UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

චරිතාපදානය-15: මාදුළුවාවේසෝභිත හාමුදුරුවෝ

මාදුළුවාවේසෝභිත හාමුදුරුවෝ

චරිතාපදානය - අවසන් කොටස


කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී
ධර්ම මහා සංඝ සභාවේ මහා නායක
ආචාර්ය ඉත්තෑපාන ධම්මාලංකාර මහ නා හිමි

මෙරට මෑත ශාසන ඉතිහාසයේ සුපේෂල ශික්ෂාකාමී හිමිනමක් වූ මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ චරිතාපදානය බුදුසරණ පුවත්පතට සම්පාදනය කිරීම සඳහා තොරතුරු සැපයීමට මඟ පෙන්වූයේ කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහා නායක ආචාර්ය ඉත්තෑපාන ධම්මාලංකාර මහ නාහිමියන්ය.

මාදුළුවාවේ සෝභිත හිමි යන නාමය ලොව පුරාම ජනතාව තුළ ස්ථාපිත වූ බව සනාථවන කරුණක්යැයි මෙතෙක් පළ කළ ලිපි මාලාව මඟින් පසක් වන්නට ඇත. උන් වහන්සේ ජාතික සටන්වලදී මෙන්ම රට ජාතිය ආගම බේරා ගැනීම පිණිස නොබියව ඉදිරියට ගමන් කළ බව අපි පසක් කළෙමු. තම ජීවිතය ගැන පවා නොතකා උන් වහන්සේ මේ ජාතික ව්‍යාපාරයන්වලට නායකත්වය ලබා දුන්හ.

කිසිදු දේශපාලඥයකු ළග උන් වහන්සේ වැඳ වැටුණේ නැත. ඉල්ලීම් ඉටු කර ගන්නට ගියේ නැත. කළ යුතු දේ පැහැදිලිවම පෙන්වා දීමට උන්වහන්සේ කිසිවිටක නොපසුබට වූහ. එහිදී ජනාධිපතිවරයා අගමැතිවරයා හෝ වෙනත් ප්‍රභූවරයෙක්ද යන්න උන්වහන්සේට වැදගත් නොවීය. අවශ්‍ය වූයේ කළ යුත්ත කුමක්ද යන්න පමණි.

උන් වහන්සේගේ කාලයේ රටේ බලයට පත් වූ සෑම රාජ්‍ය නායකයෙක්ම නාග විහාරයට ගොස් උන්වහන්සේ බැහැ දැකීමට අමතක නොකළ බවද අපි දනිමු.

ඒ ආකාරයෙන් ජනතාවටත් රටටත් මහා යතිවරයාණන් වහන්සේ නමක් වූ උන් වහන්සේ ගේ අපවත්වීම ලක්වාසීන්ට පමණක් නොව ලෝකවාසී බොහෝ දෙනාට දැඩි සංවේගය උපදවන්නක් විය.

බුදුසරණ පුවත්පතින් පාඨක ඔබ වෙත ගෙන ආ මාදුළුවාවේ සෝභිත හිමිපාණන්ගේ චරිතාපදානයේ අවසන් කොටසයි මේ.

මේ චරිතාපදානය බුදුසරණ පාඨකයන්ට ගෙන එනු ලැබුවේ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ග්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහා නායක ආචාර්ය ඉත්තෑපාන ධම්මාලංකාර මහා නාහිමිපාණන් වහන්සේ විසිනි.

යුගයේ විශිෂ්ට ධර්ම දේශකයාණන් වහන්සේ නමක් වු සෝභිත හිමියන් බොහෝ ඇසූ පිරූ තැන් ඇති භික්ෂූන් වහන්සේ නමක් වූහ. එම නිසා උන් වහන්සේට ධර්ම දේශනා පමණක් නොව බොහෝ දේ ලියන්නට හැකියාවක් තිබුණි. එහෙත් ලේඛකයෙක් වශයෙන් උන් වහන්සේ එම කටයුතු සිදු කරන්නට ඉදිරිපත් නොවුණේ සෑම දෙයක්ම කරන්නට තරම් උන් වහන්සේට වේලාවක් නොතිබුණු නිසා වන්නට ඇත.

