UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

දහම් සරසවිය බුද්ධ ධර්ම ඩිප්ලෝමා සහතික පත්‍ර ප්‍රදානෝත්සවය

දහම් සරසවිය බුද්ධ ධර්ම ඩිප්ලෝමා සහතික පත්‍ර ප්‍රදානෝත්සවය

දහම් අධ්‍යාපනය සඳහා උනන්දුවක් දක්වන සියලු දෙනා වෙත විවෘතවීම වැදගත්

ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ මග පෙන්වීමෙන් හා සම්පත් දායකත්වයෙන් ද බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ මැදිහත්වීමෙන් හා මූල්‍ය දායකත්වයෙන් ද දියත් කරන ලද දහම් සරසවි ඩිප්ලෝමා පාඨමාලාව සමත් වු සිසුන් වෙත සහතිකපත් ප්‍රදානය කිරීමට සමගාමීව ශුභාශිංසනයක් නිකුත් කිරීමට ලැබීම සතුටට කරුණකි. විශ්ව විද්‍යාලීය අධ්‍යයන කාර්ය මණ්ඩලයේ අධීක්ෂණය යටතේ දහම් සරසවිය ඩිප්ලෝමා පාඨමාලාව හදාරා සාමාර්ථ්‍යය ලැබූ විද්‍යාර්ථීන් 777 දෙදෙනකු මෙවර ඩිප්ලෝමාධාරීන් බවට පත්වේ.

බුද්ධශාසනය සුරක්ෂිත කොට පෝෂණය කිරීම සඳහා වන රජයේ වගකීම ඉටුකිරීමේ ලා බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවට පැවරෙන කාර්යභාරය ඉමහත්ය. ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ අරමුණත් ඒ හා තරමක් සමගාමී වන බැවින් බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව හා සහයෝගයෙන් කටයුතු කිරීම අප විශ්වවිද්‍යාලයේද වගකීමක් වේ. එබැවින් වසර ගණනාවක් මෙම පාඨමාලාව සාර්ථකව පවත්වාගෙන යාම සඳහා ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ පූර්ණ සහයෝගය ලබා දී ඇති බව සතුටින් සිහිපත් කරනු කැමැත්තෙමි.

වර්තමානයෙහි බෞද්ධයන් මෙන්ම බෞද්ධ නොවන පිරිස්ද බුදුදහම ඉගෙනීම හා ප්‍රායෝගිකත්වයට නැගීම පිළිබඳ දැඩි උනන්දුවක් දක්වන බව ප්‍රකට කරුණකි. මෙකී පාඨමාලාව දහම් පාසල් අධ්‍යාපනය ඉහළ ගුණාත්මකභාවයට පත්කිරීම සඳහා උපයෝගී වන බැවින් දහම්පාසල් ගුරුවරුන්ගේ දහම් දැනුම ප්‍රවර්ධනය කිරීම අරමුණු කරගනු ලැබුවද දහම් අධ්‍යාපනය සඳහා උනන්දුවක් දක්වන සියලු දෙනා වෙත විවෘත වීම වැදගත් වේ.

දැනට මෙම පාඨමාලාව මුළු දිවයිනම ආවරණය වන පරිද්දෙන් දිස්ත්‍රික්ක 18 ක පාඨමාලාවන් පැවැත්වීම සඳහා අවශ්‍ය පහසුකම් ලබාදීම සඳහා බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව දැඩි කැපවීමෙන් ක්‍රියා කරනු දක්නට ලැබීම ප්‍රශංසනීය වේ. මෙම පාඨමාලාවට වැඩි වටිනාකමක් ලබාදීම සඳහාත් මෙම පාඨමාලාව සඳහා විද්‍යාර්ථීන් උනන්දු කරවීම සඳහාත් දහම් සරසවිය ඩිප්ලෝමාධාරීන්ට ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ බාහිර උපාධි සඳහා ලියාපදිංචි වීමටත් එම උපාධිය සමත් වීමෙන් අනතුරුව ශාස්ත්‍රපති, දර්ශනපති, දර්ශනසූරී යන පශ්චාද් උපාධි දක්වා උසස් අධ්‍යාපනයෙහි නිරත වීමට ඉඩකඩ සලසා ඇති බවත් සතුටින් දැනුම් දෙමි.

