UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සිරිපා වන්දනාව ජීවිතයට මහත් ආශිර්වාදයකි

සිරිපා වන්දනාව ජීවිතයට මහත් ආශිර්වාදයකි

තුන්ලෝකාග්‍ර ශාන්ති නායක ලොව්තුරා සම්මා සම්බුදු රජාණන් වහන්සේ පිරිනිවීමට පත්ව වසර 2559 ක තරම් කාලයක් ගෙවී ගිය ද අද පවා උන්වහන්සේ වෙත වඳින පුදන සැදැහැවතුන් මහත් ශ්‍රද්ධා ගෞරව පෙරටුවම එසේ සිදු කරනු ලැබේ. බුදු රජාණන් වහන්සේ ලොවට මහා කරුණාවෙන් ම පහළ වූ ශ්‍රේෂ්ඨ ශාස්තෘන් වහන්සේ නමකි. ඒ සම්බුදු අසිරියෙහි ගුණ මෙනෙහි කිරීම බෞද්ධයා නිරන්තරයෙන්ම සිදු කරන්නකි.

ශාරීරික පාරිභෝගික හා උද්දේසික වශයෙන් ධාතූන් වහන්සේ වන්දනාමාන කරනු ලැබේ. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑමෙන් පසු සිදුකළ ආදාහනෝත්සවයේ දී ශ්‍රීමත් දන්ත ධාතූන් වහන්සේ ඇතුළු ශාරීරික ධාතූන් වහන්සේ ලබා ගත් සේක. ශ්‍රීමත් දන්ත ධාතූන් වහන්සේ මහනුවර ශ්‍රී දළදා මැදුරේ වැඩ සිටිති. එමෙන් ම අපේ රටේ ඓතිහාසික පූජනීය ස්ථානයන්හි උන්වහන්සේගේ ශාරීරික ධාතූන් වහන්සේ වැඩ සිටිති. බුදුරජාණන් වහන්සේ ජීවමාන සමයේ දී කේශධාතූන් වහන්සේ ලබා දුන් අතර මෙසේ වැඩ සිටින ධාතූන් වහන්සේ ශාරීරික ධාතූන් වහන්සේ ලෙස අප්‍රමාණ පූජා ගෞරවයට පාත්‍ර වනු ලැබේ.

අසංඛෙය්‍ය හතරකුත් කල්ප ලක්ෂයක් පුරා පෙරුම් දම් පුරා බුද්ධගයාවේ දී සම්මා සම්බුද්ධත්වයට පත් වූ මොහොතේ දී සෙවන සැලසූ බෝධීන් වහන්සේ පරිභෝග කළ හෙයින් අනුරපුර මහමෙව්නාවේ වැඩ වසන ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ ආදී පූජනීය වස්තූන් පාරිභෝගික ධාතූන් වහන්සේ වශයෙන් වන්දනාමාන කරනු ලැබේ.

බුදුරජාණන් වහන්සේ සිහිපත් කරමින් උන්වහන්සේ උදෙසා ප්‍රතිමා වහන්සේ වෙත විවිධ පූජෝපහාර පැවැත්වීම ද සිරිතකි. එසේ සිදු කරනු ලබන්නේ උද්දේසික ධාතු වන්දනාවය. මෙම ශාරීරික, පාරිභෝගික, උද්දේසික ධාතුන් වහන්සේට චෛත්‍යය යන නමද ව්‍යාවහාර කරනු ලැබේ.

බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී පාද පද්මය පිහිටි ශ්‍රී පාදස්ථානය සොළොස්මස්ථාන අතර පූජනීය ස්ථානයකි. බුදුරජාණන් වහන්සේගේ ඓතිහාසික පළමු හා තෙවන ලංකා ගමනයට සම්බන්ධවේ. බුදුරදුන් හමුවන පළමු වන ගමනේ දී සුමන සමන් දෙවියන් සමන්තකූඨ වැසියකු ලෙස වංශ කථා දක්වයි. බුදුරදුන් තෙවනවර කැලණියට වැඩම කළ අවස්ථාවේදී සුමන සමන් දෙවියන් කැලණියට ගොස් සමන්තකූඨයට වැඩම කරවන ලෙස ආරාධනා කරන ලදී. එසේ වැඩමවා සිරිපා පත්මය පිහිට වූ බව වංශකථා සඳහන් කරයි.

