UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ශ්‍රී පාද ස්ථානය

ශ්‍රී පාද ස්ථානය

ශ්‍රී පාදස්ථානය, පලාබත්ගල විහාරය, නල්ලතන්නිය බෞද්ධාරාමය, කොළඹ නිල ආරාමය, ගල්පොත්තාවල ශ්‍රී පාද රාජ මහා විහාරය, රත්නපුර පොත්ගුල් රාජ මහා විහාරය හා පැල්මඩුලු පුරාණ දාගැබ්, රාජ මහා විහාරය යන විහාරයන්හි අධිපති සබරගමු රත්නපුර මහා දිසාවේ ප්‍රධාන සංඝනායක ධර්ම කීර්ති ශී‍්‍ර සුමංගල රතනපාල ශ්‍රී ධම්මරක්ඛිත බෙන්ගමුවේ ශ්‍රී ධම්මදින්න නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ආගමික, ශාසනික අධ්‍යාපනික හා සාමාජික වශයෙන් අත්‍යුදාර මහඟු නිහඬ මෙහෙවරක යෙදෙන සංඝපීතෘන් වහන්සේ නමකි. විහාරස්ථාන සංවර්ධනයට නන් අයුරින් ආධාර උපකාර කිරීමත්, නාහිමිවරු නමින් ශිෂ්‍යත්ව පිහිටුවා සසුනට උපකාර කිරීමත් බෞද්ධ සමිති සමාගම් රැසක විවිධ නිලතල දරමින් අසරණ ගිලනුන්ට රෝද පුටු,ඇස් කණ්ණාඩි, වස්ත්‍ර, වියළි සලාක පිරිනැමීම්, පැල්මඩුල්ල නාගරික බෝධිරාජ පදනම පිහිටුවා බෞද්ධ දරුවන් වෙත ශිෂ්‍යාධාර ලබාදීමට කටයුතු කිරීම ආදි උදාර සේවාවන් රැසක ඉතා දිගු කලක සිට නිරත වේ.


රන්වැට සහිත සිරිපා උඩමළුව

මෙම ලිපිය වෙසෙසින් බෙන්ගමුවේ ධම්මදින්න නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසින් මෑත්කදී ශ්‍රී පාදස්ථානය සුරක්ෂිත කොට වැඩි දියුණු කිරීම සඳහා කරන ලද මෙහෙවර ඉතා කෙටියෙන් සටහන් කිරීම සඳහායි.

ශ්‍රී පාද මළුවට පැමිණෙන බැතිමතුන්ට ඇල් පැන් හා උණු පැන්වල අඩුව සපුරාලමින් පළමු වසරේදීම රෝගී පිරිස් සඳහා වෛද්‍ය මධ්‍යස්ථානයක් ආරම්භ කිරීම, වැඩම වන මහ සඟරුවනට පහසුකම් සැපයීම, අක්‍රමවත්වු විදුලි පද්ධතිය ක්‍රමවත්ව සැකසීම, අකුණු සන්නායක කුළුණු දෙකක් සවි කරවා ගැනීම පරිසරයට හානි කරමින් ඉවුම් පිහුම්වලට දර යොදා ගැනීම නවතා දැමීම, ගෑස් ළිප් ගෑස් යොදවා තැබීම, මළුවේ පඩිපෙළ සඳහා ආරක්ෂක වැට සවි කරවීම ආදි මෙහෙවර රැසක් සිදු කර වාරය අවසන් වූදා නල්ලතන්නියේදී සර්වරාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාවක් පැවැත්වූහ. පැල්මඩුල්ලේ ගල්පොත්තාවල ශ්‍රී පාද රජමහා විහාරයට දේව ප්‍රතිමාව වැඩමවා දේව තොවිලයක්ද දේව දානයක් ද දී වාරය අවසන් කරන ලදී.


