UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පූජාච පූජනීයානං

ගම්මද්දෙගොඩ පුඤ්ඤසාර හිමි

සම්බුද්ධ ශාසනයේ පැවැත්මටත්, ධර්ම ශාස්ත්‍රෝන්නතියටත් උසස් සේවාවක් සිදුකොට වදාළ තෙල්වත්තේ පුරාණ තොටගමු රජමහා විහාරයේ සම විහාරාධිපතිව වැඩ සිටි රාජකීය පණ්ඩිත, විනයාචාර්ය, ග්‍රන්ථ විශාරද ගම්මද්දේගොඩ සිරි පුඤ්ඤසාර මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ අපවත් වී මෙම ජූනි මස 28වැනි දිනට තෙමසක් සපිරේ.

ගාලු දිස්ත්‍රික්කයට අයත් ගම්මද්දෙගොඩ නම් පැරණි ග්‍රාමවරය ජාත භූමිය කොටගත් පුඤ්ඤසාර හිමියෝ එගම්හි හේවාවිතාරණ පරපුරෙහි ජනිතව ගමේ සිංහල පාසැලින් මූලික අධ්‍යාපන ලැබූ ඩේවිඩ් හේවාවිතාරණ කුමරුවන්, එවකට තෙල්වතු රජමහ විහාරාධිපතිව වැඩ විසූ ගම්මද්දෙගොඩ සිරි පියරතනාභිධාන නා හිමියන් වහන්සේගේ ආචාර්යත්වයෙන් පැවිදි බිමට පත්ව ගම්මද්දෙගොඩ පුඤ්ඤසාර යන ශාසනික නාමය ලැබීය.

වසර කීපයක් ස්වකීය ගුරුදේවයන් වහන්සේ ඇසුරෙන් ලබන ලද මූලික ශික්ෂණයෙන් පසුව, කඩුගන්නාව ශාස්ත්‍රාලංකාර පිරිවෙනට ඇතුළත්ව ප්‍රාථමික අධ්‍යාපනයත් ලැබීමෙන් අනතුරුව පිරිපුන් විසිවයස් ඇත්තේ 1946 ජූනි මාසයෙහි මල්වතු මහා විහාරීය මංගල උපෝෂිතාගාරයෙහි දී උපසම්පදාව ලබා ගත්තේ ය. උසස් අධ්‍යාපනය සඳහා කොළඹ මාලිගාකන්දේ විද්‍යෝදය මහ පිරිවෙනට ඇතුළත් වූ පුඤ්ඤසාර හිමියෝ එහි අවසානය තෙක් දක්ෂ ලෙස අධ්‍යාපනය ලැබූ අතර, රාජකීය පණ්ඩිත උපාධිය ද හිමිකර ගත්හ. එසේම පණ්ඩිත ගම්මද්දේගොඩ පුඤ්ඤසාර හිමියෝ බහුශ්‍රැත පඬිවරයෙක් වූහ.

එවකට ගාල්ලේ විද්‍යාලෝක පරිවෙණාධිපතිව වැඩ සිටි වැලිවිටියේ සිරිපුඤ්ඤසාරාභිධාන දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක මාහිමිපාණන් වහන්සේගේ විශේෂ ආරාධනය අනුව විද්‍යාලෝක විශ්වවිද්‍යාලය පිරිවෙනේ ආචාර්යවරයකු ලෙස අධ්‍යාපන සේවය ආරම්භ කළ පුඤ්ඤසාර හිමියෝ වසර තුනක පමණ කාලයක් පිරිවෙන් අධ්‍යාපනයේ උන්නතිය සඳහා ක්‍රියා කළ අතර, වැලිවිටියේ පුඤ්ඤසාර නා හිමියන්ගේ හදිසි අපවත්විමෙන් හිස් වූ පරිවේණාධිපති පදවියට ද ගම්මද්දේගොඩ පුඤ්ඤසාර හිමියෝ පත් වූහ.

1959 යේ සිට උපාධිධාරී ගුරුවරයකු ලෙස රජයේ සේවයට පත් වූ පණ්ඩිත පුඤ්ඤසාර හිමි ගා/ හික්කඩුව ශ්‍රී සුමංගල මධ්‍ය මහා විද්‍යාලයේ ධර්මාචාර්යවරයකු ලෙස සේවයට බැඳී දිවයිනේ ප්‍රකට විද්‍යාලය කීපයක ආචාර්යවරයෙකු ලෙස දහස් ගණනක් සිසුන්ට ධර්මශාස්ත්‍රය ඉගැන්වීමේ උසස් කාර්යය ඉමහත් කැපවීමකින් ඉටු කළහ. ප්‍රවීණ ලේඛකයකු හැටියට උන්වහන්සේ විසින් සම්පාදිත ග්‍රන්ථ කීපයකි.

