UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සමන් දෙවිඳුගෙන් පිහිට ලබන වා

සමන් දෙවිඳුගෙන් පිහිට ලබන වා
උතුම් බුදුන් අපි වඳින්න යන    වා

ශ්‍රී පාද වන්දනා සමයේ නිරන්තර කියැවෙන නමක් ලෙස සමන් දෙවි නාමය දැක්විය හැකිය

එදා බුදුරදුන් බින්තැනි බිමට වැඩ යක්ෂයන් පලවා හැර රැස් වූ සමන්දෙවි ඇතුළු බුමාටු දෙවියනට දහම් දෙසාලූහ. සමන් දෙවි සෝවාන් වූවෝ වැඳ පුදා ගැනීමට බුදුහිමියන්ගෙන් වස්තුවක් ඉල්ලා සිටියහ. බුදුරදුන් හිස පිරිමැද දුන් කේශධාතු මිට සමන් දෙවිඳු රන් කරඬුවක බහා බුදු පහස ලත් මියුගුණ බිම සත්රියන් නීල මාණික්‍යමය දාගැබක නිදන්කොට වන්දනාමාන කළහ. බුදුරදුන් කැලණියට වැඩි ගමනේ දී සුමන දෙව් රජු ඇරයුමෙන් සමනළ සිරිපා පිහිටුවූහ. ඉන් සමනොළ වඩාත් වැදගත් විය. සමන් දෙවි ඒ රැක ගත්හ.

සමන් දෙවි පිළිබඳ විවිධ මත දැක්වෙතත් මෙරට බලසම්පන්න පුද්ගලයෙකු බවත්, බුදුරදුන් සරණගිය ආර්ය ශ්‍රාවකයෙක් බවත්, පරලෝක ප්‍රාප්තියෙන් පසු දේවත්වයෙන් සැලකෙන්නට වූ බවත් කියැවෙයි.

සෝවාන් සමන් දෙවි සමනළ කන්දට අධි ගෘහිතව, සිරිපා කරුණා කරන්නවුන්ට ආරක්ෂාව දෙති.

බුදු සසුනේ ධ්‍රත රාෂ්ට්‍ර, විරූඪ, විරූපාක්ෂ, වෛශ්‍රවණ යන සතරවරම් දෙවිවරු ගැන කියැවෙතත්, විෂ්ණු, කතරගම, සමන්, විභීෂණ යන දෙවිවරු සතරවරම් දෙවිවරු ලෙස ජනතාව අතර හැඟීම් ද වෙයි. සබරගමු පළාතේ සමන් දෙවියන්ට ඇත්තේ විශේෂ සැලකිල්ලකි. ප්‍රදේශය සමන් දෙවි අඩවිය ලෙස සඳහන් කරයි.

වදන් කවි පොතේ,

“සිද්ධ කිහිරැලි සමන් බොක්සැල් විභීෂණ සිව්වරම් රජ නිති” යනුවෙන් සමන් දෙවිඳු වැදගත් තැන්හි තබයි.

සමන් දෙවිඳුන් පිළිබඳ ප්‍රධාන දේවාලය සබරගමු මහ සමන් දේවාලයයි. ඒ පිළිබඳවද විස්මිත තොරතුරු එයි. මෙරට දේවාල පවත්නා සෑම තන්හිම සමන් දේවාලයක් දක්නට ඇත.

“ලංකාවට තිලකයක්ය. සබරගමුව මාලිගාව“ යනුවෙන් ජන කවියා පවසන සබරගමු සමන් දේවාලය ආශි‍්‍රතව වාර්ෂිකව මහා පෙරහර පැවැත්වෙයි. එමෙන්ම සමන් දෙවිඳුගේ වාහනය වන සුදු ඇතා පිළිබඳවද විස්මිත තොරතුරු දැක්වෙයි. ආර්යකාමදේව ඇමැති මැණික් ගැරීමට සමන් දෙවිඳුගෙන් පිහිට ඉල්ලා භාරවූ අතර කැකිරි ගෙඩියක තරම් මැණිකක් ලද බවත් ඒ වෙනුවෙන් භාරය ඔප්පු කිරීමට මහ සමන් දේවාලය ඉදිකළ බවත් කියැවෙයි.

සිරිපා කන්ද අසල සමන්දෙවි උයන ඇතැයි ද සිරිපා වන්දනාවේ ගොස් පාරතොට මග හැරගියවුන් සමන්දෙවි පිහිටෙන් මෙම ස්ථානය වෙත ළඟාවෙන බවද ඒ මත ඔවුන්ගේ සොයා ගැනීමට සිදුවන බවද කියැවෙයි.

