UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පූජාච පූජනීයානං

දේවහන්දියේ ධම්මාරාම නා හිමි

මධ්‍යම පළාතේ මහනුවර දිස්ත්‍රික්කයේ උඩුදුම්බර මැතිවරණ කොට්ඨාසයේ දේවහන්දියේ මද්දුම බණ්ඩා හා නින්දර කුඹුරේ ගෙදර ලොකු කුමාරිහාමි දෙපළට දාව 1929 මැයි 28 දින උපන් උන්වහන්සේගේ ගිහි නාමය විජේරත්න නම් විය. දේවහන්දිය කනිටු විදුහලෙන් මූලික අධ්‍යාපනය ලබා ගත් විජේරත්න පසුව බත්තරමුල්ල ප්‍රදේශයේ ශ්‍රී සුධර්මාරාම විහාරයට පැමිණෙන්නේ එවකට මෙම විහාරයේ විහාරධිපති රංකිරියාගොල්ලේ ජිනානන්ද ලොකු හිමියන්ගේ ඥාති සබඳතාවයක් මතය.

1944 වසරේ 8 වැනි මස 4 වැනි දින දේවහන්දියේ ධම්මාරාම යන නමින් පැවිදි විය. කෝට්ටේ සිරි පැරකුම්බා පිරිවෙන මාලිගාකන්ද විද්‍යෝදය පිරිවෙන ආදිය උන් වහන්සේ අධ්‍යාපනය ලැබූ විද්‍යාස්ථාන විය. නුවර ප්‍රදේශයේ ඇති විහාරස්ථානය රැසක් හා එහි දුප්පත් පවුල් රැසකට ආධාර උපකාර කළ උන්වහන්සේ රට පුරා ද එම සේවය එක සේ ඉටු කළහ. රට පුරා වැඩම කර විචිත්‍ර ධර්ම දේශනාද පැවැත්වූ අතර විදේශීය රටවල් රැසකට වැඩම කර ධර්මප්‍රචාරක කටයුතුවල නියැළුණහ. පොත පතේ හා සමාජ ගත දැනුම පමණක් එකතු කර ගත් උන්වහන්සේ සිය ජීවිතයම කැප කළේ අධ්‍යාපනය හදාරන දරුවන් වෙනුවෙනි.

බත්තරමුල්ල ශ්‍රී සුධර්මාරාම පුරාණ විහාරයේ මතු දියුණුව වෙනුවෙන් කටයුතු කර 2015 වසරේ 02 .19 ශ්‍රී ජයවර්ධන රෝහලේ දී උන්වහන්සේ අපවත් විය. අපවත්වන විට වයස අවුරුදු 85 කි. 2016 වසරේ පෙබරවාරි (19) වැනි දිනට යෙදෙන වර්ෂ පූර්ණය වෙනුවෙන් පින්කම් රැසක් සංවිධානය කර ඇත.

18 වැනි දින සවස 6.00 ට බෝධි පූජාව සහ රාත්‍රී 7 – 8 ධර්ම දේශනයක් විචිත්‍ර ධර්ම දේශක ආචාර්ය මිරිස්සේ ධම්මික නාහිමියන් විසින් සිදු කරන අතර පසුදා එනම් (19) දහවල් අර්ධ ශතාධික මහා සඟරුවන උදෙසා සාංඝික දානයක්ද බත්තරමුල්ල සුධර්මාරාමයේදී පැවැත්වේ.


නාහල්ලේ පඤ්ඤානන්ද හිමි

වැල්ලම්පිටිය කලවිට ගොඩැල්ල ශ්‍රී සම්බුද්ධරාජ පුරාණ විහාරයේ නාහල්ලේ පඤ්ඤානන්ද (කවි හාමුදුරුවෝ) හිමිපාණන් වහන්සේ බුලත්සිංහල නාහල්ල ග්‍රාමයේ විසූ සමරවීර මුදලිගේ සාදිරිස් අප්පුහාමි, මොරමුදලිගේ සාංචි නෝනා යන මව්පිය දෙපළට දාව ක්‍රි.ව. 1942 මැයි මස 07 වැනි දා මෙලොව එළිය දුටුවේ ය. බ්‍රැණ්ඩියාවත්තේ ශ්‍රී සෝමානන්ද, කොලොන්නාවේ ඥානාන්ද යන මහා ස්වාමින්ද්‍රයන් වහන්සේලාගේ ආචාර්යත්වයෙන් 1955 දෙසැම්බර් මස 29 දින ශ්‍රී සම්බුද්ධරාජ විහාරයේ දී නාහල්ලේ පඤ්ඤානන්ද යන පැවිදි නාමයෙන් පැවිදි බිමට පත්වූහ.

