UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |


වසර 2322 ක් සපිරෙන මහා විහාරවංශික උපසම්පදාව හෙවත් වසර 262 සපිරෙන මහා විහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකායේ උපසම්පදාව

සම්මා සම්බුදුරජාණන් වහන්සේ අනාගතයේ ශ්‍රී ලංකාද්වීපයෙහි සම්බුද්ධ ශාසනය පිහිටවන බව දැනගෙන බුද්ධත්වයෙන් නව වන වස දුරුතු පුන් පොහෝ දින ද, පස්වෙනි වස බක් පොහෝ දිනයෙහි ද අටවෙනි මස වෙසක් පොහෝ දිනයෙහි ද ශ්‍රී ලංකාද්වීපයට වැඩමවීමෙන් සිරිලක්දිව අති පාරිශුද්ධත්වයට පත් වූයේයැයි දීපවංශ මහාවංශ, ජිනකාලමාලි ආදි ඓතිහාසික ග්‍රන්ථයන්හි සඳහන් වේ.

බුදුරදුන් පිරිනිවී වසර 318 කට පසු ධර්මාශෝක මහරජතුමා භාරතයේ අධිරාජයා බවට පත්වූයේ නිග්‍රෝධ කුඩා රහතන් වහන්සේ මුල්කොට බෞද්ධයෙකු බවට පත්වූයේ මහකෙළ නාගරාජයා විසින් මවා පෙන්වන ලද බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී බුද්ධ කාය සියැසින් දැක අසීමිත බුද්ධාලම්භන පී‍්‍රතියට පත්වී මොග්ගලීපුත්ත තිස්ස මහ රහතන් වහන්සේගේ අනුශාසනා ලබමින් අසූහාරදහසක් වෙහෙර විහාර ඉදිකොට රටවල් නවයකට දූතයන් යවමින් සම්බුද්ධ ශාසනය පිහිටුවීමට කටයුතු සැලැස්වීය.

ධර්මාශෝක මහරජතුමන්ගේ පුතණුවන් වන මිහිඳු කුමාරයා පැවිදි වී උපසම්පදාවට පත්ව වස් 12 ක් සම්පූර්ණ වූයේ රජතුමා මොග්ගලීපුත්තතිස්ස මහ රහතන් වහන්සේගේද උපදෙස් ලබා ලක්දිව සම්බුද්ධ ශාසනය පිහිටුවීම සඳහා බු.ව. 237 දී මිහිඳු මාහිමියන් සමඟ ඉට්ඨිය, උත්තිය ,සම්බල, භද්දසාල යන රහතන් වහන්සේලා හා සුමන සාමණේරයන්ද භණ්ඩුක උපාසකද ලක්දිව මිහින්තලයට වැඩම වූහ.

දේවානම්පියතිස්ස රජතුමන් ඇතුළු රාජකීයයන් තෙරුවන් සරණගත උපාසකයන් බවට පත්ව සැදැහැවතුන්ගේ පූර්ණ අනුග්‍රහය ඇතිව අනුරාධපුර මහා විහාර සීමාව තුළ සීමාවක් සම්මත කොට සුමන සාමණේරයන්ට පළමුකොට උපසම්පදාවත්, භණ්ඩුක උපාසකට පැවිදි උපසම්පදා දෙකම ලබා දී ඉන් අනතුරුව දේවානම්පියතිස්ස මහරජතුමාගේ සොහොයුරු අරිට්ඨකුමරුන් ඇතුළු රාජකීයයන් පැවිදි උපසම්පදා කොට ශ්‍රී ලංකාද්වීපයෙහි සම්බුද්ධ ශාසනය පිහිටුවීය.

