UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

මුනි සිරිපා වන්දනා විශේෂ සුභ පැතුම්

මුනි සිරිපා වන්දනා විශේෂ සුභ පැතුම්

සිරිපා වන්දනාවේ ගිය ඔවුනට එවක එකම පිළිසරණ වූයේ අනන්ත බුදුගුණ පමණි

අනාදිමත් අතීතයේ සිට විවිධ ආගමික බැතිමතුන් තම ආගමික විශ්වාසයන් අනුව මහත් බැතියෙන් වන්දනා මාන කරනු ලබන සිරිපා ගිරි සිරස බහු ආගමික සංහිඳියාව සිය හිසින් දරා සිටින අතිපූජනීය පුදබිම් පරිශ්‍රයකි.

බොදුනුවන් වන අපට මේ උත්තුංග ගිරි හිස අප සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ සිරි පතුල පිහිටා ඇති උතුම් පින්බිමකි. චිරාත් කාලයක් මුළුල්ලේ සිට ගිරිදුර්ග, ජල දුර්ග තරණය කරමින් හීතල හිමයේ අපමණක් අතුරු අන්තරාවන් නොතකා අපගේ මුතුන් මිත්තන් මේ අසිරිමත් ගිරි හිස වන්දනා කරන්නට කැප වූයේ ජීවිත අවදානම ද නොතකාය. තමන් සතු සියලු වත්කම්, අනුනට පවරා ඔවුන් ඈත අතීතයේ සිරිපා වන්දනාවේ ගියේ අප්‍රමාණ වූ බුදු බැතිය මත අන් සියල්ල අත් හරිමිනි.

හුළු අතු එළියෙන් පාර අසාගෙන සිරිපා වන්දනාවේ ගිය ඔවුනට එවක එකම පිළිසරණ වූයේ අනන්ත බුදුගුණ පමණි. තුන් සරණේ කවි හඬ නගා ගායනා කරමින් මහ හිමය තරණය කළ අප මුතුන් මිත්තන් අත් නොවිඳි නවීන තාක්ෂණය දැන් මේ අනුහස් සහිත තුඟු ගිරි සිරස අප නිවහනේ සිට වන්දනා කිරීමේ ඇදහිය නොහෙන විස්මිත අත්දැකීම අප වෙත ළඟා කර දී තිබේ. ඒ විද්‍යුත් රූප මාධ්‍යය ඔස්සේ ය.

දුෂ්කර හිමය තරණය කළ නොහෙන වියපත් බැතිමතුන්ටත්, රෝගීන් සහ කාල විවේකය අහිමි කාර්යය බහුල බැතිමතුන්ටත් මෙවර ජාතික රූපවාහිනිය රැගෙන එන මුනි සිරිපා වන්දනා වැඩසටහන උතුම් සිරිපා නමස්කාරයක් වන බව අපගේ විශ්වාසයයි. මෙහිලා දායක කාරක වන සියලු දෙනාටත් බුදුසරණ පුවත්පතටත් සියලු බැතිමතුන්ගේ පින් අනුමෝදනා පිළිගැන්වෙනු නිසැකය.


ඉපැරැණි සිරිපා සංස්කෘතිය අරුත් ගැන්වෙන පුණ්‍ය මහෝත්සවයක්

බුදුන්වහන්සේගේ පාද ස්පර්ශයෙන් වන්දනීය වූ සකල ලෝකවාසී බෞද්ධ ජනතාවගේ මෙන්ම අන් ආගමික සැදැහැතියන්ගේ පවා පූජාභිවන්දනයට, ගෞරවයට පාත්‍රවූ ශී‍්‍ර පාද ස්ථානය හා බැඳි ආධ්‍යාත්මික, සංස්කෘතික හර පද්ධතිය පරපුරෙන් පරපුරට ඉදිරියට ගෙන යමින් ආරක්ෂා කරගැනීම අප සැමගේ වගකීමකි.

අතීතයේ සිටම සමනල ගිරි කරුණා කිරීම ලාංකේය ජන ජීවිතය හා බැඳී පැවැති සුවිශේෂ වන්දනා චාරිකාවකි. ආගමික පිළිවෙතකි. සැදැහැවත් ජනතාව අතර සාමූහිකත්වය, සහජීවනය, මෛත්‍රිය, කරුණාව ගොඩනැංවූ මෙම වන්දනා ගමන සිරි පා අඩවියේ සොබාදම් සුන්දරත්වය විඳිමින්, ඒ හා බද්ධ වෙමින් යන අපූර්වතම චාරිකාවකි.