කොළඹ මාලිගාකන්ද විද්‍යෝදය පිරිවෙනට ඇතුළත්ව වැලිවිටියේ සෝරත, රද්දැල්ලේ පඤ්ඤාලෝක වැනි උගත් මහා යතිවරයාණන් වහන්සේලාගෙන් සිංහල පාලි සංස්කෘත ත්‍රිපිඨකාදී ධර්ම හදාරා 1963 මාර්තු මස 03 වැනිදා සියම් මහා නිකායේ ශ්‍රී කල්‍යාණි සාමගි‍්‍ර මහා ධර්ම සංඝ සභාවේ කල්‍යාණි නදී සීමා මාලකයේ දී උපසම්පදා භූමියට ඇතුළත් වූහ.

හාමුදුරුවන් වහන්සේ බෞද්ධ අබෞද්ධ ජනී ජනයා සමඟ සුවිශාල ශාසනික මෙහෙවරකට නායකත්වය ලබා දුන්හ. විචිත්‍ර ධර්ම දේශකයාණන් වහන්සේ නමක් ලෙසද ප්‍රකට උන්වහන්සේ කාව්‍ය නිර්මාණයට ද සුවිශාල හපන්කමක් දැක්වූහ.

උන් වහන්සේ පැවිදි දිවියට ඇතුළත්ව හැට වසරක් පිරීම නිමිත්තෙන් 2015.12.30 දින වැල්ලම්පිටිය ශ්‍රී සම්බුද්ධරාජ පුරාණ විහාරයේ දී පින්කම් මාලාවක් පැවැත්විණි. නාහල්ලේ පඤ්ඤානන්ද හිමිපාණන් වහන්සේට නිරෝගී සුව ප්‍රාර්ථනය කරමි.


පානදුරේ ධම්මරක්ඛිත හිමි

අභිධර්ම විශාරද ශාස්ත්‍රපති පානදුරේ ධම්මරක්ඛිත හිමිපාණන් පසුගිය ජනවාරි 25 දින අපවත්වී වදාළහ. උන්වහන්සේගේ ආදාහන උත්සවය ජනවාරි 31 වන දා ප.ව. 5.30 ට පානදුර නගර සභා පරිශ්‍රයේ දී තෛ‍්‍රනිකායික මහ සඟරුවනේ මූලිකත්වයෙන් සිදු කෙරිණි.

1937 පෙබරවාරි 13 දින පානදුර උඩහමුල්ලේ ජන්ම ලාභය ලද උපාලි දයාරත්න සිගේරා නම් වූ කුමරුවන් පානදුර මහානාම මහ විදුහලින් හා පසුව පානදුර ශාන්ත ජෝන් විදුහලින් ඉංගී‍්‍රසි මාධ්‍යයෙන් සාමාන්‍ය පෙළ හදාරා විශිෂ්ට ලෙස සමත් විය. 1956 දී පානදුර මහානාම විදුහලේ ඉංගී‍්‍රසි ගුරුවරයකු ලෙසත් 1957 දී තැපැල් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ පාලන ලේකම් ධුරය දක්වාත් ඉතාම ආදර්ශවත් සේවාවක් කළහ.