අද දින දහම් සරසවි ඩිප්ලෝමා සහතිකපත්ලාභීන්ට ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ හෘදයාංගම ශුභාශිංසනය පතමි.


ජන සමාජයේ ගෞරවයට නිතැතින්ම පාත්‍ර වේ


සම්බුදු දහමේ ආභාෂයෙන් හැඩගැසුනු ලාංකීය ජනදිවිය ආධ්‍යාත්මික ගුණවගාවෙන් පිරිපුන් බවට පත්වන්නේ ගමේ පන්සල ඇසුරෙනි. කසාවතක සෙවණේ ජීවිතය යහමග දකින ගම් දරුවෝ එදා මෙදා තුර ගමේ දහම්පාසැල තුළින් ලද ශික්ෂණය හැදියාව සහ දහම් දැනුම තුළින් ආදර්ශවත් ගුණගරුක ජීවිතයක අත්පොත කියැවූහ.

අප ලෝකය විෂයෙහි ආදර්ශවත්, ආචාරශීලි සහ විනයගරුක ජාතියක් ලෙසින් බුහුමනට පත්වූයේ එකී දැහැමි පරිසරයෙන් ලද මහා දැනුම් සම්භාරය සහ ඇවතුම් පැවතුම් හේතුවෙනි.

එවන් වු හැදියාවකින් සමාජය ගුණවත් කළ, දැනුවත් කළ දහම් පාසැල මෙන්ම දහම් පාසැල් ගුරුවර ගුරුවරින්යද ජන සමාජයේ ගෞරවයට නිතැතින්ම පාත්‍ර වේ. එම ගරුභවතුන්ගේ දැනුම තවදුරටත් වර්ධනය කිරීම තුළින් ඔවුන්ගේ සමාජ මෙහෙවර සවිබල ගැන්වෙන අතර එමගින් සමාජයට ගලා යන දැනුමද වඩාත් පුළුල් වේ.

දහම් පාසල් අධ්‍යාපනයේ ප්‍රවර්ධනය උදෙසා බෞද්ධ කටයුතු පිළිබඳව දෙපාර්තමේන්තුව දක්වන පුළුල් කැපවීම සමාජයේ ඇගයීමට ලක්විය යුතු අතර බොහෝ දුෂ්කරතා විඳිමින් දහම් පාසැල් ගුරු භවතුන් විසින් ඉටුකරනු ලබන සේවයද කාගේත් ප්‍රණාමයට බඳුන් විය යුතුය.

අද දින “දහම් සරසවිය” ඩිප්ලෝමා පාඨමාලා සහතිකපත් ලබන සියලු ගරු භවතුන්ට මාගේ ශුභාශිංසන පිරිනමන අතර ඔවුන්ගේ ඉගැන්වීම් කටයුතු දහම් සරසවි ඩිප්ලෝමාව තුළින් වඩ වඩාත් සාර්ථක වේවායි ප්‍රාර්ථනා කරමි.


සමස්ත දේශයේ යහපත වෙනුවෙන් ඉටුකළ යුතු යුග මෙහෙවරක්


බුද්ධ ධර්මය පිළිබඳව දැනුමින් අවබෝධයෙන් පිරිපුන් යහපත් දූ දරු පිරිසක් ගොඩනඟන්නට දහම් පාසල් ගුරු භවතුන් විසින් නිස්සරණාධ්‍යාශයෙන් කැප වී ඉටුකරන මෙහෙවර අතිශය ප්‍රශස්තය.

එකී ගුරුභවතුන්ගේ දහම් දැනුම පුළුල් කිරීමට, බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව සහ බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලය එක්ව සංවිධානය කරන දහම් සරසවිය බුද්ධ ධර්ම ඩිප්ලෝමා පාඨමාලාව ඉතා කාලෝචිත වැදගත් කටයුත්තක් ලෙස මම දකිමි. අනාගත අභියෝග ජය ගනිමින් දහම් ගුරු සේවය වඩාත් අර්ථවත් කර ගැනීම සඳහා මෙම පාඨමාලාව අත්වැලක් කර ගනු ඇතැයි යන්න මාගේ අපේක්ෂාවයි.

දහම් ගුරු භවතුන්ගේ අභිවෘද්ධිය වෙනුවෙන් රජය මගින් විශාල කාර්යභාරයක් ඉටුකරන්නට ලැබීම ද සතුටට කරුණකි. එය සමස්ත දේශයේ යහපත වෙනුවෙන් ඉටුකළ යුතු යුග මෙහෙවරක් ලෙස මම දකිමි.

