UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

97 වන විය සපුරන අමරපුර සිරි සද්ධම්මවංශ මහා නිකායේ අනුනායක බටුවන්හේනේ මෙත්තාරාම නා හිමි

97 වන විය සපුරන අමරපුර සිරි සද්ධම්මවංශ මහා නිකායේ අනුනායක

බටුවන්හේනේ මෙත්තාරාම නා හිමි

ඇල්පිටිය – බටුවන්හේන ශ්‍රී සුදර්ශනාරාමය පුරාණ මහා විහාරයේ විහාරාධිපති ශ්‍රී මෛත්‍රී දහම් පාසල හා ශ්‍රී මෛත්‍රි පෙර පාසලේ උපදේශක, සිරි සුගත ශාසන ශෝධක විනයාචරිය සිරි අභයතිස්ස දීපාරාම වංශාලංකාර විද්‍යෝද්‍ය ධර්ම ශාස්ත්‍රි විභූෂණ,අමරපුර සිරි සද්ධම්මවංශ මහා නිකායේ අනුනායක, මහෝපාධ්‍යාය, ශාස්ත්‍රවේදී රාජකීය පණ්ඩිත බටුවන්හේනේ මෙත්තාරාම නායක ස්වාමීන්ද්‍ර-යන් වහන්සේගේ 97 වැනි ජන්ම දිනය 2016.01.22 වන දිනට යෙදී ඇත. මෙම ලිපිය ඒ නිමිත්තෙනි.

ගාල්ල දිස්ති‍්‍රක්කයේ –ඇල්පිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සුන්දර ගම්මානයක්වූ බටුවන්හේන ග්‍රාමයේදී 1919 ජනවාරි මස 22 වන දින, ඉඩම් හිමි වැවිලිකරු පොන්නම්පෙරුම ආරච්චිගේ දොන් දියෙස් අප්පුහාමි මහතාගේ හා වන්නිආරච්චි කංකානම්ගේ බබුන් නෝනා මාතාවගේ කනිටු පුතණුවන් ලෙස ජන්ම ලාභය ලැබූ කුමරුවා, බටුවන්හේන ශ්‍රී සුදර්ශනාරාම පුරාණ මහා විහාරයේ විහාරාධිපති ගොළුවාමුල්ලේ දීපාරාම නාහිමියන්ගේ ශිෂ්‍ය රත්නයක් ලෙසින් 1929 ඔක්තෝබර් 18 වනදා බටුවන්හේනේ මෙත්තාරාම නමින් ප්‍රවෘජ්‍යා භූමියට ඇතුළත් වූහ.

පැවිදි දිවියට අවශ්‍ය ශාසනික චර්යාවන් සහිත උගතමනා බණ දහම් මැනවින් ප්‍රගුණ කළ උන්වහන්සේ 1940 පොසොන් පුන් පොහෝදා බලපිටිය මහා කප්පින වලව්ව අසල මාදු නදියේ ස්වේජින් සීමා මාලකයේදී ගොළුවාමුල්ල දීපාරාම නාහිමියන්ගේ ආචාර්යත්වයෙන් උපසම්පදාව ලැබූහ.

උසස් අධ්‍යාපනය වෙනුවෙන් කොළඹ මාලිගාකන්දේ විද්‍යෝදය මහ පිරිවෙනට ඇතුළත් වූ උන්වහන්සේ ප්‍රාචීන, මධ්‍යම විභාගය භාෂාත්‍රයෙන්ම සමත් වූහ. තමා ලබා ගත් දැනුම් සම්භාරය උපන් ගම් ප්‍රදේශය වෙනුවෙන් කැපකිරීමේ පරම චේතනාවෙන් යුතුව උන්වහන්සේ එවකට බටුවන්හේන ශ්‍රී සුදර්ශනාරමයේ ආරම්භ කොට තිබූ විද්‍යාප්‍රදීප පිරිවෙනෙහි පරිවේණාධිපති ධුරයට පත් වූහ.

තම අධ්‍යාපන ක්‍රියාවලිය අඛණ්ඩව සංවර්ධනය කරමින් අප නාහිමියෝ 1959 දී විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයට ඇතුළත්ව, ශාස්ත්‍රවේදී උපාධිය ලබා ගැනීමට සමත් වූ අතර , 1962 දී උපාධිධාරී ගුරුවරයෙකු ලෙස ගා /නාගොඩ මහා විද්‍යාලයෙන් ගුරු සේවය ආරම්භ කරන ලදී. 1971 දී බටුවන්හේනේ ශ්‍රී සුදර්ශනාරාම විහාරස්ථානයේ විහාරාධිපති පදවියට පත් ව ආරම්භ කළ ශ්‍රී මෛත්‍රී දහම් පාසල සහ පෙර පාසල අද දක්වාම පවත්වාගෙන එනු ලබයි.