ගිහි කල සිටම ධර්මකාමී චර්යාවෙහි යෙදුණු එතුමා සාහිත්‍ය කලාවේ හා ධර්ම ශාස්ත්‍රීය සේවාවෙහි ද කැපී පෙනෙන සේවාවක් ඉටු කරන ලදී. ‘වැහිකෝඩය’ වැනි සම්මානනීය කෙටි කතා ද ‘ගුරු අවුල’ ‘නිරාසා’ වැනි වේදිකා නාට්‍ය නිර්මාණයන් ද ඊට සාක්ෂ්‍ය සපයයි. වාර්ෂිකව සෑම වෙසක් පොහෝ දිනෙකම නිකුත් කළ ‘සිරි නැණ විමල - වෙසක් තිළිණය’ 1976 සිට මේ දක්වා කලාප 39 ක් පුරා එහි සම්පාදක කාර්ය හෙබවීම වැදගත් ශාස්ත්‍රීය මෙහෙවරකි. වෙසක් හඬ, වාර්ෂික ධර්ම සංග්‍රහය ඇතුළු ධර්ම ග්‍රන්ථ රැසකටම ශාස්ත්‍රීය ලිපි සම්පාදනයෙන් අඩසිය වසකට ආසන්න කාලයක් පුරා ඉටු කළ ධර්ම සන්නිවේදන සේවාව කෘතගුණයෙන් සිහිපත් කළ යුතු වේ. ගඟුල ශ්‍රී ඥානවිමල දහම් පාසලේ 1953 වසරේ සිට මේ දක්වාම උත්තම ගණයේ ධර්මාචාර්ය සේවාවක් ඉටු කළේ ලක්ෂ සංඛ්‍යාත සිසු දරු පිරිසකගේ නැණ නුවණ පාදවමිනි.

2000 දී ජනවාරි මස 23 දා ත්‍රිපිටක කීර්ති ශ්‍රී නරමානේ ශ්‍රී බුද්ධ රක්ඛිත නාහිමිපාණන්ගේ ආචාර්ය උපාධ්‍යායත්වයෙන් පැවිදි බිමට පත් විය. පසුව එම වර්ෂයෙහිම ජූනි මස පැවිදි උපසම්පදාවලත් මෙහිමියන් සුපටිපන්න ගුණයෙන් යුතුව සිය ජීවිතය දහම් සුවය වෙනුවෙන් කැප කළහ.

කොළඹ, තරුණ බෞද්ධ සංගමය, බොරැල්ලේ පරමාර්ථ ධර්ම සභාව, නුගේගොඩ බුද්ධදාස ධර්මායතනය, මිරිහානේ බෞද්ධ සාමාගී‍්‍ර සමිතිය, කොළඹ, පරම විඥානාර්ථ බෞද්ධ සමිතිය ඇතුළු පානදුර ප්‍රදේශයේ සමිති සමාගම් විශාල සංඛ්‍යාවකද ධර්ම උන්නතිකාමී කටයුතුවල නිතරවෙමින් ද විටෙක අභිධර්ම දෙසුම් පවත්වමින්ද විශේෂයෙන් ඉංගී‍්‍රසි මාධ්‍යයෙන් අන්තර්ජාතික ධර්ම සේවයත් ධර්ම දානය පරම අභිලාෂය කොට ගත්හ.

මොරටුව, එගොඩ උයන ශ්‍රී ජිනේන්ද්‍ර චෛත්‍යාරාම මහා විහාරස්ථානයේ සහ පානදුර ගඟුල සිරිපරම විශුද්ධාරාමයේ ද වැඩ වෙසෙමින් ගඟුල ශ්‍රී ඥානවිමල දහම් පාසලේ උප ප්‍රධානාචාර්ය ධුරය හොබවමින් අපවත් වන තුරුම විශිෂ්ට මෙහෙවරක් ඉටු කළේ පරමාදර්ශී යතිවර සලකුණක් තබමිනි. උන්වහන්සේට නිවන් සුවය අත්වේවා!


ආඳුළුගොඩ යසස්සි හිමි

විහාරත්‍රයාධිපති විශ්‍රාමලත් නියෝජ්‍ය විදුහල්පති මුළු දිවයිනටම සාමවිනිසුරු, ශාස්ත්‍රපති ආඳුළුගොඩ යසස්සි මාහිමියන් වහන්සේ මහා යතිවරයාණන් වහන්සේ නමකි.

