UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සමන් දෙවිඳු ආර්ය ශ්‍රාවකයෙකි

සමන් දෙවිඳු ආර්ය ශ්‍රාවකයෙකි

සමන් දෙවිඳුන්ගේ ඉතිහාසය බුදුරදුන්ගේ ලංකාගමනය දක්වා වර්ෂ දෙදහස් පන්සියයකට වඩා ඈතට දිව යන්නකි. එදා බුදුරදුන් මහියංගනයට වැඩම කළේ යකුන් දමනය කිරීමටය. සුමන දෙවි ඒ අවස්ථාවේ එහි සිටියේ යක්ෂ ගෝත්‍රිකයකු වු නිසාද කියා ප්‍රශ්නයක් මතුවේ. එසේ වුවද සුමන දෙවි සෝවාන් මඟ ඵල පසක් කර ආර්ය ශ්‍රාවක භාවයට පත්වීමෙන් පසු යක්ෂ ගති අත්හල කරුණා, මෛත්‍රි ආදි බෞද්ධ සදහම් කරුණු වලින් යුත් අයකු වී සැමට සෙත ශාන්තිය සැලසීමට යොමු වූ වග පිළිගත යුත්තකි.

සමන් දෙවිඳුන් පිළිබඳව විචාරකයෝ විවිධ මත ඉදිරිපත් කරති. දේවවංශික නායකයා මළ පසු සමන්දෙවි වීම, සුමන දෙවි නාග ගෝත්‍රිකයෙකි යන්න යම භූමි සමන් දෙවි වීම, මහායාන සමන්ත භද්‍ර බෝසතුන් සමන් දෙවි වීම, ලක්ඛණ කුමරු දෙවි වීම ආදී මත විචාරක අදහස්ය.

ඉතිහාසයේ යුග පෙරළිය අනුව මුලින් පැවති අදහස් පසුව වෙනස් වේ. භාරත ඉතිහාසයේ ආදි වේද යුගයේ සිටි දෙවිවරුන් අඹන විට ඉඳුරා වෙනස් වී තිබේ. ආදි කාලයේ භාරතයේ සිටියේ ස්වභාවික වස්තු දෙවියන්ය. අද භාරතයේ ගරු බුහුමන් ලබන්නේ විෂ්ණු ශිව ආදි නූතන දෙවිවරුන්ය. කාලයට හා සමාජය අනුව, ජනතා අවශ්‍යතාව අනුව ඇදහිලි වෙනස් වී තිබේ.

ලක්දිව පණ්ඩුකාභය ඒ යුගයේ සිටි දෙවිවරුන්ගේ නම් පවා අද භාවිතයේ නැත. අද ශ්‍රී ලංකාවේ භාරතීය දෙවිවරුන්ට මෙන්ම ශ්‍රී ලාංකීය දෙවිවරුන්ද සම්භාවනාවට ලක්වී තිබේ. විෂ්ණු, ශිව, ගණදෙවි, කතරගම හා පත්තිනි ආදි දෙවිවරුන් භාරතයේද සම්මාන ලබාගත්හ. ඔවුන් ලංකාවේද දෙවිවරුන්ය. මේ අතර ශී‍්‍ර ලාංකීය දෙවිවරුන් වශයෙන් සමන්, අයියනායක, විභීෂණ දැඩි මුණ්ඩ, සීනිගම ආදි ප්‍රාදේශීය වශයෙනුත්, පොදුවේ මුළු රටේමත් සම්භාවනාවට පත්වූ දෙවිවරුන් රාශියක් ඇත. ඒ අතර සුමන සමන් දෙවියන්ට සපරගමුවේ විශේෂ වශයෙනුත් පොදුවේ රටේමත් මහත් ගෞරවයක් ඇත.

