UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

මිහින්තලේ බොංජි බෞද්ධ මධ්‍යස්ථානය

මිහින්තලේ බොංජි බෞද්ධ මධ්‍යස්ථානය

බොංජි ශ්‍රී ලංකා මහාසාම සෑය

මිහින්තලේ කළුදිය පොකුණ ආසන්නයේ ඉදිකර ඇති ‘බොංජි ශ්‍රී ලංකා බෞද්ධ මධ්‍යස්ථානය’ ශ්‍රී ලංකාව ඇතුළු ලෝකයටම සාමය පතා දිනපතා පුද පූජා පවත්වනු ලබන පූජනීය සිද්ධස්ථානයක් බවට දැන් පත්ව ඇත. මිහින්තලාවට එන බැතිමතුන් බොංජි බෞද්ධ මධ්‍යස්ථානයද වැඳ පුදා ගැනීමට ඒමට අමතක නොකරන්නේ ලෝක සාමය පතා එහි දිනපතා සිදු කෙරෙන බෞද්ධ වැඩසටහන් කෙරෙහි පවතින දැඩි විශ්වාසය හා ප්‍රසාදය නිසාවෙනි.

අනුරාධපුර භික්ෂු විශ්වවිද්‍යාලයේ හිටපු ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, බෝතලේගම සාම විහාරාධිපති ශාස්ත්‍රපති බෝතලේගම සංඝරතන හිමියන්ගේ මඟ පෙන්වීම යටතේ ජපානයේ ජෝ - එන්කුබෝතා මහා දානපතිනිය ඇතුළු එරට බෞද්ධ දානපතියන්ගේ ධන පරිත්‍යාගයෙන් ඉදිකර ඇති බොංජි බෞද්ධ මධ්‍යස්ථානයේ ඉතා අලංකාර ලෙස තනවා ඇති ‘බොංජි ශ්‍රී ලංකා මහා සෑය’ අභියස සෑම දිනකම පුද පූජා පැවැත්වීමට බොංජි බෞද්ධ මධ්‍යස්ථානාධිපති බෝතලේගම සංඝරතන හිමියෝ අමතක නොකරති. බොංජි යනු බෞද්ධ ශුද්ධාක්ෂර විශේෂයකි. ඒවා ඇදහීමෙන් සහ වැඳීමෙන්, පිදීමෙන් ප්‍රාර්ථනා ඉෂ්ට කර දීමේ බලයක් ඇතැයි ජපන් ජාතික බොදුනුවෝ විශ්වාස කරති. එම විශේෂ බොංජි අක්ෂර කීපයක් එම චෛත්‍ය රාජයාගේ ගර්භය තුළ සියල්ලන්ටම දැකගත හැකිවන ලෙස ඇඳ තිබේ. එහි තැන්පත් කර ඇති සර්වඥ ධාතූන් වහන්සේලාගේ බල මහිමයෙන් සහ ඇඳ ඇති බොංජි අක්ෂරයන්ගේ ආනුභාවයෙන් විශාල පිහිටක් ලැබෙන බව දැඩි විශ්වාසයක් පවතී.

ලෝක සාමය පතා ඉදිවූ සාමසෑය අබියස පිහිටා ඇත්තේ ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ අංකුරයකි. එම බෝධීන් වහන්සේද දැන් හොඳින් වැඩී ඇති අයුරු දැකගත හැක. මෙහි ඉදිකර ඇති බොංජි බෞද්ධ මධ්‍යස්ථානය ද දුටුවන්ගේ සිත් ඇඳ බැඳ ගන්නා විහාර මන්දිරයක් ලෙස සැලකිය හැක. මෙම මධ්‍යස්ථානය නිසා මෙතෙක් ජපානයේ බෞද්ධ ජනතාව අතර පමණක් ප්‍රචලිතව පැවති බොංජි නම් වූ බෞද්ධ ශුද්ධ අක්ෂර කලාව පිළිබඳ අවබෝධයක් සහ එහි ආශිර්වාදය ලබා ගැනීමේ අවස්ථාව මෙරට බෞද්ධ ජනතාවටද උදාවී තිබේ.