ෂඩ් භාෂා පරමේශ්වර තොටගමුවේ සිරි රහල් මාහිමියන්ගේ ජීවිතය පිළිබඳ අප්‍රකට තොරතුරු අනාවරණය කරන ‘සිරි රහල් මාහිමි’ නම් ග්‍රන්ථය රහල් හිමියන් පිළිබඳව ලියා ඇති හොඳම හොඳ චරිත කතාවයි.

උන්වහන්සේගේ අපවත්වීමෙන් තෙමසක් සපිරෙන මෙම ජූනි මස 28 දින ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය පණ්ඩිත රෑකඩහේනේ ඉන්දසාර ස්වාමින්ද්‍රයන් වහන්සේ ප්‍රධාන ශිෂ්‍ය පිරිස සහ කුඩා රාජකන්ද විහාරස්ථ දායක සභාව ශතාධික මහා දානමය පින්කමක් සිදුකර පුණ්‍යානුමෝදනා කිරීම සිදුකරනු ලැබේ.


පැපිළියානේ සුමිත්ත නා හිමි

ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ ශ්‍රී සුමංගල කාරක සංඝ සභාවෙහි විංශත් වර්ගික මහානායක ස්වාමින්ද්‍රයන් වහන්සේ ප්‍රමුඛ සභා සම්මුතියෙන් සම්මාන නායක පදවි ප්‍රාප්තියක් 2016.04.23 දින පානදුර වැලිපිටිය අභය කරුණාරත්න මුඳලින්දාරාමයේදී පැවැත්වුණි. එහිදී සම්මාන නායක ධුරයෙන් පිදුම් ලැබූ මහා වහන්සේලා අතර කාරක සභිකයන් වහන්සේ නමක් ලෙස නිකායේ අභිවෘද්ධිය වෙනුවෙන් කැපව ක්‍රියා කරන පැපිළියානේ සුමිත්ත මහා ස්වාමීන් වහන්සේද සම්භාවනාවට පත් වූහ. එහිදී ‘සිරි ගුණරතන වංසාවතංස ශ්‍රී චූළාලංකාර ධර්ම ශාස්ත්‍රී ශ්‍රී දර්ශන විද්‍යා විශාරද සද්ධර්ම වාගීශ්වර යන නාම සම්මුතිය සහිත සම්මාන නායක ධුරය උන්වහන්සේ වෙත පිරිනමනු ලැබීය.

සුමිත්ත හිමිපාණන් වහන්සේ 1973 ඔක්තෝබර් මස 11 දා කොළඹ ආසන්න පැපිළියාන ගම්පියසේදී උපත ලැබීය. උන්වහන්සේගේ පියාණන් වූයේ මහරගම ලංගම ඩිපෝවේ නිලධාරියෙකු ලෙස සේවය කළ එස්. ඩේවිඩ්සිංහ මහතා ය. ශ්‍රද්ධාවන්ත පින්වත් කාන්තාවක වූ එච්. කේ. කුසුමාවතී මහත්මිය මෑණියන් වූවාය.

පැපිළියාන සිරි පැරකුම් විද්‍යාලයෙන් තෙවෙනි ශ්‍රේණිය දක්වා අධ්‍යාපනය අවසන් කළ උන්වහන්සේ 1983 මැයි මස 26 දා වෙසක් පුන් පෝ දින පැවිදි විය. උගත මනා බණ දහම් ස්වකීය ආචාර්යවරයා වූ අපවත් වී වදාළ රාජකීය පණ්ඩිත කැබිළියපොල චූළාලංකාර අධිකරණ නාහිමිපාණන් වෙතින් ශික්ෂණය කළේය. මොරටුව මොරටුමුල්ල ශ්‍රී ධර්මරාජ පිරිවෙනින් වර්ග පටිපාටියෙන් ඉතා දක්ෂ ලෙස ඉගෙනීමෙන් මූලික පිරිවෙන් අධ්‍යාපනය අවසන් කරනු ලැබීය.

