UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ඊර්ෂ්‍යා කරන්නා විශාල හානියක් ඔහුට වන බව ඔහු නොදනී

ඊර්ෂ්‍යා කරන්නා විශාල හානියක් ඔහුට වන බව ඔහු නොදනී

අනෙකාගේ ජයග්‍රහණය, අනෙකාගේ සාර්ථකත්වය දරාගැනීම හෙවත් උහුළාගැනීම අපට තිබෙන නොහැකියාව ඊර්ෂ්‍යාව යන චෛතසිකය බව අප අවබෝධ කරගත යුතුයි. ද්වේෂය පඨිඝය තරහව යන ගැටෙන සුළු මානසික තත්වය ඊර්ෂ්‍යාව තුළ සැඟවී ඇත. සෝමනස්ස සහගත සිතක් තුළ ඊර්ෂ්‍යාව හට නොගන්නා අතර එය ද්වේෂ මුලික සිතක් තුළ ගොඩනැගෙයි. ඊර්ෂ්‍යාව විසින් අප තුළ අලුත් චෛතසික ධර්මයන් උපදවනු ලබයි. අනෙකාගේ සම්පත් අනෙකාගේ දියුණුව නොඉවසන්න පටන්ගැනීම තුළ අස්ථානයේ විචිකිච්ජාව නමැති චෛතසික තත්වයන් ඇති වේ.

යම් තැනැත්තකු ඉතා පහසුකම් සහිත ගේ දොර, ඉතාම සුඛෝපබෝගී පහසුකම් සහිත යාන වාහන පාවිච්ච් කරනවා දකින අපට ඔහුගේ සැපත උහුළාගැනීමට නොහැකි තත්වයකට පැමිණුන විට අප වාග් ප්‍රහාර එල්ල කිරීමට පටන් ගනී. අපට පිටතින් නොපෙනුනාට ඔයතරම් දියුණු වීමට නම්, මොනවා හරි ඇතුළතින් ඇති. නැත්නම් ඔය තිබෙන තත්වයෙන් උඩට යන්න බැහැ. යනුවෙන් විචිකිච්ජාවෙන් යුතුව ප්‍රකාශ කරනු ලබයි. නැත්නම් අපටත් ඔහොම ලැබෙන්න එපායැ.

කෝ අපට එහෙම ලැබිල නැහැනෙ. එම ජයග්‍රහණය අපගේ මනසට උහුළාගත නොහැකි වීම එයට හේතුවේ. එම සැකය අප තුළ ගොඩනැගෙන විට අප ඔහුට අස්ථානයේ චෝදනා කිරීමට පටන් ගනියි. ඒ තුළ ද්වේෂය ගැබිව පවති. ඔහු හෝ ඇය මට වඩා ඉහළ තත්වයකට පත්වු බව සිතම්න් ද්වේෂ කරයි. මෙවැනි අවස්ථාවන් තුළදී මිනිසුන් විසින් තමාගේ මනස තුළ විචිකිච්ජා සහගත තත්වයන් උදාකරගනු ලබයි.

ගෘහ ජීවිතය තුළ වුවද තමා අත්විඳින යම් කිසි දෙයක් අනෙකා විසින් උඳුරා ගනිවී යැයි සිතා තවකෙනකු එම සැපත අල්වා ගිනිවී යැයි ස්ත්‍රියකට හෝ පුරුෂයකුට ඊර්ෂ්‍යාවක් ඇති වුවහොත් එය ඇතුළත අනෙකුත් මනෝභාවයන් ක්‍රියාත්මක වෙනු ඇත.

තමාගේ සැපත ඉක්මවා වෙනකෙනකු එම සැපත අත්විඳිනවා දැකීමට සාමාන්‍ය පෘතග්ජන මනසක් සතුටු වන්නේ නැහැ. තමන් විඳපු දෙය වෙනකෙනකුට ලැබෙන විටත් තමාට විඳීමට හම්බ නොවන දෙයක් කවුරුන් හෝ අයෙකු විඳිනවාය යන මානසික තත්වයක් හටගනී. ඉතාම සම්පූර්ණ වූත් සාර්ථක වූත් පුද්ගලයකු මේ ලෝකය තුළ නොමැති වුවද, භෞතිකව යම් හෝ සම්පත් ප්‍රමාණයක් ඇති අය තුළ වුවද, අනෙකා පිළිබඳව ඊර්ෂ්‍යාවක් හටගනී.