ශ්‍රීපාදස්ථානාධිපති බෙන්ගමුවේ ධම්මදින්න නා හිමි

දෙවෙනි වාරයේද පෙර මෙන් පුද සිරිත් පවත්වා දේව ප්‍රතිමා වහන්සේලාට දෝලාද, රන්සිවි ගෙවල් ද නිර්මාණය කොට වැඩම කරවූහ. එම දෙවන වාරය අවසානයේදී නල්ලතන්නියේදී දිවා ආහාර දන් සැලක්ද මුදල් හා රෙදි ද පොත්ද දහස් ගණනකට පරිත්‍යාග කළේය. හින්දු කෝවිල්වල සේවය කරන්නන්ටද වියළි සලාක පරිත්‍යාගයක්ද සිදු කළේය. සර්ව රාත්‍රික පිරිත් දෙසුමක්ද පවත්වා පෙරහර පැල්මඩුලු රජමහා විහාරයට වැඩමවා සබරගමු සංස්කෘතික පෙරහරකින් ගල්පොත්තාවල ශ්‍රී පාද විහාරයට වැඩම වූයේ ගුවනින්ද මල් ඉසිමින්ය. විනිවිද භාවයෙන් කටයුතු කරන උන්වහන්සේ සියලු චාරිත්‍ර විධි පිළිබඳ මනා දැනුමෙන් යුක්තය. ප්‍රතිමා තැන්පත් කිරීමෙන් පසු දහස් ගණනකට දේව දානය දී වන්දනා වාරයේ පින්කම නිමා කළේය. තුන්වන වාරයේද එබඳු මහ මෙහෙවර රැසක් සිදු කළේය. 2014 වන්දනා වාරයේදී ශී‍්‍ර පාද පද්මයට සතර දෙසින් තිබෙන තාප්පය මත රන්වැට සතරක් සවිකොට විවෘත කළේය.

පසුගිය වන්දනාවාරයේදී මහ ගිරි දඹ ආසන්නයේදී බෙන්ගමුවේ ධම්මදින්න නාහිමියන්ගේ ධනව්‍යයෙන් ආරම්භ කළ බත් දන්සල වාරය පුරා පවත්වන ලදී. මෙම සිරිපා වන්දනා වාරයේදී ද දිනපතා උදේ 4 සිට එම දන්සැල පැවැත්වේ.

බෙන්ගමුවේ ධම්මදින්න නාහිමියන් බුදුසරණට

දැක්වූ අදහස් මෙසේය.

සබරගමු වැසි වූ ප්‍රාදේශීය නායක රජෙක් වන සුමන සමන් දෙවිතුමාගේ ගෞරවනීය ආරාධනාවෙන් රහතන් වහන්සේලා පන්සිය නමක් සමඟ වැඩමවා සමනල ගිරි මුදුනෙහි ශී‍්‍ර පාද පත්මය පිහිටුවා වදාළහ. එදා සිට මේ ලක් දෙරණ පාරිශුද්ධත්වයට පත්වුණි. භගවා ලෙනෙහි දිවා කාලයේදි විවේක සුවයෙන් වැඩ සිට නැගෙනහිර දෙස පිහිටි දිගවැව ප්‍රදේශයට වැඩමවා සමාධි සුවයෙන් වැඩ සිටියහ. මෙරට සතර දිග හා මැද දෙස පූජනීයත්වයට පත්කොට දඹදිවට වැඩම කළහ. මෙය සත්‍ය සිදුවීමක් වේ. එසේ නොවේ නම් මේ තාක් වන්දනා කරමින් ගෞරව දැක්වේද විශ්මිත සිදුවීමක් හෙයින් සම්‍යක් දෘෂ්ටික බැතිමතුන් පමණක් නොව අන්‍ය දෘෂ්ටික අයද තම තමන්ගේ දෙවියන් ලෙස ගෞරව දැක්වීමට පෙළඹුණි. එදා සිට අද වන තෙක්ම ලොව වෙසෙන මිනිසුන්ගේ ගෞරවයට පත්ව ඇති මෙම උතුම් ශී‍්‍ර පාදස්ථානය ලෝක උරුමයන්ගේ පූජනීය උරුමයක්වූ ස්ථානයක් වේ.

