UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

මාවිත්තර සිරි සරණපාල දහම් පාසල

මාවිත්තර සිරි සරණපාල දහම් පාසල

මානව හිතවාදී සුචරිතවත් දරු කැලක් දැයට තිළිණ කරලීමේ මූලික පරමාර්ථ පෙරදැරිකර ගනිමින් මාවිත්තර සිරි තිසරණ ධර්මායතනයට අනුබද්ධව වර්ෂ 2002 ක් වූ දුරුතු මස 05 වැනිදා සිරි සරණපාල දහම් පාසල ආරම්භ කරලීමට යෙදුණි.
ගැටමාන්නේ හේමාලෝක නා හිමි ඇඹිලිපිටියේ රතනජෝති හිමි

සියම් නිකායේ මල්වතු පාර්ශ්වයේ කොළඹ සල්පිටි කෝරළයේ අධිකරණ සංඝනායක “ශාසන කීර්ති ශ්‍රී සාරානන්ද සරණපාල” ශාස්ත්‍රපති ගැටමාන්නේ හේමාලෝක නා හිමියන්ගේ මූලික මඟ පෙන්වීම සහ අනුශාසකත්වය මත ආරම්භ කළ ධර්ම විද්‍යාලය තුළ මෙම වසර දාහතරක ගමන් මඟ අබිමුව හාරසිය හැටකට අධික දූ දරු කැලක් අධ්‍යාපනය ලබනා පුණ්‍යවන්ත වූ භූමියක් වී ඇති අයුරු පුදුම සහගතය.

වර්තමානයේ විහාරාධිපති ස්වාමීන් වහන්සේගේ නිවැරැදි ගමන් මගේ පසු ගමන්කරුවාණන් වෙමින් සිරි සරණපාල ධර්ම විද්‍යාලයේ ප්‍රධානාචාර්ය වරයාණන් ලෙස කටයුතු කරනු ලබන්නේ විහාරාධිකාරි කැස්බෑව ශාසනාරක්ෂක බල මණ්ඩලයේ නියෝජ්‍ය ලේඛකාධිකාරි ඇඹිලිපිටියේ රතනජෝති ස්වාමීන් වහන්සේය.

ඇඹිලිපිටියේ රතනජෝති ස්වාමින් වහන්සේ වර්තමාන කාල රාමුව තුළ සිරි සරණපාල ධර්ම විද්‍යාලය තුළින් දෑහිතකාමී දරු කැලක් බිහි කරලීමට සිදුකරන මෙහෙවර අමිලය. එය මුළු මහත් සමාජයටම ආදර්ශයකි. ආඩම්බරයකි. සිසු දරුවන් හැම විටම ඒකකාරි වූ අධ්‍යාපන රටාවෙන් වෙන් කොට ප්‍රායෝගිකව ඔවුන් තුළ ගුණ දහම් ස්ථාපිත කරලීමට වෙහෙසෙන උන්වහන්සේ දැනුම සමගින් එකමුතුකම, සදාචාරය, මෛත්‍රිය, කරුණාව ආදි ගුණ දහම් දරුවන් තුළ රෝපණය කරලීමට ක්‍රියා කිරීමද විශේෂත්වයකි.

මේ අතර ගුණ නැණෙන් පිරිපුන් මානව හිතවාදී සුචරිතවත් දරු පරපුරක් වෙනුවෙන් ක්‍රමානුකූල අධ්‍යාපන රටාවක් තුළ දරුවන් ආකල්පමය වෙනසකට භාජනය කරලීම වෙනුවෙන් විවිධ වාර්ෂික වැඩසටහන් ක්‍රියාත්මක වේ.

දහම් පාසල් ආචාර්ය මණ්ඩලය

වෙසක් පොහොය වැඩසටහන් දන්දීමේ පුරුද්ද දරුවන් තුළ ස්ථාපිත කරලීමට පොසොන් බත් දන්සල් වැඩසටහන, සීල සමාදාන වැඩසටහන් සංස්කෘතිය පරපුරෙන් පරපුරට දායාද කරලීමේ පරමාර්ථයෙන් සිදුකරන වාර්ෂික සංස්කෘතික පෙරහර පැවැත්වීම දරුවන්ගේ හැකියාවන්, ආකල්ප සංවර්ධනය කරලීමේ අදිටනින් පවත්වන ශිෂ්‍ය සමිතිය පැවැත්වීම, අතීත උරුමයන් සොයා දෑහිතකාමී දරුපරපුරක් වෙනුවෙන් සිදුකරන වාර්ෂික අධ්‍යාපන චාරිකා ගුණ නැණෙන් සපිරුණු දරු කැලක් වෙනුවෙන් නොමිලේ දහම් විභාග සඳහා උපකාරක පන්ති පැවැත්වීම සියලු දරුවන් වෙනුවෙන් නොමිලේ නිල ඇඳුම් ප්‍රදානය මෙන්ම ශක්තිමත් නිරවුල් මනසින් යුතු මතු පරපුරක් වෙනුවෙන් සෑම ඉරු දිනකම දවල් තේ පැන් සංග්‍රහය දරුවන් වෙනුවෙන් සිදුකිරීමත් එමෙන්ම තෝරාගත් දිනයන්හිදී කැඳ වර්ග ධාන්‍ය හෝ ආහාර වේලක් ලබාදීමක් සිදුකිරීමට විශේෂිත වේ.