සමන් දෙවිඳුන්ගේ ඉතිහාසය බුදුරදුන්ගේ ලංකාගමනය දක්වා වර්ෂ දෙදහස් පන්සියයකට වඩා ඈතට දිව යන්නකි. එදා බුදුරදුන් මහියංගනයට වැඩම කළේ යකුන් දමනය කිරීමටය. සුමන දෙවි ඒ අවස්ථාවේ එහි සිටියේ යක්ෂ ගෝත්‍රිකයකු වු නිසාද කියා ප්‍රශ්නයක් මතුවේ. එසේ වුවද සුමන දෙවි සෝවාන් මඟ ඵල පසක් කර ආර්ය ශ්‍රාවක භාවයට පත්වීමෙන් පසු යක්ෂ ගති අත්හල කරුණා, මෛත්‍රි ආදි බෞද්ධ සදහම් කරුණු වලින් යුත් අයකු වී සැමට සෙත ශාන්තිය සැලසීමට යොමු වූ වග පිළිගත යුත්තකි.

සිදුහත් කුමරු පැවිදි වන දා කපා ඉවත දැමූ කෙස් වැටිය භාරගත් සක් දෙවිඳු එය තැන්පත් කර සිළුමිණි සෑය ඉදි කළේ සක්‍ර භවනේය. එහෙත් සමන් දෙවිඳු බුදු රදුන්ගෙන් ලබාගත් කේශ ධාතු තැන්පත් කර ඇත්තේ මහියංගණයේය. එයින් එකල සමන් දෙවිඳු මනුෂ්‍ය ආත්මයේ සිටියා දැයි සිතීමට හේතුවේ. මනුෂ්‍යාත්මයේ සිටියත් සෝවාන් මඟ ඵල ලැබූවකු නිසා මරණින් මතු දේවත්වයට පත්වීම අනිවාර්ය ය. ඒ නිසා දෙවියන් දීර්ඝායුෂ්ක නිසා අද දක්වාම සමන්දෙවිඳුන් ජීවමාන වීම පිළිගත යුතුවේ.’ අදත් බැතිමතුන්ට පිහිට වීම දක්නට ඇත.

පෙර සඳහන් කළ පරිදි ඉතිහාසයේ යුග පෙරළිය අනුව කෝට්ටේ රාජ කාලයෙන් පසු ශ්‍රී ලාංකික ආර්ය ශ්‍රාවක සමන් දෙවිඳුන්ට විෂ්ණු ආරූඪයක් කර ඇත. පොළොන්නරු යුගයෙන් පසු ලක්දිව දේව සංකල්පයට භාරතීය හින්දු බලපෑම තදින් සිදුවිය. ඒ අනුව ලක්දිව දේවාලයක් ඉදිකිරීම ශිඝ්‍ර ලෙස වර්ධනය වී ඇති අතර හින්දු දේවාලයන්හි පවත්වන අභිචාර විධි ද මෙරටට තදින් බලපා තිබේ. ඒ අතර මහනුවර රාජධානියට හින්දු භක්තික රජුන් ප්‍රවිෂ්ඨ වීම තුළින්ද හින්දු අභිචාර විධි වලට ප්‍රමුඛස්ථානය හිමිවී ඇත.

මේ තත්වයෙන් සපරගමු මහ සමන් දෙවොලද නොමිඳුනේය. විශේෂයෙන් බ්‍රාහ්මණ ගෝති‍්‍රක කපු පරම්පරාවක් සපරගමු මහා සමන් දෙවොලේ භාරකාරයන් වීම නිසා මෙම දෙවොලටද හින්දු අභිචාර විධි දැඩි ලෙස ප්‍රවිෂ්ඨ වී තිබේ. අදත් සමන් දෙවොලේ ස්තෝත්‍ර වලින් විෂ්ණු දෙවියන්ගේ ආනුභාව ප්‍රථමයෙන් ප්‍රකාශ වේ. එහි සමන් දේව ස්තෝත්‍රද ඇත. වර්ග දෙකම මිශ්‍රවී ඇත. එහි ඇති බොහෝ අභිචාර විධි හින්දු ආභාසය ලැබූ ඒවාය.