මැදින් පුන් පොහෝ දින ශ්‍රී පාද මළුවේ සිට සජීවි ලෙස විකාශනය කරනු ලබන “මුනිසිරිපා’ වන්දනා’ වැඩසටහන සහ ඒ වෙනුවෙන් බුදුසරණ පුවත්පත පළ කරන විශේෂ ලිපි සිරිපා අඩවියත්, සිරිපා සංස්කෘතියත්, ශී‍්‍ර පාදය හා බැඳි ආධ්‍යාත්මික අගයත්, ලාංකේය ජන හදට තව තවත් සමීප කරවන්නට මහඟු අත්වැලක් වනු ඇතැයි අපේක්ෂා කරමි.

බුදු පා පහසින් පූජනීය වූ සොබාදහමේ අසිරියෙන් මනස්කාන්ත වූ සමනල ගිර මුනි සිරි පා වන්දනාව ධර්මයේ ආලෝකයෙන් සැම සිත් පහන් වන වසර දහස් ගණනක් ඉපැරණි සිරිපා සංස්කෘතිය අරුත් ගැන්වෙන උතුම් පුණ්‍ය මහෝත්සවයක් වේවායි මෙත් සිතින් ශුභාශිංසන ගෙනෙමි.

 


සාමූහික සංස්කෘතියේ හරය අනාගත පරම්පරාව සඳහා රැක ගනිමු

මැදින් මස පොහොය දින සිරිපා මහ මළුවේ සිට කෙරෙන ‘මුනි සිරිපා’ වන්දනා වැඩසටහනේ මුද්‍රිත මාධ්‍ය අනුග්‍රහය දක්වන බුදුසරණ පුවත්පත ඒ වෙනුවෙන් විශේෂ ලිපි ඇතුළත් කිරීමට තීරණය කිරීම සම්බන්ධයෙන් බුදුසරණ කර්තෘතුමා ඇතුළු කර්තෘ මණ්ඩලයට මාගේ ස්තුතිය පළමුකොට පුද කරමි.

මැදින් පොහෝ දින ‘මුනි සිරිපා’ වන්දනා වැඩසටහන වනාහි සමස්ත සිරිපා වන්දනා වාරය ඇතුළත දී සිරිපා මහ මළුවේ කෙරෙන අතිවිශාල පුණ්‍යෙීත්සවයකි. එය ජාතික රූපවාහිනිය මඟින් සජීවීව විකාශය කරනු ලබයි. මෙවර පුණ්‍යෙීත්සවයේ වැදගත්කමක් වන්නේ බුදුරජාණන් වහන්සේගේ වම් සිරිපා සළකුණ වූ ශ්‍රී පාදය වෙත මැණික් කරඬුවක් පූජා කිරීමයි. එම විශේෂත්වය සහිත මෙම පින්කම ඉතා විචිත්‍රව සංවිධානය කිරීම සඳහා ශ්‍රී පාදස්ථානයේ විහාරාධිපති, පැල්මඩුල්ල රජමහා විහාරයේ විහාරාධිපති බෙන්ගමුවේ ධම්මදින්න නායක මාහිමිපාණන් වහන්සේ විසින් දක්වන ලද විශිෂ්ට උපදේශකත්වය සහ අනුශාසකත්වය බැතිබර සිතින් අගයමි.

ශ්‍රී පාදස්ථානය සකල ලෝකවාසී බෞද්ධයින්ගේ පූජාභිවන්දනයේ මුදුන් මල්කඩකි. එසේම එය බෞද්ධයින්ට පමණක් නොව අනෙකුත් සියලුම ආගමික සැදැහැතියන්ගේ ද පූජාභිවන්දනයට පාත්‍ර වූ අසිරිමත් පින් බිමකි. මේ පින් බිම රැකගනිමින්, එමගින් අවුරුදු දස දහස් ගණනක් තිස්සේ ජනිත වූ සාමූහික සංස්කෘතියේ හරය රැකගනිමින් ශ්‍රීපාදය වන්දනා කරන සුවහසක් ජනී ජනයා සඳහා පොදු පහසුකම් සලසමින්, පරිසරය සුරකිමින් ශ්‍රීපාදයත්, සිරිපා අඩවියත්, සිරිපා සංස්කෘතියත් අනාගත පරපුරට මහාර්ඝ සම්පතක් ලෙස දායාද කිරීම සියලු සාධු ජනයාගේ වගකීම වන්නේ ය. මෙවර මුනි සිරිපා වන්දනා වැඩසටහනට නන් අයුරින් දායක වූ සියලු දෙනාටම පින් පෙත් පමුණුවමි.

