UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සිංහල බුද්ධාගමේ විශේෂතා

සිංහල බුද්ධාගමේ විශේෂතා

ලෝකයේ බෞද්ධ සම්ප්‍රදායන් අතරින් ලංකාවේ බුදු දහම තරමක වෙනස් ස්වරූපයක් ගනී. එසේ වෙනස් වනු ලබන්නේ කාරණා කිහිපයක් මතයි. ලංකා බුදු දහම දාර්ශනික ආගමික හා සංස්කෘතික සංයුතීන්ගෙන් සමන් විතයි. බටහිර ලෝකයේ බුද්ධාගම දාර්ශනික පදනමක් මත පවතින්නක්. භාවනාව, ආර්ය සත්‍යය , අනිත්‍යය, පටිචිච සමුප්පාදය වැනි දාර්ශනික ප්‍රපංච වැඩිපුර හදාරමින්ද, භාවනාව ප්‍රායෝගිකව කරමින්ද,බටහිරයන් විසින් බුද්ධාගම භාවිත කරනු ලබයි. ඔවුන් එසේ කරනු ලබන්නේ හදවත් රෝග,කොලෙස්ටරෝල් , දියවැඩියාව , වැනි රෝගවලට ප්‍රතිකාරයක් ලෙස භාවනාව භාවිත කිරීමට හැකියාව ඇතැයි දැනගත්ත දින සිටම බුද්ධාගම තවත් එක්තරා රෝග නිවාරණ වැඩ සටහනක් සහ රෝග නිවාරක ක්‍රමෝපායන් සහිත ඉගැනිවීමක් ලෙස විශ්වාස කිරීම නිසායි. සාංඝික දාන, බෝධිපුජා , බුද්ධ පූජා, වන්දනා ගාථා කීම් , පිරිත් සජ්ඣායනා ඔවුන් තුළ නැති තරමි ඔවුන් විසින් හදාරනු ලබන්නාවූ බුදු සමයෙහි විශේෂයෙන්ම දක්නට ලැබෙන්නේ දාර්ශනික ප්‍රස්තුතයන් හැදෑරීමයි. . පටිච්ච සමුප්පාදය, හේතුඵල නියාමය පිළිබඳ හැදෑරීම බුදුපියාණන් වහන්සේගේ ලෝකය සත්ත්වයා හා පිළිබඳ සැබෑව සාකච්ජා කරනු ලබන ධර්ම පර්යායන් සාකච්ජා කිරීම වැනි කරුණු ඉතා පහසුවෙන් ස්වකැමැත්තෙන් හැදෑරීමට ඔවුන් පෙළඹෙයි. පෙරහර , කඨීන උත්සව බුද්ධ පූජා, බෝධි පූජා වැනි ශාන්ති කර්ම ඔවුන් තුළ නැති අතර ඔවුන් බහුල වශයෙන් සාහිත්‍යාගත කරුණු, ජාතක කතා ධම්මපද අටුවා කතා , වැනි කතාන්තර විශේෂයන් සමඟ හැදෑරීම් කරනු ලබන්නේ අල්ප වශයෙන්. එකී රටවල විශ්ව විද්‍යාල ශිෂ්‍යයන් ෙ හී පර්යේෂකයන් විසින්, යමි තරමක් හැදෑරීම් කරන බව සත්‍යය වුවත් ඔවුන් අතර ආගමක් වශයෙන් ඇදහීමක් ලෙස කරුණු සාකච්ජා කරනු ලබන්නේ ධර්ම කාරණා සම්බන්ධව පමණයි.