ජපන් ජාතික දානපතියන්ගේ නොමසුරු ආධාර උපකාර ලබාගෙන එම බෞද්ධ මධ්‍යස්ථානය ආරම්භ කිරීමට පුරෝගාමීව කටයුතු කළේ එහි වත්මන් විහාරාධිපති ශාස්ත්‍රපති බෝතලේගම සංඝරතන ස්වාමීන්වහන්සේ විසිනි. උන්වහන්සේ ජපානයට වැඩම කර තෝකියෝ නුවර කොමශාවා බෞද්ධ විශ්වවිද්‍යාලයට ඇතුළත්ව ජපානයේ බුදුදහම පිළිබඳව පර්යේෂණයක නියැළුණු අතර, වසර හයක පමණ කාලයක් බොංජි නම් වූ මෙම සුවිශේෂි ශුද්ධ අක්ෂර කලාව පිළිබඳව හදාරා තිබේ. අනතුරුව උන්වහන්සේගේ බලවත් ඉල්ලීම මත ශ්‍රී ලංකාවේ බෞද්ධයන් අතරේද බොංජි අක්ෂර කලාව ඉගැන්වීමේ මධ්‍යස්ථානයක් ආරම්භ කිරීමට ජෝ එන් කුබෝතා ආචාර්යතුමිය එකඟ විය. ඒ අනුව මිහින්තලේ ඉදිකරනලද මෙම බොංජි බෞද්ධ මධ්‍යස්ථානය ජපානය හා ශ්‍රී ලංකාව අතර මිත්‍රත්වය ආරම්භ වී වසර 50 ක් සම්පූර්ණ වූ දින එනම්, 2002 සැප්තැම්බර් මස 15 වෙනිදින මෙම මධ්‍යස්ථානය විවෘත කිරීමට හැකිවිය. මෙය ඉදිකිරීම තුළින් කුබෝතා මැතිනියගේ අභිප්‍රාය වූයේ අක්ෂර කලාව හඳුන්වාදී ඒ තුළින් ඔවුන්ට සෙතක් ශාන්තියක් සලසාදීමය.

බොංජි ශ්‍රී ලංකා බෞද්ධ මධ්‍යස්ථානය

මිහින්තලා ප්‍රදේශය අවට පෙර පාසල් වියේ පසුවන දරු දැරියන්ගේ කුසලතා වර්ධනය කිරීමට ඉවහල්වන ‘හෙයිවා’ නමින් පූර්ව ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන දෙකක් මෙම බෞද්ධ මධ්‍යස්ථානය මගින් පවත්වාගෙන යනු ලැබේ. එය අවට වෙසෙන දෙමාපියන්ගේ සිඟිති දූ දරුවන්ගේ චරිත සංවර්ධනය සඳහා පිටුවහලක් වී ඇත.

බෝතලේගම සංඝරතන හිමි

තවද, ප්‍රදේශයේ වෙසෙන බොදු දරු දැරියන්ගේ දහම් දැනුම වැඩිදියුණු කොට ආධ්‍යාත්මික සංවර්ධනය ඇති කිරීම සඳහා ඉරුදින දහම් අධ්‍යාපන ආයතනයක්ද පවත්වාගෙන යනු ලැබේ. මෙම සාමපි‍්‍රය දහම් පාසල නමින් මිහින්තලේ රුවන්ගම දැනට පවත්වාගෙන යනු ලැබේ. මෙහි දැනට සියයකට අධික සිසුවියන් පිරිසක් දහම් අධ්‍යාපනයෙහි නිරතව සිටිති. ඔවුන් දහම් අධ්‍යාපනයෙහි වඩ වඩාත් උනන්දු කරවීම සඳහා වාර්ෂිකව නොමිලයේ නිල ඇඳුම් බෙදාදීම සහ ත්‍යාග ප්‍රදානෝත්සවයද සිදු කරනු ලැබේ. ඊට අමතරව සෑම දිනකම සියලුම දහම් පාසල් සිසුන් සඳහා දිවා ආහාර වේලක් ද නොමිලයේ පිරිනමනු ලැබේ. මෙම බොංජි බෞද්ධ මධ්‍යස්ථානය මගින් ඉගෙනීමට දක්ෂ එහෙත් ආර්ථික දුෂ්කරතා ඇති ලංකාවේ විවිධ පළාත්වලින් බෞද්ධ ළමුන් තෝරාගෙන ඔවුන්ට මුදලින් සහ පාසල් උපකරණ, පොත්පත් ආදිය බෙදාදීමේ විශේෂ වැඩපිළිවෙලක් වාර්ෂිකව සිදුකරනු ලැබේ. උසස් අධ්‍යාපනය ලැබීමට කැමති එහෙත් විවිධ දුෂ්කරතාවයන්ගෙන් පෙළෙන දුප්පත් සිසු දරු දැරියන්ට මෙය මහත් රුකුලකි.

