UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සතියක් පුරා මෙවර පැවැත්වෙන මිහින්තලා ලේක්හවුස් ආලෝක පූජාව

සතියක් පුරා මෙවර පැවැත්වෙන මිහින්තලා ලේක්හවුස් ආලෝක පූජාව

මිහින්තලා පුදබිමත් ඒ අවට සොඳුරු පරිසරයත් සුරැකෙනා ලෙසින් පනස් හතර වසරක් පුරා මිහින්තලා – ලේක්හවුස් ආලෝක පූජාව නිමිත්තෙන් සිදුකළ සහ දැනුදු පත්තර මහගෙදරින් වසරින් වසර සිදු කරන විවිධ සංවර්ධන කටයුතු පැසසිය යුතුය.

ක්‍රි. පූ 236දී පොසොන් සඳ පෙරඹරින් නැඟඑද්දී ලංකාගමනය කළ මිහිඳු මහ රහතන් වහන්සේ ඇතුළු ධර්ම දූත පිරිසගෙන් ලාංකේය අපට උරුම වූ අමිල සේවාවට පූජෝපහාරයක් බඳු වූ මිහින්තලා – ලේක්හවුස් ආලෝක පූජා පින්කමට ඇත්තේ නොමැකෙන ඉතිහාස කථාවකි. අද මෙන් විදුලි රැහැන් නොතිබුණු එදා යුගයේ කැකුණ පන්දම් ආලෝකයෙන් පව්ව තරණය කළ අතීත අපේ මුතුන් මිත්තන්ගේ බැතිබර හ දවත් ආලෝකවත් වූයේ පත්තර මහ ගෙදරින් ඇරැඹුණු පින්බර කර්තව්‍ය නිසාය.

අඳුරෙන් එළියට පැමිණ මෝහන්ධකාරය දුරු කිරීම ආලෝක පූජාවේ සැබෑ අරුත වන අතර එය දිවැස් ලැබෙන මහඟු පින්කමකි.

මේ උතුම් වූ පින්කමට දායක වෙමින් පහන් සිත් ඇති පත්තර මහගෙදර ආදි කර්‍තෘ ඩී.ආර් විජයවර්ධන ශ්‍රී මතාණන්ගේ උදාර වූ සංකල්පය ඵල දරමින් එවකට සභාපතිව සිටි රංජිත්. එස් විජයවර්ධන මහතාගේ සුරතින් ගල්පඩි 1840කට ඉහළින් පිහිටි පුදබිම ඒකාලෝක විය.

මෙසේ ඓතිහාසික සදානුස්මරණීය වූ මිහින්තලා – ලේක්හවුස් ආලෝක පූජාවේ මූලාරම්භය උදාවන්නේ 1963 වසරේදීය.

ආලෝක පූජාවේ අසිරිය සිරිලක පුරා පතල වෙද්දී පුදබිම වෙත ඇදෙනා වන්දනා කරුවන්ගේ පහසුවට පත්තර මහගෙදරින් ඇරැඹුණු සුවිශේෂී කර්තව්‍ය තවත් පුළුල් විය.

දැයේ දූ දරුවන්ගේ නැණ පහන දල්වමින් ආලෝක පූජාවේ අසිරියත් සමඟම 1965දී එළිදකින බුදුසරණ සදහම් පුවත්පතෙහි ප්‍රථම පිටපත මිහින්තලා රජමහා විහාරාධිපති වලවාහැංගුණුවැවේ රතනපාල රතනජෝති නා හිමියන්ට පිළිගැන්වීම සදානුස්මරණීය සිදුවීමකි.