ආසියාවෙහි තායිලන්තය , කොරියාව, වැනි රටවල බුදු සමය පවතින්නේ කොටස් ලෙස නොවෙයි. මහායාන බුදු සමය සහිත කොරියානු දේශයෙහි එකසිය අටවරක් බුද්ධ වන්දනා කරම්න් යෝග ව්‍යායාමයක ස්වභාවය කින් ඔවුන් බුදුසමය භාවිත කරයි. එහිදී ඔවුන් ගැඹුරු ගාමිභීර ධර්ම ප්‍රස්තුතයන් සාකච්ජා කරන්නේ නැහැ. එකසිය අටවරක් දණ්ඩ නමස්කාර කිරීම ඔවුනගේ ලොකු ආගමික කාර්යයක් ලෙස ඔවුන් සලකයි. තායිලන්තය වැනි රටක ඉතාම බහුල වන්දනා සහ පුද පූජා මූලස්ථාන යෙහිලා ක්‍රියාකිරීම , රත්තරන් පත්‍රිකා පිළිමවල ඇලවීම, මියගිය ඥාතියාගේ මිනිය මාස ගණන් තබාගෙන බුදුවරයකුගේ නමක්ද ආරෝපණය කොටගෙන පරිත්‍රාණ සජ්ඣායනා කිරීම විශාල වශයෙන්, උත්සව පැවැත්වීම විශාල වියදමක් දරා දම්පහන් පූජා කිරීම, වැනි වත් පිළිවෙත් පිළිබඳව ඔවුන්ගේ දැනුම, ඔවුන්ගේ හැසිරීම ප්‍රබලයි. ඒ අනුව ඔවුන් අතරද, මේ කියන්නාවූ ආගමික ස්වභාවයක් තියෙනවා.

පෙර කී යුරෝපීය ජාතිකයන් අතර බුදු සමය දාර්ශනික පදනමක් මත ව්‍යාප්තව තිබෙද්දීත් බොහෝ ආසියාතික රටවල පුද පූජාමය වන්දනාමය චර්යාවන්, ශාන්තිකර්ම ප්‍රමුඛ කොටගෙන බුදු සමය පවතිද්දී වර්ග කිලෝමීටර් හැටපන් දහස් හයසිය තිස් දෙකක සමුද්‍රයෙන් වටවූ මනස්කාන්ත පින්බිමක් වන ශ්‍රී ලංකාවේ බුද්ධාගම පවත්වාගෙන එනු ලබන්නේ සංස්කෘතික සුවඳ සහිත ඉගැන්වීමක් ලෙසයි .

