UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ගලගම ධම්මසිද්ධි ශ්‍රී ධම්මානන්ද අත්ථදස්සි මහා නාහිමි

මහා විහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ මහානායක ධුරන්දරව වැඩ විසූ අපවත් වී වදාළ

ගලගම ධම්මසිද්ධි ශ්‍රී ධම්මානන්ද අත්ථදස්සි මහා නාහිමි

මහා විහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ මහානායක ධුරන්දරව වැඩ විසූ ගලගම ධම්මසිද්ධි ශ්‍රී ධම්මානන්ද අත්ථදස්සි මහානායක මාහිමිපාණන් වහන්සේ ඉකුත් දා (09) පස්වරුවේ අපවත් වී වදාළහ.

උන්වහන්සේගේ අපවත්වීම සසුනඹරට සිදුවූ බලවත් පාඩුවකි. සුපේශල ශික්ෂාකාමී උදාර සංඝශෝභන ගුණයන්ගෙන් සපිරි ධර්ම විනයධර මහ තෙරනමක් ලෙස ගිහි පැවිදි දෙපාර්ශ්වයේම මහත් ගෞරවයට පාත්‍රව වැඩ සිටි මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ආදර්ශවත් සංඝ පීතෘන් වහන්සේ නමකි.

උන්වහන්සේගේ ශ්‍රී නාමය අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ ඉතිහාසයට එක්වන්නේ එම පාර්ශ්වයේ විසි එක්වන මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ වශයෙනි.

මාතලේ අස්ගිරි සියපත්තුවේ පල්ලේසියපත්තුවේ ගලගම ග්‍රාමයේ විසූ කුලතුංග මුදියන්සේලාගේ ඩිංගිරි බණ්ඩා නිලමේතුමා හා තෙන්නකෝන් මුදියන්සේලාගේ පිංචි අම්මා කුමාරිහාමි ගුණවත් දම්පතීන් දෙපළගේ පුත් රුවනක් ලෙස 1922 ජනවාරි 11 වන දින උපත ලැබූහ. එම කුමරා කිරිබණ්ඩාර නමින් වූ හෙයින් කුඩා අවධියේ සිට ගමේ විහාරස්ථානය වූ උරුලෑවත්තේ පුරාණ විහාරය හා බැඳී කටයුතු කිරීමට ස්වකීය මව්පිය දෙපළ කටයුතු යෙදුහ. පූර්ව කෘත පුණ්‍ය මහිමයෙන් සහ ගුණවත් මව්පිය දෙපළගේ බලවත් ශ්‍රද්ධාවත්, හැදී වැඩුණු පරිසරය නිසාත් එම කුමරුවා පැවිද්දට දැක්වූයේ බලවත් කැමැත්තකි. ගමේ විහාරස්ථානයේ විහාරාධිපතිත්වය දරන ලද උඩුරාවන ශ්‍රී ධම්මානන්ද නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ආචාර්යත්වයෙන් මව්පිය දෙපලගේ පූර්ණ ආශිර්වාදයෙන් 14 වැනි වියේ දී එම කුමරුවා පැවිදි දිවියට පත්විය. මාතලේ ධර්මරාජ මහ පිරිවෙනින් පාලි සංස්කෘත දෙමළ භාෂාවත් හදාළ උන්වහන්සේ ප්‍රාචීන ප්‍රාරම්භ, අවසාන විභාග විශිෂ්ට ලෙස සමත්වූහ. කොළඹ මාලිගාකන්ද විද්‍යෝදය මහ පිරිවෙනේ ත්‍රිපිටක ධර්ම පරීක්ෂණය ඉහළින් සමත්ව සද්ධර්මාචාර්ය උපාධිය ලැබීය.

සාමණේර බණදහම් සපුරා උන්වහන්සේ උඩුරාවණ ශ්‍රී ධම්මානන්ද නාහිමියන්ගේ ආචාර්යත්වයෙන් මුල්ලේගම ශ්‍රී ගුණරතන නායක මාහිමියන්ගේ උපාධ්‍යායත්වයෙන් සහ ගම්මුල්ලේ චන්දජෝති හිමියන්ගේ කර්මාචාර්යත්වයෙන් 1942 දී අස්ගිරි මහා විහාරීය මංගල උපෝසථාගාරයේ දී අධිසිල් ලැබූහ.

