UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

මාදුළුවාවේ සෝභිත හාමුදුරුවෝ

චරිතාපදානය-2

කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාම ගී‍්‍ර ධර්ම මහා සංඝ සභාවේ මහානායක ආචාර්ය ඉත්තෑපාන ධම්මාලංකාර මහා නාහිමියන් සමඟ කළ සාකච්ඡාවක් ඇසුරෙනි

මාදුළුවාවේ පීරිස් අප්පුහාමි මහතාගේ දෙවෙනි පුතා ලෙසින් කරලිනා හාමි මහත්මියගේ කුසින් රත්නසේකර කුමරුවා වඩුමඩුවේදී උපත ලද සැටි අපි පසුගිය සතියේ දැන ගතිමු.

කාලයාගේ ඇවෑමෙන් පීරිස් අප්පුහාමිට දියණියකගේ මුහුණ බැලීමට ද වරම් ලැබුණි. ඇයට මාලනී යනුවෙන් නම් තැබුණි. වැඩිමල් පුතා වන ගුණසේකර, මද්දුමයා වන රත්නසේකර සහ බාලම දියණිය වන මාලනී තිදෙනාම සිප් සතර ඉගෙනීම සඳහා ගියේ මාදුළුවාවේ ගමේ පාසලටයි. පොල් අතු සෙවිලි කළ මේ පාසල රත්නසේකරගේ ජීවිතයේ හැරවුම් ලක්ෂයක් වූ බව පැහැදිලිව පෙනේ.

රත්නසේකර උපන් වසරේම එනම් 1942 වසරේ කෝට්ටේ පාරේ ශ්‍රී ජයවර්ධනාරාම විහාරයේ නිර්මාතෘවරයාණන් වහන්සේ වූ මාදුළුවාවේ ඉන්දජෝති හිමියන් අපවත් වූ බව අපි දනිමු. අපවත් වී වදාළ මාදුළුවාවේ ඉන්දජෝති හිමියන්ට උපහාර පිණිස උන්වහන්සේගේ ඥාති පරපුරේ දරුවකු පැවිදි කිරීමේ අවශ්‍යතාවක් එකල පැන නැඟුණි. ඒ එවකට ජයවර්ධනාරාමයේ විහාරාධිකාරී ධුරය හෙබවූ අංගම්මන ගුණරතන හිමියන්ටය. ඒ හිමියන්ට ඒ අවශ්‍යතාවය පැන නැඟුණේ උන්වහන්සේද මාදුළුවාවට නුදුරු අංගම්මන ගම්මානයේ උපත ලද අයකු නිසාත් මාදුළුවාවේ ඉන්දජෝති හිමියන්ගේ නායකත්වය ගැන තිබූ පැහැදීමත් මාදුළුවාව ගම්මානයේ ජනතාව තුළ තිබූ කරුණා මහිමයත් දන්නා නිසාය.

එවකට කෝට්ටේ නාග විහාරාධිපතිව වැඩ විසූ මුල්ලේරියාවේ රේවත නා හිමියන් සමඟ එක්ව මේ කරුණ ගැන සාකච්ඡා කර අවස්ථා කිහිපයකදීම මාදුළුවාව ගම්මානයට වැඩම කරන ලද්දේ මහණ කිරීමට සුදුසු දරුවකු සොයා ගැනීම පිණිසය. මාදුළුවාව ගම්මානයට දොළොස්වතාවක් වැඩම කළ ද දරුවකු සොයාගැනීම අපහසු විය.

පීරිස් අප්පුහාමිගේ කරුණා මහිමය ගැන මේ හිමිවරු දෙනමම දැන සිටියහ. තම බිරිඳ දරුවෙක් ප්‍රසූත කිරීමට ආසන්නව සිටියදී තම නිවස ආගන්තුකයන්ට ලබා දී වඩුමඩුවක දිවි ගත කළ හැටි ඒ හිමිවරුන් දෙදෙනාම හොඳින් දැන සිටියහ. එම නිසා පීරිස් අප්පුහාමි මහතාගේ දරු දෙදෙනාගෙන් එක් අයකු පැවිදි කිරීමට අවසර ඉල්ලා සිටියද පීරිස් අප්පුහාමි මහහතාගෙන් ඒ තරම් හොඳ ප්‍රතිචාරයක් නොලැබුණි. අවස්ථා කිහිපයකදීම අංගම්මන ගුණරතන හිමියනුත් මුල්ලේරියාවේ රේවත ලොකු හාමුදුරුවන් ද කළ ඉල්ලීමක ප්‍රතිඵලයක් ලෙසින් තම මද්දුම පුතු වූ රත්නසේකර පුතනුවන් පැවිදි කිරීම සඳහා හිමිවරුන්ට බාර දීමට පීරිස් අප්පුහාමි මහතා තීරණය කෙළේ ය. රත්නසේකර පවුලේ දරුවන් අතුරින් කෙසඟ සිරුරක් ඇත්තකු නිසා පියා ඒ ශරීර ලක්ෂණය උකහාගෙන රත්නසේකර පුතුට තම අදහස දැන් වූ බව දැන ගන්නට ඇත.