ලංකාවේ ස්වාමීන්වහන්සේලා, ලංකාවේ බෞද්ධයන් බුදු සමය දකින්නේ ඔවුන්ගේ ප්‍රාණය ලෙසයි. තවත් ආකාරයකින් කියනවා නම්, තායිලන්තය තුළ 96%ක් 97% ක් පමණ බෞද්ධයන් වුවත් ඔවුන්ගෙන් 98%ක් 99%ක්ම මස් ආහාරයට ගනු ලබයි. ස්වාමීන්වහන්සේ නමක් ග්‍රාම සංවර්ධන සමිතියක සාමාජිකයකු ලෙසවත් ක්‍රියාකරන්නේ නැහැ. අවම වශයෙන් මූලාසනයකටවත් ගනු ලබන්නේ නැහැ. මෙම සියයට අනූවට වැඩි බෞද්ධ රටෙහි කිසිදු ස්ථානයක් බෞද්ධ කොඩිය දක්නට ලැබෙන්නේ නැහැ. ඒ වගේම කිසිඳු ස්ථා නයක දන්සැල් තොරණ පවත්වන්නේ නැහැ. රජයේ නිවාඩු දිනයක් ලෙස පොහොය දවසට අප වගේ පන්සල් යනු ලබන්නේ නැහැ. ඒ අය බුදු සමය ඉතාම ශ්‍රද්ධාවෙන් පමණ ඉක්මවා යන ප්‍රමාණාතික්‍රාන්ත භක්තියෙන් වන්දනා කිරීම ඔවුන්ගේ සිරිතක් . විශාල වශයෙන් වියපැහැදම් කරමින් මහා සංඝයාට පුද පූජා පැවැත්වීම සිරිතක්. කාන්තාවක් කිසිඳු පූජාවක් සිය අතකින් ස්වාමීන්වහන්සේලාට පූජා කරන්නේ නැහැ. ඒ තරමට ඔවුන් බණ අහන්නේ නැහැ. ස්වාමීන් වහන්සේ ලා බණ දේශනා කරන්නේ නැහැ. ඒ නිසා සමාජයේ නියාමන බලයක් භික්ෂූන් වහන්සේට උරුම නැහැ. කිසිදු ස්ථානයක් සමාජ නායකත්වයක් ස්වාමීන් වහන්සේලාට නැහැ. ඒ අනුව අප රටතුළ පවතින්නේ විශාල වශයෙන්ම සුවිශේෂී වූ බුදු දහමක්. එම සුව්ශේෂී වූ බුද්ධාගමේ තිබෙන ලක්ෂණ අතරට සාමාන්‍ය ගමක පන්සලෙහි ස්වාමීන් වහන්සේ ගමේ නායකවත්ය උසුලමින් , ගමෙහි සමිති සමාගම්වල අනුශාසකත්වය දරමින්, ගමෙහි ශාන්ති කර්මවලට උපදෙස් දෙමින් , ගමේ දරුවන්ට නම් තබන්නේත්, දරුවන්ට අකුරු කියවමින් පන්සලේ ස්වාමීන් වහන්සේයි. ගමේ දැවැන්ත වැඩ කොටසක්, ඉටුකරමින් පවුලේ සාමාජිකයකු සේ නායකත්වය රැගෙන කටයුතු කරනු ලබයි. පසුගිය දශක ගණනාවකට පෙර එක් දහස් අටසිය ගණන් වල අගභාගයෙහි සහ එක්දහස් නවසිය ගණන්වල මැද භාගය වන තෙක්ම ස්වාමීන් වහන්සේලා ග්‍රාම සංවර්ධනයෙහි මංමාවත් තැනීමෙහි, පාසල් තැනීමෙහි, ගම් පුළුල් කරමින් වෘත්තීය නිපුණයන් බවට පත්කරමින්, ග්‍රාමීය ස්වයං රැකියා බිහිකරමින් ගම් දනවි දියුණු කරමින් ඉතාම ඉහළ වැඩ කොටසක් කරනු ලැබුවා වගේම උන්වහන්සේලා දේශපාලනයෙහිද නියුක්ත වුණා. දේශපාලන ව්‍යාපාරයක් සමඟ භික්ෂුන් වහන්සේලාගේ සමාජ නායකත්වය ක්‍රමයෙන් අඩු වුණත්, අද වන තෙක් උන්වහන්සේලා සංස්කෘතික බුද්ධාගමක් ලෙස මෙරට පවත්වාගෙන යයි. අපේ අය අතරින් බහුතරයක් සංස්කෘතික බෞද්ධයන් වන අතර ඔවුන් අතර නිර්වාණය , විමුක්තිය , මෝක්ෂය. පටිච්ච සමුප්පාදය, ආර්යය සත්‍යය චතුස්කය අෂ්ටාංගික ආර්යය මාර්ගය, වැනි මාතෘ කා පිළිබඳව දාර්ශනික ඤාණයක් නැහැ. එහෙත් ඔවුන් අතර බෝධි පූජා, පිරිත් සජ්ඣායනා , බහුල වශයෙන් තිබෙන අතර එම දෙකටම අමතරව ස්වාමීන් වහන්සේලාගේ සමාජ නායකත්වය ඔවුන් විසින් පිළිගනු ලබනවා. මේ සියල්ල සිදුවන්නේ මිහිඳු මහ රහතන් වහන්සේ විසින් ලංකාව තුළ ඇතිකළ විශේෂ බුද්ධාගම හේතු කොටගෙන. බුදු හාමුදුරුවන් ගේ බුද්ධාගමටත් වඩා මිහිඳු මහ රහතන් වහන්සේ ලාංකේය බුද්ධාගමක් නිර්මාණය කළ බව කිව යුතුයි. උන්වහන්සේ විශේෂයෙන්ම සිතාමතාම දේවදූත සූත්‍රය දේශනා කළා විය හැකියි. අපාය, යමලෝකය පිළිබඳ විශාල විස්තරයක් දේවදූත සූත්‍රය තුළ අන්තර්ගතයි. මිහඳු මහ රහතන් වහන්සේ වැඩි විට මේ රෙටි මිනිසුන් මිලේච්ජයන් හෝ සත්ත්ව ඝාතකයන් ව හෝ සිටියා කියා කිව නොහැකියි. දේවානම් පියතිස්ස රජතුමා දුණු ඊතල රැගෙන මුවා පසුපස එලෙවීමේ කතාපුවත මගින් පමණක් සමස්තය තීන්දු කිරීමෙහි හැකියාවක් නැහැ. එම නිසා මිලේච්ජ පරිසරයක් තිබුන බවට කිසිසේත්ම ප්‍රකාශ කළ නොහැකි තරමට දියුණු ජනතාවක් වාසය නොකළා නමි, රජ්ජුරුවන්ගේ ප්‍රශ්න වටහා ගැනීමේ හැකියාව සහ මහජනතාවට පාලියෙන් දේශනා කරනු ලැබුවාවූ බණ තේරුම් ගැනීමේ හැකියාව පිළිබඳව ප්‍රශ්න කළයුතුයි. මේ සමිබුද්ධ ශාසනය හොඳින් වැළඳගනු ලැබුවේද හොඳ අවබෝධයක් තිබුණ නිසයි. එවකට සංවිධිත ආගමක් නොතිබුණ නිසාම බුදු දහම සංවිධිත ආගමක් සේ මෙහි මුල් බැස ගත්තාය කියන නිගමනයට වඩ ා මිනිසුන් වඩාත් යහපත් ස්ථානයක් බුදු සමය තිබෙන බවට එම ජනතාව තේරුම් ගත්ත බව සිතිය හැකියි. අරිටිඨ කුමාරයා , අනුලා කුමරිය ඇතුළු පිරිස පැවිදි වෙන්නේ එම නිසයි. ඒ වගේම ධර්මාශෝක අධිරාජ්‍යයාගේ අධිරාජමය බලාරෝපණය හේතු කොටගෙන, මිහිඳු මහ රහතන් වහන්සේ ධර්ම නියෝජිතයකු ලෙස නොව. රාජ්‍ය නියෝජිතයකු ලෙසට සිතීමට පත් දේවානම් පියතිස්ස රජතුමා විසින් පිළිගත්තාය කියන තැනට වඩා යුක්ති සහගත සාධාරණ වන්නේ මිහිඳු මහ රහතන් වහන්සේ ගේ ශාන්තියේ ධර්මය වඩාත් ආදරයෙන් සහ අවබෝධයෙන් පිළිගත් බවයි.