1963 වසරේ සිට මාතලේ ධර්මරාජ පිරිවෙනේ ධර්මාචාර්යන් වහන්සේ නමක් ලෙස කටයුතු කළ උන්වහන්සේ කවටයාමුණ ශ්‍රී ධර්මශ්‍රී පිරිවෙනෙහි පරිවෙනාධිපති ධූරයට 1977 දී පත්වූහ.

අස්ගිරි මහා සංඝ සභාවේ කර්මාචාර්ය පදවියකින් පිදුම් ලැබූ උන්වහන්සේ ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභික ධුරයටත් මහෝපාධ්‍යාය පදවියටත් පත්වූයේ අතිගරු මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රධාන කාරක මහා සංඝ සභාවේ බලවත් ප්‍රසාදයට පත්ව වැඩ සිටිහෙයිනි.

ශ්‍රී දළදා වහන්සේ උදෙසා සිදු කරන්නාවූ තේවා කටයුතු සිදු කිරීමේ අවස්ථාව භික්ෂූන් වහන්සේ නමකට හිමිවීම පූර්ව කෘත පුණ්‍ය මහිමයෙන් හිමිවන පූජනීය අවස්ථාවකි. 1981 දී එම පූජනීය අවස්ථාවට සම්බන්ධ වූ අතර දළදා තේවාව භාර නා හිමියන් ලෙසද අවස්ථා කීපයකදී උන්වහන්සේ වරින්වර කටයුතු කළහ. 1999 දී අනුනායක ධූරයෙන් පිදුම් ලැබූහ. මාතලේ උරුලෑවත්ත පුරාණ විහාරය, අලව්වේ අම්බුළුව රජමහා විහාරය, මහියංගන රජමහා විහාරය යන විහාරස්ථානයන්හි විහාරාධිපති ධූරයද උන්වහන්සේ හෙබවූහ.

අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ මහානායක ධුරන්දරව වැඩ විසූ උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත මහානායක මාහිමිපාණන් වහන්සේගේ අපවත්වීමෙන් පුරප්පාඩු වූ මහානායක ධූරයට අස්ගිරි මහා සංඝ සභාවේ පූර්ණ එකඟත්වයෙන් පත්වූහ.

එම ධූරය පිළිබඳ අක්තපත්‍රය පිළිගැන්වීමේ රාජ්‍ය උත්සවය 2015 ජූලි 05 වන දා මහනුවර ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රයේ ඓතිහාසික මඟුල් මඩුවේ දී මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදු කැරිණි.

අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ මහානායක ධුරන්දරව වැඩ විසූ ගලගම ධම්මසිද්ධි ශ්‍රී ධම්මානන්ද අත්ථදස්සි මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේට අමා මහ නිවන්සුව පතමු.

මහා නා හිමියන් වෙත මහනුවර මඟු‍‍‍ල්මඩුවේදී පැවැති ශ්‍රී සන්නස්පත්‍ර ප්‍රදාන රාජ්‍ය මහෝත්සවයේදී මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා විසින් ශ්‍රී සන්නස් පත්‍රය පිළිගැන්වූ අවස්ථාව

මහනුවර මඟුල්මඩුවේදී පැවැති ශ්‍රී සන්නස්පත්‍ර ප්‍රදාන රාජ්‍ය මහෝත්සවයේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත රිදී කරඬුවක් පිරිනැමූ අවස්ථාව
 

 මැදින් පුර අටවක පෝය

මැදින්පුර අටවක පෝය මාර්තු 15 වන දා අඟහරුවාදා පූර්ව භාග 11.12 ට ලබයි. 16 වන දා බදාදා පූර්ව භාග 10.03 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මාර්තු 15 වනදා අඟහරුවාදාය..

මීළඟ පෝය මාර්තු 22 වන දා අඟහරුවාදාය


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

මාර්තු 15

Full Moonපසෙලාස්වක

මාර්තු 22

Second Quarterඅව අටවක

මාර්තු 31

Full Moonඅමාවක

අප්‍රේල් 07


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]