ආය¸ ශ්‍රාවක සමන් දෙවියන්ට දුනු ඊතල නැත. දුනු ඊතල සම්බන්ධ වී ඇත්තේ රාම රාවණ යුද්ධයකටය. රාම රාවණ යුද්ධය හින්දු ප්‍රබන්ධයකි. රාම රාවණ යුද්ධය කෙරී තිබුණත් එයට සමන් දෙවිගේ කිසිදු සම්බන්ධයක් නැත. රාම රාවණ කථාවත් දුනු ඊතල සම්බන්ධ දේවාභරණත් සමන් දෙවොලට පිවිසි ඇත්තේ හින්දු බලපෑම් නිසාය. ආර්ය ශ්‍රාවක සමන් දෙවිඳු අවි ආයුධවලින් සතුරන් මැඩ පැවැත්වීමක් කරන්නේ නැත. සුමන සමන් දෙවිඳුගේ පැවැත්ම කාරුණිකය.හේ උදව් පතන්නන්ටත් නොපතන්නන්ටත් සමසේ කරුණාව දක්වන්නෙකි. කරුණාවයි” කරුණාවයි” සුමන සමන්දෙවි කරුණාවයි. යන්න බැතිමතාගෙන් පුන පුනා කියවෙන්නේත් ආර්ය ශ්‍රාවක සමන් දෙවිඳුන්ගේ චරිතයට අනුරූපවය.

ලක්දිව බොහෝ දේවාලයන් ඇත. ඒ දේවාල වලට අරක් ගෙන ඇත්තේ ආය¸ ශ්‍රාවක දෙවිවරුන් නොවේ. ඉන් සමහර දෙවිවරුන් සතුරන්ගෙන් පලිගන්නේය. මිතුරන්ට සුබසෙත සලසන්නේය. සමන් දෙවිඳු සතුරු මිතුරු දෙපසට සම සිතය. සම මෙතය. සම කරුණාවය. අන් දෙවිවරුන් හා සැසඳීමේදී සමන් දෙවිඳුන්ගේ මෙම වෙනස ඇත. ඒ ආය¸ ශ්‍රාවක නිසාය. සෝවාන් මඟඵල පසක් කර ඇති නිසාය.

සපරගමු මහ සමන් දෙවොලේ හින්දු අභිචාර විධි ඇතත් එහි සංස්කෘතික අංග තුළ කැපී පෙනෙන බෞද්ධ ලක්ෂණ ඇත. ඉන් පළමු වැන්න බුදු මැදුරයි. බුදුමැදුරට පුද පූජා පවත්වා පින් රැස් කරගෙන එම පින් සමන් දෙවිඳුන්ට අනුමෝදන් කිරීම ප්‍රධාන කාර්යය දෙවියන්ට කරන පූජෝපහාරවලට පළමුව බුද්ධ පූජාව පැවැත්වීම තවත් බෞද්ධ කාර්යයකි.

සපරගමු මහා සමන් දෙවොලේ ඇසළ පෙරහරේ ප්‍රධාන කටයුතු බෞද්ධවතාවත්ය. එහි ප්‍රධානත්වය හිමිවන්නේද දළදා පෙරහරටය.පෙරහර ඇරඹීමට පෙරාතුව පන්සිල් සමාදන්වීම හා පිරිත් බලයේ පිරිත් දේශනාව ආදි බෞද්ධ මුහුණුවරට මුල් තැන පිරි නමන්නේත් සමන් දෙවිඳුන් ආර්ය ශ්‍රාවක නිසාය. මේ අතර චිරාගත හින්දු අභිචාර විධිද සිරිත් අතර ඇත. ඒ අනුව වර්තමාන සමන් දේවාලයත් සංස්කෘතික බෞද්ධ හින්දු දෙපසද සංකලනයක ප්‍රතිඵලයක් බව කිවයුතුව ඇත.

 

 මැදින් පුර පසළොස්වක පෝය

මැදින් පුර පසළොස්වක පෝය මාර්තු 22 වනදා අඟහරුවාදා අපරභාග 3.12 ට ලබයි. 23 වනදා බදාදා අපරභාග 5.30 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මාර්තු 22 වනදා අඟහරුවාදාය.

මීළඟ පෝය මාර්තු 31 වනදා බ්‍රහස්පතින්දාය


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

මාර්තු 22

Second Quarterඅව අටවක

මාර්තු 31

Full Moonඅමාවක

අප්‍රේල් 07

First Quarterපුර අටවක

අප්‍රේල් 14


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]