UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 සුපසන් වූ ජීවිතයකට හිමිකම් කියයි ද?

 සුපසන් වූ ජීවිතයකට හිමිකම් කියයි ද?

අප තථාගත භාග්‍යවතුන් වහන්සේ මහත් වූ කරුණාවෙන් අස්‍රැතවත් පෘතග්ජන වූ අපට කුම්මෝපම සූත්‍ර දේශනාවේ දී මහත් වූ කරුණාවෙන් දේශනා කර වදාළේ, තිරිසන් සතෙක් වූ ඉදිඹුවාට මනා වූ සිහිය පිහිටුවාගෙන සිවලාගෙන් ආරක්ෂා වීමට පුළුවන්කම ලැබුණ නම්, දුර්ලභව මනුෂ්‍ය ජීවිතයක් ලැබූ උසස් මනසක් ඇති අපට මාරයාගෙන් ආරක්ෂා වීමට නොහැකි වන්නේ ඇයි ද? කුම්මෝපම සූත්‍ර දේශනාවේ අවසාන කොටසින් අප තව දුරටත් මාරයාගෙන් ආරක්ෂා වීම පිළිබඳව විවරණය කර බලමු.

වර්තමාන පරිසරය තුළ සද්පුරුෂ ගුණවන්ත යම් විටක බෝධිසත්වයන් මෙන් චරිත ගත කළ අය එහෙත් මේ උතුම් වූ දහම් පෙළ පිළිබඳ මනා අවබෝධයෙන් කටයුතු නොකිරීම නිසා ඔවුන් මාර පාක්ෂිකව රාගයට දේශයට හසු වී තම ජීවිත විනාශ කරගෙන දුකින්, කඳුළින් ජීවිතය පවත්වන බව ඕනෑ තරම් දැකගන්නට හැකියි. මේ බව තේරුම් අරගෙන පංච සීලය හෝ අෂ්ඨාංග සීලය, නවාංග සීලය, දස සීලය වැනි සීල පිළිබඳ අවබෝධයෙන් අඩුම තරමෙ තමා පවත්වන ජීවිතය කෙරෙහි එනම් ස්වාමියා, බිරිඳ, දෙමව්පියෝ, දරුවෝ, ලැබූ උතුම් මනුෂ්‍ය ජීවිතය කෙරෙහිවත් මනා වූ සිහිය පවත්වාගෙන මේ ඇස වරදකට පෙළඹෙන්නේ නැතිවෙන්න කන, නාසය, දිව, ශරීරය, මනස, මෙතෙක් පැහැදිලි කළ අයුරින් වරදකට පෙළඹෙන්නෙ නැතිවෙන්න සිහිය පවත්වා ගැනීමට හැකියාවක් ඇතිකර ගත යුතුමයි. එසේ ඇතිකරගන්නට පුළුවනි නම්, ඔබ ඔබගේ ම ජීවිතය තුළ සුපසන් ජීවිතයකට හිමිකරුවෙක් හෝ හිමිකාරියක් වන බව ඔබට පැහැදිලි වෙනවා ඇති.

මෙහි දී ඔබට අක්කර සියගණනාවක ගෙවත්තක් නොතිබුණත්, තට්ටු දෙක තුනක මාලිගාවක් නොතිබුණත්, ලක්ෂ ගණන් වටිනා යානවාහන නැති වුණත්, ඉතාම ප්‍රණීත ආහාර තුන්වේලටම නැති වුණත් ඔබ මනාකොට සිහිය පැවැත්වීම නිසා ඇස ආදී ඉන්ද්‍රියන්ගෙන් වරදකට හසුවෙන්නට කිසිදු හෝ ආකාරයකින් ඉඩක් නොතිබීම නිසා මාරයාගෙන් බැහැරව සම්‍යක්දෘෂ්ටික දෙවියන්ගේ ආරක්ෂාව ඇතිව පවුල් පරිසරය තුළ ඔබට ම දැනෙන අයුරින් ස්වාමියා, බිරිඳ, දෙමව්පියන්, දරුවන් ද දෙවියන් දිව්‍යාංගනාවන් සේ හදවත්වලින් පොහොසත්ව ජීවිතය පවත්වාගන්න තරම් ශක්තියක් ඔබට සැලසෙනවා ඇති. එසේ නොවුණත් මාරයාට හසුවීමෙන් ඇතිවන මහා විපත මෙලොව හා පරලොව වශයෙන් ම භුක්තිවිදිය යුතුමයි.

