුත් වරදක් නොකළ යුතු යැයි බුදුරජාණන් වහන්සේ කරණීය මෙත්ත සූත්‍රයෙන් ඉතා අගනා කරුණු ටිකක් දේශනා කර වදාළා.

තරහව , වෛරය, ඊර්ෂ්‍යාව වැඩි නම් මෛත්‍රී භාවනාව වඩන්නැයි වදාළා. මෛත්‍රී භාවනාවෙන් දියුණුව යහපත සලසගන්න පුළුවන්. මෛත්‍රී භාවනාව හැමෝටම ප්‍රයෝජනවත් භාවනාවක්. සමහරුන්ට හරියට කේන්ති යනවා. තරහව, වෛරය, රෞද්‍ර ගති වැඩියි . ඒ අයට බුදුරදුන් දැන වදාළේ මෛත්‍රී භාවනාවයි.

ඊර්ෂ්‍යාව වැඩිනම් මුදිතා භාවනාවආදී බුදු දහමින් සැනසිලිදායක දේ දියුණු කළ යුතුයි. යහපත පිණිස කටයුතු කළ යුතුයි. මේ හැමදෙයක්ම අප කරන්නේ මෙලොව පරලොව දියුණුවත් අමා මහ නිවන් සුවයත් ලබාගැනීම සඳහායි.

බුදු සසුනක මෙවැනි ගුණ ධර්ම දියුණු කරගන්නවා මිස බුද්ධෝප්පාද කාලවල මේවා දකින්නවත් නැහැ. නමුත්, කලාතුරකින් පසේ බුදුවරු දකිනවා, ඒ ත් හැමතැනකම නැහැ. එහෙමනම්, සිල්වන්ත , ගුණවන්ත, නැණවන්ත අය සොයා ගැනීම ලෙහෙසි නැහැ.

ගෞතම බෝසතාණන් වහන්සේ එක ආත්මයක දානයක් දීලා තිබුණා . ඒ දානයට කිසිම සිල්වත් කෙනෙක් වැඩලා නැහැ. සිල්වතුන් ලොවේ නැහැ. අසද්පුරුෂ, දුර්ජන, අවිනීත අය තමයි එදා දන්සල් දීලා තියෙන්නේ. ඒ නිසා එතුමාගේ දානෙ එතරම්ම මහත්ඵල වෙලා නැහැ. සිල්වත් , දානයක් මහත්ඵල මහානිසංස වෙන්නේ සිල්වතුන්ට ගුණවතුන්ට දෙන දානයක් පමණයි. අප අන්න ඒවා දැන කියාගෙන පිනට දහමට ගුණයට නැඹුරු වී කටයුතු කිරීමට අධිෂ්ඨාන ප්‍රාර්ථනා තබා ගැනීම අවශ්‍යයයි.