ශ්‍රී පාද ස්ථානය වන්දනාමාන කිරීම අතීතයේ දී සිය ජීවිත පරිත්‍යාගයෙන් සිදු කළ වන්දනාවකි. ගිරිදුර්ග, වනදුර්ග තරණය කරමින් ඉතා දුෂ්කරව සිදු කළ දීර්ඝ වන්දනා ගමනක් වෙතොත් එය ශ්‍රී පාද වන්දනාව වේ. අතීතයේ අප මුතුන් මිත්තන් කල ගම්වැසියන් ඒකරාශි වී වැඩි වන්දනා වාරයක් පැමිණි තැනැත්තා නඩේගුරා ලෙස පත් කරගෙන සිරිපා වන්දනාවට විශාල පිරිසක් පැමිණියේය. එසේ පැමිණෙන විට සිරිපා අඩවිය සමන් දෙවියන්ගේ අඩවිය වන හෙයින් සමන් දෙවියන් වෙත භාරහාර වෙමින් මහත් දේව භක්තියෙන් ද පැමිණීම සිරිතක් ව පැවැතුණි.

ගමනේ දුෂ්කරතාව, විඩාව නිසාම වන්දනා ගමන අතරතුර ඒ විඩාව ගමන් මහන්සිය දුරුකර ගැනීමට අදාළ කෑම වර්ග ද කල් ඇතිව සූදානම් කර ගැනීම ද සිරිතක්ව පැවතිණි. වන්දනා නඩය ගමන් ආරම්භ කළේ ද තුන් සරණේ කවි ගායනා කරමිනි. ශ්‍රී පාද වන්දනාව කෙතරම් දුෂ්කරවූව ද ජීවිත කාලය තුළ සිරිපා වන්දනා වාරයේ දී වාර්ෂිකව එය වන්දනා කිරීමේ සිරිතක් ද ජන සමාජය තුළ පවතී. මෙසේ පැමිණෙන වන්දනාකරුවන් තුළින් ජන සමාජයේ සමගිය, අන්‍යෝන්‍ය සුහදතාවය තව තවත් තහවුරු විය.

විශේෂයෙන් එකිනෙකා කෙරෙහි දයානුකම්පාවෙන් කටයුතු කරන වන්දනා ගමනක් වෙතොත් විශේෂයෙන් ඒ ශ්‍රී පාද වන්දනාව බව කිවයුතුය.

රටක වත්මන් දරු පුරපුර අනාගතයේ දී වැඩිහිටි පරපුර වේ. එසේ නම් ඔවුන් එදාට අතීතයේ දී අප මුතුන් මිත්තන් සිදු කළ යහපත් කටයුතු පිළිබඳ දැනුම අවබෝධය මෙන් ම අත්දැකීම් ද ජීවිතයට ළඟා කර ගත යුතුය. එබැවින් සිය ජීවිතයේ ශක්ති සම්පන්න තුරුණු විය ආගමික කටයුතු කෙරෙහි ද වැඩි නැඹුරුතාවයක් ද දැක්වුවහොත් එය ජීවිත ගමන සාර්ථක කර ගැනීමට ද යහපත් අත්තිවාරමක් වනු ඇත. විනෝදාස්වාදය ලබන විනෝද චාරිකාවකට වඩා ආධ්‍යාත්මික ශක්තිය උදාකරවන වන්දනා චාරිකාව සෑම අංශයක ම සතුට සැනසීම උදාකරවනු ලැබේ. ආවේග පාලනයට ද වන්දනාව උපකාරීවේ. ස්වභාව සෞන්දර්ය අගයන පරිසර හිතකාමී ජන ජීවිතයකට සිරිපා වන්දනාවෙන් මහත් ආදර්ශයක් ම හිමිකර දෙනු ඇත.