තථාගත බුදුරජාණන් වහන්සේ මේ නිසයි මහත් වූ කරුණාවෙන් අනුශාසනා කළේ ඇසෙහි සංවරය පිණිස පවතින්න, ඇසෙහි ආරක්ෂාව පිණිස පවතින්න යම් විටක අස්‍රැතවත් පෘතග්ජන ස්වභාවය නිසා ඇසෙහි අසංවර බවට ගියොත්, කනෙහි අසංවර බවට ගියොත්, නාසයේ අසංවර බවට ගියොත් දිවේ අසංවර බවට ගියොත් කයේ අසංවර බවට ගියොත් සිතේ අසංවර බවට ගියොත් නැවත මනා කොට සිහිය පවත්වා ඔබ උපතේ පටන් හෝ හය හතර තේරෙන අවධියේ පටන් ඔබ සමීප වූ එනම් සරණ ගිය තථාගත බුදුරජාණන් වහන්සේ, උතුම් ධර්ම රත්නය, ආර්ය සංඝරත්නය සිහියට නගාගෙන නැවතත් ඇසේ සංවරයට එන්න. එනම් ඇසෙන් රාගයක්, ද්වේෂයක් ඇති වී මාර පාක්ෂික නොවෙන්නට සිහිය පවත්වන්නට, කනෙන්, නාසයෙන්, දිවෙන්, ශරීරයෙන්, මනසින් අසංවරයට ගියත් අතපසුවීමක් ඇති වුණත් නැවතත් සංවරයට පැමිණෙන්න මාර පාක්ෂික කෙනෙක් බවට පත්නොවෙන්න. එවිටයි භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ ඇස නම් වූ දොරටුව, කන නම් වූ දොරටුව, නාසය නම් වූ දොරටුව, දිව නම් වූ දොරටුව, කය නම් වූ දොරටුව ඒ වගේ ම සිතනම් වූ දොරටුව වසා තබන්න කියා.