දේවදූත සුත්‍රය වැනි දේශනා කර දෙමවිපියන්ට ගරුකිරීම, ඥාතීන්ට ගරු කිරීම, වැඩි හිටියන්ට ගරු කිරීම, දේව දූත ස්‍රත්‍ර පර්යාපන්න යම ලෝකය පිළිබඳව විස්තරය මගින් මිහිඳු මහ රහතන් වහන්සේ අපේක්ෂා කරන්නට ඇත්තේ වඩාත් ආචාරශිලී සමාජයක් නිර්මාණය කරගැනීමයි. . චුල්ල හත්ථී පදෝපම සූත්‍රය වැනි සූත්‍රද දේශනා කරමින්, අනත්ත ලක්ඛණ සූත්‍ර ඛණ්ඩය වැනි ගාමිභිර ධර්ම පර්යායන් දේශනා කරන අතර වාරයේ සමාජය යහමගට ගැනීමට යහපත් සමාජයක් නිර්මාණය කිරීම උදෙසා තරමක, ශික්ෂණයකට පත් වෙමින් සිටින්නාවූ ජනතාවට පාපය පිළිබඳව භීතිය ඇතිකිරීමට දේවදූත සූත්‍රය වැනි සූත්‍ර දේශනා කරන්නට ඇති. පසුකාලීනව ඉතාම හොඳින් සංවර්ධනය වුණ යමලෝකය පිළිබද ච්ත්‍ර, දේවදූත සූත්‍රය මැනවින් අන්තර්ගතයි.

