UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බෞද්ධ මූලාශ්‍රවල දැක්වෙන රෝග හා ප්‍රතිකාර ක්‍රම

බෞද්ධ මූලාශ්‍රවල දැක්වෙන රෝග හා ප්‍රතිකාර ක්‍රම

මෙම ලිපියෙහි පළමු කොටස නවම් අමාවක පෝදා පත්‍රයේ පළ විය.

ප්‍රතිකාර

යථෝක්ත රෝග සම්බන්ධයෙන් බටහිර ආයුර්වේදීය විග්‍රහයන් පුළුල් බව අපි දනිමු. මෙකල මෙම රෝග අතිශය සංකීර්ණ බවට පත් වී ඇති අතර ඒවාට ඇතැම්විට ප්‍රමාණවත් ප්‍රතිකාර ලැබෙන නමුත් ඇතැම් රෝග නිශ්චය කිරීමටද ඇතැම් වෛද්‍යවරු අපොහොසත් වෙති. ආයුර්වේදය පෝෂණය කිරීමට බෞද්ධ ප්‍රතිකාර ක්‍රම ඉවහල් වු බවද එසේම පිළිගත යුත්තක් වේ. මහාවග්ගපාළියේ භේසජ්ජඛන්ධකය වැනි මූලාශ්‍රයන් පිළිබඳ ගැඹුරු අධ්‍යයනයකින් මෙය තහවුරු කොට ගත හැකිය. බුදුදහම වෛද්‍ය ශාස්ත්‍රයක් නොවුණද ඇතැම් රෝග නම් කිරීමත් ඒවාට යෝග්‍ය ප්‍රතිකාර නිර්දේශ කර ඇති ආකාරයත් විමසන විට අතිශය පුළුල් දැනුම් සම්භාරයක් විකසිත කළ හැකිය. චක්ඛුපාල තෙරුන්ගේ අක්ෂිරෝගයට සැකසූ බෙහෙත් විධිමත් ලෙස පාවිච්චි නොකිරීම හේතුවෙන් රෝගය උත්සන්න වූ බව ධම්මපදට්ඨකථාවෙහි සඳහන් වේ. වරක් බුදුන් වහන්සේට උදරාබාධයක් ඇති වූ කල්හි සැකසු බේත් හේත් ගැන විනයෙහි සඳහන් වේ. උණු දිය ස්නානය කොට අලු රහිත උක් සකුරු පිඬක් දියකොට උණුවතුරෙන් පානය කිරීමට සැලැස්වීමෙන් රෝගය සංසිඳුණු බව කියැවේ. එහිදී ස්නානය කිරීමෙන් බහිපරිසේවනයත් උක්සකුරු උණු වතුරෙන් මිශ්‍රකොට බීමෙන් අන්තොපරිසේවනයත් සිදුවන බව වැඩිදුරටත් දක්වා ඇත. තවද උදරාබාධ සඳහා සැකසූ බව කියැවෙන කෙකටුලයාගු නම් කැඳ ඉතා ප්‍රකටය. මෙය සකසා ඇත්තේ තල, සහල්, මුං, මෑ හෝ කොල්ලු වැනි ධාන්‍යවර්ගයක් යොදා සතරෙන් කොටසක් වතුර මිශ්‍රකොට ගත් කිරෙහි දමා ගිතෙල්, මී පැණි සහ උක් සකුරු ද එකතු කිරීමෙනි. මෙය උදරාබාධයට ප්‍රත්‍යක්ෂ ඖෂධයක් බව භේසජ්ජක්ඛන්ධකයේ සඳහන් වේ. සැරියුත් තෙරුන්ටද මෙබඳු උදරාබාධයක් සෑදුණු අවස්ථාවක එයට සකසන ලද බෙහෙතක් ගැන මෙහිම සඳහන් වේ.