අවසන් වශයෙන් සඳහන් කළොත් ඇසෙන් රුව දකින්න, එය ස්ථිරයි, සදාකාලිකයි, මගේ, යැයි නොසිතන්න කනෙන් හඬ අසන්න දෙමව්පියෝ දරුවෝ දුවේ, පුතේ, අම්මා, අප්පච්චි, කියා සුපසන් වූ හඬක් ඔබට ඇසෙයි. එහෙත් ඒ හඬ මගේ නොවෙයි සදාකාලික නොවෙයි. ස්ථිර නොවෙයි. නාසයෙන් ආඝ්‍රහණය ලැබේවි එය සුවඳක් බව ඔබට දැනේවි, එය පරිහරණය කරන්න. එහෙත් එය කිසිවිටකවත් ස්ථිරයි සදාකාලික යැයි කිසිවිටකවත් සිතා රාගෙයන් නොබැඳෙන්න. වෙනස් වී අහිමි වී යන විට ද්වේෂයෙන් නොගැටෙන්න. එය ලොව පවත්නා අනිච්චතා ධර්මයක් බව නුවණින් මෙනෙහි කරන්න. දිවෙන් රස ලබන්න ජීවිතය පවත්වන්නට ආහාර ගන්න විටක පැණි රසයි. ඇඹුල් රසයි, තිත්තයි ආදී වශයෙන් දැනෙයි. ඔබ ජීවිතය පවත්වන්න ප්‍රසන්න ආහාරයක් පිළියෙලකර ගන්න. එහෙත් රසයට රාගෙයන්, රතියෙන් ඇලෙන්නට නම් එපා. දිව වගේ ම ඒ රසයත් අනිච්චතා දහමට යටත් කොට දකින්න. ඒ වගේ ම කයෙන් ස්පර්ශ ලබන්න. ගෙයක්, දොරක්, ඇඳුමක්, පැළඳුමක්, ඇඳක් පුටුවක් ලෙසින් ධර්මානුකූල ජීවිතයකට සපයා ගන්න. එහෙත් කය වගේ ම ඒ බාහිර වස්තූන් ද අනිච්චතා ධර්මයට යටත් බැවින් පස් පව් දස අකුසල් ඔස්සේ ඔය කිසිවක් ලබන්නට, රකින්නට උත්සාහ කරන්න එපා. එයට හේතුව තමා තමාටවත් හිමි නැතිව දිරාගෙන යන ලෙඩදුක්වලට උරුමව මරණය පත්වන මේ කය නිසා සතර අපායේ දුක් දෙන සොරකම් කිරීම්, ප්‍රාණඝාත ආදී කටයුතුවල යෙදෙමින් බාහිර අරමුණු බාහිර වස්තූන් ලබන්න, හොයන්න, රකින්න උත්සාහ කරන්න එපා. මනසින් සිතිවිලි එකතු කරන්න. කුසල් මඟට එන්න. තුන්ලොවක් සැනසූ තථාගත බුදුරජාණන් වහන්සේගේ දහම් මඟට එන්න. සිතිවිලි නගන්න. එහෙත් ඔය සිතෙන් මවු කෙනෙක් දෙස, සොහොයුරියක් දෙස, දරුවෙක් දෙස, පියකෙනෙක් දෙස, සොහොයුරෙක් දෙස, මනුෂ්‍යයෙක් දෙස වැරැදි වූ කාමයෙන්, රාගයෙන්, රතියෙන් නම් පෙනෙන්න එපා. ඇහෙන්න එපා. දැනෙන්න එපා. දකින්න එපා. සිතෙන්නට එපා. මෙයයි තථාගත බුදුරජාණන් වහන්සේගේ අසිරිමත් වූ දහම එනම් ඇස කන ආදී ඉන්ද්‍රියන් හැර විවෘත කොට ලෝකය බලන්න. කරුණාවෙන්, මෛත්‍රීයෙන් සුපසන් සිතක් සකස් කර ගන්න. රාගය, ද්වේෂය, වෛරය, පලිගැනීම, ඊර්ෂ්‍යාව, තමන් උසස් කොට අනුන් පහත්කොට අනුන්ට කරදර කිරීම්, බොරුකීම්, කේලාම් කීම්, පරුෂ වචන කීම්, හිස් වචන කීම නම් මේ අපමණ වූ කෙලෙස් සම්භාරය ඉදිරියේ වැසූ දොරපියන් ඇතිව අන්ධයෙක් සේ ද, බිහිරෙක් සේ ද, දුබල අයෙක් සේ ද, ජීවිතය පවත්වන්න බොහෝ වෙලාවක් මාරයා බලා සිට ඉදිඹුවා අත්හැර යන්නට ගිය සිවලා සේ මාරයා අප වෙතින් බැහැරව යන්නේ ය. සෝතාපන්න මාර්ග ඵල අවබෝධයට අප පැමිණුනා හා සමාන තැනකට පැමිණ ඇත්තේ ය.

සුපසන් ජීවිතයක් සොයන, හිතන ඔබ සෑම කෙනෙකුට ම කුම්මෝපම සූත්‍ර දේශනාව ඇසුරෙන් කරන ලද මෙම දහම් කතාවත් ඔබ හැම කෙනෙකුටමත් උපකාරක ධර්ම පෙළක්ම වේවායි මහත් කරුණාවෙන් ප්‍රාර්ථනා කරනවා.

 

 දුරුතු පසළොස්වක පෝය

  දුරුතු පසළොස්වක පෝය ජනවාරි මස 23 වැනිදා සෙනසුරාදා පූර්වභාග 07.31 ට ලබයි. 24 වැනිදා ඉරිදා පූර්වභාග 07.15 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජනවාරි 23 වැනිදා සෙනසුරාදාය.

 මීළඟ පෝය පෙබරවාර් 01 වැනිදා සදු දාය. 
 


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජනවාරි 23

Second Quarterඅව අටවක

පෙබරවාරි 01

Full Moonඅමාවක

පෙබරවාරි 08

First Quarterපුර අටවක

පෙබරවාරි 15


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]