UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ආත්ම ශක්තිය හා විශ්වාසය ජීවිතයකට අවශ්‍ය වන්නේ ඇයි ?

ආත්ම ශක්තිය හා විශ්වාසය ජීවිතයකට අවශ්‍ය වන්නේ ඇයි ?

ජීවිතය කියල කියන්නේ දුක්ඛ දෝමනස්සයන්ගෙන් හා සුඛ සෝමනස්සයන්ගෙන් පිරුණු එකක්. හිනාවෙනවා වගේම හඬන එකත් හඩනවා වගේම හිනාවෙන එකත් දෙකම අප ජීවිතවලට උරුම වුණ දේවල්. සැපක් සම්පතක් විඳිනවා වගේම දුකක් විඳගන්නත් අපට සිද්ධ වෙනවා. ඒ ආකාරයට බලාගෙන යන විට ජීවිතයේ මේ සෑම දෙයක්ම විඳ දරා ගැනීමට අපට ආත්ම ශක්තිය හා විශ්වාසය ජීවිතයකට අවශ්‍ය වෙනවා, මිනිස් ජීවිතයක් වඩාත් සම්පූර්ණ වන්නෙත්, සාමාන්‍ය සත්ත්ව ජීවිතයකට වඩා මිනිස් ජීවිතය වෙනස් වන්නේත් ඒ අනුවයි. එවැනි සරුසාර සම්පන්න ජීවිතයක් ගොඩනඟා ගැනීමට සිත කෙසේ ශක්තිමත් කරගත යුතුද? බුදුහාමුදුරුවන් දේශනා කළ ධර්මයට අනුව අපේ ජීවිත කෙසේ, සකස් කර ගත යුතුද?

සර්වසම්පූර්ණ ජීවිත

සාමාන්‍යයෙන් ජීවිතවල සර්වසම්පූර්ණ ජීවිත ලැබී නොමැති තරම්, සමහරුන්ට සමහර දේවල් තියෙනවා. සමහරුන්ට සමහර දේවල් නැහැ. සමහරුන්ට දැනුම තිබුණට ලස්සන නැහැ. සමහරුන්ට ලස්සන තිබුණට දැනුම නැහැ. සමහරුන්ට ඇවිදීමේ හැකියාව තිබුණට ඇවිදීමට ස්ථානයක් නැහැ. ඇතැමුන්ට කතා කිරීමේ හැකියාව තිබෙනවා, කතා බහ කිරීමට කෙනෙකු නැහැ. සමහරුන්ට බැලීමේ හැකියාව තිබුණත්, ඇසීමේ හැකියාව නැහැ. ඇසීමේ හැකියාව තිබෙන ඇතැමුන්ට ඇසීමට දේවල් නැහැ. මේ ලෝකයේ ආබාධ නැති මිනිසුන් නොමැති තරම්. ඇසේ ආබාධයක්, සිතේ ආබාධයක්, අතේ පයේ හෝ ආබාධයක් තියෙනවා. සමහරකු උස අඩු නම් එසේ උස අඩු පුද්ගලයා කල්පනා කරන්නේ මම තව ටිකක් උස වුනානම් කියලා. මහත තැනැත්තා කල්පනා කරන්නේ මම කෙට්ටු වුණා නම් හොඳයි කියලයි. මෙය සත්‍ය තත්ත්වයක් මිනිසුන් අංගසම්පූර්ණ හෝ සර්ව සම්පූර්ණ නැහැ. සාමාන්‍යයෙන් යමෙකු නින්දාවට අපහාසයට, සමච්චලයට ලක්කරන පිරිස් දෙස අපට බැලීමට වන්නේ තරමක අනුකම්පා සහගතව. මේ අයත් තමන්ට තිබෙන කිසියම් ඌනතාවක් වහගෙන තමයි මේ අයුරින් කටයුතු කරනු ලබන්නේ. සමහර වේලාවට පෙනුම තියෙනවා, දැනුම නැති වෙන්න පුළුවන්. එම පෙනුම තියෙන, දැනුම නැති කෙනා දැනුම තියෙන පෙනුම නැති අයෙකුට සමච්චල් කිරීම කොයිතරම් නම් සමච්චලයක්ද? මිනිස්සු සෑම කෙනකුටම සෑම දෙයක්ම නැති බව මිනිසුන් කල්පනා කළ යුතු යි. මුදල් තිබීම බොහොම විශාල දෙයක් ලෙස සලකන සමහරු ඉන්නවා වුනත්, ඔහුට සල්ලි තිබුණට දැනුම නැති වෙන්න පුළුවන්. දැනුමයි, මුදලුයි දෙකම තිබෙන පුද්ගලයාට ඥාතීන් නොමැති වෙන්න පුළුවන්. ඥාතීන් බොහොමයක් සිටින පුද්ගලයාට මිත්‍රයන් නැතිවෙන්න පුළුවනි. මිත්‍රයන් බොහොමයක් සිටින පුද්ගලයාට සමහර විට මිතුරුකම තිබුණ වුනාට වියදම් කර ගැනීමට අතේ සතේ නැතිවෙන්න පුළුවන්. මේ ආකාරයෙන් බලාගෙන යන විට අංග සම්පූර්ණ කිසිවකු නැහැ. සෑම පුද්ගලයකුටම පුංචි පුංචි අඩුපාඩුවක් වගේම ගොඩක් ලොකු අඩුපාඩුකම් තිබෙන්න පුළුවනි. අප කල්පනා කළ යුත්තේ මිනිසුන් සතුව තිබෙන දේ පිළිබඳ නැතහොත් ඔවුන් සතුව නොමැති දේ පිළිබඳවද?