සිරිපා වන්දනා කරන්නෝ අනිවාර්යයෙන්ම සමන් දෙවියන්ගේ පිහිට ආරක්ෂාව පතති. පඬුරු බඳිති, සිරිපාද ගමනේ ඒ ඒ හමුවන ඇතැම් තැන්හිදී සමන් දෙවියන් සිහි කරමින් පිහිට ඉල්ලති.

ජන කවිහු සමන් දෙවිඳු ගැන අපමණ කීහ.

“වරද සියලු අපෙ සමා කරන වා
සමන් දෙවිඳුනේ එපින් ලබන වා

“සීත ගඟුලෙදි පන්සිල් අරගෙ න
සමන් දෙවිඳුහට පඬුරුත් බැඳ ගෙන

“ඉදිකටු නූලත් සුරතට ගන් නේ
ගෙත්තම් කර දෙවිඳුට පින් දෙන් නේ

සුමන සමන් දෙවි මේ පින් ගන් නේ
සාදු සාදු හිමෙ නගිනු කියන් නේ

සමන් දෙවිඳුගෙන් පිහිට ලබන වා
උතුම් බුදුන් අපි වඳින්න යන වා

ඇහැළ කණුව ළඟ ගොස් නවතින් නේ
සමන් දෙවිඳුනේ පිහිටක් වන් නේ

හුලං කපොල්ලෙන් ගැලවී එන් නේ
සමන් දෙවිඳුනේ අපි වන්දන් නේ

දම්වැලෙ එල්ලී දඹය නගින් නේ
සමන් දෙවිඳුනේ අප රැක දෙන් නේ

සියලු දෙනම ගොස් පද්මෙ වඳින් නේ
සුමන සමන් දෙවි මේ පින් ගන් නේ

මේ ආදී සමනළ නැගීමේදී හමුවන තන්හිදී සමන් දෙවිඳුගේ පිහිට ආරක්ෂාව යදිමින් සුමන සමන් දෙවිඳුන්හට පින් දෙති. දහ දොළොස් වාරයක් සිරිපා වන්දනා කළත් සමන් දෙවිඳුන්ගේ කරුණාව පිහිට ඉල්ලීම සිරිතය.

පළමු වරට සිරිපා වන්දනාවට යන්නෝ කිරි කෝඩු ලෙස හැඳින්වෙයි. ඔවුනට පිහිට වනසේ ඉල්ලන අයුරු බලන්න.

“කිරි කෝඩුල වන්ඳවන්න
සමන් දෙවිඳු පිහිට වන්න
එන වත්තේ බුදු මහලට
කෝඩු සමඟ අපි එනවෝ”

ගමනේ දී වැරදි වචනයක් වත් භාවිතාවූවොත් එහි විපාක බරපතළ බව අදහසය. ක්‍රෝධය, වෛරය, නොව කරුණාව, මෛත්‍රීය සියලු දෙනාගේ හදවත් තුළ වෙයි. මුළු පළාතම කරුණා නදින්, සාදු හඬින් ගිගුම් දෙයි. සිරිපා කන්ද තරණය කරන්නෝ කන්ද බසින්නට කරුණාව පතුරවති. කන්ද බසින්නෝ නගින්නන්ට කරුණාව පතුරවති.

‘වැඳල බහින මේ මල්ලිට සුමන සමන් දෙවි පිහිටයි’ ඒ අසන මල්ලී ‘වඳින්න යන මේ අයියට සුමන සමන් දෙවි පිහිටයි’ යනුවෙන් ඉතා ස්නේහයෙන් සමන්දෙවි රැකවරණය ප්‍රාර්ථනා කරති.

කාහටත් කරුණාව, දයාව, රැකවරණය දෙමින් සිරිපා පද්මය වැඳපුදා ගැනීමට අවකාශ සලසන සුමන සමන් දෙවිඳුන්ට පින්දීම කාගේත් සිරිතය.

 

 නවම් පුර අටවක පෝය

   නවම් පුර අටවක පෝය පෙබරවාරි මස 15 වැනි දා සඳුදා පූර්වභාග 02.11 ට ලබයි. 16 වැනිදා අඟහරුවාදා පූර්වභාග 00.06 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම පෙබරවාරි 15 වැනිදා සඳුදා ය.

මීළඟ පෝය පෙබරවාරි 22 වැනිදා සඳුදා ය.
 


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

පෙබරවාරි 15

Full Moonපසෙලාස්වක

පෙබරවාරි 22

Second Quarterඅව අටවක

මාර්තු 01

Full Moonඅමාවක

මාර්තු 08


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]