දකුණු පළාතේ මිද්දෙනිය ආදුළුගොඩ ග්‍රාමයේ විසූ අබේනායකගේ සාමෙල් අප්පු පියතුමාට හා විජේකෝන් ආරච්චිගේ නෝනහාමි මව්තුමියට දාව 1954 පෙබරවාරි මස 27 වන දින අබේනායකගේ ආරියදාස කුමරු උපත ලැබීය.

උලහිටියාව කනිෂ්ඨ විද්‍යාලයට ඇතුළත්වී අධ්‍යාපනය ලැබීය. මැල්ලකැටිගොඩ ජයමහා බෝධි පුරාණ තත් විහාරාධිපති මහා විහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ ශ්‍රී රෝහණ පාර්ශ්වයේ මහෝපාධ්‍යාය ගිරුවාපත්තුවේ ප්‍රධාන සංඝනායක ධර්ම කීර්ති ශී‍්‍ර ධම්මදින්න ධම්මජෝති ජුලම්පිටියේ චන්ද්‍රජෝති නාහිමියන්ගේ හා කටුවන, මීගහහේන රිටිගල පුරාණ විහාරාධිපති සියඹලාගොඩ විද්‍යාකීර්ති මහ පිරිවෙණේ විශ්‍රාමික පරිවේනාධිපති ශාස්ත්‍රවේදී පණ්ඩිත මීගහහේනේ ධම්මක්ඛන්ධ මාහිමියන්ගේ ශිෂ්‍යයෙකු ලෙස 1966 නොවැම්බර් මස 20 වන දින ආඳුළුගොඩ යසස්සි නමින් පැවිදි දිවියට ඇතුළත් වූහ.

දෙයියන්දර, වෑවලකන්ද ශ්‍රී විද්‍යානිකේත පිරිවෙණ අවිස්සාවේල්ල ශී‍්‍ර සුදර්මාරාම විද්‍යායතන පිරිවෙණ කොළඹ හුණුපිටිය ශ්‍රී ඤාණේශ්වර විද්‍යායතන පිරිවෙණ යන අධ්‍යාපන ආයතන තුළින් මූලික හා උසස් අධ්‍යාපනය ලබා ගත්හ. උගත මනා බණ දහමින් හා සපිරුණු විසි වයසින් යුක්තව සිටි යසස්සි පොඩි හාමුදුරුවෝ 1974 ජුනි මස 14 වන දින මහනුවර මල්වතු මහා විහාර මංගල උපෝසථාගාරයේදී තෙළ කී ආචාර්යත්වයෙන් උපසම්පදාවට පත් විය.

දඹදෙනිය ගුරු විද්‍යාලයට ඇතුළත්ව ගුරු පුහුණුව සාර්ථකව නිමකොට 1989 බුද්ධ ධර්ම ඩිප්ලෝමා ලබාගත් යසස්සි හිමියෝ පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් 1992 ශාස්ත්‍රවේදී උපාධියත් 1993 කැලණිය විශ්ව විද්‍යාලයෙන් ශාස්ත්‍රපති උපාධියත් ලබා ජාතික අධ්‍යාපන ආයතනය මගින් අධ්‍යාපන ඩිප්ලෝමාවද ලබා ගත්හ.

ඇඹිළිපිටිය උඩගම මහා විද්‍යාලයෙන් ගුරු සේවයට පත්වීමක් ලබා කලක් සේවය කොට කොළඹ වැල්ලම්පිටිය ශී‍්‍ර සිද්ධාර්ථ මධ්‍ය මහා විද්‍යාලය යටිනුවර, මැනික්දිවෙල මහා විද්‍යාලය ආදි විද්‍යාස්ථානවල සේවය කළ යස්සසි හිමියෝ පිලිමතලාව ධීරානන්ද මධ්‍ය මහා විද්‍යාලයට ස්ථාන මාරුවක් ලබා ගත්හ.