තෙරුවන් සරණයි!

සමන් දෙවිඳු කරුණාවයි.!


මුනිසිරිපා වන්දනාව සමඟ එක්වෙමු

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව වාර්ෂිකව මැදින් පොහෝ දින සජීව විකාශය දශක තුනක් තිස්සේම ශ්‍රී පාදස්ථානය කේන්ද්‍රකරගෙන සිදුකරයි. ජාතික රූපවාහිනිය සමඟ නිබඳව එක්ව සිටින ප්‍රේක්ෂකයන්හට එය අලුත් තොරතුරක් නොවූද අඛණ්ඩව සිදු කෙරෙන මෙම පුණ්‍ය මහෝත්සවය මෙවර විශේෂත්වයකින් යුතුව සංවිධාන කොට ඇත්තේ ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ 34 වන සංවත්සරයද නිමිති කරගෙනය.

ඒ අනුව ශ්‍රී පාදස්ථානයට පැමිණෙන බැතිමතුන්ගේ වන්දනාව උදෙසා සර්වඥ ධාතු සහිත කරඬුවක් එම ස්ථානයට පූජා කිරීම සහ ඒ වෙනුවෙන් විශේෂ පූජාමය පින්කමක් සැලසුම්කර තිබේ. ‘මුනි සිරිපා වන්දනා- 2016” රූපවාහිනී වැඩසටහන් මාලාව යටතේ සධාතුක මැණික් කරඬුව රූපවාහිනී සංස්ථාවේ සිට සිරිපා මළුව දක්වා වැඩම කරවීම මාර්තු 19 දින ආරම්භ කෙරේ. එදින සවස මාඋස්සාකැලේ සමන් දේවාලයට වැඩමවන සධාතුක මැණික් කරඬුව 20වන දින පුරා එහි සිට වන්දනාමාන කිරීමට බැතිමතුන්ට අවස්ථාව සලසා දී තිබේ. 21 සඳුදා පෙරවරුවේ සධාතුක මැණික් කරඬු පූජා පෙරහර ශ්‍රී පාදස්ථානය වෙත සැපත් කිරීමට නියමිතය.

ශ්‍රී පාද පද්මයට සහ සමන් දෙවිඳුන්ට කෙරෙන මෙම උත්තම සත්කාර පෙරහර අතරතුරදී රෝස මල් පූජාවට බැති සිතින් එක්වන මෙන් ජාතික රූපවාහිනිය බැතිමතුන්ගෙන් ඉල්ලා සිටියි. ඒ පිළිබඳ සියලු තොරතුරු මේ දිනවල අඛණ්ඩව ජාතික රූපවාහිනිය ඔස්සේ විකාශය කෙරෙමින් පවතී. මීට අමතරව පොහොය දින පුරා සිරිපා මළුවේ සිට “සද්ධර්ම වර්ෂා” පොහොය විකාශය සිදු කිරීමට පියවර ගෙන ඇති බවද අප දැනුම් දෙන්නේ ඉමහත් අභිමානයෙනි. එදින රාත්‍රී 10.00 සිට සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාවක් විකාශය කිරීමට පියවර ගෙන තිබේ. අතිමහත් උත්කර්ෂවත්ව සංවිධානය කොට ඇති මුනි සිරිපා වන්දනාව - 2016 වැඩසටහන සමඟ අත්වැල් බැඳ ගන්නා මෙන් ජාතික රූපවාහිනිය සකල ශ්‍රී ලංකාවාසී ප්‍රේක්ෂක ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ සැදැහැ සිතිනි.

 

 මැදින් පුර පසළොස්වක පෝය

මැදින් පුර පසළොස්වක පෝය මාර්තු 22 වනදා අඟහරුවාදා අපරභාග 3.12 ට ලබයි. 23 වනදා බදාදා අපරභාග 5.30 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මාර්තු 22 වනදා අඟහරුවාදාය.

මීළඟ පෝය මාර්තු 31 වනදා බ්‍රහස්පතින්දාය


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

මාර්තු 22

Second Quarterඅව අටවක

මාර්තු 31

Full Moonඅමාවක

අප්‍රේල් 07

First Quarterපුර අටවක

අප්‍රේල් 14


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]