ලංකාව තුළ “වහන්සේ ”යනුවෙන් සඳහන් කරනු ලබන්නේ පොත් දෙකයි. ධම්ම පදයටවත් ධම්මපද වහන්සේ යනුවෙන් හඳුන්වන්නේ නැහැ. “වහන්සේ ”යන වචනයට ඉංග්‍රීසි තේරුමක්ද, නැතිවාසේම එම වචනය ඉංග්‍රිසියටද පාලියටද පරිවර්තනය කළ නොහැකියි. පාලියෙන් බුද්ධෝ යනුවෙන් බුදු රජාණන් වහන්සේ හඳුන්වන අතර සංස්කෘතියෙන් බුද්ධං යනුවෙන් හඳුන්වයි. ඉංග්‍රීසියෙන් ද ලෝඩි බුද්ධ යනුවෙන්ද සිංහලයට බුදුරජාණන් වහන්සේ යනුවෙන්ද අමාමෑණිබුදු පියාණන් වහන්සේ යනුවෙන්ද මවටද එහා ගිය පියාටද එහා ගිය ස්ථානයක තබා වැඳුම් පිදුම් කිරීම ලංකාව තුළ ජීවත් වන මිනිසුන් ගේ ක්‍රමයයි.

ලංකාව තුළ “වහන්සේ ”යන වචනය පාවිච්චි කරනු ලබන්නේ පොත් වලින් “පිරුවාණා පොත් වහන්සෙටයි, ජාතක පොත් වහන්සේටයි” පමණයි. පිරුවාණා පොත් වහන්සේ විසින් ලංකාවේ සංස්කෘතියද ජාතක පොත් වහන්සේ විසින් ලංකාවේ සාහිත්‍යයද නිර්මාණය කළා. හිසින් පිරුවට ඔතාගෙන පිරුවට යට පාවඩ මත තබා වඩම්වන ලද පොත් දෙක පිරුවානා පොත් වහන්සේ සහ ජාතක පොත් වහන්සේයි.එම පොත් දෙකම ලංකාව තුළ සාදා නිමකරනු ලැබුවත් එම පොත් දෙකම ත්‍රිපිටකය තුළ තිබෙන පොත් නොවෙයි. මහ පිරිත් පොත් වහන්සේ නිර්මාණය වී අවසන් වූයේද මිහිඳු මහ රහතන් වහන්සේගේ කාලයේ සිට නොවන අතර එය මහනුවර යුගයට අයත් වූවක් වෙයි. ඒ්තරමට පිරිත් පොත ලාංකේය වී අවසානයි. මිහිඳු මහ රහතන් වහන්සේ විසින් ලංකාවට ලාංකේය බුදු දහමක් හෙවත් සිංහල බුද්ධාගමක් හදුන්වා දුන් බව සදහන් කළ යුතුයි. අතු ඉති ලියලා මහා දැවැන්ත වෘක්ෂයක් සේ හැදී වැඩී අද වන විටත් මේ රටට මහා වෘක්ෂයක් සේ සෙවන දෙන්නේ එකී මිහිඳු මහ රහතන් වහන්සේගේ සිංහල බුද්ධාගමයි


 

   පොසොන් පුර පසළොස්වක පෝය

  පොසොන් පුර පසළොස්වක පෝය ජුනි 19වන දා ඉරිදා අපරභාග 3.31ට ලබයි. 20වන දා සඳුදා අපරභාග 4.32 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජුනි 19වන දා ඉරිදාය.

මීළඟ පෝය ජුනි 27 වන දාය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජුනි 19

Second Quarterඅව අටවක

ජුනි 27

Full Moonඅමාවක

ජූලි 04

First Quarterපුර අටවක

ජූලි 11


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]