UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බොරැල්ල අතුලදස්සන බෞද්ධ මධ්‍යස්ථානයේ පාරමිතා පෙරහර පෝදා

බොරැල්ල අතුලදස්සන බෞද්ධ මධ්‍යස්ථානයේ පාරමිතා පෙරහර පෝදා

කොළඹ 07, බෞද්ධාලෝක මාවතේ “අතුලදස්සන බෞද්ධ මධ්‍යස්ථානයේ “ වාර්ෂිකව “පාරමිතා පෙරහර” පාරමිතා යන විශේෂණ පදයකින් යුතුව හඳුන්වන්නේ සම්මා සම්බුදුවරයෙකු බවට පත්කරවීමේ පරම හෙවත් උතුම් කරුණක් පදනම් කොට පැවැත්වෙන පෙරහරක් හෙයිනි.

පාරමිතා බුද්ධකාරක ධර්ම ලෙසද හැඳින්වේ. සම්මා සම්බුදුවරයෙකු ලොව පහළවීමට හේතුවන නිසා මෙනමින් භාවිතා වූ බව පැහැදිලි වේ. ශ්‍රී ලංකාව, මියන්මාරය, තායිලන්තය ප්‍රධාන ථෙරවාදි බෞද්ධ රටවල බුදු,පසේබුදු, මහරහත් යන තුන්තරා බෝධියකින් එක්තරා බෝධියකට පත්ව නිර්වාණාවබෝධය අපේක්ෂා කෙරේ.

දාන, සීල, නෛෂ්ක්‍රම්‍ය, ප්‍රඥා, වීර්ය, ක්ෂාන්ති, සත්‍ය, අධිෂ්ඨාන, මෛත්‍රී, උපේක්ෂා, යන කරුණු දහය දසපාරමිතා නම් වේ. බුද්ධකාරක ධර්මා බොජ්ඣංග ධර්ම, මහාබෝධියාන, පටිපත්ති, අග්ගයාන ආදි විශේෂණ නාමයන්ගෙන් හඳුන්වන්නේ මෙම පාරමිතා ධර්මයයි. එසේම මෙම පාරමි පූරණ කරන ආකාරයෙන් තෙවැදෑරුම්ව දක්නට ලැබේ. මහාබෝධි පාරමි පච්චේක බෝධි පාරමී සාවකබෝධි පාරමි යනුවෙනි.

අතුල දස්සන බෞද්ධ මධ්‍යස්ථානයේ වාර්ෂිකව පාරමිතා පෙරහර බෝධිත්‍රයෙන් මහාබෝධි පාරමිතාව පදනම් කරගෙන සිදුවන්නකි. අධ්‍යයනයෙහි නියුතු බොහෝ සිසුදරුවන් මෙන්ම වැඩිහිටියන්ද ඇතැම්විට පාරමිතා නම් වශයෙන් දන්නවා මිස බුදුදහමේ ඒ සම්බන්ධව ඉගැන්වෙන යථාර්ථයට යොමුකරවීමේ කරුණු කාරණා දන්නේ අල්ප වශයෙනි. මේ අනුව දසපාරමිතා පෙරහර බුදුදහමේ යථාර්ථය කරා මනස මෙහෙයවන ඒ මග යන්නට මහත් අනුබලයක් දෙන්නකි.

1992 වර්ෂයේ මල් පෙරහරකින් ආරම්භව 2016 මැදින්පුර පසළොස්වක පොහෝ දින (මාර්තු 22 වෙනි දින) 24 වෙනි වරටත් පවත්වනු ලබන “අතුලදස්සන බෞද්ධ මධ්‍යස්ථානයේ” පාරමිතා පෙරහර” දේශීය විදේශීය සැදැහැවතුන්ගේ මෙන්ම සහායෙන් අත්‍යලංකාර පෙරහරක් ලෙස සඳහන් කළ හැකිය. මෙය උඩරට, පහතරට ආදී සියලු සංස්කෘතිකාංගයන්ගෙන් අනූනව පවත්වනු ලබන්නකි.

මෙම පාරමිතා පෙරහරේ නිර්මාතෘවරයා වන්නේ බුද්ධශාසන කීර්ති ශ්‍රී සද්ධර්ම භාණක ත්‍රිපිටකාචාර් ශ්‍රී සද්ධර්ම වාගීශ්වර ශ්‍රී සිද්ධාර්ථ මේධාලංකාර වංසාවතංස සල්පිටි හේවාගම් දෙකෝරළේ ප්‍රධාන සංඝනායක බොරැල්ලේ අතුල නායක හිමිපාණන් වහන්සේය.

සුපේශල ශික්ෂාකාමී යතිවරයාණන් වහන්සේ නමක් වන අතුල නාහිමිපාණන් වහන්සේ ජාතික, ආගමික, ශාසනික සමාජයීය කටයුතුවල නිරතවෙමින් ජන හදවත් දහම් සිසිලෙන් සනහාලන හිමිනමකි. මෙවන් පෙරහරක් පැවැත්වීමට දායක කාරකාදින්ගේ සහයෝගය ආධාරය තිබීමෙන් පමණක් කළ නොහැකිය. බුද්ධිමත් කාර්යශූර ශිෂ්‍යවරයන් වහන්සේලාද මහත් අනුබලයකි. අතුල දස්සනාරාමය , බොරැල්ල ගිලානෝපස්ථාන විහාරය, යන උභය විහාරාධිකාරි බෝගහවැව රතන හිමියන්ද, ලන්ඩන් නුවර අතුල දස්සන බෞද්ධ මධ්‍යස්ථානාධිපති බ්‍රිතාන්‍යයේ ප්‍රධාන සංඝනායක වදුරඹ කස්සප නාහිමියන්ද පරිවෙණාචාර්ය පණ්ඩිත බොරැල්ලේ මංගල හිමියන්ද සඳහන් කරන්නේ ගෞරවයෙනි. මෙම පාරමිතා පෙරහර සාර්ථක කරගැනීම සඳහා ගිහිපැවිදි ආරාධිතයන් රාශියක් මෙන්ම මැති ඇමැතිවරුද සහභාගි වෙති.

 

 මැදින් පුර පසළොස්වක පෝය

මැදින් පුර පසළොස්වක පෝය මාර්තු 22 වනදා අඟහරුවාදා අපරභාග 3.12 ට ලබයි. 23 වනදා බදාදා අපරභාග 5.30 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මාර්තු 22 වනදා අඟහරුවාදාය.

මීළඟ පෝය මාර්තු 31 වනදා බ්‍රහස්පතින්දාය


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

මාර්තු 22

Second Quarterඅව අටවක

මාර්තු 31

Full Moonඅමාවක

අප්‍රේල් 07

First Quarterපුර අටවක

අප්‍රේල් 14


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]