එදා විදුලි ජෙනරෙටර් භාවිතයෙන් ඇරැඹුණු ලේක්හවුස් – මිහින්තලා ආලෝක පූජාවට සමගාමීව 1978 වසරේදී ලංකා විදුලි බල මණ්ඩලයේ සම අනුග්‍රහය ලැබුණු අතර ඒ සඳහා පුරෝගාමිත්වය දැරුවේ එවකට අගමැතිව සිටි ආර් . පේ‍්‍රමදාස මහතාය. එතුමා විසින් 1983දී මිහින්තලා ආලෝක අරමුදලට ප්‍රාග්ධනය ලෙස මුදලක් පරිත්‍යාග කර මිහින්තලා ආලෝක භාරය පිහිටවූ අතර ඒ සඳහා විහාරාධිපති නා හිමියන්ගෙන් ලැබුණු නොමඳ සහායද පැසසිය යුතුය.

1989 වසරේදී ප්‍රදේශයේ දහම් පාසල් හා පාසල් දරු දරියන් 125දෙනකුගේ සහභාගිත්වයෙන් සීල සමාදාන වැඩටසටහනක් අරඹා ඔවුන්ට අවශ්‍ය සිල් රෙදි ප්‍රදානය කිරීම සහ උදේ , දවල් දාන මාන සැපයීම ද සිදු කෙරිණි.

එදා සිට අද දක්වාම ආලෝක පූජාවට සමගාමීව පත්තර මහ ගෙදරින් දක්වන පින්බර දායකත්වය ඉමහත්ය.

උතුරු මැද පළාතේ පාසල් හා දහම් පාසල් දරු දැරියන් සඳහා කථික තරග පැවැත්වූ අතර තෙවනුව සමස්ත ලංකා රචනා තරග සංවිධානය , දිනමිණ හා බුදුසරණ පුවත්පත්වල දායකත්වයෙන් සහතික පත් පිරිනැමීම ද සිදු විය. මේ සඳහා දිගු කලක සිටම දායකත්වය සපයමින් ජාතික ඉතිරි කිරීමේ බැංකුව මඟින් මුදල් තිළිණ පත් පිරිනැමීමට ලබාදෙන නොමඳ සහාය පැසසිය යුතුය.

1990 වසරේදී මිහින්තලා කම්මලක්කුලම විද්‍යාලයට විද්‍යාගාරයක් පරිත්‍යාග කිරීමත්, එම ගම්මානය විදුලි පහන් ආලෝකයෙන් ඒකාලෝක කරවීමත් සිදු විය. 1992 මිහින්තලේ රෝහලට මාතෘ නිවාසයක් ද , 1993දී මිහින්තලා කනිටු විදුහලට දන්ත චිකිත්සාගාරයක් ලබාදීමද , 1994 කුරුන්දන්කුලම වඩු කාර්මික හා වෘත්තීය පුහුණු වැඩමුළුව ඇරැඹීම ද මිහින්තලා ආලෝක භාරයේ සේවාවන් අතර සුවිශේෂී කාර්යයන් විය. 1996 පොසොන් පහන් කූඩු ප්‍රදර්ශනයත් , කටුපොත ගම්මානයේ පෙර පාසලක් අරඹා එහි පාලනයට අවශ්‍ය විධි විධාන යෙදීම ඇතුළු මිහින්තලා ආලෝක පූජාවට සමගාමීව තවත් විවිධාංග රැසක් එක්වූයේ වසරින් වසරය.

පොසොන් දම් දෙසුම, මිහිඳු පිළිරුව ඇතුළු මැඳුර ප්‍රතිසංස්කරණය, මිහින්තලා මහා විද්‍යාලයට පරිගණක මධ්‍යස්ථානයක් ඇතිකර පරිගණක පරිත්‍යාග කර විදුලි පහසුකම් සැපයීමට මිහින්තලා ආලෝක භාරයට හැකිවිය.

චෛත්‍යය හුණු පිරියම් කිරීම, උඩමළුවේ දොළොස්මහේ පහනක් ඉදිකළ අතර ඒ සඳහා අලංකාර මැදුරක් ද ඉදි වුණි. පසුකාලීනව ලංකා විදුලිබල මණ්ඩලයතාවකාලික විදුලිබල පද්ධතිය නවීකරණයෙන් පසුව නව භූගත විදුලිබල පද්ධතියකින් පුදබිම ඒකාලෝක කරවීමට කටයුතු සැලසීය. 2012 වසරේදී මිහින්තලා පතිරාජ තෙන්නකෝන් ආදර්ශ ප්‍රාථමික විද්‍යාලයේ ළමා උද්‍යානය නවීකරණය කිරීමෙන් එම වසරේදීම මිහින්තලා රජමහා විහාරයේ ඓතිහාසික පොහොය ගෙය මැලිබන් ආයතනයේ අනුග්‍රහයෙන් සංරක්ෂණය කිරීම ද සිදුවිය.