බටුවන්හේන ශ්‍රී සුදර්ශනාරාම පුරාණ මහා විහාරය මුල් කොට ගනිමින් සිය ජීවිතය කැප කරමින් අප නාහිමිපාණෝ විහාරස්ථානයේ උන්නතිය සඳහා විහාර කාර්ය සාධක සමිතියද ගොඩනැඟූහ. එමෙන්ම විහාරාධිපති සංගමයක් ආරම්භ කොට ප්‍රාදේශීය විහාරස්ථාන සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට පෙරමුණ ගත්හ. ප්‍රදේශයේ ජනතාවට තවදුරටත් සේවාවක් සිදු කරනු වස් සමූපකාර සමිති සේවාවට සිය කාලය ශ්‍රමය මහජන සේවය උදෙසා සම්බන්ධ වෙමින් කැප කළහ.

ශිෂ්‍ය භික්ෂුවක සේ අධ්‍යාපනය ලබන අවදියේ සිටම සිංහල සාහිත්‍යය ක්ෂේත්‍රය පිළිබඳව දැක් වූ දැඩි ඇල්ම නිසාම එය ප්‍රගුණ කළ නාහිමිපාණෝ පද්‍ය පමණක් නොව ගද්‍ය කෘතින් කිහිපයක්ම සිංහල වංශ කථාවට එක් කළහ. “ජාතික පුෂ්ප” නමින් වූ පද්‍ය ග්‍රන්ථ පෙළ (දුටුගැමුණු, මහ කළු සිංහලයා, පන්සලෙන් සිහසුනට , දාන වීර සඟබෝ) මෙන්ම “පියසටහන්” ,“සැනසුම සොයා”අසිරිමත් බුදුරජාණන් වහන්සේ “ ඒ අතරින් ප්‍රකට ග්‍රන්ථයන් වේ.

කවිය හා සාහිත්‍ය කලාව වෙනුවෙන් දැක්වූ දක්ෂතා හා උනන්දුව නිසාවෙන් 1959 වසරේදී සමස්ත ලංකා සාහිත්‍ය සංගමයේ ඇල්පිටිය ශාඛාවේ ලේකම් ධූරයට පත් වූහ. නා හිමියෝ ඉටු කරන ලද අනගි මෙහෙවර අගයමින් 1974 වසරේදී අමරපුර සිරි සද්ධම්මවංශ මහා නිකාය විසින් “ශ්‍රී දීපාරාම වංසාවතංස සද්ධර්මාචාර්ය “යන ගරු නාම සම්මුතිය සහිත බෙන්තර වලල්ලාවිට කෝරලයේ උප ප්‍රධාන සංඝනායක ධුරය පිරිනමන ලද අතර, 1984 වසරේදී ප්‍රධාන සංඝනායක පදවියට පත් වූහ.

පුරා 97 වසරක් පරාර්ථ සේවාවේ යෙදෙමින් සම්බුද්ධ ශාසනයේ චිර පැවැත්ම පිණිස සිය ජීවිතය කැප කළ දකුණු ලක මෙත් ගඟුල බටුවන්හේනේ මෙත්තාරාමාභිධාන අනුනායක මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේට සියක් වසරකටත් වැඩි කාලයක් එම උදාර සේවාවන් ඉටු කරන්නට දීර්ඝායුෂ ලැබේවා යි ප්‍රාර්ථනා කරමු.

 

 දුරුතු පසළොස්වක පෝය

  දුරුතු පසළොස්වක පෝය ජනවාරි මස 23 වැනිදා සෙනසුරාදා පූර්වභාග 07.31 ට ලබයි. 24 වැනිදා ඉරිදා පූර්වභාග 07.15 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජනවාරි 23 වැනිදා සෙනසුරාදාය.

 මීළඟ පෝය පෙබරවාර් 01 වැනිදා සදු දාය. 
 


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජනවාරි 23

Second Quarterඅව අටවක

පෙබරවාරි 01

Full Moonඅමාවක

පෙබරවාරි 08

First Quarterපුර අටවක

පෙබරවාරි 15


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]