එතරම් දේවල් නැති අය තුළ වුවද එය වෙනත් ආකාරයකින් හටගනී. අනෙකාට තිබෙන සිදහස අපට කොයින්ද? ඒ ගොල්ලන්ට කිසිම ප්‍රශ්නයක් නැහැනෙ. ඉතාම ඉහළ තලයක පහසුකම් භුක්තිවිඳින අයවලුන් තුළ වුවද ඉතාම පහළ තලයක පහසුකම් භුක්ති විඳින අය පිළිබඳව අසහනයක් පැමිණිය හැකියි. ඇතැම් අවස්ථාවල තිරිසන් සතුන්ට පවා තමා උපමා කරගනු ලබයි. මම කුරුල්ලෙක් වෙලා ඉපදුනා නම් හොඳියි. යන බව ඇතැමෙකු ප්‍රකාශ කරන අවස්ථා නැතුවා නොවේ.

ඔහු සතකුට වඩා ඉහළ පහසුකම් තමා විසින් භුක්තිවින්දා වුවද, එහි වටිනාකමක් පිළිබඳ හැඟීමක් වත් ඔහුට නැත. කුරුල්ලන් තිරිසන් ආත්මයක ඉපදී කුසගින්නට පළතුරු ටිකක් වත් සොයාගැනීමට නොහැකිව දහඳුක් විඳිනවා විය හැකි වුවද, කුරුළු ජෝඩුවක් ඉතා සමීපව අත්තක වසා සිටින විට ඔවුන් අපට වැඩිය සතුටින් ඉන්නා බව සිතමින් මිනිස් ජෝඩු කුරුළු ජෝඩු ළඟ හීනමානයක් ඇති කර ගනු ලබයි. ඉතාම ඉහළ තලයක ජීවත් වුවද, තමාට වඩා ඉතාම පහළ මට්ටමක සිටින අයගේ පොඩි පොඩි දේ තමාගේ අසාර්ථකත්වය ලෙසත්, ඔවුන් තමාට වඩා සාර්ථක තත්වයට පත්වුවන් ලෙසත් පෙනෙන්න පටන්ගනී.

ඊර්ෂ්‍යාව යන මානසික මට්ටම තමා තුළ නිර්මාණය වන ප්‍රමාණයට ඔහු හෝ ඇය ඇතුළතින් විශාල වශයෙන් තැවෙන්න දැවෙන්න පිච්චෙන්න පටන් ගනී. අඟුරු වළකට අතදමා අඟුරු ප්‍රමාණයක් අතට රැගෙන අනෙකාට එම ගිනි අඟුරු ගසනවා වැනි ක්‍රියාවක් ඊර්ෂ්‍යාව තුළ පවතී. අත වැඩි ප්‍රමාණයක් පිළිස්සෙනුයේ අඟුරු වළට අත දමා අඟුරු ප්‍රමාණයක් අතට ගත්ත පුද්ගලයා තුළ වන ගැටීම විශාල හානියක් වන අතරම එම අඟුරු කැබලි විසිකිරීමේදී ශරීරයට පහර වැදීමෙන් අනෙකාට සිදුවන හානිය සාපේක්ෂව අඩු මට්ටමක පවතී. අඟුරු ලබාගන්නා පුද්ගලයාගේ සම්පූර්ණ අතම පිළිස්සෙනු ලබයි.