අනුකම්පාවෙන්

යම් පුද්ගලයකු තවත් කෙනෙකුගේ අඩුපාඩුවක් පිළිබඳව ප්‍රශ්න කරනු ලබන්නේ සමච්චලයටම නොවන්න පුළුවනි. සමහර වෙලාවට ඔහු හෝ ඇය පිළිබඳව අනුකම්පාවෙන් ඒ අඩුපාඩුව පිළිබඳව විමසනවා විය හැකියි. සමහර විට වැඩිය දුරදිග නොසිතා යම් අඩුපාඩුවක් පිළිබඳ විමසනවා විය හැකියි. මේ පිළිබඳව විමසුවේ නැත්නම් ඔහු හෝ ඇය මොනවා හිතයිද දන්නේ නැහැ. යන ආකල්පයෙන් විමසනවා වෙන්නත් පුළුවනි. මිනිසුන් සෑම කෙනෙකු පිළිබඳව විමසිලිමත් වනු ලබන්නේ සමච්චලයටම නොවන බවත් සිතිය යුතුයි. ඇතැමුන් සතුව පවතින ශාරීරික දුර්වලතා යම් කෙනකු විමසා බලනුයේ සමච්චලයටම නොවන අවස්ථා බොහෝ තිබෙනවා. විශේෂත්වයක් තිබෙන තැනක ඕනෑම අයෙකු ප්‍රශ්න කරනවා. අපේ ඇඳුම ඉරී ඇති විට යම් අයෙකු අපගෙන් ප්‍රශ්න කළ හැකියි. ඔයාගේ මේ ඇඳුම ඉරිලා ඇති බව ප්‍රකාශ කරමින් ඇය හෝ ඔහු දැනුවත් කරනු ලබන්නේ ඔහු ,ඇය ඒ පිළිබඳව නොදන්නවා ඇතියි යන අදහසින් විය හැකියි.