අතිදුෂ්කර ගමනක යෙදී වන්දනාවට පැමිණීම ආශ්චර්යජනක වේ. ඉතා අනුහසින් යුක්තය. මුහුදු ගමන්වල යෙදුන විදේශිකයන්ට දුර සිට දර්ශනය වූණේද ශ්‍රීපාද පත්මය පිහිටි සමන්තකූට පර්වතයයි. මිනිසුන් පමණක් නොව සියලු දෙවියන්ගේද ගෞරවය ලබන උතුම් වූ ස්ථානයකි.


පැරැණි ඝණ්ඨාර දෙක හා අලුතින් ඉදිකළ කුළුණ සහිත ඝණ්ඨාරය


තුසිත විජේසේන මහතා සහ එම මහත්මිය පූජාකළ රන්බඳුන්


පැරැණි පහන හා අලුතින් ඉදිකළ පහන්ගෙය සහිත ශෛලමය දොළොස්මහේ පහන හා කොප්පරා පහන

සම්බුදු පහසින් පවිත්‍ර මෙම පුදබිමෙන් ලක්දෙරණ සරුසාර කොට පෝෂණය කිරීමට ජලධාරා හතරක් ආරම්භ වීමත් අසිරිමත්ය. සැනසුම දෙන පරිසරයක් හා ජල සම්පත ලබා දෙන වෙනත් ස්ථානයක් තිබේද බුදුරදුන්ගේ වැඩම වීමෙන් දහම් අසා පැහැදී ප්‍රථමයෙන් මාර්ගඵල ලැබු එකම ශී‍්‍ර ලාංකිකයා වූයේ සමනළ ගිරි වැසි සුමන සමන් දෙවියන් වේ. එකල අවබෝධ ඤාණය ඇති මිනිසුන් මේ ලක්දිව විසූ බව සත්‍යයයි. ශ්‍රී ලංකාව සුරකින ලක්දෙරණේ පහළ වු ප්‍රථම දෙවියා සුමන සුරිඳුන් වේ. මහාවංශය, දීපවංශය සමන්ත පාසාදිකාව, පූජාවලිය ආදි බිහිවූ ලේඛනයන්හි විස්තර සඳහන් වන බැවින් කරුණු කිවයුතු නොවේ. අනුරාධපුර, පොළොන්නරු දඹදෙනි, ගම්පොල, මහනුවර, රාජධානි යුගවල රජකළ රජුන්ගේ ගෞරවයට මෙම ස්ථානය පත්වූ බව පැහැදිලිය. විජයබා , පැරකුම්බා, නිශ්ශංකමල්ල විමලධර්ම, කීර්ති ශ්‍රී ආදි රජවරු නොයෙක් පුද පූජා සිදුකර ඇතිබව ශිලා ලේඛනවලින් හා සන්නස් තුඩපත් ආදියෙන් ඔප්පු වේ. මහා මේඝවර්ණ රජුගේ පුත් රාජ්‍යත්වයට පත්ව අභිෂේක ලබා පළමුව ශ්‍රීපාද වන්දනාවට පැමිණ සමන් සුරිඳුන් උදෙසා දෙවොලක් තැනු බව පැහැදිලිය. එදා සිට සමන්ත කූට මස්තකයේ පිහිටි ශ්‍රීපාද පද්මය ආරක්ෂා කරන සමන් දේවාලය අදත් බැතිමතුන්ගේ ගෞරවයට පත්ව තිබේ. අසමසම වූ මහා පුරුෂ ලක්ෂණයෙන් යුක්ත වු සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී පාද පත්මය මඟුල් ලකුණුූ එකසිය අටකින් යුක්තය. සමන් සුරිඳුගේ ඇරයුමින් ඉන්ද්‍ර නීල මාණික්‍ය මත සිරිපා පිහිටුවා වදාළ සේක. මිස දිටුවන් ගෙන් වන හානි වළක්වාලීම පිණිස පසුව ආවරණය විය. වෙහෙරක කොත් කැරැල්ලක හැඩය ගත් පර්වත මස්තකයක් මුදුනට නැග වන්දනා කරන තැනක් ලොව කිසි තැනක තිබේද මෙවන් අසිරිමත්වු පුදබිමට පැමිණ වන්දනා කරන්නේ වාම ශී‍්‍ර පාදයටයි. උතුම් වූ ශී‍්‍ර පාද වන්දනාවට පැමිණෙන බැතිමතුන්ට ලොව කිසි තැනකට නොදෙවෙනි සංකේත දෙකක් වේ. එකක් මොහදුරු කරන පහන් ආලෝකය වු දොළොස් මහේ පහනයි. අනෙක පැමිණ වන්දනා කළ වාර ගණන සනිටුහන් කරන දෙලොවට ඇසෙන ඝන්ඨාරයයි. එසේ සිහිපත් කරමින් නාද කරන ඝන්ඨාරයක් ලොව තිබේද දොළොස් මහේ පහන සුව ගෙන දෙන්නකි. එදා සිට බැතිමතුන් පහනේ තෙල් ගෙන ගොස් නොයෙක් ලෙඩදුක්වලට යොදාගෙන සුව ලබයි.