ලොවුතුරා බුදුරජාණන් වහන්සේ කළ දේශනය ඉතාම සරල මනරම් දේශනාවක්. දවසක් සච්චකතුමා, බුදුන් වහන්සේ හමුවට පැමිණ පවසනවා, ස්වාමීනී, ඔබ වහන්සේ බණ කියනවා වැරැදියි. අප මේ ඉන්නේ, එහෙමනම් අනිත්‍ය, දුක්ඛ වෙන්නේ කොහොමද? අප මේ ඉන්නවා, යනවා එනවා කනවා, බොනවා ඒ නිසා අනිත්‍ය වෙන්නේ කොහොමද කියලා බුදුරජාණන් වහන්සේගෙන් මේ නිගණ්ඨවාදී සච්චක තුමා විමසුවා. බුදුරජාණන් වහන්සේ අහනවා සච්චකය ඔබට පුළුවන්ද වයසට යන්න නැතිව ඉන්න? කථා කළේ නැහැ. බුදුරදුන් නැවතත් තෙවරක්ම මේ ගැන විමසුවා. ඒත් කතා කරන්නේ නැහැ. ඒ වෙලාවේ සක්දෙව් රජතුමා මහා යක්ෂයෙකුගේ වේශයක් මවාගෙන, කඩුවකුත් අතැතිව මෙතනට පැමිණ බුදුරජාණන් වහන්සේ වෙහෙසට පත් කරන්නේ නැතිව ඉක්මනින් උත්තර දීපන් කියලා පැවසුවා. මේ යක්ෂයා දැකපු ගමන් සචිචකතුමා තවත් බය වුණා. බුදුරදුන් නැවත විමසනවා, ස්වාමීනි, සච්චකය, නුඹට පුළුවන්ද වයසට යන්නෙ නැතිව ඉන්න? බැහැ, ස්වාමීනි, වයසට යනවා. ඔබ අනිත්‍ය, දුක්ඛ, අනාත්ම වෙන්න බැහැයි කියලා කිව්වනේ. ජරා, මරණ, ලෙඩ වීම මැරෙනවා ඕක තමයි අනිත්‍ය, දුක්ඛ, අනාත්ම කියලා හඳුන්වන්නේ යැයි වදාළා. මේක අමුතු දෙයක් නොවෙයි. වයසට යාම , ජරා ජීර්ණ වීම, ලෙඩ වීම, මරණය, අනිත්‍ය , දුක්ඛ, අනාත්ම කියලා කියපු ගමන් මෙය සච්චකයට වැටහුණා. එහෙමනම්, බුදුරජාණන් වහන්සේගේ ධර්මය අනිත්‍ය, දුක්ඛ , අනාත්ම යන ලක්ෂණයන්ට යටත්ව කරපු දේශනාවක්, නිර්වාණය හැර අනෙක් සියල්ල අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණයට අයිතියි. ඒකට නමක් දෙනවා සියලු සංස්කාරයෝ අනිත්‍යයයි, දුක්ඛයි, අනාත්මයි කියලා. ලෝකෝත්තර වශයෙන් දියුණුවක් ලැබීමට නම් සියලු සංස්කාරයෝ අනිත්‍යයයි දුක්ඛයි අනාත්මයි යනුවෙන් නිතර මෙනෙහි කරන්න. මනුෂ්‍යයෝ , ගහකොළ, ඉරහඳ, තාරකා, ගස්වැල් , පර්වත සියල්ල ඇතුළත්. ඒ නිසයි සංඛාර කියලා පදයක් දේශනා කළේ. සියලු සංස්කාරයෝ අනිත්‍ය , දුක්ඛයි, අනාත්මයි කියලා මෙනෙහි කරන්න, සච්චකය මේ දේශනයට පැහැදිලා ඊළඟ දවසේ බුදුන් වහන්සේට , දානෙටත් ආරාධනා කරලා දාන මානත් පූජා කළා. පසු කාලයේ මෙතුමා බුදු දහමට අනුව වැඩ කරලා මරණින් පසුව මිහිඳු මහ රහතන් වහන්සේගේ යුගයේ අනුරාධපුර යුගයේ ඉපදිලා , කාල බුද්ධ රක්ඛිත මහ රහතන් වහන්සේ නමින් රහත් වුණා. මේකට හේතුවුණේ තථාගත ධර්මයට සිත යොමු කළ නිසයි. ඒ නිසා හැමෝම සුගතියක ඉඳලා නිවන් පසක් කර ගන්න උත්සාහ ගන්න.

ඒ වගේම හැමෝම ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ ගමන් කරලා ලෝකෝත්තර දියුණුවක් ලබා ගැනීමට නම් හොඳම ක්‍රමය තමයි සියලු සංස්කාරයෝ අනිත්‍යයයි, දුක්ඛ අනාත්මයි කියලා නිතර නිතර බොහෝ වේලාවක් මෙනෙහි කළ යුතුයි. ඒවා බුද්ධ ශාසනයක මෙනෙහි කරනවා මිස අබුද්ධෝත්පාදක කාලෙක දකින්නවත් නැහැ. මේවා ගැන හසල දැනුමක් ඇති කරගෙන පින, දහම් ගුණය වැඩි දියුණුකරගෙන පින්වන්ත, නැණවන්ත, ගුණවන්ත දිවියක් කවුරුත් ගත කළ යුතුයි.