මිනිස්සු සමච්චලයට ලක්වෙන්නේ කරන කියන වැඩවලිනි.හොඳට පෙනුමක් තියෙන හොඳ දර්ශනයක් තියෙන හොඳ වෘත්තියක් කරන පුද්ගලයකු සමහර වෙලාවට ඔහු කරන කතා අසාගෙන ඉන්න බැරි තරම් අප්‍රසන්න නම්, නිතරම ප්‍රකාශ කරනු ලබන්නේ අසත්‍ය දේවල්ට නම්, ඔහු කතා කරන කතා ඔහුගේ වෘත්තියට ගැළපෙන්නේ නැත්නම්, ඔහුගේ දැනුමට, පූජනීයභාවයට, ගෞරවනීයත්වයට ගැළපීමක් නොමැති නම් ඔහුට නොගැළපෙන හැසිරීම් කරනවා නම් ඒ පුද්ගලයා සමච්චලයට ලක්වෙනවා. කිසියම් පුද්ගලයකු කාර්යාලයක රාජකාරී කරනවා යැයි සිතුවොත් එම තැනැත්තා නිතරම නාසය හූරනවා නම්, නිතරම කිහිල්ල කසනවා නම්, ඔහු මිනිසුන් ඉදිරියේ සමච්චලයට ලක්වෙනවා. ඔහු උඩට අඳින ආකාරයට වඩා වෙනස් ආකාරයට නොගැළපෙන සේ යටට අඳිනවා නම්, ඔහු සමාජයේ දී සමච්චලයට ලක්වෙනවා. ඔහු සැමදාම රාජකාරී කරන ස්ථානයේ මෝඩකතා කියනවා නම්, නියපොතු කමින් ඉඳිනවා නම් නිතරම කොණ්ඩය සකස් කරමින් උකුණන් සූරනවා නම්, කොණ්ඩය කහ කහ ඉන්නවා නම් එවැනි අයව නින්දාවට අපහාසයට ලක්වෙනවා. මිනිසුන් සමාජයේ දී ආරූඪ නම් දමන්නේ එවැනි සමච්චලයට ලක්වන අවස්ථාවන් තුළයි. නිතරම අනුන්ගේ කුණුගොඩවල් සොයමින් අනුන්ගේ දොස් කිය කියා ඉන්න අයටත් සතෙකුගේ හෝ නමක් ඉබේටම පටබැඳිය හැකියි. බොහෝ වේලාවට සමාජයේ දී නින්දාවට අපහාසයට ලක්වනු ලබන්නේ ස්වභාවික දුර්වලතාව නොවේ. ඒ ඒ තැනැත්තන්ගේ හෝ ඒ ඒ තැනැත්තියන්ගේ චරියා රටාවන් සමච්චලයට ලක්වෙනවා. සාමාන්‍යයෙන් කෙනකු ජීවත්වන විට ඔහු හෝ ඇය ජීවත්වන පරිසරයට අනුගත විය යුතුයි. අප ජීවත්වනු ලබන්නේ පාසලක නම් ඔහු හෝ ඇය ගුරුවරයකු හෝ ගුරුවරියක නම් ඔහු හෝ ඇය තමන් ජීවත්වන පාසලේ පරිසරය දැනගත යුතුයි. කිසියම් අයෙකු ජනමාධ්‍ය ආයතනයක ජීවත්වනවා නම්, එම මාධ්‍ය ආයතනයේ අනෙකුත් අය ජීවත් වන්නේ කෙසේද? ඔවුන්ගේ කතා බහ කොහොමද ඔවුන් හැසිරෙන්නේ කුමන ආකාරයෙන් ද? යන්න පිළිබඳව ඔවුන් හා අනුගතවන ආකාරයට ජීවත් විය යුතු යි. සිනහවට ලක්නොවන ආකාරයට ජීවත් විය යුතු යි. විශ්වවිද්‍යාලයක නම් එයට අනුකූලව ජීවත්වන ක්‍රමයක් තියෙනවා. එම විශ්වවිද්‍යාල තුළ අපේ ගෙදර ජීවත්වන ආකාරයට හෝ අප ගමේ ජීවත්වන ආකාරයට හෝ ජීවත් විය නොහැකියි. විශ්වවිද්‍යාල සමාජයට ගැළපෙන අයුරින් ජීවත් විය යුතු යි. සමාජයේ මිනිසුන් සමච්චලයට ලක්වෙන්නේ තමන් කරන කියන කටයුතුවලිනි. විශේෂයෙන් මිනිසුන් තුළ පවතින කායික දුර්වලතාවයන් නින්දාවට අපහාසට ලක් කරමින් සමච්චලයට ලක් කිරීමට තරම් ශ්‍රී ලාංකේය සමාජය පහත් නැහැ. ස්වාභාවික දුර්වලතා සඳහා මිනිසුන් නින්දා අපහාස නොකර සිටිය යුතු යි. මම කළුපාට නම්, එම කළුකම මම රැගෙන ආපු දෙයක් මිස මම කරපු දෙයක් නොවෙයි. කවුරු හෝ පුද්ගලයකු මට කළුවා යනුවෙන් කියනවා නම් මට සකස් කළ නොහැකිය.