අනාගත පරපුර දැහැමි පරපුරක් ලෙස ගොඩනගන්නට අද දින දහම් සරසවිය තුළින් ඩිප්ලෝමාධාරී සහතික පත් ලබන සියලුම දහම් ගුරුභවතුන්ට ශක්තිය, ධෛර්යය ලැබේවායි ප්‍රාර්ථනා කරමි.


අනෙකුත් ආයතන වෙත සපයන ආදර්ශයක්

දහම් සරසවිය බුද්ධ ධර්ම ඩිප්ලෝමා පාඨමාලාව සාර්ථකව අවසන් කළ ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා පැවැත්වෙන ඩිප්ලෝමා සහතික පත්‍ර ප්‍රදානෝත්සවයට සුබ පැතුම් පණිවුඩයක් එක්කිරීමට ලැබීම භාග්‍යයක් කොට සලකමි.

රට,ජාතිය උදෙසා ශික්ෂිත සමාජ සත්ත්වයකු බිහි කිරීමට ආගම සහ දර්ශනයේ වගකීම සහ කාර්යභාරය මනාව අවබෝධ කර ගනිමින් බුද්ධශාසන අමාත්‍යාංශය බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව සහ ශී‍්‍ර ලංකා බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලය ආරම්භ කර තිබෙන මෙම කර්තව්‍යය අනෙකුත් ආයතන වෙත සපයන ආදර්ශයක් බව පළමුව සඳහන් කරමි.

උසස් අධ්‍යාපනය නොලත් දහම් පාසල්, ගුරුවරුන් සඳහා අවශ්‍ය දැනුම ලබාදීම සහ ඔවුන් උසස් අධ්‍යාපනය කෙරෙහි යොමු කරවීමෙන් ඒ අයගේ නිපුණතා මට්ටම වර්ධනය කිරීම මූලික අරමුණු කරගනිමින් සිදු කරනු ලබන මෙම සද්කර්තව්‍යය පිළිබඳ පළමුව මාගේ හෘදයාංගම ස්තුතිය සහ නමස්කාරය ශී‍්‍ර ලංකා බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයේ මහෝපාධ්‍යාය මහාචාර්ය පූජ්‍ය ගල්ලෑල්ලේ සුමනසිරි ස්වාමීන්වහන්සේට පුද කරනු කැමැත්තෙමි. දෙවනුව බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්තුමා ප්‍රමුඛ එම කාර්යමණ්ඩලයට ස්තුතිවන්ත වෙමි. විශේෂයෙන්ම කිසිදු අයකිරීමක් නොමැතිව දහම්පාසල් ගුරුභවතුන් උදෙසා මෙවැනි ජාතික මට්ටමේ කටයුත්තක් වෙනුවෙන් කාලය, ශ්‍රමය වැය කිරීම පිළිබඳ පාඨමාලා සම්බන්ධ දේශකවරු,ඇතුළු සම්පත් දායකයන් සියලු දෙනාටද මාගේ ආචාරය පුද කරනු කැමැත්තෙමි.

ක්‍රමවත් දහම්පාසල් අධ්‍යාපනයක් උදෙසා මෙන්ම බෞද්ධ ධර්මය පිළිබඳ ඉහළ මට්ටමේ දැනුමක් සහිත අධ්‍යාපනඥයින් බිහි කිරීමට දහම් සරසවිය සරසවියක් ම වේවායි ඉත සිතින් ප්‍රාර්ථනා කරමි.


සුවිශේෂී වූ ජාතික මෙහෙවරකි


දහම් සරසවිය ඩිප්ලෝමා පාඨමාලාවේ බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ තුන්වන කණ්ඩායම වෙත සහතික පිරිනැමීම වෙනුවෙන් සුබපැතුම් පණිවුඩයක් නිකුත් කිරීමට ලැබීම පිළිබඳ මා අතිශය සතුටට පත් වෙමි.

මානව දයාවෙන් පිරි ගුණගරුක පරපුරක් ජාතියට දායාද කිරීම දහම් පාසල් අධ්‍යාපනය තුළින් රටක අපේක්ෂිත අරමුණයි. එම අරමුණ ඉටුකර ගැනීම සඳහා දහම් පාසල් ගුරුභවතුන් වන ඔබ සිදු කරන්නේ සුවිශේෂ වු ජාතික මෙහෙවරකි.

