UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

මාදුළුවාවේසෝභිත හාමුදුරුවෝ

මාදුළුවාවේසෝභිත හාමුදුරුවෝ

චරිතාපදානය-12

(මෙරට මෑත ශාසන ඉතිහාසයේ සුපේෂල ශික්ෂාකාමී හිමිනමක් වූ මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ චරිතාපදානය බුදුසරණ පුවත්පතට සම්පාදනය කිරීම සඳහා තොරතුරු සැපයීමට මඟ පෙන්වන්නේ කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහා නායක ආචාර්ය ඉත්තෑපාන ධම්මාලංකාර මහ නාහිමියන්ය.)

"තම අදහස් ඉදිරිපත් කරනු ලබන අවස්ථාවක උන් වහන්සේ කිසි විටක තමන් වහන්සේගේ අවශ්‍යතාවක් මුදුන් පත් කර ගැනීමට හෝ තමන් වහන්සේගේ මතය ඉදිරිපත් කිරීමට හෝ උන් වහන්සේට අවශ්‍ය නොවීය. රසවත් බව විනෝදකාමී බව එකක් බවත් යථාර්ථය සැබෑව තවත් එකක් බවත් උන් වහන්සේ පැහැදිලිවම අවබෝධ කරගෙන සිටියහ."

-බුද්ධ කාලයේ මෙන් නොව වර්තමානයේ තිබෙන සමාජ රටාව අනුව භික්ෂූන් වහන්සේ නමකට වුවද පුහුදුන් මේ සමාජයේ වැඩි පිරිසකගේ ප්‍රසාදයට ලක්ව දිවි ගෙවීම එතරම් පහසු නැත. මාදුළුවාවේ සෝභිත හිමියන් ඒ අතින් විශේෂ ස්ථානයක් ගත් භික්ෂූන් වහන්සේ නමක් බව කියා සිටිය යුතුමය. උන් වහන්සේ ධර්ම දේශකයාණන් වහන්සේ නමක ලෙසින් මෙන්ම දක්ෂ කථිකයකු සමාජ සේවකයාණන් වහන්සේ නමක් ලෙසින් ද ජාතිහිතෛෂී වශයෙන් ඉහළ ජනප්‍රියත්වයක් හිමි කර ගෙන සිටි භික්ෂූන් වහන්සේ නමකි.

එමෙන්ම විශේෂයෙන් සියලු ජාතිකයන් වෙනුවෙන් පෙනී සිටි භික්ෂූන් වහන්සේ නමක් ලෙසින්ද සෝභිත හිමියන් හඳුන්වා දිය හැකිය. භික්ෂූන් වහන්සේ වැඩියෙන්ම රැස්වන ස්ථානයක සෝභිත හිමියන් සිටියහොත් එහි ඇත්තේ අමුතු ගාම්භීර බවකි. කිසි½දු අයකුට පාලුව, කාන්සිය, විඩාව හෝ තනිකමක් නොදැනේ. සෝභිත හිමියන් වෙනත් භික්ෂූන් වහන්සේ නමක සමඟ හෝ ගිහි අයකු සමඟ හෝ කතා කරමින් සිටියත් පසෙකින් සිටින්නාට පවා කිසිදු ආකාරයක තනියක් නොදැනේ. එතැනදී සිදු වන්නේ උන් වහන්සේ සැමගේ විඩාව නිවා දැමීමය.

විශේෂයෙන්ම සෝභිත හිමියන් නිසා අනෙක් අය ලබන සතුට අප්‍රමාණය. සෝභිත හිමියන්ගේ බොහෝ ප්‍රකාශවල ගැබ්ව ඇති රසවත් බව කාලීන බව ස්ථානයට උචිත බව නිසා එය සැම දෙනාගේ සතුටට හේතු වනු ඇත. අත්‍යවශ්‍ය කරුණකට හැරෙන්නට සෝභිත හිමියන්ගේ කතාවක් අතරතුරු නැඟිට යන අයෙක් දකින්නට අපහසුය.

උන් වහන්සේගේ සාමාන්‍ය කතාවද ඒ ආකාරයෙන්ම රසවත්ය.