මේ අයුරින් සම්බුද්ධ ශාසනය පිහිට වූ මුල්ම විහාරය අනුරාධපුරයේ මහා විහාරයයි. මෙම විහාරය මුල්කොට ආරම්භකළ උපසම්පදාව මහා විහාර උපසම්පදාවයි. ශීලයෙහි උපරිම ශීලයැයි කියන ලද අධිශීලයට පැමිණීම හෝ එය ලැබීම උපසම්පදාව නම්වේ. පැවිද්දට උපසම්පදාව අයත් වේ. පැවිද්ද නැතිවිට උපසම්පදාව ද නැත. උපසම්පදාවට ශාසනය අයත් වේ. උපසම්පදාව නැතිවිට ශාසනය ද නැත. බුදුරජාණන් වහන්සේගේ උපසම්පදාව බුද්ධත්වය ද සමගම බෝධිමූලයේ සිදු වූයේ යැයි මිලින්ද ප්‍රශ්නයේ දැක්වේ. මෙහි උපසම්පදා ශීලය වශයෙන් සැලකෙන ශීලය නම් චතුපාරිශුද්ධි ශීලයයි. නවදහස් එකසිය අසූකෙළ පන්ලක්ෂ තිස් හයක් ශික්ෂායෙන් යුක්ත ප්‍රාතිමෝක්ෂ සංවර ශීලය පළමු වැනි වෙයි. ඉන්ද්‍රිය සංවර ශීලය, ආජීව පාරිශුද්ධි ශීලය, ප්‍රත්‍යසන්නිශි‍්‍රත ශීලය වන ශීල හතර අධි ශීල වෙයි. පංච ශීලය, අටසීලය, ආජීව අට්ඨමක ශීලය, සාමණේර ශීලය යන හැමටම වඩා මේ චතුර්විධ ශීලය අධිශීලයයි. මෙම අධි ශීලය ලැබීම උපසම්පදා ශීලයයි. දම්සක් පැවතුම් සූත්‍රය අසා පළමුවරට සෝවාන් වූ කොණ්ඩඤ්ඤ ශ්‍රාවකයා බුදුරජාණන් වහන්සේගෙන් පැවිද්ද ලැබීමට කැමති බව කියා සිටියි. එවිට බුදුරජාණන් වහන්සේ “මහණ මෙහි එව මනා කොට දුක්කෙළවර කිරීම පිණිස බඹසර හැසිරෙව“ යන්නයි. එම වාක්‍යය අවසාන වත්ම හෙතෙම ඍධිමය පාත්‍ර සිවුරු දරා පැවිද්ද හා උපසම්පදාව ලබයි. බුදුරදුන් බුදු වූ මුල් කාලයෙහි බොහෝ දෙනා මහණකම හා උපසම්පදා ලබා ඇත්තේ මේ ආකාරයෙනි. එතැන් පටන් උපසම්පදා වන ක්‍රම 8 ක් දක්නට ලැබේ.

1 .ඒහි භික්ඛු උපසම්පදා, මෙහි බුදුරදුන් මහණ මෙහි එව බඹසර හැසිරෙව යි ශ්‍රී හස්තය දිගු කළ පමණකින් සිදු කළ උපසම්දාව.

2.සරණා ගමන උපසම්පදා තෙරුවන් සරණ යෑමෙන් සිදු වෙතැයි අනුදැන වදාළ උපසම්පදාව, මෙය උපසම්පදාව බුද්ධ කාලයේදීම ප්‍රතික්ෂේප කරණ ලදී.

3.ඕවාද පටිග්ගහණ උපසම්පදාව අවවාද පිළිගැනීමෙන් සිදුවෙතැයි අනුදැන වදාළ උපසම්පදාව, මහා කාශ්‍යප මහරහතන් වහන්සේ ගේ උපසම්පදාව මෙම ක්‍රමයෙන් සිදු විය.

4.පඤ්හව්‍යාකරණ උපසම්පදාව, ඒක, නාමකිං ආදි වශයෙන් ප්‍රශ්න කළ විට ඒවාට දුන් පිළිතුරුවලින් අනුදැන වදාළ උපසම්පදාවයි. මෙයින් හත් හැවිරිදි සෝපාක සාමණේරයන් වහන්සේගේ උපසම්පදාව සිදු විය.

5.ගරුධම්ම පටිග්ගහන උපසම්පදා ගරුධර්ම අටක් පිළිගැනීමෙන් අනුදැන වදාළ උපසම්පදාවයි. එය ප්‍රජාපතී ගෝතමී මෙහෙණිය කෙරෙහි පමණක් බලපැවැත්විය. සෙසු කුමාරිකාවෝ ගරු ධර්ම අට පිළිගෙන භික්ෂු සංඝයාගෙන් උපසම්පදාව ලැබූහ.

6.දූතේන උපසම්පදාව, දූතයෙකු යවා කරණ උපසම්පදාවයි. මෙය අඩ්ඪකේශී මෙහෙණ සඳහා පමණක් වදාරණ ලදී.

7.අට්ඨාවාචික උපසම්පදාව, උභතෝ සංඝයා කෙරෙන් මෙහෙණනට අනුදැන වදාළ උපසම්පදාවයි.

8.ඤත්තිචතුත්ථ කම්ම උපසම්පදාවයි. රාධ බ්‍රහ්මණයා උපසම්පදා කිරීමට අනුදැන වදාළේ මෙම උපසම්පදාවයි. එතැන් සිට සරණාගමන ආදි උපසම්පදා ප්‍රතික්ෂේප කොට ඤත්තිචතුත්ථ කම්ම උපසම්පදාව නියම කිරීමෙන් පසු අද දක්වාම පවත්නේ එම ඤත්තිචතුත්ථ කම්ම උපසම්පදාවයි.