ඔබ විසින් සිදුකරන්නා වු එම සේවය වඩාත් විශිෂ්ටත්වයට හා ප්‍රවීණත්වයට පත්වීම සඳහා අවුරුද්දක් පුරාවට ඔබ ලද බෞද්ධ දර්ශනය පිළිබඳ අවබෝධය මහෝපකාරී වනු ඇතැයි මම විශ්වාස කරමි.

දහම් පාසල් ගුරුභවතුන්ගේ සේවය අගය කිරීම සඳහා ශී‍්‍ර ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් වසර 10 ක සේවා කාලයක් සම්පූර්ණ කරන ලද දහම් පාසල් ගුරුභවතුන් සඳහා සාමවිනිසුරු පත්වීම් ලබා දෙන ලෙස මා වෙත උපදෙස් ලබාදී ඇති අතර, එම කටයුතු මේ වසර සම්පූර්ණ වීමට පෙර ඔබ වෙත පිරිනැමීමට මා අදහස් කරමි. එසේම එම දැනුම හා ඔබ සතු කුසලතා තුළින් පරිපූර්ණ මෙන්ම දීර්ඝ කාලීන දහම් ගුරු සේවයේ නියැළෙන ගුරු භවතෙක් වේවායි ප්‍රාර්ථනා කරමි.


බෙහෙවින් අගය කළ යුතුය


දහම් සරසවිය තෙවැනි ඩිප්ලෝමා සහතික පත් ප්‍රදාන උත්සවය වෙනුවෙන් සුබපැතුම් පණිවුඩයක් නිකුත් කිරීමට ලැබීම පිළිබඳව මම බෙහෙවින් සතුටු වෙමි.

දහම් පාසැල්වල ගුරුවරුන්ගේ ඉගැන්වීමේ ආකල්ප වර්ධනය කිරීමටත්, ඔවුන්ගේ හැකියාවන් හා නිපුණතාවන් තවදුරටත් උසස් මට්ටමක පවත්වා ගැනීමේ අරමුණින් බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය සහ බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව එක්ව මෙම ජාතික වැඩසටහන නොකඩවා සංවිධානය කිරීම බෙහෙවින් අගය කළ යුතුය.

ඩිප්ලෝමා සහතිකපත්ලාභී ගිහි පැවිදි දහම් පාසැල් ගුරුවරුන් 777 දෙනා හට සිය වෘත්තිය අභිමානයෙන් යුතුව ඉදිරියේදී කරගෙන යෑමට ධෛර්යය හා ශක්තිය ලැබේවා යැයි ප්‍රාර්ථනා කරමි. මෙම සද් කාර්යය සංවිධානය කළ බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ සහ බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ සියලු ආචාර්ය සහ නිලධාරි ඇතුළු කාර්ය මණ්ඩලයට ද මාගේ ප්‍රණාමය පුද කරමි.

බුදුදහම පෝෂණය කර ආරක්ෂා කිරීම මෙම රාජ්‍ය ආයතන දෙකේම වගකීමක් වනු ඇත. ඒ අනුව බුද්ධශාසන අමාත්‍යාංශය මෙම ජාතික වැඩසටහන සඳහා මූල්‍යමය දායකත්වය ද ශී‍්‍ර ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ අධ්‍යයන දායකත්වයද ලබාදීම මහත් පුණ්‍ය කර්මයකි. අද දින දහම් සරසවිය ඩිප්ලෝමා සහතිකපත් ලබන සැමගේ යුතුකම හා වගකීම වන්නේ ශ්‍රී ලංකාවේ ගම් දනව් සිසාරා ජීවත්වන සියලුම වැසියන්ගේ ධර්ම ඥානය පෘථුල කිරීමෙහිලා පූර්වගාමීන් සේ ක්‍රියා කිරීමය. බුදුදහම පිළිබඳව පූර්ණ දැනුමක් දහම් පාසැල් ගුරුවරුන්ට ලබා දී ශිෂ්‍ය පරපුර දැනුවත් කිරීම සඳහා දරනු ලබන මෙම ප්‍රයත්නය ඉදිරියට නොකඩවා ක්‍රියාත්මක කිරීම ගම් මට්ටමින් බුද්ධිමතුන් බිහි කිරීමේ ක්‍රියාදාමයක් වනු ඇත.