මෙසේ විටින් විට මිහින්තලා පුදබිමත් ඒ අවට සොඳුරු පරිසරයත් සුරැකෙනා ලෙසින් පනස් හතර වසරක් පුරා මිහින්තලා – ලේක්හවුස් ආලෝක පූජාව නිමිත්තෙන් සිදුකළ සහ දැනුදු පත්තර මහගෙදරින් වසරින් වසර සිදු කරන විවිධ සංවර්ධන කටයුතු පැසසිය යුතුය.

ශ්‍රී ලංකා ප්‍රජාතන්ති‍්‍රක සමාජවාදී ජන රජයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ මූලිකත්වයෙන් පැවැත්වෙන ආලෝක පූජාවට මෙවරද දායකත්වය ලබාදෙන රාජ්‍ය හා පෞද්ගලික ආයතනයන්ගෙන් ලැබෙන පිටිවහල ඉමහත්ය.

සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ සභාපති හා කළමනාකාර අධ්‍යක්ෂ කාවන් රත්නායක මහතා ප්‍රධාන ආයතනයේ මෙහෙයුම් අධ්‍යක්ෂ ලක්ෂ්මන් හේවාපන්න,ලේක්හවුස් කර්‍තෘ මණ්ඩල අධ්‍යක්ෂ සමන් වගආරච්චි , නිීති හා පරිපාලන අධ්‍යක්ෂ සිරිමෙවන් ඩයස් , මුල්‍ය අධ්‍යක්ෂ ආචාර්ය එමරික් ප්‍රනාන්දු මහත්වරුන්ගේ සහායත් ආලෝක පූජාවට සම අනුග්‍රහය ලබාදෙන ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති ඩබ්ලිව්.ඩී. ඒ. එස් විජයපාල මහතා ඇතුළු එම අධ්‍යක්ෂ මණ්ඩලයේ සහායත් අබාන්ස් ආයතනයේ බැතිබර දායකත්වයත්, ඩයලොග් ආසියාටා සහ ලංකා බැංකුව සහ මහා භාරකාර දෙපාර්තමේන්තුවේ සහායද ස්වාධීන රූපවාහිනී සේවයේ මාධ්‍ය දායකත්වයද මෙම කර්තව්‍යයට මහඟු වූ ආලෝකයකි.

මෙලෙස පනස් හතර වසරක් සපුරන මිහින්තලා – ලේක්හවුස් ආලෝක පූජාවේත්, ලේක්හවුස් ආයතනයේත් අඩිතාලම එසවූ යෝධ පහන් ටැඹක් බඳු වූ දිවංගත ඩී.ආර්. විජවර්ධන ශ්‍රීමතාණන්ගේ ශ්‍රී නාමය ඉතිහාසයේ රන් අකුරින් තිර ලෙස ලියැවී තිබීම මිහින්තලා – ලේක්හවුස් ආලෝක පූජාවට මහත් වූ අභිමානයකි.


 

   පොසොන් පුර පසළොස්වක පෝය

  පොසොන් පුර පසළොස්වක පෝය ජුනි 19වන දා ඉරිදා අපරභාග 3.31ට ලබයි. 20වන දා සඳුදා අපරභාග 4.32 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජුනි 19වන දා ඉරිදාය.

මීළඟ පෝය ජුනි 27 වන දාය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජුනි 19

Second Quarterඅව අටවක

ජුනි 27

Full Moonඅමාවක

ජූලි 04

First Quarterපුර අටවක

ජූලි 11


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]