UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අනුබුදු මිහිඳු මාහිමි  මිහින්තලාවට වැඩිය දිනේ මිහින්තලාවේ මහ පින්කම්

අනුබුදු මිහිඳු මාහිමි  මිහින්තලාවට වැඩිය දිනේ මිහින්තලාවේ මහ පින්කම්

අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේගේ ඓතිහාසික ලංකාගමනය සිහිපත් කරන දිනය පොසොන් පොහොය දිනයයි. මිහිඳු මහ රහතන් වහන්සේ සිහියට නැගෙත්ම නිතැතින්ම මිහින්තලා පුදබිම සිහිපත් වේ. මෙරට බෞද්ධ ශිෂ්ටාචාරයේ මූලස්ථානය ලෙසද සැලකෙන මිහින්තලාව සදේවක ලෝකවාසීන්ගේ මහත් ගෞරව වන්දනාවට පාත්‍ර වූ පුණ්‍ය භූමියකි. කකුසඳ, කෝණාගමන, කාශ්‍යප, සහ ගෞතම යන සම්මා සම්බුදුරජාණන් වහන්සේලාගේ පාදස්පර්ෂයෙන් අතිපාරිශූද්ධත්වයට පත්වූ මිහින්තලාව අනුබුදු මිහිඳු මාහිමියන් ප්‍රධාන දහස් ගණන් මහ රහතන් වහන්සේලා වැඩ සිටි පින්බිමකි. දේවානම්පියතිස්ස මහ රජතුමාගේ පටන් රාජ රාජ මහාමාත්‍යාදීන් විසින් ඒ ඒ යුගයන්හිදී මිහින්තලා පුදබිමෙහි කරවන ලද වෙහෙර විහාර, ස්තූප ගල්ලෙන් පිරිවෙන්, දාන ශාලා, පොකුණු, රෝහල් ආදී පුරාවිද්‍යාත්මක ස්මාරක වස්තුන්ගෙන් සමන්විත මිහින්තලා පුරාවෘතය සිහිපත් කරන විට මහත් ගෞරවයක්, ශ්‍රද්ධාවක් හදවත් තුළ ජනිත වේ. පංචශීල ප්‍රතිපදාව, පැවිද්ද උපසම්පදාව , වස්විසීම ආදිය ආරම්භවූයේද මිහින්තලා පුද බිම කේන්ද්‍ර කරගෙනය.එබඳු ප්‍රෞඪ ඉතිහාසයකට හිමිකම් පවතින මිහින්තලා පුදබිම දෙස් විදෙස් සැදැහැවතුන්ගේත් වන්දනා කරුවන්ගේත් මහත් ගෞරවයට බඳුන්වන පින්කෙතකි.

පොසොන් යන නාමය සමඟ බැඳී පවතින නාමය මිහින්තලාවයි. ඒ නිසාම අනෙකුත් දිනවලට වඩා වෙසෙසින්ම පොසොන් සමයේ මිහින්තලා පුණ්‍ය භූමිය වැඳ පුදා ගැනීමට ලක්ෂ සංඛ්‍යාත පිරිසක් මිහින්තලයට පැමිණීම අතීතයේ සිට දක්නට ලැබෙන චාරිත්‍රයක් ව පවතී.

මිහින්තලා ලේක්හවුස් ආලෝක පූජාව මෙවර පවත්වනුයේ පනස් හතරවන වතාවටය. පසුගිය වසර දක්වා එය දින තුනක් පැවැත්වූ අතර පසුගිය වසරේ ආලෝක පූජා මහෝත්සවය දින පහක් පුරා ලේක්හවුස් ආයතනයේ මූලිකත්වයෙන් පැවැත්වීමට හැකිවිය. එහිදී මා කළ යෝජනාවකට අනුව ලේක්හවුස් ආයතනය ප්‍රධාන ඊට සම අනුග්‍රහය දක්වන ලංකා විදුලි බල මණ්ඩලය ඇතුළු අනෙකුත් දායකත්වය දරන ආයතන ඒකරාශීව මෙවර සතියක් පුරා ආලෝක පූජා උළෙල පැවැත්වීමට කටයුතු කළ සියලු දෙනා මෙහිදී කෘතවේදීව සිහිපත් කරමු. මිහින්තලා පුදබිමේ පෞරාණිකත්වය ආරක්ෂා කරමින් එහි නවෝදයට සහාය දැක්වූ සියලු රාජ්‍ය නායකයන් ප්‍රධාන මෙතෙක් පැවැති රජයන් වෙතද පින්දෙමි.

