UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පානදුර පින්වත්ත සද්ධර්මාකර විද්‍යායතන පිරිවෙන් විහාරස්ථ අභිනව දෙමහල් සංඝාවාසය සඟ සතු කොට පූජා කිරීමේ පුණ්‍ය මහෝත්සවය

පානදුර පින්වත්ත සද්ධර්මාකර විද්‍යායතන පිරිවෙන් විහාරස්ථ

අභිනව දෙමහල් සංඝාවාසය සඟ සතු කොට පූජා කිරීමේ පුණ්‍ය මහෝත්සවය
 

අභිනව සංඝාවාස ගොඩනැගිල්ල පින්වත්තේ දේවානන්ද නාහිමි තලල්ලේ මෙත්තානන්ද
අනු නා හිමි


ලක්දිව පුරා ප්‍රචලිත කේන්ද්‍රස්ථානයකි

වන සෙනසුන් , ගිරිගුහා, එළිමහන් හා සුසානභූමි යනාදියෙන් ඉතා සරලව ආරම්භ වූ බෞද්ධ ආරාමය බුද්ධකාලයේම ඉතා පුළුල් වූ ආරාම සංකීර්ණ දක්වා දියුණු වූ අතර, බෞද්ධ භික්ෂූන් වහන්සේලා සඳහා වාසස්ථානය ලෙස සංඝාවාස ඉදිකරවා සාංඝිකව පූජාකිරීම භාරතීය සමාජයේ ප්‍රචලිත විය. එදා ද ව්‍යාපාරික ලෝකයේ ධනකුවේර සිටුවරුන් මෙම ඉදිකිරීම් සඳහා මුල් වූ අතර ජේතවනාරාමය, ඝෝෂිතාරාමය, කුක්කුටාරාමය යනාදී මහවෙහෙර භාරතයේ ඉදිවූයේ එහි ප්‍රතිඵලයක් වශයෙනි.

ශ්‍රී ලංකාවේද අට සැට ලෙනේ සිට අෂ්ට මූලායතන දක්වා සංවර්ධනය වූ විහාර සංකීර්ණ ආධ්‍යාත්මික සංවර්ධනයේ කේන්ද්‍රස්ථානය බවටත් අධ්‍යාපන මධ්‍යස්ථාන බවටත් පත්වුණි. මෙකී ආරාම සංකීර්ණ නාමාවලියේ මෑතකාලීන අධ්‍යාපන මධ්‍යස්ථානයක් වු පානදුර පින්වත්තේ සද්ධර්මාකර විද්‍යායතන පිරිවෙන් විහාරය ලක්දිව පුරා ප්‍රචලිත කේන්ද්‍රස්ථානයකි. ආදිකර්තෘ අතිපූජ්‍ය පින්වත්තේ සීලානන්ද නායක මාහිමිපාණන් වහන්සේ, අමරපුර සිරි සද්ධම්මවංස මහානිකායේ මහානායකව වැඩ සිටි අතිපූජ්‍ය පොහද්දරමුල්ලේ ඤාණානන්ද මහනාහිමි, නිකායේ ලේඛකාධිකාරිව වැඩසිටි, රාජකීය පණ්ඩිත අතිපූජ්‍ය පින්වත්තේ දේවානන්ද නාහිමියන් ආදී මහා ස්වාමින්ද්‍රයන් වහන්සේලා ආරම්භ සමාරම්භ කොට රක්ෂිත සුරක්ෂිත කළ හෙයින් ප්‍රපූජ්‍යත්වයට හා සුස්ථීරත්වයට පත් මෙම සද්ධර්මාකර පිරිවෙන් ආයතනය හා විහාරය අප අමරපුර සිරි සද්ධම්මවංස මහා නිකායේ මූලස්ථානයක් ලෙස හඳුන්වා දිය හැක.

මෙකී පිරිවෙන් විහාරයේ වර්තමාන විහාරාධිපති අප නිකායේ අනුනායක අතිපූජ්‍ය තලල්ලේ මෙත්තානන්ද මාහිමිපාණන් වහන්සේගේ මෙහෙයවීම හා අවවාද අනුශාසනා පරිදි අංග සම්පූර්ණ හා දර්ශනීය සංඝාවාස සංකීර්ණයක් ඉදිකරවා සතර දිගින් වඩින මහා සංඝරත්නයේ කැපසරුප් පරිහරණය සඳහා පූජා කරන මෙම ඓතිහාසික මොහොතේ ඒ සඳහා කාලය ශ්‍රමය හා ධනය වැය කළ සියලු දෙනාහට මෙයින් ආශිංසනය කරම්හ.


ආධ්‍යාත්මික ජීවිතයේ ශාන්ති නිකේතනය පන්සලය

ලාංකීය අපගේ ආධ්‍යාත්මික ජීවිතයේ ශාන්ති නිකේතනය වන්නේ පන්සලය. ලෞකික බැඳීම් කෙරෙන් අපව අත්මුදා කසාවත ඇසුරේ, සුපින්වත් සිතිවිලි අවදිකරමින් නිරාමිෂ වූ හැඟීමෙන් අප සිත් සනහාලන්නට පන්සලක පින්වත් පරිසරය සමත්වෙයි.