ඊර්ෂ්‍යාව මේ ලෝක වශයෙන් පුද්ගලයාට විශාල හානියක් කරනු ලබයි. ඔහුගේ පුද්ගලික ජීවිතයට අධ්‍යාත්මයට විශාලම හානිය ඊර්ෂ්‍යාව තුළින් අනිවාර්යෙන්ම සිදුවනු ඇත. ඊර්ෂ්‍යාවට ගොඳුරු වන පුද්ගලයාට හානියක් සිදුවන බවට ඊර්ෂ්‍යාව කරන පුද්ගලයා සිතුවා වුවද, ඊර්ෂ්‍යා කරන පුද්ගලයා විශාල හානියක් ඔහුට වන බව ඔහු නොදනී. ඊර්ෂ්‍යා කරන පුද්ගලයා ඉතාම අතෘප්තිකර ජීවිතයකට පිවිසීමත් සමඟම තමාට ලැබෙන කිසිවක් තුළින් ඔහු සතුටට පත්නොවනු ඇත.

තමාගේ පෙනුම, තමාගේ හැකියාව, තමාගේ ශක්තිය, තමන්ගේ බලය, තමන්ට තිබෙන දේ කිසිවක් පිළිබඳව ඔහුට ඔහු පිළිබඳව සතුටක් නැතිව යයි. අනෙකාගේ දියුණුව ජයග්‍රහණය දරාගැනීමට නොහැකි වීම තුළ ඊර්ෂ්‍යාව හටගනී. තමාට තමා සම්බන්ධව තෘප්තිමත් බවක් නොමැති මිනිසුන් තුළ ඔවුන්ගේ දියුණුව සදහා අවශ්‍ය වන කාර්යක්ෂමතාවය ගොඩනැඟෙන්නේ නැත. කාර්යක්ෂම භාවය ඇතිවීමටත් වගකීම්සහගත බව ඇති විමටත් තෘප්තිමත්භාවය ප්‍රධාන හේතුවක් වනු ඇත.

තමාට තමා පිළිබඳව සතුටක් නොමැතිව ජීවත්වන පුද්ගලයකු කවදාවත් වගකීම් සහගත වන්නේ නැත. අතෘප්තිමත් පුද්ගලයා තමාට තමා පිළිබඳව සතුටක් නොමැතිව ජීවත්වන පුද්ගලයා කිසිම දවසක වගකීම් සහගත වන්නේ නැත. ඔහු හෝ ඇය සැම විටම හිස්බවකින් පීඩා විඳිනු ලබයි. ඔහු හෝ ඇය සැමවිටම තමා පිළිබඳව කළකිරීමකින්, ද්වේෂයකින් පසුවෙනු ලබයි.

තමාට තමා සම්බන්ධව තිබෙන ද්වේෂය අනෙක් පිරිසට ප්‍රක්ෂේපණය කිරීම ඊර්ෂ්‍යාකිරීම වෙයි. එවැනි පුද්ගලයකු සිටින්නේ අසතුටෙන් නම් ඔහු තමා පිළිබදව සිටින්නේ ද්වේෂයෙන් නම්, ඔහුට කිසිදු ජයග්‍රහණයක් උදාකර ගැනීමට ලැබෙන්නේ නැත.

බුදුරජාණන් වහන්සේ පිළිබඳව ඊර්ෂ්‍යාවෙන් තරහවෙන් පෙළි පෙළී සිටිය දේවදත්ත කෙතරම් පහළට ඇද වැටුනාද?

ඉඳ ඉඳ එක වෙහෙර
විඳ විඳ දහම් මනහර
සිඳ බිඳ දුක් සසර
අහෝ දෙවිදත් නොදිටි මොක්පුර

දේවදත්තට නිවන් දැකීමට නොහැකි විය. බුදුරජාණන් වහන්සේගේ සාර්ථකත්වය පිළිබඳව දේවදත්තට තිබූ ද්වේෂය මූලික වූ ඊර්ෂ්‍යාව ඔස්සේ ඔහු අසාර්ථක බව ඔහුට දැනින. ඔහු තුළ පැවති අතෘප්තිමත්භාවය එකම ශීලාදී ගුණයක් වඩා ගැනීමට නොහැකිව සමාධි ප්‍රඥාවඩා උතුම් ඵලයකට පත්වීමට ඔහුට නොහැකි විය. ඔහු අතෘප්තිමත්ව ජීවත් වූවෙකු වුණා.

