UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සියම් මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ මහා ලේඛකාධිකාරී

මැදගම ධම්මානන්ද නා හිමි

1955 පෙබරවාරි 04 දින බිබිලේ මැදගම දී උපත ලැබූ මැදගම ධම්මානන්ද නා හිමි 1968 මාර්තු 15 වන දින පැවිදි බව ලබා ඇත. 1975 ජුනි 19 වන දින අස්ගිරි විහාරයේ දී උපසම්පදාව ලබා ඇත. අස්ගිරි මහා විහාරයේ මහනාහිමිවරුන් හා අනුනාහිමිවරුන් බොහෝ පිරිසක් වැඩ සිටි කීර්තිමත් යටවත්තේ සංඝ පරම්පරාවේ දැනට වැඩසිටින වැඩිහිටි භික්ෂූව උන්වහන්සේ ය.

මැදගම ධම්මානන්ද නාහිමියන්ගේ පැවිදි ආචාර්යන් වහන්සේ වන්නේ බුදුලු මුතියංගණ විහාරයේ භාරකාර ධූරය හා අස්ගිරි මහා විහාරීය කාරක සංඝ සභාවේ ගරු ලේඛකාධිකාරී ධූරය ඉසිලූ රාජකීය පණ්ඩිත යටවත්තේ ශ්‍රී ධම්මක්ඛන්ධ නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ය.

මාදන්වල ශ්‍රී ධර්මෝදය, මාතලේ ශ්‍රී ධර්මරාජ සහ හුණුපිටියේ ශ්‍රී ඥානේශ්වර යන පිරිවෙන්වලින් මූලික අධ්‍යාපනය ලබා 1977 වසරේ කැලණිය විශ්ව විද්‍යාලයට ඇතුළත්ව බෞද්ධ දර්ශනය හා ජර්මන් භාෂාව පිළිබඳව ඉහළ සාමාර්ථයක් සහිතව ගෞරව උපාධිය හිමිකරගෙන ඇත. අනතුරුව එම විශ්ව විද්‍යාලයෙන් ම ශාස්ත්‍රපති උපාධිය ද ලබා තිබේ. 1991 වර්ෂයේ තායිවානයේ ලින්සෝන් බුඩිස්ට් ආයතනයෙන් (Linh Son Buddhist Institute – Taiwan) මහා යාන බෞද්ධ සම්ප්‍රදාය පිළිබඳව ආචාර්ය උපාධියත්, ඇමරිකා එක්සත් ජනපදයේ ටෙක්සාස් බෞද්ධ පදනමෙන් (Texas Buddhist Foundation)  1996 ගෞරව ආචාර්ය උපාධියත් පිරිනමා ඇත. එයට අමතරව ප්‍රංශයේ සෝබෝන් විශ්ව විද්‍යාලයේ ද වසරක් පමණ අධ්‍යයනයෙහි නිරතව ඇත. එසේ ම උන්වහන්සේ අමෙරිකාවේ ටෙක්සාස් කොමියුනිටි විද්‍යාලයේ පරිගණක තාක්ෂණ ඩිප්ලෝමාධාරියෙකි.

මැදගම ධම්මානන්ද නාහිමියෝ 1981 වසරේ සිට වසර 8ක් පමණ කොළඹ රාජකීය විද්‍යාලයේ පාලි හා ජර්මන් භාෂාව පිළිබඳ ආචාර්යවරයකු ලෙසත්, 1990 වසරේ මහනුවර ධර්මරාජ විද්‍යාලයේ ගුරුවරයකු වශයෙන් ද සේවය කළහ. ප්‍රංශයේ පැරිස් සිංහල විද්‍යාලයේත් (1995 – 1996) ගුරුවරයකු ලෙස කටයුතු කොට ඇත. උන්වහන්සේ අනුරාධපුර භික්ෂු විශ්ව විද්‍යාලය උත්තරීතර සභාවේ සාමාජිකයෙකි.