මා බේබද්ධා කියලා ඇතෙමෙකු මට සමච්චලයට ලක්කරනවා නම් එය මම කරපු කාර්යයක් නිසාම එය සාධාරණ නින්දාවක්. බේබද්ධ කියල යම් පුද්ගලයකු සමච්චලයටම ලක්කරවා නම්, එයින් ඔහුට මිදිය හැකියි. ‘මිට්ට’ කියලා යමෙකුට නින්දා කරනවා නම් ඔහුට එයින් අත්මිදිය නොහැකියි. ඔහු හෝ ඇය එය කරපු තත්ත්වයක් නොවෙයි. යමෙකු මට බතලයා කියනවා නම් මට කිසිවක් කළ නොහැකියි. ඒ මගේ හැටියක්. මට මෝඩයා කියලා යමෙකුට සමච්චලයට ලක් කරනවා නම්, නිතරම ප්‍රමාණය ඉක්මවා කතා කරන නිසා වාචාලයා කියනවා නම්, නිතරම කොණ්ඩය අතගාන නිසා කොණ්ඩය, කියනවා නම්, ඒවා වැරැදියි. ඒ නිසා නින්දා අපහාස අතරත් සාධාරණ නින්දා තියෙනවා. යමෙකු පවතින ශාරීරික දුර්වලතාවන්ට කවුරුත් සාධාරණ නින්දාවක් කරන්නේ නැහැ.

ගුණ යහපත්කම

එක්තරා ගමක මියගිය තරුණ දරුවකුගේ පින්කම එම ගමේම පිරිස විසින් සංවිධානය කරමින් ඉතාමත්ම අලංකාරවත්ව පින්කමේ කටයුතු කරන්නට යෙදී තිබුණේ එම දරුවාගේ දෙමාපියන්ට එම පින්කම් කටයුතු සඳහා අඩු දායක්තවයක් ලැබෙන ආකාරයට.

අප එයින් සිතාගත යුත්තේ එම දරුවා ජීවතුන් අතර සිටිනා කාලය තුළ කොතරම් හොඳින් ගුණ යහපත් දරුවකු ආකාරයෙන් ජීවත් වන්නට ඇතිද? යන්නයි. සෑම පින්කමක් ගමේ පිරිස විසින් කැමැත්තෙන් කිරීමට යෙදෙනවා යනු ඔහු දෙමාපියන්ට පමණක් අයිති නොවන ගමටම අයිති හොඳ දරුවෙක්. ඔහුට ගෙදර අම්මා තාත්තා වගේම ගමේත් හැම කෙනෙක්ම අම්මා තාත්තා කෙනකු වන්නට ඇතියි. ගමේ හැම දෙනාම අයියලා, අක්කලා, නංගිලා, මල්ලිලා වෙන්නට ඇති. ඒ ඔහු සමාජයේ ජීවත් වූ ගුණයහපත් ආකාරයයි. සමාජයේ කෙතරම් පිරිසකගේ සිත් දිනාගෙන ඉන්න ඇද්ද. මෙම දරුවා පෙර කරන ලද අකුසල කර්මයකට හදිස්සියේ වියෝ වූවත් වාසනාවන්ත දරුවකු ආකාරයට මෙම සමාජයට වඩා හොඳ ස්ථානයකට යන්න ගියා වෙන්න පුළුවන්.