පිළිමතලාව පුරණගල පුරාණ විහාරයේ සිට ධීරානන්ද මධ්‍ය මහා විද්‍යාලයේ සේවයට යන යසස්සි හිමියෝ පළාත්වාසී ගිහි පැවිදි හැම දෙනාගේම ජාතික,ආගමික ශාසනික පොදු සේවාවලටද දායකත්වය ලබා දුන්හ. හැරමිටිගල ශාස්ත්‍රාලංකාර පිරිවෙන් විහාරයට අයත්ව තිබු රන්දුන්න බෝධිරාජාරාමය පුරාණ බෝධියක් කුඩා ශාලාවකුත් පමණක් තිබුණු අතර මෙම විහාරයට විහාරාංගවලින් සමන්විත විහාරස්ථානයක් ලෙස ගොඩැනැගීය. ප්‍රදේශයේ දූ දරුවන්ගේ දහම් අධ්‍යාපනය නඟා සිටුවීමේ අරමුණින් සිටි ගුරුදේව නාහිමියන්ට උපහාර පිණිස ශී‍්‍ර චන්ද්‍රජෝති දහම් පාසලද ආරම්භ කළහ. පිළිමතලාව,අලදුවකගමට යාමට පාලමක් පාරක් නොතිබුණ යුගයක පාලම් තනා පාරවල් තනා ගමට යාමට පහසුකම් සැලසීමටද පුරෝගාමි විය. දහම් පාසල් ප්‍රධානාචාර්ය පදවියේ වගකීම ඉටු කරමින් උදාර සේවාවක් සිදු කරමින් යන අතර සිය ගුරුදේව නාහිමියන් වහන්සේ දැඩි සේ අසනීප වූ නිසාම උලහිටියාව විද්‍යාලයට ස්ථාන මාරුවක් ලබා පැමිණි යසස්සි හිමියෝ මෑල්ලකැටිගොඩ ජය මහා බෝධි විහාරස්ථානයේ වැඩ වසමින් ගුරු දේව නාහිමියන්ට උපස්ථාන කරමින් මෑල්ලකැටිගොඩ ශ්‍රී චන්දජෝති දහම් පාසලේ ප්‍රධානාචාර්යවරයා ලෙසත් කටයුතු කරන අතර තුර උලහිටියාව විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පති ධුරයට උසස් කරනු ලැබීය.

අධිකරණ අමාත්‍යාංශය මඟින් මුළු දිවයිනටම සාම විනිසුරු පදවියකින්ද පිදුම්ලැබූ හිමියෝ සිය ගුරුදේව නාහිමියන්ගේ අපවත්වීමෙන් පුරප්පාඩු වූ විහාරස්ථානවල ආධිපත්‍යයට පත්විය. 2013 දී ගුරු සේවයෙන් විශ්‍රාම ලැබූහ.උන්වහන්සේ 2015 ඔක්තෝබර් මස 23 වන දින අපවත් වී වදාළහ.

තෙමස් පූර්ණ ගුණසමරුව නිමිති කරගෙන මෑල්ලකැටිගොඩ ජයමහා බෝධි පුරාණ විහාරස්ථානයේදී මේ මස 23 වන දින ආඳුළුගොඩ ශ්‍රී යසස්සි මාහිමි ගුණ සමරු ධර්ම ශාලාව විවෘත කිරීමත් රාත්‍රී සුමධර ධර්ම දේශනාවක් පවත්වා 24 වන දින දහවල මහා සංඝගත දක්ෂිණාවක් ද පැවැත්වේ.

අපවත් වී වදාළ ආඳුළුගොඩ යසස්සි මහාස්වාමීන්ද්‍රයන් වහන්සේට අමා මහ නිවන් සුව අත්වේවා!

 

 නවම් පුර අටවක පෝය

   නවම් පුර අටවක පෝය පෙබරවාරි මස 15 වැනි දා සඳුදා පූර්වභාග 02.11 ට ලබයි. 16 වැනිදා අඟහරුවාදා පූර්වභාග 00.06 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම පෙබරවාරි 15 වැනිදා සඳුදා ය.

මීළඟ පෝය පෙබරවාරි 22 වැනිදා සඳුදා ය.
 


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

පෙබරවාරි 15

Full Moonපසෙලාස්වක

පෙබරවාරි 22

Second Quarterඅව අටවක

මාර්තු 01

Full Moonඅමාවක

මාර්තු 08


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]