‘පුතේ උඹට පොත පත පාඩම් කරලා ලොකු තැනකට යන්න පුළුවන් වෙයිද දන්නේ නෑ. ඇඟපත මහන්සි කරන රස්සාවක් කරන්නත් අමාරුයිනේ, ඇඟේ හැටි බලපුවහම ඒක තේරෙනවනේ. ඒක නිසා මහණ වෙන්න, රත්නසේකර මහණ වීමට එතරම් කැමැත්තක් දැක්වූයේ නැත. අකැමැත්තක්ද දැඩිව පෙන්වූයේ නැත. එහෙත් අවසානයේ නාහිමිවරුන් දෙදෙනා සිය පියාගෙන් ඉල්ලූ ඉල්ලීම සලකා බලා පියාට හා නාහිමිවරුන් දෙදෙනාට කරනු ලබන ගෞරවයක් ලෙසින් රත්නසේකර කුමරුවා පැවිදිවීමට තීරණය කළේ ය.

ගමේ සියලු දෙනාගේ සතුටු කඳුළු මැද වැඩිහිටි සැමගේ ආශිර්වාදය මැද 1955 වසරේ මුල භාගයේ රත්නසේකර කුමරුවා මාදුළුවාව ගමෙන් පිටවූයේ තම ඇඳුම් ආයිත්තම් ටික මෙන්ම පොත් පත් ටික කුඩා ට්‍රංක පෙට්ටියක බහා ගෙනය. එපමණක් නොවේ ඒ ගමනට සුබ පැතුම් පිණිස ඔහුට කැවුම්, කොකිස්, අතිරස, ආස්මී, කෙසෙල් ගෙඩි ඇතුළු රසමසවුළු පෙට්ටි කිහිපයක්ද ලැබුණි. මෝටර් රථයකින්ම කෝට්ටේ නාග විහාරයට පැමිණි රත්නසේකර ටික දිනක් එහි වාසය කළේ ය. ඒ දින කිහිපයක තුළ දී ආගමික වතාවත් හොඳින් උගත් රත්නසේකර වත් පිළිවෙත් ගැන මනා දැනුමක් ලැබූවෙකු විය. එවිට රත්නසේකරගේ වයස අවුරුදු 13 කි. පාසලේ ඉගැනුම් කටයුතුවලදී ඉතා දක්ෂයකු වූ රත්නසේකර කවි ගාථා පාඩම් කිරීමේදී ද දැඩි සාමාර්ථ භාවයක් දැක්විය. හොඳ මතකයක් තිබූ ඔහු පාසලෙන් සමුගන්නවාට සිසුන් මෙන්ම ගුරුවරුන් ද කැමැත්තක් දැක්වූයේ නැත.

ඒ 1955 වසරේ වෙසක් මාසයයි. එම මාසයේ නව වැනිදා කෝට්ටේ නාග විහාරයේදී රත්නසේකර කුමරුවා මාදුළුවාවේ සෝභිත හිමි නමින් පැවිදි බිමට පත් විය.

මාදුළුවාවේ සෝභිත පොඩි හාමුදුරුවන්ගේ ආචාර්යවරුන් බවට පත් වූයේ කෝට්ටේ ශ්‍රී නාග විහාරාධිපති මුල්ලේරියාවේ රේවත හිමි, කෝට්ටේ පාර ශ්‍රී ජයවර්ධනාරාමාධිපති දේවහන්දියේ සද්ධාතිස්ස මහා නා හිමියන් සහ ශ්‍රී ජයවර්ධනාරාමාධිකාරී අංගම්පිටියේ ගුණරතන හිමියන් ය.

සෝභිත හිමියන් ගිහි කල ලද පාසල් අධ්‍යාපනයෙන් පසු පිරිවෙන් අධ්‍යාපනය පිණිස ඇතුළු කෙරුණේ පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙනටයි. 1955 අවධියේ පිරිවෙන ගිහි පැවිදි උගතුන්ගෙන් සමන්විත ශාස්ත්‍රීය තෝතැන්නක් විය. ගිහි පැවිදි මහ පඬිවරුන්ගෙන් සැදුම්ලත් මේ අධ්‍යාපන ආයතනයේ සිටි කාගේත් සිත් දිනා ගැනීමට සෝභිත පොඩි හාමුදුරුවන්ට හැකි විය.