සෝභිත හිමියන්ගෙන් යම් අයකු පැනයක් ඇසුවහොත් එසේත් නැත්නම් පිළිතුරු බලාපොරොත්තු වන කතාවකට උන් වහන්සේගේ පිළිතුරු අමුතුම රසයක් ගෙන දෙන්නේය. උන් වහන්සේට ඒ සඳහා කුඩා කල සිටම හිමිව ඇති මුඛරිකම වඩාත්ම ප්‍රයෝජනවත්ය. එය උන් වහන්සේට ආභරණයක් වූවා මිස කිසිදු විටක ගැටලුවක් හෝ අඩුපාඩුවක් ලෙසින් හෝ දිස් නොවීය.

සෝභිත හිමියන් සමිපව ඇසුරු කරන්නෙකුට උන් වහන්සේගේ රසවත් හරබර වදන් ගැන හොඳ අවබෝධයක් ලබා ගැන්මට හැකියාව තිබුණි.

බොහෝ සංඝයා වහන්සේ දුර බැහැර ගමනක් වඩිනාවිටදී සෝභිත හිමියන් සිටින්නේ නම් ඒ සඳහා බොහොම කැමැත්තෙන් එක්වෙති. එම ගමනේ පාළුව, කාන්සිය, නිදිමත, කම්මැලිකම විඩාව සියල්ල සෝභිත හිමියන් විසින් දුරලන බැවිනි. මේ නිසාම දුර බැහැර ගමන් සඳහා බොහෝ විට සෝභිත හිමියන් සම්බන්ධ කර ගැනීමට බොහෝ භික්ෂූන් වහන්සේ විසින් කටයුතු කරන ලදී.

එසේ දුර බැහැර ගමන් වඩිනා විටදී රටේ තිබෙන ජාතික ප්‍රශ්න, දේශපාලන ප්‍රශ්න, ශාසනික ප්‍රශ්න, ඇතුළු සියලු දේ සාකච්ඡා කිරීම අනිවාර්යෙන්ම සිදු වේ. ඒ කුමන සාකච්ඡාවක් වුවත් වඩාත් හරබර වන්නේත් අර්ථවත් වන්නේත් සෝභිත හිමියන් නිසාය.

උන් වහන්සේ විසින් දශක හතරකට වැඩි කාලයක් තිස්සේ මුහුණ දුන් අනේකවිධ තාඩන පීඩන සහිත අත්දැකීම් සමුදාය මේ හරබර දේ සඳහා අත්දැකීම් සැපයුවේය.

බොහෝ දෙනා දන්නා කරුණක් සිදුවීමක් වුවත් සෝභිත හිමියන් ඉදිරිපත් කරන්නේ අලුත්ම අලුත් සිදුවීමක් ලෙසිනි. එය උන් වහන්සේගේ සහජ දක්ෂතාවයකි.

එසේ තම අදහස් ඉදිරිපත් කරනු ලබන අවස්ථාවක උන් වහන්සේ කිසි විටක තමන් වහන්සේගේ අවශ්‍යතාවක් මුදුන් පත් කර ගැනීමට හෝ තමන් වහන්සේගේ මතය ඉදිරිපත් කිරීමට හෝ උන් වහන්සේට අවශ්‍ය නොවීය. රසවත් බව විනෝදකාමී බව එකක් බවත් යථාර්ථය සැබෑව තවත් එකක් බවත් උන් වහන්සේ පැහැදිලිවම අවබෝධ කරගෙන සිටියහ.

මේ නිසා කිසිදු පක්ෂයකට හෝ පුද්ගලයකුට හෝ පක්ෂ නොවී නිදහස් අදහස් ප්‍රකාශ කිරීම සෝභිත හිමියන්ගේ විශේෂ ලක්ෂණයක් විය.

කිසිදු අවස්ථාවක තමන් වහන්සේට පෞද්ගලිකව සිදුවන පාඩු ගැන හෝ ගැටලු ගැන තකා උන් වහන්සේ කටයුතු කෙළේ නැත. උන් වහන්සේ සැම විටම කටයුතු කෙළේ රට ජාතිය ගැන සිතා බලමිනි. රැස්වීම්වලදීත් විශේෂ උත්සව අවස්ථාවලදීත් උන් වහන්සේ මේ මතයේම සිටියහ.