ඔබ අනෙකා පිළිබඳව නිර්මාණය කරගනු ලබන ඊර්ෂ්‍යාව නම්, ඔබ ඔබ සම්බන්ධව ඇතිකර ගනු ලබන ද්වේෂයයි. ඔබ ඔබ සම්බන්ධව ද්වේෂ සහගත මනෝභාවයකින් ජීවත් වන විට ඔබගේ කාර්ක්ෂමභාවය අඩාල වේ. ඔබගේ වගකීම් සහගත බව අඩාල වෙනවා. ඔබගේ මනසෙහි තෘප්තිමත් බව නැතිව යනවා යනු ඔබගේ මානසික නිරෝගී භාවයට විශාල හානියක් වනු ඇත.

"සන්තුට්ඨ් පරමං ධනං" යන්න වර්තමානය වන විට සෞඛ්‍ය සංවිධානය ද පිළිගනු ලබයි. පුද්ගලයකු සතුටින් ජීවත් වීම මානසික සෞඛ්‍යයට ඉතාම අවශ්‍යයයි. සියලු ශාරීරික රෝගා බාධයන්ට මානසික අසතුට හේතු වෙයි. ඒ නිසාම පුද්ගලකුගේ මේ ලෝක ජීවිතයේ අසාර්ථක භාවයට හානිකර තත්වයක් උදාකරලීමට ඊර්ෂ්‍යාව යන මනෝභාවය අනිවාර්යෙන් බලපානු ලබයි.

අප තුළ ඊර්ෂ්‍යාව ඇති වුවාට පසුව අප කරනු ලබන දේවල් අපටම නොතේරෙයි. පූද්ගලයකුගේ සාර්ථකත්වය උහුළාගැනීමට නොහැකි වූ විට අභූත චෝදනා නගන තත්වයක් කරා ගමන් කරනු ලබයි. මෙම මනෝභාවය වටහාගනු ලැබුවහොත් අද වුවද එයින් මිදිය හැකිවේ.

රහත් වන තුරුම ද්වේෂ සහගත සිත පවතින නිසාම යෝනිසෝ මනසිකාරයෙන් යුතුව ජීවත් විය යුතු බවට බුදුපියාණන් වහන්සේ වදාරනු ලැබුවේද එනිසයි. අනාගාමී තත්වයට පත් වූ විට එම පඨීඝ සිත දුරුවී යනු ඇත. එවැනි තලයකට පැමිණෙන තුරුම ඊර්ෂ්‍යාවත් සමඟ ගැට ගැසී ද්වේෂය පසු පස ගමන් කරයි.

ඔබ ඉතාම අයහපත් හැසිරීම්වල ට පෙළඹිය හැකියි. ඔබ ඉතාම යහපත් මිනිසුන් විනාශකරන තත්වයකට පත්විය හැකියි. අවසානයේ තමන් විසින් තමා විනාශ වීම වැළැක්විය නොහැකියි. තමා කරනු ලබන සෑම ක්‍රියාවකටම තමා වගකීම්ගත යුතු වෙයි

තවත් කොටසක් නවම් පුර පසළොස්වක පත්‍රයේ

 

 නවම් පුර අටවක පෝය

   නවම් පුර අටවක පෝය පෙබරවාරි මස 15 වැනි දා සඳුදා පූර්වභාග 02.11 ට ලබයි. 16 වැනිදා අඟහරුවාදා පූර්වභාග 00.06 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම පෙබරවාරි 15 වැනිදා සඳුදා ය.

මීළඟ පෝය පෙබරවාරි 22 වැනිදා සඳුදා ය.
 


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

පෙබරවාරි 15

Full Moonපසෙලාස්වක

පෙබරවාරි 22

Second Quarterඅව අටවක

මාර්තු 01

Full Moonඅමාවක

මාර්තු 08


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]