UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

දැයෙන් සමුගත් ගලගම ශ්‍රී අත්ථදස්සි මහා නා හිමි

දැයෙන් සමුගත් ගලගම ශ්‍රී අත්ථදස්සි මහා නා හිමි

දශක අටකට වැඩි කාලයක් කසාවත දරමින් ධර්මධර, විනයධර ශ්‍රේෂ්ඨ හිමි නමක ලෙස අති උදාරවූ ජාතික, ආගමික හා ශාසනික සේවාවක් ඉටුකරමින් දෙස් විදෙස් බෞද්ධ අබෞද්ධ ජනතාවගේ නොමඳ ගෞරවාදරයටපත් අපවත්වී වදාළ ස්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ මහා නායක අති පූජ්‍ය ගලගම ශ්‍රී අත්ථදස්ස්‍යාභිධාන මහා නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ (13) පස්වරුවේ දැයෙන් සමුගත්හ.


මහා නා හිමි ශි‍්‍ර දේහයට මහ සඟරුවන බුහුමන් දක්වමින්...

මහා නාහිමි ශ්‍රී දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව (13) පස්වරුවේ මහනුවර අස්ගිරිය පොලිස් ක්‍රීඩාංගණයේ දී පැවැත්වුණු අතර ඊට තෛ‍්‍රනිකායික මහාසංඝරත්නයද, සෙසු ආගමික පූජකවරුන් ද, ජනපති, අගමැති ඇතුළු මැති ඇමැතිවරුන්ද, දෙස් විදෙස් රාජ්‍ය තාන්ත්‍රිකයින් ද ඇතුළුව අතිවිශාල පිරිසක් සහභාගිවී සිටියහ.

මහජන ගෞරවය සඳහා අස්ගිරි මහා විහාරීය ප්‍රවර උපාලි නා හිමි අනුස්මරණ ශාලාවේ තැන්පත්කර තිබූ මහා නාහිමි ශ්‍රී දේහය (13) ඉරුදින පස්වරු 1.00 ට පමණ අස්ගිරි මහා විහාරීය කාරක සංඝ සභික හිමිවරුන්ගේ උර මතින් වැඩමවාගෙන විත් රන්සිවිගෙය සහිත රියෙහි වූ විශේෂ පීඨිකාවක තැන්පත් කැරිණි. පසුව ශ්‍රී දේහය රැගත් රිය පෙරහර එහි සිට අස්ගිරිය පොලිස් ක්‍රීඩාංගණය වෙත පැමිණියේය. දේහය මහනුවර නගරයේ වීදි ඔස්සේ වැඩම කරවන විට ගුවන් හමුදාවට අයත් හෙලිකොප්ටර් යානයකින් ගුවනේ සිට ඊට පුෂ්පෝපහාර දැක්වීය. ශ්‍රී දේහය වැඩමවූ මඟ දෙපස යුද හමුදා සෙබළුන් එක පෙළට සිටගනිමින් මහානාහිමි දේහයට ගෞරව පුදකළහ. පොලිස් නිල රථය පෙරටුකරගත් පෙරහරෙහි මහා නාහිමි ශ්‍රී දේහයට ඉදිරියෙන් සම්ප්‍රදායික උඩරට නිළමේ ඇඳුමින් සැරසී ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන නිළමේතුමා ප්‍රමුඛ සතර මහා දේවාල බස්නායක නිළමේවරු ගමන් ගත්හ.

මඟ දෙපස රැස්ව සිටි ජනතාව මහා නාහිමි ශ්‍රී දේහයට පුෂ්පෝපහාර දක්වමින් උන්වහන්සේට අවසන් ගෞරව දැක්වූහ.

අස්ගිරිය පොලිස් ක්‍රීඩාංගණය තුළ ඉදිකර තිබූ චිතකය තුළ දේහය තැන්පත් කිරීමට පෙර ඒ අසළවූ විශේෂ පීඨිකාවක ශ්‍රී දේහය තැන්පත් කිරීමෙන් පසු ආගමිකවතාවත් ඉටු කෙරිණි.

පිළිගැනීමේ කතාව මහනුවර දිස්ත්‍රික් ලේකම් එච්. හිටිසේකර මහතා විසින් සිදුකිරීමෙන් පසු අස්ගිරි මහවිහාර පාර්ශ්වය වෙනුවෙන් අනුනායක, බදුලු මුතියංගණ රජමහවිහාරාධිපති පූජ්‍ය වරකාගොඩ ඥානරතන අනු නාහිමි විසින් සිදුකරනු ලැබූහ.

මහා නාහිමි වෙනුවෙන් පැන්වඩා මතක වස්ත්‍ර පිළිගැන්වීම උන්වහන්සේගේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය මහියංගණ රජමහා විහාර භාරකාර උරුලෑවත්තේ ධම්මරක්ඛිත හිමි විසින් සිදුකරනු ලැබීය.

ප්‍රධාන අනුශාසනාව මල්වතු පාර්ශ්වයේ අනුනායක නියංගොඩ විජිතසිරි අනු නා හිමියන් විසින් සිදුකළ අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉන් අනතුරුව කතා කළේය.

අනතුරුව ආචාර වෙඩිමුර 21ක් තබා මහා නාහිමි ශ්‍රී දේහයට රාජ්‍යය ගෞරව පුදකළ අතර මහනුවර නගරය අඳුරවෙලාගනිද්දී මහා නාහිමි චිතකයකට ගිනි දැල්වූයේ සැමගේ නෙතට කඳුලක් එක්කරමිනි. තෛ‍්‍රනිකායික මහා සංඝරත්නය, අගමැති රනිල් වික්‍රමසිංහ මහතා, කතානායක කරූ ජයසූරිය, මැති ඇමැතිවරු, රාජ්‍ය නිලධාරීන් ඇතුළු විශාල පිරිසක් එම අවස්ථාවට සහභාගී වූහ.

ජනාධිපතිතුමා සහ අගමැතිතුමා ඇතුළු මැති ඇමැතිවරු පැමිණෙමින්...

ආදාහන පූජෝත්සවයට සහභාගි වූ මහ සඟරුවනින් කොටසක්

පැන් වඩා පින්පැතූ අයුරු

සහභාගිවූ මහ සඟරුවනින් කොටසක්

 

 මැදින් පුර පසළොස්වක පෝය

මැදින් පුර පසළොස්වක පෝය මාර්තු 22 වනදා අඟහරුවාදා අපරභාග 3.12 ට ලබයි. 23 වනදා බදාදා අපරභාග 5.30 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මාර්තු 22 වනදා අඟහරුවාදාය.

මීළඟ පෝය මාර්තු 31 වනදා බ්‍රහස්පතින්දාය


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

මාර්තු 22

Second Quarterඅව අටවක

මාර්තු 31

Full Moonඅමාවක

අප්‍රේල් 07

First Quarterපුර අටවක

අප්‍රේල් 14


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]