අක්ෂිරෝග, කර්ණ රෝග ආදි රෝග සම්බන්ධයෙන් ජීවක නමැති වෛද්‍යවරයාගේ සහාය ලබාගත් බුදුන් වහන්සේ ඖෂධ, නශ්‍යකර්ම, විරේචන, තෛල අභ්‍යංග ආදිය මගින් භික්ෂූ සංඝයාගේ ස්වස්ථතා සම්පාදනය සලසා ඇත. පබ්බහත නම් රෝගය පිළින්දවච්ඡ තෙරුන්ට වැළඳුණු බවත් දැඩි සන්ධි පුරුක් වේදනාවකින් පෙළුණු අවස්ථාවේ බුදුන් වහන්සේ එයට රක්ත මෝචනය අනුදැන වදාළ බවත් විනය පිටකයේ සඳහන් වේ. අටුවාව දක්වන පරිදි එහිදි සිදුකරණුයේ සුළු ශල්‍ය කර්මයක් මගින් රුධිරය පිටකර හැරීමකි. වර්තමානයේ ආයුර්වේදීය ක්‍රමයක් වන කූඩැල්ලන් යොදාගෙන ලේ පිටකරවීමට සැලැස්වීම එවැන්නකි. භික්ෂූන්ට වැළඳුණු යම් යම් රෝග හේතුවෙන් දක්වන ලද විවිධ ඖෂධ වර්ග පිළිබඳව විනය පිටකයෙහි සඳහන් වේ. විශේෂයෙන් මුල්බෙහෙත් වශයෙන් කහ (හලිද්දිං) ඉඟුරු (සිංගවෙරං) හෙළ වදකහ (වචං) අතිවිඩ (අතිවිසං) කුළුරෑණ (කටකරොහිණං) සුවඳ හොට (උසිරං) වම්මුතු (භද්දමුත්තකං) යන මේවා අවශ්‍ය විටෙක ගැනීමට භික්ෂුන්ට නියම කොට ඇත. කොහොඹ. කෙළිඳ, දුම්මෑල්ල, හඟුළු ,කරඳ යන ගස්වලින් සාදාගත් කසාය වර්ගද ශාක පත්‍ර බෙහෙත් වශයෙන් කොහොඹ කොළ, කෙළිඳ කොළ, දුම්මෑල්ල කොළ, තළාකොළ ,කපුකොළ බෙහෙත් වශයෙන් වැළඳීමටද නියම කොට ඇත. ගෙඩිවලින් සාදාගන්නා බෙහෙත් ලෙස වළඟසාල් (වළංගං) තිප්පිලි (පිප්ඵලිං) ගම්මිරිස් (මරිචං) අරළු (හරීටකං) බුළු (විහීටකං) නෙල්ලි (ආමලකං) කුකුරුමුවන් (ගොට්ඨඵලං) ද මැලියම් බෙහෙත් ලෙස පෙරුම්කායම් (හිංගු) හිංගුදඩු තම්බාගත් මැලියම් (හිංගුජතු) හිංගු කොළ තම්බාගත් මැලියම් (හිංගු සිපාටිකං) රුක් කරටියෙන් වෑහෙන මැලියම්(තකං) රුක් කොළවලින් වෑහෙන මැලියම් (තකපත්තිං) මේරූ කොළ තම්බාගත් මැලියම් (තකපණ්ණීං) දුම්මල (සජ්ජුලනා) ද ලුණු බෙහෙත් ලෙස මූදුලුණු (සාමුද්දං) කළුලුණු (කාළලොණං) සහිඳලුණු (සින්ධවං) සුවසලුණු (උබ්භිදං) බළල්ලුණු (බිළාලං) ද බෙහෙත් වශයෙන් පරිභෝග කිරීමට අනුදැන ඇත. මෙකී බෙහෙත් වර්ග පොදු වශයෙන් විවිධ රෝග විෂයෙහි අනුභව කිරීමට කිසිදු බාධාවක් නැත. යම් යම් අවස්ථාවන්හි පැන නැගුණු රෝග සඳහා සරල ප්‍රතිකාර ක්‍රමද පෙන්වා දී ඇත. පිළින්දවච්ඡ තෙරුන්ට ඇතිවු හිසරදයකට නස්‍ය කර්මයක් කිරීම පාද පැළීමේ රෝගයට තෙලක් සෑදීම ඇඟ රුදාවට ස්වේදගැන්වීම අනුදැනීම යනාදිය නිදසුන්ය.

දීඝනිකායේ බ්‍රහ්මජාල සූත්‍රයේ ද තත්කාලීන භාරතයේ පැවැති ප්‍රතිකාර ක්‍රම රාශියක් දක්නට ලැබේ. භූතවිජ්ජා (භූතවිද්‍යාව) ලෝහිතහොම (උරහිසින් ලේ ගෙන කරන යාග) සුහගකරණ (යහපත උදාකරන මන්ත්‍ර ) දුබ්භගකරණ (හූනියම්) අදාසපඤ්හන (අඤ්ජනම් බැලීම) සන්තිකම්ම (ශාන්තිකර්ම ) පණීධීකම්ම (බාරහාර ඔප්පු කිරීම) වත්ථුපරිකිරණ (බලිබිලි) යනාදිය අනේකවිධ ප්‍රතිකර්ම ක්‍රම පැවති අතර මේවා තිරශ්චීන විද්‍යාවන් ලෙස බුදුරදුන් පෙන්වා දී ඇත්තේ භික්ෂුන්ගේ මූලික අරමුණට මේවා හරස්ව යන (තිරියං ගච්ඡති) බැවිනි. එහෙත් කිසිදු තැනක ශාස්ත්‍රයක් වශයෙන් හෝ ගිහියෙකුගේ ක්‍රියාදාමයක් වශයෙන් නිග්‍රහයට පාත්‍ර නොවන බවද කිවයුතුය. මෙබඳු රෝග ගැන බටහිර වෛද්‍ය විද්‍යාවේ පිළිගැනීමක් හෝ ඊට එබඳු විසඳුමක් නිර්දේශ නොවේ. එබැවින් බෞද්ධ ආයුර්වේදය ලෙස ගොඩනැගෙන වෛද්‍ය ප්‍රතිකාර ක්‍රමයේ යන්ත්‍ර මන්ත්‍ර අභිචාර හා බැඳුණු පිළියම් පද්ධතියක් ද පවතින බව තේරුම් ගත යුතුය. බෞද්ධ දෘෂ්ටිය අනුව මෙබඳු ශාස්ත්‍ර පරම සත්‍යය ලෙස පිළි නොගැනෙන අතර මනෝ ප්‍රතිකාර ක්‍රමයක් ලෙස පිළිගැනේ.