උන් වහන්සේ ලේඛකයකු පමණක් නොව ගීත ප්‍රබන්ධයට මෙන්ම අනෙකුත් සියලු කටයුතු සඳහා ප්‍රතිභාවක් තිබුණි. උන් වහන්සේගේ එම නිර්මාණ ශක්තිය වැඩි දියුණු කර ගන්නට උන් වහන්සේ කටයුතු කළා නම් එය ද ජනතාවට මහඟු සේවාවක් වනු නියතය.

සෝභිත හිමියන් ගැන වර්තමාන පරපුර දන්නේ මෑතක සිට දේශපාලන කරළියේ කතා කළ භික්ෂූන් වහන්සේ නමක් ලෙසින් පමණක් බව බොහෝ දුරට පෙනෙන්නට ඇත.

එහෙත් උන් වහන්සේ සරසවි අධ්‍යාපනය ලබන අවදියේ පටන් ජාති මාමක දේශ මාමක වශයෙන් දැක්වූ දායකත්වය උන්වහන්සේගේ සමකාලීන ගිහි පැවිදි කවුරුත් දනිති.

උන් වහන්සේ කිසිදු කලබලයකින් තොරව තම කටයුතු කරගෙන ගියද කලබල විය යුතු අවස්ථාවේදී අවශ්‍ය පමණටත් වඩා කලබල වූ බවද පෙනේ.

කිසිඳු විටක පෞද්ගලික ලාභ ප්‍රයෝජන නොතකමින් රට දැය රැකුමට පමණක් තම දායකත්වය ලබා දුන් උන් වහන්සේ දේශපාලනඥයන් ළග ඉල්ලීම් නොකිරීමේ ප්‍රතිපත්තිය අපවත්වන තුරාවටම රැක ගැන්මට සමත් වූහ.

උන් වහන්සේ බලාපොරොත්තු වූ සාධාරණ සමාජයක් කරා යාමට නොහැකි වීම ගැන උන් වහන්සේ දැඩි සේ සංවේගයටද පත් වූහ. උන් වහන්සේගේ රෝගී තත්ත්වය පසු ගිය වසරේ අග භාගයේදී උත්සන්න වුවද දෛනික කටයුතුවලින් මිදී සිටීමට උන් වහන්සේ අකැමැති වූහ. වෛද්‍ය උපදෙස් පවා උන් වහන්සේ පිළි නොගෙන අනන්‍යන් උදෙසා කටයුතු කළහ. දායකයන් පවා උන් වහන්සේ වළකන්නට උත්සාහ කළත් ගතේ සිතේ හයිය තිබෙන තුරු අනෙක් අයගේ යහපත තකා උන් වහන්සේ හැම විටම කටයුතු කළහ. බාර ගත් ධර්ම දේශනා පිණිස වැඩම කිරීම කොතරම් අපහසුකම් තිබුණත් උන් වහන්සේ අත් හැරියේ නැත. වෛද්‍ය උපදෙස් පිළි පදින්නට වූයේ උන්වහන්සේ දැඩිව ගිලන් වූ අවස්ථාවේදීය.

රෝගී තත්ත්වය නරක අතට හැරුණු නිසා උන් වහන්සේ සිංගප්පූරුවේ රෝහලක් වෙත මැඩමවන ලදී. නාග විහාරයේ පමණක් නොව උන් වහන්සේ ගැන දන්නා සෑම අයෙක්ම උන් වහන්සේට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමින් බෝධි පූජා පැවැත්වූහ. අනෙකුත් පින්කම්ද කළහ. දායකයන් උපරිම උත්සාහයක් ගත්තේ සෝභිත හිමියන් විහාරස්ථානයේ කඨින පින්කමට කෙසේ හෝ සම්බන්ධ කර ගැනීමටය.