එසේම පොදු ජනතාවගේ මෙන්ම රටේ යහපතට හේතුවන අදහස් ප්‍රකාශ කිරීමට උන් වහන්සේ හැම විටම නොබියව ඉදිරිපත් වූහ.

බහුතර ජනතාවගේ සුබ සිද්ධියට හේතු වන අදහස් මත ඉදිරිපත් කිරීමට උන් වහන්සේ කිසිවිටක පසුබට නොවූහ. එය නැවැත්වීමට කිසිදු බලවේගයකට හැකියාවක් ලැබුණේ ද නැත.

උන් වහන්ස් සැමදා නියෝජනය කෙළේ ජනතාවගේ අදහස්ය. සත්‍ය උදෙසා උන් වහන්සේ කටයුතු කළහ. ඒ වෙනුවෙන් පෙනී සිටියහ. එම නිසාම උන් වහන්සේට ආ තර්ජන ගර්ජන මෙන්ම ගැරහුම්ද සීමාවක් නොවීය.

උන් වහන්සේට සිරබත් කන්නට සිදු වූයේ ඒ නිසාය. එදිරිවීර සරච්චන්ද්‍ර මහතාට පහරදුන් ධර්මිෂ්ඨ සමාජයක් උදෙසා පවත්වන ලද රැස්වීමේදී උන් වහන්සේට ද පහර කෑමට සිදුවූයේ එම නිසාය. මැයි දින සමරුව තහනම් කර තිබියදී නාරාහේන්පිට අභයාරාමයේ පැවැත් වූ මැයි දින සමරුවේදී වෙඩි ප්‍රහාර මැද්දේ උන් වහන්සේ ඇතුළු ගිහි පැවිදි දෙපිරිසටම දැඩි පීඩනයකට ගොදුරු වන්නට සිදුවූයේ එම නිසාය.

උන් වහන්සේ සැමවිටම අනුගමනය කෙළේ වාරියපොළ ශ්‍රී සුමංගල, මිගෙට්ටුවත්තේ ගුණානන්ද වැනි චරිතයන්ය. ඒ අනුවම තම දිවියද පරාර්ථය සඳහාම රට ජාතිය වෙනුවෙන්ම කැප කළහ. එසේ වුවත් කිසිදු දිනක කිසිදු විටක කිසිදු පුද්ගලයකුගේ නමක් ගමක් කියා ප්‍රසිද්ධියේ ඒ පුද්ගලයාට දෝෂාරෝපණය කරන්නට උන් වහන්සේ කටයුතු නොකළහ.

කිසිදු අයතුට නම් ගම් කියමින් ප්‍රහාර විවේචන එල්ල නොකිරීම උන් වහන්සේගේ ගුණෝපේචිත චරිතයේ විශේෂ ලක්ෂණයකි. දේශපාලන හා ආගමික වශයෙන්ද උන් වහන්සේගේ පිළිවෙත වූයේ එයයි. මේ නිසා කිසිදු දේශපාලකයකු පසු පස කිසිවක් ඉල්ලා නොගිය උන් වහන්සේගේ එකම ඉල්ලීම වූයේ සමගි සම්පන්න රටක් බිහි කිරීමට දේශපාලකයන් යොමු කිරීම පමණි.


පසුගිය සතියෙන් - මාදුළුවාවේ සෝභිත හාමුදුරුවෝ - චරිතාපදානය -11

 

 බක් අමාවක පෝය

 බක් අමාවක පෝය මැයි මස 06 වන දා සිකුරාදා පූර්ව භාග 04.47 ට ලබයි. 07 වන දා සෙනසුරාදා පූර්ව භාග 00.59 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මැයි මස 06 වනදා සිකුරාදාය. 

මීළඟ පෝය මැයි මස 13 වන දා සිකුරාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

මැයි 06

First Quarterපුර අටවක

මැයි 13

Full Moonපසෙලාස්වක

මැයි 21

Second Quarterඅව අටවක

මැයි 29


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]