වර්තමානයේ, ගම්මාන මැකී යමින් නාගරික හෝ අර්ධ නාගරිකයින් බිහිවන පසුතලයක පන්සල ද තම අතීත හැඩතලයන් කෙරෙන් දුරස් වෙමින් කාර්යබහුල මිනිසාගේ ජීවන යාන්ත්‍රණය සමඟ එක්වෙමින් සාම්ප්‍රදායික භෞතික හැඩරුවින් වෙනස් වෙමින් නවීන විහාරාරාංගයන්ගෙන් සමන්විත වෙනු පෙනේ.

පානදුර පින්වත්ත සද්ධර්මාකර විද්‍යායතන පිරිවෙන් විහාරස්ථානයේ අභිනව දෙමහල් සංඝාවාසය ඉදිකෙරෙන්නේද නූතන අවශ්‍යතාවයන් සපුරාලමින් පැවිදි සිසුන්ගේ අධ්‍යාපනය විෂයෙහි වඩාත් ඉඩ පහසුකම් සලසාදීමේ පියවරක් ලෙසිනි.

රජය පිරිවෙන් අධ්‍යාපනයට සුවිශේෂ අවධානයක් යොමුකර ඇති වර්තමානයේ මෙවන් අනුග්‍රහයන් අප සියලු දෙනාගේ ඇගයීමට ලක්විය යුතුය.

එහිලා විහාරාධිපති අතිපූජ්‍ය තලල්ලේ මෙත්තානන්ද අනුනාහිමිපාණන් වහන්සේගේ අනුශාසකත්වය ද, මඟපෙන්වීම ද, මහඟු පිටිවහලක් සපයන ලද බව අමතක නොකළ යුතුවේ.

එමතුද නොව දශක තුනක් තිස්සේ අප නාහිමිපාණන් වහන්සේ පිරිවෙන් විහාරස්ථානයේ අභිවෘද්ධියට ඉටුකළ සුවිශාල සේවාව ඔස්සේ අද දවසේ සද්ධර්මාකර විද්‍යායතන, පිරිවෙන් විහාරස්ථානය ලබා ඇති ප්‍රගතිය පිළිබඳව ද නාහිමිපාණන් වහන්සේට, සමස්ත බෞද්ධ ජනතාවගේ ප්‍රණාමය පිරිනැමෙනු ඇත.


සද්ධර්මාකර පිරිවෙනට හිමිවන්නේ ප්‍රමුඛ ස්ථානයකි

පින්වත්තේ ශ්‍රී සීලානන්ද නා හිමිපාණන් වහන්සේ විසින් 1900 වසරේ මාර්තු මස 11 වැනි දා ආරම්භ කරන ලද පානදුර පින්වත්ත සද්ධර්මාකර විද්‍යායතන පිරිවෙන සියවසක් ඉක්මවූ අභිමානවත් ගමනක් පැමිණි සුවිසල් ශාසනික, සමාජයීය මෙහෙවරක් ඉටුකළ ප්‍රදේශවාසීන්ගේ ඉමහත් ගෞරවාදරයට පාත්‍රවූ පුදබිමකි.

දෙස් විදෙස් ධර්මදූත මෙහෙවරෙහි නියුතු ධර්ම ශාස්ත්‍ර ගවේෂණයෙහි අගතැන් ගිහි පැවිදි උගතුන් රැසක් බිහි කළ මහා තක්ෂිලාවක් ලෙසද, ප්‍රදේශයේ ආගමික, අධ්‍යාපනික, සමාජයීය, ආර්ථික දියුණුවට සුවිශේෂ කාර්යභාරයක් ඉටුකළ පුදබිමක් ලෙසද පින්වත්ත සද්ධර්මාකර පිරිවෙනට හිමිවන්නේ ප්‍රමුඛ ස්ථානයකි.

කලින් කලට ශ්‍රේෂ්ඨ යතිවරුන්ගේ කැපවීම, අප්‍රතිහත ධෛර්යය තුළ දියුණුවට පත් වූ සද්ධර්මාකර විද්‍යායතන පිරිවෙනට විහාරාධිපති අතිපූජ්‍ය තලල්ලේ මෙත්තානන්ද අනුනාහිමිපාණන් වහන්සේගේ අනුශාසකත්වයෙන් අභිනව දෙමහල් සංඝාවාස ගොඩනැගිල්ලක් ඉදි කරගත හැකි වීම සතුටට කරුණකි.

අභිනව සංඝාවාස ගොඩනැගිල්ල සඟසතු කිරීමේ පූජෝත්සවය සහ සර්වරාත්‍රික පිරිත් ධර්ම දේශනාව, සැම සිත් පහන් වන උත්තරීතර අවස්ථාවක් වේවායි මෙත් සිත් පෙරදැරිව ශුභාශිංසන පිරිනමමි.

 

 වෙසක් පුර අටවක පෝය

 වෙසක් පුර අටවක පෝය මැයි මස 13වන දා සිකුරාදා පූර්වභාග 10.10ට ලබයි. 14වන දා සෙනසුරාදා පූර්වභාග 11.05 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මැයි මස 13වන දා සිකුරාදාය. මීළඟ පෝය මැයි මස 21වන දා සෙනසුරාදාය. 

මීළඟ පෝය මැයි මස 21 වනදා සෙනසුරාදාය


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

මැයි 13

Full Moonපසෙලාස්වක

මැයි 21

Second Quarterඅව අටවක

මැයි 29

Full Moonඅමාවක

ජුනි 04


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]