සම්බුද්ධ ශාසනය පිහිටුවීම යනු උපසම්පදාව පිහිටුවීම හෙයින් මිහිඳු මහ රහතන් වහන්සේ පළමු කොටම මහා විහාරයත් සමඟම පැවිදි උපසම්පදාව ශ්‍රී ලංකාද්වීපයේ පිහිටවූයේ මේ නිසාමය. එතැන් පටන් මහා විහාරය මෙන්ම ථූපාරමායත් සීමාබන්ධනාදිය ද පිහිටුවමින් නන් දෙසින් පැමිණෙන පිරිස් පැවිදි උපසම්පදා කරමින් වැඩිදියුණු කිරීමට පටන් ගති.

ධර්මාශෝක මහරජතුමාගේ දියණිය වන සංඝමිත්තා ථෙරණිය ද ශ්‍රී මහා බෝධි අංකුරයක් රැගෙන වැඩමවා අනුලාදේවිය ඇතුළු රාජකීයයන් පැවිදි උපසම්පදා කොට භික්ෂුණී ශාසනය පිහිටුවීය.

මේ අයුරින් භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා යන සිව්වණක් පිරිසගෙන් සමන්විත වූ ශ්‍රී ලංකා සම්බුද්ධ ශාසනය වැඩි දියුණු තත්ත්වයට පත් වන මොහොතේ විදේශ ආක්‍රමණ හා සිංහල රාජ්‍යයේ අභ්‍යන්තර ගැටුම් නිසා නැවතත් රාජ්‍යයේත් සම්බුද්ධ ශාසනයේත් පරිහානිය දක්නට ලැබෙන අතර, පොළොන්නරු යුගය වන විට සොළී ආක්‍රමණය නිසාම ලක්දිව සියලුම ජාතික,ආගමික, සංස්කෘතික හා ශබ්ද ශාස්ත්‍රත් අන්ත පරිහානියට පත්වී උපසම්පදා විනය කර්මයට ප්‍රමාණවත් භික්ෂූන් පස්නමක් වත් සොයාගැනීමට නොහැකි වූ අවස්ථාවක මහළු විජයබා රජතුමා රක්ඛංග දේශයෙන් භික්ෂූන් ගෙන්වා උපසම්පදා විනය කර්මය සිදු කරවා ශාසනය වැඩි දියුණු කරන ලදී. මහා පරාක්‍රමබාහු මහ රජතුමා නිකායත්‍රයම සමගි කරවා කතිකාවතක්ද ඇති කොට දහස්ගණන් සාමණෙරයන් උපසම්පදා කරවා නැවතත් මහා විහාර උපසම්පදාව තහවුරු කරවීය.

දඹදෙණි නුවර දෙවැනි පැරකුම්බා රජතුමා ශාසනයේ චිර පැවැත්ම සඳහා කතිකාවතක් ද කරවා මහවැලි ගඟ දාස්තොට දී උපසම්පදා විනය කර්මයක්ද කරවීය. යාපහුනුවර රජ පැමිණි පළමු බුවනෙකබා රජතුමා ද කුරුණෑගල 2 බුවනෙකබා රජතුමාද උපසම්පදා විනය කර්මයක් කරවු බවක්, ගම්පල රාජ්‍ය කරවූ 3 වන විජයබාහු රජතුමා රයිගම්පුර ආසන්නයේ විහාරාරාම කරවා ධර්මකීර්ති සංඝරාජයන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් උපසම්පදා විනයකර්මයක්ද ගම්පොල වීරබාහු රජතුමා 4 වැනි ධර්මකීර්ති හිමියන්ගේ ප්‍රධානත්වයෙන්ද කෝට්ටේ 6 වන පරාක්‍රමාබහු රාජ්‍ය සමයේදී වීදාගම මෛත්‍රී, තොටගමුවේ ශ්‍රී රාහුල ආදි භික්ෂූන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් කෝට්ටේ දීද සෙංකඩගල විසූ වීර වික්‍රම රජතුමා බු.ව. 2085 දී හෙවත් රාජ්‍ය වර්ෂ 1542 දී රජගෙට දකුණු දෙසින් සර්වඥ ධාතු සහිත පාත්‍ර ධාතුන් වහන්සේද නිදන්කොට දාගැබැක් බැඳ දෙමහල් පෝය ගෙයක් සාදවා පෝයමළු විහාරය ඇතුළු නානා දිසාවන්හි විහාර 86 ක් කරවූ අතර, ධර්මකීර්ති හිමියන් ප්‍රධාන කොටගෙන 355 ක් සාමණේරයන් උපසම්පදා කරවා නොයෙක් පින්කම් සිදුකළහ. අනතුරුව පිතෘ ඝාතක සීතාවක රාජසිංහයන් භික්ෂූන් වහන්සේ සහිත වෙහෙර විහාරත් සම්බුද්ධ ශාසනයත් වනසමින් ධර්ම පොත්පත් සියල්ලම ගිනිබත් කොට සුවිශාල විනාශයක් කළ අතර, උපසම්පදා භික්ෂූන් වහන්සේද සම්පූර්ණයෙන්ම විනාශයට පත් කළ බව සඳහන් වේ.