රටටත් ජනතාවටත් සෙත්පතා වාර්ෂිකව පවත්වන සති පිරිත් දේශනාවද පසුගියදා පවත්වන ලදී. මිහින්තලා මහා සෑය ප්‍රධාන විහාරාංගයන්හි සුදු සායම් ආලේප කිරීම ලේක්හවුස් ආයතනය පූර්ණ දායකත්වයෙන් සිදු විය. ඊට ශ්‍රමදායකත්වය සැපයූ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නිලධාරින්ටද පුණ්‍යානුමෝදනා කරමු. මහ සෑ මළුවේ ගල් අතුරා ආරක්ෂා කිරීමට ගත් පියවරද බෙහෙවින් අගය කළ යුතුය. විශාල අඩුපාඩුවක්ව පැවැති අභිනව ධර්මශාලාව ඉදිවෙමින් පවතින අතර අනාගතයේදී වන්දනාකරුවන්ටද එමගින් මහත් මෙහවරක් සැපයිය හැකිවේ. හෙළ රජ දවස මාස ගණන් පින්කම් කරමින් අනුබුදු හිමියන් අනුස්මරණය කළ අයුරු අපේ වංශකතාවන්හි සඳහන්වේ. මිහිඳු මහ රහතන් වහන්සේ පිදීමට දින නියමයක් නොමැති අතර ඒ නිසාම ලක්වැසි ජනතාව වසර පුරාම මිහින්තලාවට පැමිණ වැඳ පුදා ගන්නා අයුරු සිත් පහන්කරවයි. මෙවර ආලෝක පූජා මහෝත්සවය පැවැත්වෙන සතිය පුරා විසි ලක්ෂයක් පමණ වන්දනාකරුවන් මිහින්තලාවට පැමිණෙතැයි අපේක්ෂා කරමි.

අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේ වැඩම කළ මිහින්තලා රජ මහා විහාරයේ මෙම කටයුතුවලට දායකත්වය, සහාය දැක්වීම භාග්‍යයකි. මෙවන් ඵෙතිහාසික පුණ්‍ය භූමියක ආගමික කටයුතු සඳහා දායකත්වය ද දැරීමට හැකිවීමම සසර කරන ලද පුණ්‍ය චේතනා බල මහිමයක් ලෙස කල්පනා කළ යුතුවේ. මෙරට නන්දෙසින් පැමිණෙන ලක්ෂ සංඛ්‍යාත වූ වන්දනාකරුවන්ට බැතිමතුන්ට මෙම ඓතිහාසික පුණ්‍ය භූමිය නැරඹීමට යෝග්‍ය සමය පොසොන් සමය ලෙස බොහෝ දෙනා කල්පනා කරන හෙයින්ම මිහිඳු මහ රහතන් වහන්සේටද කරන මහා පූජෝපහාරයක් ලෙසද සිතා මිහින්තලා රජ මහා විහාරයේ වැඩ සිටින මිහිඳු මහ රහතන් වහන්සේගේ ධාතුන් වහන්සේ දැක බලා වැඳ පුදා ගැනීමටද අවස්ථාව සලසා ඇත. මෙවැනි සමයක මිහින්තලා පුදබිමේ වන්දනාවට පැමිණෙන බැතිමතුන් වන්දනාවට සුදුසු ඇඳුම් පැළඳුම් වලින් සැරසී පැමිණීමද අපේක්ෂා කරන අතර පරිසරයට හානිවන අපද්‍රව්‍ය රැගෙන ඒමෙන් හැකිතාක් වළකින ලෙසද කාරුණිකව ඉල්ලමි.