එහෙත් ලෝක ධර්මතාවය අනුව මෙන්ම අනිත්‍ය ඒ ලෙසින්ම පසක් කරමින් මාදුළුවාවේ සෝභිත නම් යුගයේ යතිවරයාණන් වහන්සේ 2015 වසරේ නොවැම්බර් මස 08 වැනිදා අලුයම සිංගප්පූරුවේ රෝහලක දී අපවත් වී වදාළහ.

පසු දින සියලු පුවත්වත්වල සිරස්තල පළ වි තිබුණේ සෝභිත හිමියන්ගේ අපවත්වීම ගැනය. ඒ විශාල ඡායාරූපයක්ද සමඟිනි. උන් වහන්සේගේ චරිතාපදාන සියලුම මාධ්‍ය මඟින් එම සතියේම විකාශය කෙරිණි. සමාජ මාධ්‍ය හරහාද නිරතුරුවම උන් වහන්සේගේ ගුණ වර්ණනා කෙරිණි.

සෝභිත හිමියන්ගේ අවසන් ඉල්ලීමේ තිබුණේ ඉතා ඉක්මනින් දේහය පිළිබඳව අවසන් කටයුතු නිම කරන ලෙසයි.

උන් වහන්සේගේ ආදාහන කටයුතු සිදු කෙරුණේ නොවැම්බර් මස 12 වැනිදාය. රටේ ජනතාව විසින් උන්වහන්සේට අවසන් ගෞරව ලබා දීමට අවස්ථාව ලබා දීමට දායක සභාවට මෙන්ම රජයටද සිදු විය. අදාහන කටයුතු සිදු කෙරුණු දින කෝට්ටේ නාග විහාරයේ සිට පාර්ලිමේන්තු ක්‍රීඩාංගණය දක්වා එක පොදියට පැමිණි ජන ගංගාවකි. ඒ අතරට එම ප්‍රදේශයේ කතෝලික පූජකවරුන්ද සහභාගි වූහ. සෝභිත හිමියන්ගේ ආදාහන පෙරහරට සහභාගි වන බවද උන් වහන්සේ කල් ඇතිවම ප්‍රකාශ කර සිටියහ.

ආදාහන පෙරහරට පැමිණි පිරිසට සංග්‍රහ කිරීමට මුස්ලිම් ජාතික පිරිස් පෙරමුණ ගෙන තිබිණි. සෝභිත හිමියන් ජාති ආගම් භේද නොසලකා ක්‍රියා කරන ලද යතිවරයාණන් වහන්සේ නමක් බව පසක් කර ගැනීමට එයම ප්‍රමාණවත්ය.

සෝභිත හිමියන්ගේ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේ ලෙසින් උඩුගල කන්දේ අරියරතන හිමි, කැලණියේ සෝරත හිමි, වත්තල දමිත හිමි, පරගම්මන සුනීත හිමි යන හිමිවරුන් ශාසනයේ ඉදිරි ගමන් මඟට යොමු වී සිටිති.

අනෙක් අයගේ යහපත උදෙසා පමණක් කටයුතු කිරීම සෝභිත හිමිපාණන් වහන්සේගේ එකම අපේක්ෂාව විය.

අපි උන් වහන්සේට නිවන් සුවයම ප්‍රාර්ථනා කරමු.


පසුගිය සතියෙන් - මාදුළුවාවේ සෝභිත හාමුදුරුවෝ - චරිතාපදානය -14

 

  පොසොන් පුර අටවක පෝය

 පොසොන් පුර අටවක පෝය ජූනි මස 12 වන ඉරිදා පූර්ව භාග 00.48 ට ලබයි. 13 වන දා සඳුදා පූර්වභාග 02.39 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජූනි මස 12 වනදාය.

මීළඟ පෝය ජූනි 19 වන දා ඉරිදාය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජුනි 12

Full Moonපසෙලාස්වක

ජුනි 19

Second Quarterඅව අටවක

ජුනි 27

Full Moonඅමාවක

ජූලි 04


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]