UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ධාර්මික ධනෝපායනය හා ධනය විනාශ වන අයුරු


ධාර්මික ධනෝපායනය හා ධනය විනාශ වන අයුරු

අප තිලෝගුරු අමා මෑණි බුදුපියාණන් වහන්සේගේ තෙමඟුල සිහි කරන ඒ අසිරිමත් මොහොතයි මේ. අප සියලු දෙනාටම පෙර කරන ලද මහා පුණ්‍ය කර්මයක බල මහිමය නිසා මේ උතුම් මොහොතේ මිනිස් ලොව ඉපදී ඒ ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කර ඒ ධර්මයට අනුව අපගේ ජීවිත හැඩ ගස්වා ගැනීමට අවස්ථාව උදාවෙලා තිබෙනවා. ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ලෞකික හා ලෝකෝත්තර යන උභය දියුණුව සලසා ගන්නා හැටි අපට දේශනා කළා.

අද දවසේ ඔබට කියා දීමට බලාපොරොත්තු වෙන්නේ අපගේ මෙලොව ජීවිතය සාර්ථක කර ගැනීමට වෙසෙසින්ම උපකාර වන ධාර්මික ධනෝපායනය පිළිබඳව සමහරු කල්පනා කරනව බුදුරජාණන් වහන්සේගේ ධර්මය තිබෙන්නේ ලෝකෝත්තර ඉලක්කයක් කරා යන්න විතරයි කියල. ඒ නිසා මුදල් ඉපයීම වැනි දේවල් අවශ්‍ය නෑ කියල හිතනව. නමුත් අප බුදුරජාණන් වහන්සේ ඉතා පැහැදිලිව දේශනා කළා පුද්ගලයා ධාර්මිකව මුදල් හරි හම්බ කර ගත යුතුයි කියලා. උන්වහන්සේ විසින් සිදු කරන ලද දහ අට දහසකට අධික සූත්‍රදේශනා පිරික්සන විට දීඝනිකායේ චක්කවත්ති සීහනාද සූත්‍රය, කූටදන්ත සූත්‍රය. සිඟාලක සූත්‍රය, අංගුත්තර නිකායේ පස්වන කොටසේ තිබෙන ව්‍යග්ගපජ්ජ සූත්‍රය ආදි සූත්‍ර දේශනා වලදී ධාර්මිකව ධනය උත්පාදනය කරන ආකාරයත් ඒවා විනාශ භාවයට පත්වන ආකාරයත් ඉතා මැනවින් විස්තර වෙනවා.

උන්වහන්සේ නිරන්තරයෙන් දක්වන්නේ දහඩිය මහන්සියෙන් බාහු බලයෙන් ධාර්මිකව මුදල් උත්පාදනය කර ගත යුතු බව. (සේදාවක්ඛිත්තා බාහා බල පරිචිතා ධම්මිකා ධම්මලද්ධා භෝගා) විශේෂයෙන්ම අධාර්මික ක්‍රම වන මස් මාංශ වෙළෙඳාම, සත්ව වෙළෙඳාම, විෂ වෙළෙඳාම ,අවි ආයුධ වෙළෙඳාම, මත් ද්‍රව්‍ය වෙළෙඳාම ආදී වූ අධාර්මික ක්‍රමයන් සම්පූර්ණයෙන් බැහැර කොට ධනය ඉපයිය යුතු බව උන්වහන්සේ දේශනා කළා. සිඟාලෝවාද සූත්‍රයේදී ධනය ඉපයීමේදී දැන් ඉතා ශීතයි. ඉතා උෂ්ණයි. ඉතා සවස් යැයි කියා ධනය ඉපයීම අත් නොහළ යුතු බව තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නෙ.

ඒ වගේම තුලා කූට ,මාන කූට ,තංස කූට ආදි තරාදිවලින් කරන වැරැදි මැනීම් විවිධ වැරැදි කිරුම් භාවිත කිරීම් ආදිය තුළින් වගේම අල්ලස් ගැනීම් ආදි අසාධාරණ අයුක්ති සහගත ක්‍රම වලින් ධනය ඉපයීම නොකළ යුතු බව උන්වහන්සේ දේශනා කළා.

මේ යුගයේදී ඉහත සඳහන් අධාර්මික ක්‍රම භාවිතා කරමින් කිසිදු විළි බියකින් තොරව සමහරු මුදල් උත්පාදනය කරන බව පේනව. ඒත් ඒ පුද්ගලයන්ට ඒවාට විපාක විඳීමට සිදුවන බව ඒ බොහෝ දෙනෙක් දන්නෙ නැහැ. අවසානයේදී ඒ බොහෝ දෙනෙක් නිරයට ගිහිල්ල, තිරිසන් ලෝකෙට ගිහිල්ල පෙරේත ලෝකෙට ගිහිල්ල, අසුර නිකායට ගිහිල්ල අනන්ත දුක් විඳිනව.