බැතිමතුන්ගේ වන්දනාවට පහසු වන ලෙස ස්ථානය වැඩි දියුණුූ කිරීමේ අභිලාෂයෙන් සිටින විට මෙරට සිද්ධස්ථානවලට බොහෝ දායක වු සැදැහැවතෙක් මුණ ගැසීමට සැලසුනේ කොළඹ හුණුපිටියේ ගංගාරාමාධිපති කොළඹ නව කෝරළේ ප්‍රධාන සංඝනායක ගල්බොඩ ඤාණිස්සර නායක හාමුදුරුවන්ගේ (පොඩි හාමුදුරුවන්ගේ) මැදිහත් වීමෙනි. එම දායක මහතා මුණ ගැසීමට පැල්මඩුල්ල රජමහා විහාර ආරක්ෂක සභාවේ සභාපති සුනිල් ශාන්ත වීරසේකර නිලමේතුමාගේ සහායද ලැබුණි. රට දැයට සමයට හිතැතිව කටයුතු කරන බැතිමතෙක් ලෙස අවබෝධ වු බැවින් අපේ කැමැත්ත ඇතිව වැඩි දියුණු කිරීම ආරම්භ විය. එතුමා ගේ මැදිහත්වීමෙන් ශ්‍රී පාද උඩමළුව වන්දනාකරුවන්ගේ පහසුව පිණිස විදුලි පහන් කණුවලින් ආලෝකමත් කිරීම සිදුකළේ නිර්ලෝභීවමය.

මට අවශ්‍ය වූයේ පොළොන්නරු යුගයේ මහ විජයබා රජතුමා විසින් කරවා තිබූ සලපතල මළුව හා ප්‍රාකාරය පෙර පරිදිම කලුගලින් නිර්මාණය කිරිමටය. විශාල වියදමක් දරා අවශ්‍ය ලෙස කලුගල් සකස් කරවා උඩමළුවට ගෙන්වා ගත්තේ එක් අයෙකු ලවා කෑලි හතර බැගිනි. පැරණි ශී‍්‍ර විභූතිය නැවත ඇති කිරීමට දායක වුණි.