ඉහත සඳහන් කාර්යයන් සාක්ෂාත් කිරීමෙන් දහම් සරසවිය පිහිටුවීමේ අරමුණද ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයේ පනතේ සඳහන් අරමුණුද ඉටුකර ගැනීමෙහිලා සැමගේ කැපවීම හා නායකත්වය ලබාදීමට කි‍්‍රයා කරනු ඇතැයි අපේක්ෂා කරමි.


සැමටම විශාල සතුටක්


බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව හා ශී‍්‍ර ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය එක්ව මෙහෙය වූ දහම් සරසවිය ඩිප්ලෝමා පාඨමාලාවේ තෙවන අදියරේ සහතිකපත්‍ර ප්‍රදානෝත්සවයේ දී මාගේ සුබපැතුම් එක් කරන්නට ලැබීම භාග්‍යයක් කොට සලකමි.

දසදහසකට අධික වූ මෙරට දහම් පාසල් පද්ධතිය සක්‍රීයව පවත්වාගෙන යාමට දායකත්වය දක්වන එක් ලක්ෂ විසිහය දහස ඉක්ම වු දහම් පාසල් ගුරුභවතුන්ගේ අභිවෘද්ධිය වෙනුවෙන් දියත් කළ දහම් සරසවිය පාඨමාලොවේ තුන්වන අදියර සාර්ථකව අවසන් කිරීමට හැකිවීම පිළිබඳ අපමණ සතුටට පත්වෙමි. මෙම පාඨමාලාව හැදෑරූ දහම් ගුරු භවතුන් 777 දෙනෙකු සඳහා අද දින සහතිකපත්‍ර පිරිනැමේ. දහම් සරසවිය ඩිප්ලෝමා පාඨමාලාව ආරම්භ කිරීමට මූලික අරමුණ වූයේ දහම් ගුරු භවතුන් දැනුමින් සන්නද්ධ කර ඔවුන්ගේ අධ්‍යාපන ඉලක්ක සපුරාලීම සඳහා අත්වැලක් ලබා දීමයි. අද එම අරමුණු මල්ඵල ගැන්වී තිබීම සැමටම විශාල සතුටක් ලෙස මම දකිමි. මෙම උදාර සත්කාර්යය සිදු කිරීමේදී ශී‍්‍ර ලංකා බෞද්ධ හා

පාලි විශ්වවිද්‍යාලය ලබාදෙන්නේ අනගි සහයකි. එබැවින් ඒ පිළිබඳව උනන්දුවෙන් කටයුතු කරන මහෝපාධ්‍යායයන් වහන්සේ ප්‍රධාන කාර්ය මණ්ඩලයට

මාගේ කෘතඥතාවය පිරිනැමීමට මෙය අවස්ථාවක් කර ගන්නා අතර, මේ වෙනුවෙන් කැපවී ක්‍රියා කරන සැමට මාගේ පුණ්‍යානුමෝදනාව පිරිනමමි.

රටේ ජීවනාලිය වන්නේ වත්මන් දරු පිරිසයි. ඔවුන් සදාචාර සම්පන්න දූදරු පිරිසක් බවට පත් කිරීමට අද දින ඩිප්ලෝමා හිමිකර දෙන ගුරු භවතුන්ට මේ අනගි දැනුම තුළින් හැකිවේවා යි මා ප්‍රාර්ථනා කරන අතර, සදාචාරවත් සමාජයක් බිහිකිරීම සඳහා නිස්සරණාධ්‍යාශයෙන් කැපවෙන සමස්ත දහම් ගුරු භවතුන්ට ද මාගේ ප්‍රණාමය පිරිනමමි.