සම්බුද්ධ ශාසනයේ හා මාතෘ භූමියේ යහපත සඳහා යොමුවීමේ අරමුණෙන් විදේශ රටවල වාසයෙන් සහ ගුරු සේවයෙන් වෙන්ව මුලු කාලයම ඒ වෙනුවෙන් කැපකරන මැදගම ධම්මානන්ද නාහිමියෝ බුදුදහම, ඉතිහාසය, සාහිත්‍ය ආදී නොයෙකුත් විෂයයන් පිළිබඳවත්, ජාතික හා ආගමික වශයෙන් මතුවන අභියෝගවලට පිළිතුරු සහ ජනතාව දැනුවත් කෙරෙන සාරවත් ලිපි ලේඛන දහසකට අධික සංඛ්‍යාවක් පුවත්පත් සඟරාවල සපයා ඇති භික්ෂූන් වහන්සේ නමකි. උන්වහන්සේ දක්ෂ ලේඛයකු මෙන් ම දේශකයෙකි. 1. රාහුල පොඩි හාමුදුරුවෝ (සිංහල, ඉංග්‍රීසි, ඉතාලි භාෂාවලින් ප්‍රකාශිත ය.) 2. සසුන නසන මිසදිටු විස. 3. දස්කොන්ගේ සැබෑ කතාව. 4. ආගම් මාරුව උන්වහන්සේ ලියූ ග්‍රන්ථ කීපයකි.

1986 වසරේ දී පලිපාන ශ්‍රී චන්දානන්ද මහනාහිමියන් විසින් උන්වහන්සේ අස්ගිරි මහා විහාරයේ කර්මවාගාචාර්ය තනතුරටත්, 2010 වසරේ දී උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත මහනාහිමියන් විසින් කාරක සංඝ සභික ධූරයටත් පත්කරනු ලැබූහ.

සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලයේ ගරු අනුශාසකවරයකු වශයෙන් ද, මහනුවර දිස්ත්‍රික් ශාසනාරක්ෂක මණ්ඩලයේ ගරු සභාපතිවරයා ලෙස ද, පූජ්‍ය මැදගම ධම්මානන්ද නා හිමියෝ කටයුතු කරති.

ජයග්‍රහණය ශ්‍රී ලංකා ආයතනයේ ගරු සභාපති වන උන්වහන්සේ ලෝක බෞද්ධ සම්මේලනයේ ගරු උප සභාපතිවරයෙකි.

ජාතික හා ශාසනික අර්බුද මැඩලීම, බෞද්ධයන් අන්‍යාගම්වලට හැරවීම වැළැක්වීම සඳහා මූලිකත්වය ගන්නා භික්ෂූන් අතර සිටින කෙනෙකි. අරන්තලාව භික්ෂු ස්මාරකය ඉදිකළේ ම ැදගම ධම්මානන්ද නා හිමියන් විසිනි. එසේ ම කූරගල පුද බිමේ බෞද්ධ අයිතිය තහවුරු කිරීම සඳහා උන්වහන්සේ ක්‍රියාකොට ඇත. යුද්ධ සමයේ බෞද්ධයන්ට සිදු වූ අසාධාරණකම් ගැන උගත් පාඩම් හා සංසිඳියාව පිළිබඳව ජනාධිපති කොමිසමට බෞද්ධයන් වෙනුවෙන් සාක්ෂි දුන්නේ මැදගම ධම්මානන්ද නා හිමියන් ය.

 

 වෙසක් පුර අටවක පෝය

 වෙසක් පුර අටවක පෝය මැයි මස 13වන දා සිකුරාදා පූර්වභාග 10.10ට ලබයි. 14වන දා සෙනසුරාදා පූර්වභාග 11.05 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මැයි මස 13වන දා සිකුරාදාය. මීළඟ පෝය මැයි මස 21වන දා සෙනසුරාදාය. 

මීළඟ පෝය මැයි මස 21 වනදා සෙනසුරාදාය


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

මැයි 13

Full Moonපසෙලාස්වක

මැයි 21

Second Quarterඅව අටවක

මැයි 29

Full Moonඅමාවක

ජුනි 04


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]