එකල වියතුන් ලෙස නමක් දිනා සිටි කිරිවත්තුඩුවේ ශ්‍රී ප්‍රඥාසාර නා හිමි, යක්කඩුවේ ශ්‍රී ප්‍රඥාරාම නා හිමි, කොටහේනේ ශ්‍රී ප්‍රඥාකිත්ති නා හිමි, බඹරැන්ද් සිරි සීවලී නා හිමි ආදී නාහිමිවරුන්ගේ සෙවණ නිසා මාදුළුවාවේ පොඩි හාමුදුරුවන්ගේ පැවිදි දිවිය ද ශාස්ත්‍රය පාණ්ඩිතභාවය ද ඉහළින්ම රැක ගන්නට සමත් විය.

විද්‍යාලංකාර පිරිවෙනට මාදුළුවාවේ නාග විහාරයේ සිට ගමන් කිරීම අපහසු බැවින් කැලණිය වනවාසල දුම්රිය ස්ථානයට නුදුරින් පිහිටි වනවාසල පුරාණ විහාරයේ නේවාසිකව සිටි සෝභිත පොඩි හාමුදුරුවෝ විද්‍යාලංකාර පිරිවෙන වෙත පා ගමනින්ම වැඩම කළහ.

පෙර සඳහන් කළ පැවිදි පඬිවරුන් සෙවණෙහි ඇසුර ලැබූ සෝභිත පොඩි හාමුදුරුවන් පිරිවෙන් අධ්‍යාපනයේ දක්ෂයකු විය.

මේ අතර පිරිවෙනෙන් බාහිර දැනුම ලබාගන්නටද සෝභිත පොඩි හාමුදුරුවන්ට හැකි විය. ඒ අනුව විශේෂයෙන් කොටහේනේ ශ්‍රී ප්‍රඥාකිත්ති ස්වාමීන් වහන්සේගේ ජාතික හැඟීම් වඩවන දේශනාවලට සවන්දීමට මේ පොඩි හාමුදුරුවන්ට හැකි විය. පිලිප් ගුණවර්ධන, ඇන්.එම්. පෙරේරා, රොබට් ගුණවර්ධන වැනි ගිහි නායකයන්ගේ දේශනවලට සවන්දීමටද සෝභිත හිමියන්ට හැකියාව ලැබුණි. එයින් උන්වහන්සේගේ ජාතික හැඟීම්, රට ගැන කැක්කුමක් ඇති විය. ගිහි පැවිදි කාගෙන් හෝ යමක් දැන ගැනීමේ අවශ්‍යතාවය උන්වහන්සේ තුළ නිතර ඇති වූවකි.

මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ පැවිදි ගමන් මගේ ඊළඟ වැදගත් සන්ධිස්ථානය උදාවූයේ 1962 වසෙර්ය. ඒ උන්වහන්සේගේ උපසම්පදාව හෙවත් අධි ශීල සම්පාදවෙහි පිහිටීමයි. කෝට්ටේ කල්‍යාණී සාම ගී‍්‍ර ධර්ම මහා සංඝ සභායත්ත සිරි මංගල උපෝසථාගාරයේදී උන්වහන්සේ උපසම්පදාව ලැබූහ. උපසම්පදාවත් සමඟම උන්වහන්සේට බරපතළ ගැටලුවකට මුහුණදීමට සිදු විය.

ඒ කුමක්ද? මීළඟ කලාපයෙන් ...


පසුගිය සතියෙන් - මාදුළුවාවේ සෝභිත හාමුදුරුවෝ - චරිතාපදානය-1

 

 නවම් පුර අටවක පෝය

   නවම් පුර අටවක පෝය පෙබරවාරි මස 15 වැනි දා සඳුදා පූර්වභාග 02.11 ට ලබයි. 16 වැනිදා අඟහරුවාදා පූර්වභාග 00.06 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම පෙබරවාරි 15 වැනිදා සඳුදා ය.

මීළඟ පෝය පෙබරවාරි 22 වැනිදා සඳුදා ය.
 


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

පෙබරවාරි 15

Full Moonපසෙලාස්වක

පෙබරවාරි 22

Second Quarterඅව අටවක

මාර්තු 01

Full Moonඅමාවක

මාර්තු 08


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]