නුගේගොඩ ශ්‍රී සුභද්‍රාරාම විද්‍යායතනයෙන් අ.පො. ස. උසස් පෙළ සඳහා අධ්‍යයන කටයුතු නිම කළ උන්වහන්සේ පේරාදෙණිය විශ්වවිද්‍යාලය සඳහා තෝරා ගැනුණි. සිව්වසරක සරසවි අධ්‍යාපනය හමාර කළ උන්වහන්සේ ආර්ථික විද්‍යාව පිළිබඳ ගෞරව උපාධිධරයෙකි. 1996 දී ප්‍රාචීන පණ්ඩිත අවසාන විභාගය සංස්කෘත විෂයයෙන් මුළු දිවයිනෙන් ප්‍රමුඛයාව ලකුණු ලබා ත්‍යාග සහිතව සමත් වූහ. උන්වහන්සේ බෞද්ධ අධ්‍යයනය විෂය සඳහා ශාස්ත්‍රපති උපාධිය හිමි කර ගනු ලැබූයේ විශිෂ්ට සමාර්ථයක්ද සහිතවය. 2000 දී ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාලාභියෙකු ලෙස රජයේ ගුරු සේවයට එකතු විය. මධ්‍යම පළාතේ හැටන් අධ්‍යාපන කලාපයට අයත් ගිනිගත්හේන ගෝනාවල විද්‍යාලයෙහි වසර පහක් විශිෂ්ට සේවාවක නිරත වූයේය. අනතුරුව මොරටුව පුවක් අරඹ මෙතෝදිස්ත උසස් විද්‍යාලයෙහි වසර නවයක උදාර සේවා කාලයක් නිම කළේය. වසර දහහතරක පාසල් අධ්‍යාපනයට දායක වූ උන්වහන්සේ උපගුරුවරයෙකු පමණක් නොව සියලු වගකීම් දරමින් ක්‍රිය කළ අතරම නියෝජ්‍ය විදුහල්පතිවරයෙකු ලෙසද අභිමානවත් සේවාවක නිරතව ඇත.

2006 දී ශී‍්‍ර සුමංගල කාරක සංඝ සභාවේ කාරක සභික ධුරයට පත්වී වසර දහයක් ඉක්මෙත්ම ලැබු මෙම ගරු සම්භාවනාව සුදුසු කලෙක සුදුස්සෙකු වෙත ගරුබුහුමන් පිදීමක් ලෙස සැලකිය හැකිය. වර්තමානයේ ශ්‍රී ලංකාවේ ගුරු අධ්‍යාපනඥයෙකු ලෙස බළපිටිය ගුරු විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙකු ලෙසද නියෝජ්‍ය ගුරු විදුහල්පති ලෙසද විශිෂ්ට සේවාවක නිරත වේ.


හැඩිගල්ලේ සිරි විපුලසිරි නා හිමි

මීට දශක දෙකකට ඉහත දී අපවත් වී වදාළ විද්‍යා විශාරද ශ්‍රී සංඝබෝධි කළුතර පළාතේ සංඝනායක හැඩිගල්ලේ ශ්‍රී විපුලසිරි මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ශ්‍රී නාමයට ගෞරවෝපහාර උත්සවයක් පැවැත්වීමට සමගාමීව සද්ධර්ම වාගීශ්වර ශ්‍රී අත්ථදස්සී කළුතර දිසාවේ වත්මන් ප්‍රධාන සංඝනායක ශාස්ත්‍රපති මාරපන විජිත මහා ස්වාමීන් වහන්සේ විසින් හැඩිගල්ල රජයේ කනිටු විදුහල හැඩිගල්ලේ ශ්‍රී විපුලසිරි විදුහල නමින් නම් කිරීම නිමිති කොට ඉකුත් දිනෙක මහා සංඝරත්නයේ හා ගිහි ප්‍රභූන්ගේ සහභාගිත්වයෙන් විශේෂ ගුණ සමරු උත්සවයක් පැවැත්විණි.

අපවත් වී වදාළ හැඩිගල්ලේ ශ්‍රී විපුලසිරි මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ ස්වකීය නිජබිමට අඩුපාඩුවක්ව පැවති පාසලක් හා පන්සලක් ආරම්භ කිරීම තුළින් එදා සිය ජන්ම භූමියට ඉටු කළාවූ සේවය සදානුස්මරණීය වේ.

කළුතර දිස්ති‍්‍රක්කයේ නැගෙනහිර පස්යොදුන් කෝරළයේ රමණීය ග්‍රාමවරයක් වූ හැඩිගල්ලේ විසු ගම්පති ඩී.ජී. සමරසිංහ රාළහාමි මහ ජයසිංහ සිරිවර්ධන පුංචිහාමිනේ මැතිණිය මවු පිය දෙපොළ කොට උන්වහන්සේ 1904 අගෝස්තු මස 03 වන බුද දින උපත ලැබූහ. ගිහි නාමය එච්.ඊබට් සමරසිංහ විය. 1917 අගෝස්තු මස 03 වන දින දකුණු කළුතර සිරිනිවාසාරාමාධිපතිව වැඩ විසූ ඉඳුරුවේ ශ්‍රී අත්ථදස්සි මේධංකර මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ආචාර්යත්වයෙන් පැවිදි දිවියට පත්වූහ.