පෞරාණික සිද්ධස්ථාන දැක බලා වැඳ පුදා ගැනීමට විශාල බැතිමතුන් පිරිසක් වසර පුරාම මිහින්තලා පුරවරය වෙත පැමිණේ. ඔවුන්ට නැවතීමට ප්‍රමාණවත් විශ්‍රාම ශාලා පහසුකම් නොතිබීම විශාල ගැටලුවක්ව පවතියි. එසේ පැමිණෙන බැතිමතුන්ට තරමක හෝ සහනයක් මෙම බෞද්ධ මධ්‍යස්ථානය මගින් පවත්වාගෙන යනු ලබන විශ්‍රාම ශාලාව නිසා සිදුවේ. එසේ පැමිණෙන බැතිමතුන්ට අවශ්‍ය ආරක්ෂාව සහිත කාමර හා ශාලා පහසුකම් වෙන් කරවාගත හැකිය. මෙම කාමර හා ශාලා සඳහා මිලක් නියමකොට නැති බව විශේෂයෙන් සඳහන් කළ යුතුව තිබේ. කැමැත්තෙන් දෙන මුදලක් භාර ගැනීම විශේෂත්වයකි. එම ආධාර මුදල් ජල විදුලිය බිල්පත් ගෙවීමට සහ ස්ථානයේ නඩත්තු කටයුතු සඳහා වෙන් කරනු ලබන අතර, ඉතිරිය ස්ථානය මඟින් පවත්වාගෙන යනු ලබන දරුවන්ගේ අධ්‍යාපනය හා සුබ සාධන කටයුතු සඳහා බැර කෙරේ.

වෙසක්, පොසොන් වැනි බෞද්ධ ආගමික විශේෂ පෝය දිනයන් අනුස්මරණය කිරීම සඳහා ආගමික වැඩසටහන් සංවිධානය කිරීම ද මෙම බෞද්ධ මධ්‍යස්ථානයෙන් සිදුවන තවත් සේවාවකි. ප්‍රදේශයේ වැඩිහිටියන් ඇතුළු දහම් පාසල් හා ළදරු පාසල් දූ දරුවන් සිල් සමාදන් කරවීම, ධර්ම දේශනා පැවැත්වීම, භාවනා, ධර්ම සාකච්ඡා ආදී වැඩසටහන් මඟින් බෞද්ධ සාරධර්ම ජීවිතයට හුරු පුරුදු කරවීමත් සිදු කරනු ලැබේ. ඊට සමගාමීව බොන්ජි අක්ෂර කලාව පිළිබඳ විශේෂ වැඩමුළු පවත්වා, ඒ පිළිබඳව ජනතාව දැනුවත් කිරීමටද කටයුතු සලසා ඇත. මෙවර පොසොන් පොහෝ දා මෙහි බත් දන්සැලක් පැවැත්වීමටද බෝතලේගම සංඝරතන හිමියන් කටයුතු සංවිධානය කොට තිබේ. ඒ සඳහා ජපානයේ මහා දානපතිනියක වන ජෝ එන් කුබෝතා මැතිනිය ඇතුළු එරට දානපතියන් විශාල පිරිසක් සහභාගි වීමට නියමිතය.

බොංජි ශ්‍රී ලංකා බෞද්ධ මධ්‍යස්ථානය ගොඩනැංවීම සඳහා දායකත්වය ලබාදුන් ජපන් දානපතින් බෝතලේගම සංඝරතන හිමියන් සමඟ


 

   පොසොන් පුර පසළොස්වක පෝය

  පොසොන් පුර පසළොස්වක පෝය ජුනි 19වන දා ඉරිදා අපරභාග 3.31ට ලබයි. 20වන දා සඳුදා අපරභාග 4.32 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජුනි 19වන දා ඉරිදාය.

මීළඟ පෝය ජුනි 27 වන දාය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජුනි 19

Second Quarterඅව අටවක

ජුනි 27

Full Moonඅමාවක

ජූලි 04

First Quarterපුර අටවක

ජූලි 11


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]