අක්‍රමවත් ලෙස තිබූ විදුලිය ක්‍රමවත්ව සැලසු ඒ මහතා ස්ථානයේ තව කළ යුතු දෑ විමසීය. ස්ථානයට ගැලපෙන ඝණ්ඨාරයක්ද, දොළොස්මහේ පහනක් හා ගෙයක් අවශ්‍ය බව දැන්වීමත් සමඟ ඒක එච්චර දෙයක් නොවන අතර අවශ්‍ය කරන පිළිවෙල සකසා දෙන මෙන්ද එය මා ඉටුකරන්නම් කීවේද ඉමහත් ශ්‍රද්ධා භක්තියෙනි. ඒ මහතා මුණ ගැසීමට හෝ කරදර කිරීමට කිසිවිටෙක යාමට සිදු නොවිණි. කැන්ඩි සිටි සෙන්ටර් අධිපති තුසිත විජේසේන මහතා සහ එම මහත්මිය ශ්‍රද්ධා භක්තියෙන් යුක්තව අපගේ කැමැත්ත ප්‍රකාශ කර සිටීමෙන් පසු කියා සිටියේ වසර විස්සක පමණ සිට මෙම ස්ථානයේ දියුණුවට කුමක් හෝ ඉදි කිරීමට සිතා සිටි බවයි.

රජයට හෝ වෙනත් ආයතනයකට වියදමක් නොවන අයුරෙන් අති දුෂ්කරව සිදු කළත් කිසිදු ආපදාවක් හිරිහැරයක් නොමැතිව මහා භාර දූර කාර්යක් ඉටු කළ හැකිවූයේ තෙරුවන් කෙරෙහිත් දෙවියන් කෙරෙහිත් අචල ශ්‍රද්ධා භක්තිය තිබු නිසා යැයිද කිව හැකිය. මෙතෙක් සිදු නොකළ විශ්මිත ක්‍රියාදාමයන් උපයෝගී කර ගනිමින් අඩි දහස් ගණනක් උඩ පිහිටි සිරිපා මළුවට පූජාවන් සඳහා අවශ්‍ය බඩු භාණ්ඩ ගෙන ගියේ ලොව මවිතයට පත් කරවමිනි. ඊට සහයෝගය ත්‍රිවිධ හමුදාවෙන් , සිවිල් ආරක්ෂක බලකායෙන්ද පොලීසියෙන්ද නොඅඩුව ලැබිණි. සහභාගි වු සියලු පිරිස නිර්මාංශ ආහාර අනුභව කරමින් බුදුරදුන් හා දෙවියන් වඳිමින් පේවී ක්‍රියාකළ ආකාරය පැසසිය යුතුයි.

සත්‍ය ලෙස බුදුරදුන්ගේ ශී‍්‍ර පාදය පිහිටා ඇති බවත් ශ්‍රී සුමන සමන් දෙවියන් වැඩ සිටින බවත් ඒකාන්තයෙන්ම තහවුරු කරමින් සිදුවූ ක්‍රියාවන් විස්මිතය. මොහොතින් මොහොත වෙනස්වන ගුවන් තලය ඉඩකඩ සැලසුවේ දෙවියන් ජීවමාන කරවමිනි. හෙලිකොප්ටර් යානය සහිතව බර ටොන් දොළහකට අධික වුවත් වැහි කුණාටුවකට හෝ කෝඩයකට සුළඟකටවත් අසු නොවී දෙවියන් විසින් පිළිගත්තාක් මෙන් සිද්ධවීමත් ආශ්චර්යමත් කරුණකි. තෙල් එකතු වන පාත්‍රයක හැඩය ගත් ගල්බඳුන කිලෝ 1260 ක් බරය. ඉහළට ඔසවාගෙන යද්දි මළුවවසාගෙන සිටි කෝඩය සහිත වළාකුළු රොද කවුරුන් විසින් හෝ අයින් කොට එතැනට ආලෝකයක් ලබාදී නියමිත තැන තැබු හැටි විශ්මිතය.