අතලේ රජයේ මිශ්‍ර පාඨශාලාවෙන් මූලික අධ්‍යාපනය ලැබූ සිරි විපුලසිරි නාහිමි, කොළඹ මාළිගාකන්දේ විද්‍යෝදය මහා පිරිවෙනින් උසස් අධ්‍යාපනය ලැබූහ. ත්‍රිපිටක වාගීශ්වරාචාර්ය, මහෝපාධ්‍යාය මහගොඩ ශ්‍රී ඤානේස්වර නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ , හා දර්ශන විශාරද පරවාහැර ශ්‍රී වජිරඥාන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ මූලික ගුරු පඬිවරු වූහ. පහමුණේ ශ්‍රී සුමංගල මහානායක ස්වාමීන්ද්‍රයෝ උපාධ්‍යායන් වහන්සේ කොට 1925 මැයි මස 20 දා විපුලසිරි නාහිමි මහනුවර මල්වතු ඓතිහාසික උපෝසථාගාරයේදී උපසම්පදාව ලැබූහ. කීර්තිමත් දේශපාලනඥයකු මෙන්ම නිදහස් අධ්‍යාපනයේ පියා ලෙස විරුදාවලී ලත් ආචාර්ය සී.ඩබ්.ඩබ්. කන්නන්ගර මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් එදා උන්වහන්සේ ආරම්භ කළ පාසල 1945 දී රජයට පවරා දෙන ලදී. එසේම උන්වහන්සේ ආරම්භ කළ ශ්‍රී විපුලසිරි විහාරය, දකුණුූ කළුතර පරණ පාරේ සිරිනිවාසාරාම විහාරස්ථ අත්ථදස්සි විද්‍යායතනය, සිරි අත්ථදස්සී දහම්පාසල වර්තමානයේද දීප්තිමත්ව බැබැළෙන්නේ ඉන් දේශයට පමණක් නොව විදේශයටද අවැසි උගතුන් විද්වතුන් හා යතිවරයන් වහන්සේලා බිහිකිරීමෙහි ලා පුරෝගාමී වූ නිසාවෙනි. උන්වහන්සේගේ සිසු පරපුරෙහි ජ්‍යෙෂ්ඨතමයෝ වූ ස්‍යාමෝපාලි වංශික මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ කළුතර දිසාවේ ප්‍රධාන සංඝනායක සද්ධර්ම වාගීස්වර ශ්‍රී අත්ථදස්සි ශාස්ත්‍රපති මාරපන විජිත නාහිමි. ශාස්ත්‍රාචාර්ය ගැටඅරළුවේ විපුලධම්ම ස්වාමීන්ද්‍රයන් වහන්සේ වැනි උත්තමයෝ ජාතියට හිමිවීමද ජාතික සම්පතකි. ඊට අමතරව රටට දායාද කළ ගිිහි විද්වත්හුද බොහෝය.

මහා භාරත ප්‍රධාන සංඝනායක හැඩිගල්ලේ පඤ්ඤාතිස්ස මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ජ්‍යෙෂ්ඨතම ඥාති සහෝදරයකු වූ උන්වහන්සේ ධර්ම දේශනා කිරීමෙහි, පිරිත් සජ්ඣායනා කිරීමෙහි සුවිශේෂී බවක් ප්‍රකට කළ මහ තෙර නමකි. එකල උන්වහන්සේ රාජ්‍ය නායකයින් මැති ඇමතිවරුන් මෙන්ම බෞද්ධා බෞද්ධ ප්‍රභූන්ද ඇසුරු කළහ. උන්වහන්සේ විසින් ඉටුකරනු ලැබූ අධ්‍යාපනික, සාසනික, ජාතික හා සාමාජික මෙහෙවර සලකා 1961 දී “විද්‍යා විශාරද ශ්‍රී සංඝබෝධි “යන ගෞරව නාමය සහිතව කළුතර පළාතේ මල්වතු විහාර පාර්ශ්වයේ සංඝනායක පදවියටද පත්කරනු ලැබූහ.

 

  පොසොන් පුර අටවක පෝය

 පොසොන් පුර අටවක පෝය ජූනි මස 12 වන ඉරිදා පූර්ව භාග 00.48 ට ලබයි. 13 වන දා සඳුදා පූර්වභාග 02.39 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජූනි මස 12 වනදාය.

මීළඟ පෝය ජූනි 19 වන දා ඉරිදාය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජුනි 12

Full Moonපසෙලාස්වක

ජුනි 19

Second Quarterඅව අටවක

ජුනි 27

Full Moonඅමාවක

ජූලි 04


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]