ශ්‍රී පාද ස්ථානය වන්දනාව සඳහා ඊටම ව්‍යවහාර වන භාෂා ශෛලිය තුළින් පවා සිතට මහත් අස්වැසිල්ලක් උදාකරවයි. වසරේ මාස හයක් පමණ සිරිපා වන්දනා සමය තුළ සිරිපා කරුණා කිරීමට ලක්ෂ සංඛ්‍යාත සැදැහවතුන් පිරිසක් දිවා රෑ දෙකෙහි වන්දනා කිරීම ආදර්ශවත් අවස්ථාවකි. මහත් කැපවීමෙන්, පේවීමෙන් කරනු ලබන සිරිපා වන්දනාව තුළ කට වරද්දා ගැනීමෙන් ප්‍රවේශම්වීමට අමතක නොකිරීම ද විශේෂ සිද්ධියක් වේ.

අතීත මුතුන් මිත්තන් දවස වාර්ෂිකව වන්දනායාම සිරිතක්ව පැවතිණි. ඒ සඳහා කාලය, ධනය මහත් ඕනෑකමින් වැය කරන ලද්දේ මෙලොව ජීවිතයට පමණක් නොව පරලොව ජීවිතය ද සුගතිගාමී කර ගැනීමේ අභිලාෂය ඔවුන්ගේ සිත්තුළ පැළ පදියම් වී තිබුණු හෙයිනි. ගමක, පළාතක සමගිය, සුහදතාවය වර්ධනය කරවූ එම වන්දනා චාරිකා වෙනුවෙන් බොහෝ දෙනා සම්මාදම්වීමට පවා මහත් ඕනෑකමක් දැක්වූයේ ය. වන්දනා ගමනට සම්බන්ධවීමට නොහැකි අය වන්දනාවේ යන අය වෙත පඬුරු ලබා දෙමින් හෝ අවම ලෙස ඊට දැක්වූයේ ප්‍රබලදායකත්වයකි.

තමන්ගේ සිත් තුළ පුරවාගෙන තිබෙන අහිංසක බලාපොරොත්තු පඬුරු පුදා භාරහාර වීමෙන් දේවාශිර්වාදය ලබා ගැනීමට ද ඔවුහු උනන්දු වූහ. කෙසේ වූව ද සිරිපා වන්දනාව වැනි පූජනීය වන්දනා අවස්ථා එදා මෙන් අදත් අපේ සමාජයෙන් බැහැර නොවී පැවැතීම ජනතාවගේ මහත් භාග්‍යයක් ලෙස කල්පනා කරමු. අද වෙසෙන අපගේ වගකීම හා යුතුකම වනුයේ ද මුතුන් මිත්තන් පවත්වාගෙන ආ එබඳු යහගුණයන් අනාගත පරපුර වෙත ද ආදර්ශයෙන් පවත්වාගෙන යාමට ඔවුන්ට නිසි මඟ පෙන්වාදීමය.

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ 34 වන සංවත්සරය නිමිත්තෙන් සෑම වසරකම මැදින් පෝදා ශ්‍රී පාදස්ථානයේ දී ආගමික වතාවත් සිදු කෙරේ. ශ්‍රී පාදස්ථානාධිපති බෙන්ගමුවේ ධම්මදින්න නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ අනුශාසනා පරිදි පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතාගේ ද පූර්ණ මෙහෙයවීමෙන් මෙම මැදින් පෝදා සුවිශේෂී පින්කම් මාලාවක් පැවැත්වීමට කටයුතු යෙදීම ප්‍රශංසනීය ක්‍රියාවකි.

මෙවන් සුවිශේෂී ආගමික කටයුතු ඉටු කිරීමට ශක්තිය හා ධෛර්ය දෙන හැම දෙනා ද මෙහි දී කෘතවේදීව සිහිපත් කරමු.

තෙරුවන් සරණින්

සමන් දෙවියන්ගේ පිහිට පතමු.

 

 මැදින් පුර පසළොස්වක පෝය

මැදින් පුර පසළොස්වක පෝය මාර්තු 22 වනදා අඟහරුවාදා අපරභාග 3.12 ට ලබයි. 23 වනදා බදාදා අපරභාග 5.30 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මාර්තු 22 වනදා අඟහරුවාදාය.

මීළඟ පෝය මාර්තු 31 වනදා බ්‍රහස්පතින්දාය


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

මාර්තු 22

Second Quarterඅව අටවක

මාර්තු 31

Full Moonඅමාවක

අප්‍රේල් 07

First Quarterපුර අටවක

අප්‍රේල් 14


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]