මළුවේ ඉඩකඩට කිසිම බාධාවක් නොමැතිව පෙර ඝණ්ඨාරය තිබු තැනම කැටයම් සහිත ගල් කණුද ඉහළින් ඇත්රූපද සවිකොට උසස් නිර්මාණයක් ඇති ඝණ්ඨාරය සවි කළේය. මෙයට පෙර තාප්පය උඩ යකඩ බටයක එල්ලූ කුඩා ප්‍රමාණයේ ඝණ්ඨාර දෙකකි. ඊට ද අසුභවාදීන් නොයෙක් කටකතා පැතිරවීය.

පෙර පහන තිබු ප්‍රදේශයේම පහන් ගේ සහිත පහන සකස් කළ අතර ඒ ගැනද විවිධ අභූත චෝදනාද පැතිරවීමට උත්සාහ කළ බවද දැනගන්නට ලැබුණි. පෙර පහන තිබූ තැන බිම දුටුවෙමි. ආවරණය කර තිබූ දෑ වතුර ටැංකිය ළඟ තවමත් ඇත. බිම් මට්ටමේ පන්සලක ඇති පිත්තල පහන් දෙකක්ම දැනටත් තිබේ. පවතින යහපත් දෙයක් සිදු කිරීමට යන විට එවැනි අය ගෙන් හිරිහැර ලැබීම ස්වාභාවිකය. විමසීමෙන් තොර පරිසරවේදීන් යැයි කියමින් විවිධ දේ කියන අය ඇත. උතුම් සද්ක්‍රියාවක් දැක සතුටු විය නොහැක්කේ කැත කුණු හොයන ඇතැම් සත්ව විශේෂයන්ටය. පරිසරයට හෝ පර්වතයට බරක් අපහසුවක් නොමැතිව පහන් දැල්වීමට ඇති ප්‍රදේශයේම පිළිවෙලට පිරිසුදුවට කලාත්මකව ශෛල මය, කැටයම්, පිත්තල කැටයම්, දැව කැටයම් සහිතව පහන් ගෙය විහාර උළු සෙවිලි කර කොතක් තබා නිර්මාණය කරන ලද්දේ බැතිමතුන්ගේ ප්‍රයෝජනය පිණිසය.

තුසින විජේසේන මැතිතුමාගේ සහ එම මහත්මිය සන්තක රන් භාණ්ඩවලින් බුදුන් පිදීම සඳහා භාජන සකස් කොට කිරිපිඬු පුදනු ලැබුවේද මහා පින්කමක් 2014 සිදු කිරීමෙනි. මැදින් මහේ පින්කම් ශ්‍රී පාදස්ථානයේ සිට ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාව මගින් සජීවිව විසුරුවා හරිනු ලැබේ.

පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතා පරිසරය හා සංස්කෘතිය ගැන මනා අවබෝධයක් ඇති උගත් බුද්ධිමතෙක් ලෙස අපගේ පිළිගැනීමය. ඒ මහතා අපගේ දායක මහත්මයෙකි. දේශපාලන වශයෙන් ඉහළ තලයකට පැමිණීම ගැන සතුට පල කරන අතර මැදින් මහේ පින්කම ගැන එතුමාට මතක් කළ හෙයින් එය මහත් ඉහළින් සිදු කිරීමට මාධ්‍යය මුල්කර ගෙන ඉදිරිපත්වීම ප්‍රශංසනීය වේ.

 

 මැදින් පුර පසළොස්වක පෝය

මැදින් පුර පසළොස්වක පෝය මාර්තු 22 වනදා අඟහරුවාදා අපරභාග 3.12 ට ලබයි. 23 වනදා බදාදා අපරභාග 5.30 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මාර්තු 22 වනදා අඟහරුවාදාය.

මීළඟ පෝය මාර්තු 31 වනදා බ්‍රහස්පතින්දාය


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

මාර්තු 22

Second Quarterඅව අටවක

මාර්තු 31

Full Moonඅමාවක

අප්‍රේල් 07

First Quarterපුර අටවක

අප්‍රේල් 14


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]