අද මේ ලිපිය තුළින් ඔබට කියල දෙන්න බලාපොරොත්තු වෙනව ධාර්මිකව උපයාගත්තු ධනය විනාශ වෙන්නෙ කොහොමද කියල. මේ පිළිබඳව ඉතා හොඳින් විස්තර වෙන්නෙ සිඟාලෝවාද සූත්‍රයේ හෙවත් දීඝනිකායේ සිඟාලක සූත්‍රයේ. එහිදී භෝග විනාශ වී යන මුඛ හයක් පිළිබඳව උන්වහන්සේ දේශනා කරනව. පළවෙනි එක තමයි මත් බවට ප්‍රමාදයට හේතුවන රහමෙර පානය, දෙවෙනි එක තමයි අවේලාවේ වීථි සංචාරය කිරීම, උත්සව දර්ශන ආදිය නැරඹීමට යාම, නැතිනම් නොයෙක් නාට්‍ය දර්ශන ආදිය බැලීමට යාම තමයි තුන්වෙනි කාරණය, හතරවෙනි කාරණය තමයි දූ කෙලියෙහි හෙවත් සූදුවල නිරතවීම, පස්වෙනි කාරණය තමයි පාප මිත්‍රයන් සමඟ නැවත නැවත එක්වීම හයවෙනි කාරණය තමයි අලස භාවයේ නැවත නැවත යෙදීම.

විශේෂයෙන්ම රහමෙර පානය නිසා මෙලොවදීම සිදුවන ධන හානිය ගැන වචනවලින් විස්තර කිරීමට නොහැකි තරම් නොකල්හි වීථි සංචාරය නිසා තමන්ගෙ ධනය හානි වී යයි. තමන්ගේ වස්තුවද නැති වී යයි. උත්සව දර්ශන ආදියට ගිය විටත් අනවශ්‍ය ලෙස ධනය විනාශ වෙයි. සූදු කෙලීමට යාමෙන් අනිවාර්යයෙන්ම ධනය වැනසී යයි. පාපමිත්‍ර ඇසුර මුල් වී විශාල වශයෙන් ධන හානිය සිදුවෙයි. පාප මිත්‍රයන් වන අඤ්ඤදත්තහර, වචී පරම, අනුප්පියභානී, අපායසහාය යන හතරදෙනා ඇසුරු කරන විටදී විවිධ ධන හානිවලට යොමුවීම සිදුවේ. විශේෂයෙන්ම අපාය සහාය නම් මිත්‍ර ප්‍රතිරූපකයා ඇසුරු කිරීමේදී මත්ද්‍රව්‍යවලට ලොල්වීම, සූදු කෙලීමට යාම හා පර අඹුවන් කරා යාම ආදිය සිදුවීම තුළින් ධනය වැනසී යාම අනිවාර්යයෙන්ම සිදුවේ. ඒ වගේම අලස බව නිසා උනන්දුවෙන් උට්ඨාන වීය¸යෙන් ධනය උත්පාදනය කිරීමේ නැවත නැවත නොයෙදීමත් ශීත උෂ්ණ සවස ආදි කරුණු නිසා ධනය උත්පාදනය කිරීම කල්දැමීම නිසා ධනය වැනසී යයි.

එබැවින් මේ වෙසඟේ පෝ දිනයේ පටන් ධාර්මිකව ධනය උපයාගෙන ඒවා විනාශ වන මාර්ග වලින් බැහැර වී දෙලොව සැප සලසා ගන්න. ඔබට උතුම් චතුරාර්ය සත්‍යය උදාවේවා!


 

  වෙසක් පුර පසළොස්වක පෝය

  වෙසක් පුර පසළොස්වක පෝය මැයි 21 වන දා සෙනසුරාදා පූර්ව භාග 12.42 ට ලබයි. 22 වන දා ඉරිදා පූර්වභාග 02.44 දක්වා පෝය පැවැත්වේ. සිල් සමාදන්වීම මැයි මස 21 වනදා සෙනසුරාදාය. 

මීළඟ පෝය මැයි 29 වනදා ඉරිදාය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

මැයි 21

Second Quarterඅව අටවක

මැයි 29

Full Moonඅමාවක

ජුනි 04

First Quarterපුර අටවක

ජුනි 12


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]