බුදු, පසේ බුදු , මහරහතන් වහන්සේලා උතුම් පදවියට පත්වුණේ පාරමිතා පුරලයි. දන් දීම දාන පාරමිතා සිල් රැකීම සීල පාරමිතාව, අතහැරීම නේක්ඛම්ම පාරමිතාව, නුවණ දියුණු කිරීම පඥා පාරමිතා, උත්සාහය දියුණු කිරීම විරිය පාරමිතාව, ඉවසීම දියුණු කිරීම ඛන්ති පාරමිතාව , සත්‍යවාදී වීම සච්ච පාරමිතාව, අධිෂ්ඨාන තැබීම, අධිෂ්ඨාන පාරමිතාව, මෛත්‍රී කිරීම – මෛත්‍රී භාවනා කිරීම මෙත්තා පාරමිතාව, මධ්‍යස්ථව වාසය කිරීම උපේක්ෂා පාරමිතාව ලෙස රහත් භාවයක් ලබන්න මේවා දියුණු කළ යුතුයි. පසේ බුදු වෙන්න පාරමිතා දියුණු කළ යුතුයි. දාන පාරමිතා , දාන උප පාරමිතා, සීල පාරමිතා , සීල උප පාරමිතා ආදී වශයෙන් ලොවුතුරා බුදු වෙන්න පාරමිතා 30ක් දියුණු කළ යුතුයි. දාන පාරමිතා, දාන උප පාරමිතා, දාන පරමත්ත පාරමිතා එවිට තුනයි. මේ ඔක්කොම තුන බැගින් බැලුවොත් තිහයි. පාරමිතා 30ක් දියුණු කළොත් ඒ අයට බුද්ධත්වය ලබන්න පුළුවන්. හැබැයි, හැමෝටම බැහැ. බුදුබව ලබන්නේ ස්වල්ප දෙනාට පමණක් ලබාගත හැකි දෙයක්. එහෙම බැලුවහම මොහොතින් මොහත ඉහළට යාම, තප්පරයෙන් තප්පරය ඉහළට යාම, දවසින් දවස , මාසෙන් මාසේ , වර්ෂයෙන් වර්ෂය ඉහළට යාම ජීවිතයෙන් ජීවිතය පාරමිතාවන්ගෙන් ඉහළට යාමෙන් අපට සෝවාන්, සකෘදාගමී, අනාගාමී , අර්හත් යන මාර්ගඵලයි නිවනයි යන ලොවුතුරා ධර්මය ලබන්නට පුළුවන්.

ලොවුතුරු තථාගත දහමට අනුව දියුණුවීමේ ක්‍රම දේශනා කර තිබෙනවා. ඒවා ඥානවන්තයෝ හොඳට අනුගමනය කර දියුණුව සකසා ගත යුතුයි. මේවා තම තමා කල්පනාකරලා ඉතා ඉක්මන් භවයකදීම ඔබ අප සියලු දෙනාටම බුදු, පසේ බුදු, මහ රහතන් වහන්සේ නිවී සැනැහී වදාළ අමා මහ නිවන් සම්පත් පිණිස අප රැස්කරගනු ලබන සියලු පින් හේතු වාසනා වේවා.


 

   පොසොන් පුර පසළොස්වක පෝය

  පොසොන් පුර පසළොස්වක පෝය ජුනි 19වන දා ඉරිදා අපරභාග 3.31ට ලබයි. 20වන දා සඳුදා අපරභාග 4.32 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජුනි 19වන දා ඉරිදාය.

මීළඟ පෝය ජුනි 27 වන දාය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජුනි 19

Second Quarterඅව අටවක

ජුනි 27

Full Moonඅමාවක

ජූලි 04

First Quarterපුර අටවක

ජූලි 11


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]