බුදුන් වහන්සේ දේශනා කරන පරිදි කායිකරෝග හා මානසික රෝග යනුවෙන් රෝග දෙවර්ගයක් ඇත. කායික රෝග නොවැළඳී කෙනෙකුට වර්ෂ එකක සිට සියයක් තරම් දීර්ඝ කාලයක් නිරෝගිමත්ව ජීවත්විය හැකි වුවත් මානසික නිරෝගිභාවයෙන් යුක්තව මොහොතක්වත් ජීවත්වීම අපහසුය. කුමක් නිසාද යත් ඊට අධ්‍යාත්මය උසස් තත්ත්වයක පැවැතිය යුතු හෙයිනි. එබැවින් ස්වස්ථතාව පිළිබඳ බෞද්ධ විග්‍රහය අනුව මානසික ස්වස්ථතාව පිළිබඳ වැඩි අවබෝධයක් හා අවධානයක් තිබිය යුතු යන්නයි. කායික ස්වස්ථතාව මානසික ස්වස්ථතාව පවත්වාගෙන යාම සඳහා අත්‍යවශ්‍ය සාධකයක් වන බව විවාද රහිත කරුණකි. බුදුසමය අනුව කායික ස්වස්ථතාව මානසික ස්වස්ථතාව විසයෙහි බලපායි. කායික රෝග ව්‍යපසමය උදෙසා වන නොයෙක් චර්යාවන් නිර්දේශ කරනුයේ එහෙයිනි. එයින් තොරව සීල, සමාධි, ප්‍රඥා යන අනුපූර්ව ශික්ෂාවන් සාධනය කළ නොහැකිය. නිරෝග බව මූලික වන කායපස්සද්ධිය නමැති චෛතසිකය දුර්වල වූ විට චිත්තපස්සද්ධියද දුර්වල වේ. මෙම චෛතසික ද්වය දුර්වල වු තැනැත්තාගේ සිත අධිගම මාර්ගයට නොපෙළඹෙන අතර එයින් බැහැරවීමේ සිත ද පැන නැගේ. මේ නිසා බෞද්ධ ශික්ෂණ මාර්ගයේ සීලය නමැති පදනමට කායික ස්වස්ථතාව අනිවාර්ය අංගයකි. නිරෝගි බව නිසා ඇතිවන ප්‍රමෝදය පී‍්‍රතියට කරුණක් වේ. (පමුදිතස්ස පීති ජායති) පී‍්‍රතිය නිසා කායික සංසිඳීම වේ. (පීතිමනස්ස කායො පස්සම්භති) කායික සංසිදීම නිසා සුඛය ඇතිවේ. (පස්සද්ධකායො සුඛං වෙදෙති) මෙකී කායික සුඛය ආශ්‍රයෙන් චිත්ත සමාධිය ඇති වන බව (සුඛිතො චිත්තං සමාධියති) අංගුත්තර නිකායේ පඤ්චක නිපාතයේ විමුත්නායතන සූත්‍රය ඇතුළු සූත්‍ර රාශියක් දක්නා ලැබේ. මේ නිසා බෞද්ධ ප්‍රතිපදාව විෂයෙහි කායික ස්වස්තාව ආවශ්‍යක අංගයක් වේ. බුදුසමය හා ආයුර්වේදයේ සුසංයෝගීතාව හා උපයෝගීතාව ගොඩනැගෙනුයේ එලෙසිනි. අනෙක් අතින් මානසික ස්වස්ථතාව නොමැති පුද්ගලයාගේ කායික ස්වස්ථතාවද පිරිහෙයි. මානසිකව ශක්තිමත් වන පුද්ගලයාට භෞතික ශරීරය සම්බන්ධයෙන් වන වේදනාවන් පාලනය කිරීමේ හැකියාවක් ඇත. එසේම කායික රෝගයකට මානසිකව පිරිහීම රෝගයට බරපතල හානියද වේ. එබැවින් කායික හා මානසික ස්වස්ථතාවේ පදනම හා ස්වභාවය පිළිබඳ බෞද්ධ මූලාශ්‍රයන්හි එන දැනුම් සම්භාරය පිළිබඳ අවබෝධයක් තිබීම ද ප්‍රයෝජනවත් කරුණකි.

 

 මැදින් පුර අටවක පෝය

මැදින්පුර අටවක පෝය මාර්තු 15 වන දා අඟහරුවාදා පූර්ව භාග 11.12 ට ලබයි. 16 වන දා බදාදා පූර්ව භාග 10.03 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මාර්තු 15 වනදා අඟහරුවාදාය..

මීළඟ පෝය මාර්තු 22 වන දා අඟහරුවාදාය


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

මාර්තු 15

Full Moonපසෙලාස්වක

මාර්තු 22

Second Quarterඅව අටවක

මාර්තු 31

Full Moonඅමාවක

අප්‍රේල් 07


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]