රාජ්‍ය වර්ෂ 1592 දී 1 වන විමලධර්මසූරිය රජතුමා දෙල්ගමුව රජමහ විහාරයේ කුරහන්ගල යට සුරක්ෂිතව තිබු වාම ශ්‍රී දළදා වහන්සේ සෙංකඩගල නුවරට වැඩමවා දෙමහල් ප්‍රාසාදයක් කරවා එහි තැන්පත්කොට පුද පූජා පැවැත්වූ අතර, රක්ඛංග දේශයෙන් භික්ෂූන් ගෙන්වා ගැටඹේතොට උපසම්පදා කරවා පෝයමළු විහාරයේ වඩා හිඳුවමින් තුන් මහල් දළදා මැඳුරක් ද සෑද වීය. සෙනරත් රජු කළ පරංගීන් පැමිණ දළදා මාලිගාව ද විනාශ කළ අතර, මැදමහනුවර ආදි නොයෙක් ස්ථානවල දළදා වහන්සේ සඟවා සුරක්ෂිත කරගනිමින් නැවතත් 2 වන විමලධර්මසූරිය රජතුමා දළදා මාළිගාව තුන් මහල්සේ සාදවා දළදා වහන්සේ වඩා හිඳුවා රක්ඛංග දේශයෙන් උපසම්පදාව ගෙන්වා ගැටඹේතොට දී 33 නමක් උපසම්පදා කරවා පෝයමළු විහාරයෙහි වාසයට සැලැස්වුහ. ඔහුගේ පුත් වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජතෙමේ ආගමික ශාසනික කටයුතු දියුණු කරනුයේ වැලිවිට සරණංකර සාමණේරයන් වහන්සේගේ ධර්ම ශාස්ත්‍රීය සේවය දියුණු කරලමින් සාරාර්ථ සංග්‍රහය, මහාබෝධි වංශය ,භෛෂජ්‍ය මංජුසාව ද සකස් කිරීමට මහෝපකාරි විය. අනතුරුව විජය රාජසිංහ රජතෙමේ ශාසනික කටයුතු දියුණු කරලවමින් සරණංකර සාමණේරයන් වහන්සේට ආරාධනා කොට සතර බණවර සන්නය ද ලියවමින් ධර්මශාස්ත්‍රීය කටයුතු දියුණු කිරීමට උපකාරී වූ අතර, සම්බුද්ධ ශාසනය ආරක්ෂා වීමට නම් උපසම්පදා භික්ෂූන් වහන්සේ සිටිය යුතු යැයි සරණංකර හිමියන්ගේද උපදෙස් අනුව උපසම්පදාව ගෙන ඒම සඳහා විදේශයකට දෙවතාවක් දූතයන් යවමින් එකී ගමන් අසාර්ථක වූයේ 03 වන වතාවට කීර්ති ශ්‍රී රාජසිංහ මහරජතුමා වැලිවිට සරණංකර සාමණේරයන් වහන්සේගෙන් ආගම ධර්මය අසා මැනවින් දැන උගෙන සම්බුද්ධ ශාසනය චිරකාලයක් පවත්නේ උපසම්පදා භික්ෂූන් වහන්සේ නිසාම බව දැනගෙන සරණංකර හිමියන්ගේ උපදෙස් අනුව ලංකාවෙන් ගෙන ගිය උපසම්පදාව සියම්දේශයේ සුරක්ෂිතව තිබෙන හෙයින් සියම් දේශයට දූත පිරිසක් යැවීමට තීරණය කරණ ලදී.

මෙම ලිපියෙහිඉතිරි කොටස මැයි 29 වනදා වෙසක් අව අටවක පෝදා බුදුසරණ පත්‍රයේ පළ වේ.


 

  වෙසක් පුර පසළොස්වක පෝය

  වෙසක් පුර පසළොස්වක පෝය මැයි 21 වන දා සෙනසුරාදා පූර්ව භාග 12.42 ට ලබයි. 22 වන දා ඉරිදා පූර්වභාග 02.44 දක්වා පෝය පැවැත්වේ. සිල් සමාදන්වීම මැයි මස 21 වනදා සෙනසුරාදාය. 

මීළඟ පෝය මැයි 29 වනදා ඉරිදාය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

මැයි 21

Second Quarterඅව අටවක

මැයි 29

Full Moonඅමාවක

ජුනි 04

First Quarterපුර අටවක

ජුනි 12


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]