දහම් ඤාණය ඔපවත් කිරීමට හැකි වේවා

පළමු කොට ම මෙම අවස්ථාවේ ඩිප්ලෝමාධාරීන් සැමට සුබපතමින් මෙම සුදුසුකම තවදුරටත් දහම් අධ්‍යාපනයේ උන්නතිය සඳහාම කැප කරන ලෙස ඉල්ලා සිටිමි. ස්වේච්ඡා සේවයක් ලෙස දහම් පාසල් ගුරුවරුන් අනාගත පරපුර සදාචාරාත්මක පෞරුෂත්වයක් හෙබි පිරිසක් බවට පත්කරනු සඳහා දක්වන දායකත්වය සුළුපටු නොවේ. බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යාංශය බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව මගින් දහම් සරසවිය ආරම්භ කිරීමෙන් දහම් පාසල් ගුරුවරුන් වෘත්තීමය වශයෙන් තවදුරටත් උසස් මට්ටමකට ගෙන ඒමට ගත් පියවර අතිශයින්ම අගය කළ යුතුය. එහිදී පාඨමාලාවෙහි අධ්‍යයන ක්‍රියාවලිය පවත්වාගෙන යාමේ වගකීම පවරා ඇත්තේ ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයටයි. බෞද්ධ හා පාලි අධ්‍යයන සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකාවෙහි ප්‍රමුඛතම උසස් අධ්‍යාපන ආයතනය වන ශී‍්‍ර ලංකා බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලය ඒ සඳහා උපරිම දායකත්වය ලබා දී තිබෙන බව මේ අවස්ථාවෙහි සිහිපත් කළ යුතුය. පසුගිය වර “දහම් සරසවිය” සඳහා පාඨ ග්‍රන්ථයක් සම්පාදනය කළ අතර විභාග ප්‍රතිඵල මාස තුනක් ඉක්ම යාමට ප්‍රථම ලබාදීමට ක්‍රියාකොට ඇත.

දහම් සරසවිය බුද්ධධර්ම ඩිප්ලෝමා පාඨමාලාව ඉදිරියේදී තවදුරටත් සංවර්ධනය කොට ජාත්‍යන්තර වශයෙන් පිළිගැනෙන ගුණාත්මක පාඨමාලාවක් ලෙස සංවර්ධනය කිරීමට ශී‍්‍ර ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය කටයුතු කරමින් සිටින බව මේ අවස්ථාවෙහි සඳහන් කළ යුතුය. ඒ අනුව උසස් අධ්‍යාපනයෙහි ගුණාත්මක රාමුවෙහි (ඉපඪ ඹ්චදඬච Qභචතඪබර ජ්පචථඥඹධපඬ ඉඹ්Qජ්) තුන්වන අදියරට (ඹ්ඥමඥත 3) අනුගත වන පරිදි අධ්‍යයන සම්භාර 30 ක (30 ඛ්පඥඤඪබඵ) පාඨමාලාවක් ලෙසද ඉදිරියේදි බුද්ධධර්ම ඩිප්ලෝමා පාඨමාලාව සැකසෙනු ඇත. ඒ අනුව ලංකාව තුළ පමණක් නොව ජාත්‍යන්තර මට්ටමින් මෙම ඩිප්ලෝමා පාඨමාලාව වෘත්තීයමය සුදුසුකමක් ලෙස පරිවර්තනය කිරීමට අපේක්ෂිතය.පාඨමාලා සමායෝජක ලෙස මෙවැනි උදාර කර්තව්‍යයකට දායකත්වය ලබාදීමට හැකි වීම පිළිබඳව මම සතුටු වන අතර එහි සාර්ථකත්වය උදෙසා විවිධ පරිමාණයන්ගෙන් දායකත්වය ලබා දුන් සැමට ප්‍රණාමය පුද කිරීමටද මම මෙම අවස්ථාව උපයෝගී කර ගතිමි. තවද මෙම පියවර පදනම් කරගෙන තවදුරටත් අධ්‍යයන කටයුතු වල නිරත වී බෞද්ධ දරුවන්ගේ දහම් ඥානය ඔපවත් කිරීමට අද දින ඩිප්ලෝමාධාරින් බවට පත්වන විද්‍යාර්ථීන් සැමට භාග්‍යය ලැබේවායි මේ අවස්ථාවෙහි ඉතසිතින් ප්‍රාර්ථනය කරමි.

 

 මැදින් පුර අටවක පෝය

මැදින්පුර අටවක පෝය මාර්තු 15 වන දා අඟහරුවාදා පූර්ව භාග 11.12 ට ලබයි. 16 වන දා බදාදා පූර්ව භාග 10.03 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මාර්තු 15 වනදා අඟහරුවාදාය..

මීළඟ පෝය මාර්තු 22 වන දා අඟහරුවාදාය


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

මාර්තු 15

Full Moonපසෙලාස්වක

මාර්තු 22

Second Quarterඅව අටවක

මාර්තු 31

Full Moonඅමාවක

අප්‍රේල් 07


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]