පසුගිය වසරේ මෙන්ම මෙම වසරේද මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා සහ රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා මිහින්තලා ලේක්හවුස් ආලෝක පූජාවට සහභාගිවීම ඓතිහාසික කරුණක් වනු ඇත. ලේක්හවුස් ආදි කර්තෘ ඩී.ආර්. විජයවර්ධන ශ්‍රීමතාණන්ගේ අදහස මල්ඵලගන්වමින් එතුමාගේ පුත්‍ර රත්නය වන රංජිත් විජයවර්ධන මහතාගේ මූලිකත්වයෙන් ඇරැඹුණු ආලෝක පූජාව මෙරට ආලෝක පූජා සංස්කෘතියේ ව්‍යාප්තියක ආරම්භයක් ලෙසද අගය කරමු. ලේක්හවුස් සභාපති කාවන් රත්නායක මහතා ප්‍රධාන ලේක්හවුස් ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලය මහත් ඕනෑකමකින් ශ්‍රද්ධාවෙන් සිදු කරන මේ කටයුතු ගැන බෙහෙවින් සතුට පළ කරමු. ලංකා විදුලි බල මණ්ඩලය සම අනුග්‍රහය දැක්වීමද පින්දෙමින් සිහිපත් කරමු.

ඩයලොග් ආසියාටා, අබාන්ස්, ලංකා බැංකුව, මැලිබන් ආයතනය

ආදී ආයතන රාශියක් මේ සඳහා දායකත්වය දරන අතර රාජ්‍ය හා පෞද්ගලික ආයතන මෙම කටයුතු සඳහා දක්වන සහාය බෙහෙවින් අගය කරමි. නීතිය සාමය හා දක්ෂිණ සංවර්ධන අමාත්‍ය අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා, අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා,අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා, පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා, ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා ඇතුළු රජයත් උතුරුමැද පළාතේ ප්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න බණ්ඩාර මහතා, ප්‍රධාන උතුරුමැද පළාත් සභාවත් මෙම කටයුතු කෙරෙහි දක්වන කැපවීම සහාය කෘතවේදීව සිහිපත් කරමු.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, සහ ත්‍රිවිධ හමුදාවේ සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව, ජලසම්පාදන මණ්ඩලය , ප්‍රාදේශීය සභාව ඇතුළු බොහෝ ආයතනවල සහාය කෘතවේදීව සිහිපත් කරමි.

අනුරාධපුර මහ දිසාපති ඩී.පී. කුමාරසිංහ මහතා, මිහින්තලේ ප්‍රාදේශීය ලේකම් රුවන් ඒකනායක මහතා, මිහින්තලේ පොලිස් ස්ථානාධිපති රුක්මල් රත්නායක මහතා ඇතුළු නම් සඳහන් කළ නොකළ බොහෝ දෙනා මේ සඳහා දක්වන සහාය කෘතවේදීව අගය කරන අතර ඒ සියලු දෙනාට පින් පුදමි.

සතර පෝයටම නිකුත්වන එකම බෞද්ධ පුවත්පත වන බුදුසරණ පුවත්පතට මිහින්තලය හා පවතිනුයේ මනා සබඳතාවයකි. එනම් මෙයට 51 වසරකට පෙර මිහින්තලා රාජ මහා විහාරාධීශ්වරව වැඩ විසූ වළවාහැංගුණවැවේ ශ්‍රී රතන ජෝති නාහිමියන් වෙත මිහින්තලා පුදබිමේදී බුදුසරණ මංගල කලාපය පිළිගැන්වීමද සිහිපත් කළ යුතු කරුණකි.


 

 

   පොසොන් පුර පසළොස්වක පෝය

  පොසොන් පුර පසළොස්වක පෝය ජුනි 19වන දා ඉරිදා අපරභාග 3.31ට ලබයි. 20වන දා සඳුදා අපරභාග 4.32 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජුනි 19වන දා ඉරිදාය.

මීළඟ පෝය ජුනි 27 වන දාය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජුනි 19

Second Quarterඅව අටවක

ජුනි 27

Full Moonඅමාවක

ජූලි 04

First Quarterපුර අටවක

ජූලි 11


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]