මේ සියලු කාරණාවන්හි මුඛ්‍ය පරමාර්ථය වනුයේ ගුණ නැණෙන් පිරිපුන් යහපත් මතු පරපුරක් වෙත සමාජය ගෙන යාමයි. සිසු දූ දරුවන් වෙනුවෙන් සිදුකරන අමිල මෙහෙවරයන් අතර කැස්බෑව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය අනුබද්ධ භාෂා සංගම් පවත්වාගෙන යාම හා දෙමළ භාෂා පන්ති පවත්වාගෙන යාමත් දහම් පාසල් විෂය සමගාමී ක්‍රියාකාරකම් සිදුකිරීමත් ප්‍රධාන වේ.

පියෙන් සිය පය නගමින් දෙපා තබා ආ ගමන් මඟ කටුක වූ අත්දැකීම් සම්භාරයක එකතුවක් වුවද දිරියෙන් ,විරියෙන් ශක්තියෙන් එකාමෙන් එක්සත්ව ගමන් කළ නිසාවෙන් සිරි සරණපාල දහම් විද්‍යාලය වර්තමානය වන විට ලබා ඇති දියුණුව සුළුපටු නොවෙයි.

දරුවන්ගේ අධ්‍යාපන රටාව ශක්තිමත් කරමින් අද වන විට පිවිසුම් ශ්‍රේණියේ සිට ධර්මාචාර්ය ශ්‍රේණිය දක්වාම දරුවන්ට ලොව්තුරු සදහම් මග කියා දෙන මාහැඟි පුණ්‍ය භූමියක් බවට සිරි සරණපාල ධර්ම විද්‍යාලය පත්ව තිබේ.

දහම් පාසල් සිසු සිසුවියන්ගෙන් කොටසක්

විවිධ හැකියාවන්ගෙන් අනූන උගත් බුද්ධිමත් කාර්යශූර ගුරු මණ්ඩලයකින් හෙබි ධර්ම විද්‍යාලය ගුරුවරු, ගුරුවරියන් 28 දෙනෙකුගෙන් සමන්විත වේ. ඒ අතර උප ගුරුවරුන් පස් දෙනෙක් හා කාර්යාල සහායකවරුන් එක් අයෙකුද වේ. මෙම සමස්ත ආචාර්ය මණ්ඩලයෙන් වන සේවාව අමිලය.

තරගකාරි රටාව වෙනුවට සිසුන් තුළ ආකල්පමය හැදියාවන් ඇති කරලීමට යන මේ ගමනේදී හැමවිටම නව අරමුණු පෙරදැරිකර ගනිමින් මෙම මාවතේ පියනගන්නට ප්‍රධානාචාර්ය ස්වාමීන් වහන්සේ ක්‍රියා කිරීම පැසසුම්සහගතය.

සිරි සරණපාල ධර්ම විද්‍යාලය තුළින් සමස්ත සමාජයටම සිදුකරන අමිල මෙහෙවර අගය කරමින් විවිධ අවස්ථාවන්හිදී රටේ සමාජයේ විවිධ ප්‍රභූන් පැසසුම් සංදේශ පවා යොමුකර තිබීම සුවිශේෂත්වයකි.

මේ අතර දූ දරුවන්ගේ සහ සමාජයේ විවිධ තරාතිරමේ සෑම පුද්ගලයින්ගේම සදහම් නැණස වැඩි දියුණූු කරලීමේ මූලික අභිලාෂයෙන් තිසරණ සරණ නමින් තෛ‍්‍රමාසික දහම් පුවත් පතක් පවත්වාගෙන යාමද සිරි සරණපාල ධර්ම විද්‍යාලය ලැබූ විශේෂත්වයකි.

නිරන්තර විවිධ රාමු ඔස්සේ නව ආකල්ප මගින් අලුත් ගමනක් යන්නට වෙහෙසෙන මාවිත්තර සිරි සරණපාල දහම් පාසල තව තවත් දියුණු වී ඒ තුළින් අනාගත අභියෝගයන්ට මුහුණදිය හැකි මානව හිතවාදී ශාසන මාමක දූ දරු කැලක් මෙම ධර්මද්වීපයට බිහි වේවායි හෘදයාංගමව සුබ පතන්නෙමි.

 

 බක් අමාවක පෝය

 බක් අමාවක පෝය මැයි මස 06 වන දා සිකුරාදා පූර්ව භාග 04.47 ට ලබයි. 07 වන දා සෙනසුරාදා පූර්ව භාග 00.59 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මැයි මස 06 වනදා සිකුරාදාය. 

මීළඟ පෝය මැයි මස 13 වන දා සිකුරාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

මැයි 06

First Quarterපුර අටවක

මැයි 13

Full Moonපසෙලාස්වක

මැයි 21

Second Quarterඅව අටවක

මැයි 29


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]