සමහර කෙනකු මිය පරලොව ගිය විට තමාගේ ගෙදර අයවත් නැහැ. සමහර අයගේ හත් දවසෙ පින්කමෙන් පසු තුන් මාසයේ පින්කම කරගන්නවත් කාටවත් මතකයක් නැහැ. අවුරුද්දේ පින්කම කොහොමටවත් කෙරෙන්නේ නැහැ. ඔහු ජීවතුන් අතර ජීවත් වුණ ආකාරයට, මතක් වුණත් අමතක කරල දමන තරම් මිනිසුන්ට අමතක කරන්න සිතෙනවා. පිනක් කරල පින් දෙන්න තරම්, පින් ගන්න පිනක් ඒ මිනිසුන්ට නැහැ.

තමාගේ ස්වාමියා හැර ගිය තරුණ මවක් අපිරිමිත සෙනෙහසින් දරුවන් හදාවඩා ගනු ලැබූවත් ඇය එම දරුවන් හදා වඩා ගැනීම සඳහා සමාජ සම්භාවනාවට පාත්‍ර නොවන අසම්මත හැසිරීමක යෙදුනේ ඇයගේ අසරණකමට, ඇයට ඊට වැඩි යමක් කළ නොහැකි නිසා විය හැකිය. එය පසුකාලීනව තම දියණියට ගැටලුවක් විය.

අම්මා

මේ වගේ සිදුවීම් පිළිබඳව අපට සමාජයේ ඕනෑතරම් අහන්නට ලැබෙනවා. මෙවැනි ගැටලු පිළිබඳව අප මධ්‍යස්ථව බැලිය යුතු යි.

“අම්මා” යනු ගැහැනියක්. ඇයටත් ජීවිතයක් තියෙනවා. ඇයට එම ජීවිතයත් සමඟ ජීවත් වෙන්න සිදුවෙනවා. දරුවන් හදල වඩල එම දරුවන්ට ජීවිතය ි අවබෝධ වන තරු එම අම්මා ඇයගේ ජීවිතය පිළිබඳව තීරණ නොගෙන පසු කාලීනව ඇයගේ ජීවිතය පිළිබඳව තීරණයක් ගත්තා නම්, එය ඇය කළ විශාල අපරාධයක් ලෙස සැලකිය නොහැකිය. දරුවන් විවාහ කර දී අවසන් වූවාට පසු මවගේ වගකීම් සම්භාරය විශාල වශයෙන් අවසන් බව ඇය සිතනවා. ඇය එතරම් දුර ගමනක් ගෙවාගෙන පැමිණුනේ තනිවම. ස්වාමිපුරුරෂයා නොමැතිව දරුවන් හදාවඩාගෙන අම්මා කෙනෙකු වූ අම්මාගේ යම් යම් දුර්වලතා හේතුකොටගෙන පාපකාරී සිතුවිල්ලක් නොසිතිය යුතු යි. එවැනි අම්මලා පිළිබඳව අම්මාගේ පැත්තෙන් හිතලා අම්මාගේ අගය හිතලා කල්පනා කරන එක වඩාත් හොඳයි. නිරෝගී පිරිමි ශරීරයක් හේතුවෙන් දරුවන් බිහි වූ පමණින් තාත්තා කෙනෙකු විය නොහැකියි. නිරෝගී ගැහැනු ශරීරයකින් දරුවකු බිහිකළ හැකි වුවද අම්මා කෙනකු විය නොහැකියි. අම්මා කෙනකු තාත්තා කෙනකු වන්නත් තමන්ගේ ශරීරයෙන්ම දරුවන් බිහි කරන්න අවශ්‍ය නැහැ.

දරුවන් බිහිකළ පමණින් දරුවන්ට අම්මා තාත්තා නොවන ශරීරවලුත් නැතිවාම නොවේ. තමන් දරුවන්ට හොඳ අම්මා කෙනෙකු වනවා නම්, සංසාරයේ උපදින ආත්මවල දී තමන්ටත් හොඳ අම්මා කෙනෙකු හමුවිය හැකියි. හොඳ අම්මා කෙනකු යනු දරුවන්ගේ අවශ්‍යතා සම්පූර්ණ කිරීමම නොවේ. දරුවන්ට ගොඩාක් ආදරය කරන අම්මා කෙනකු විය හැකියි. එක්තරා ප්‍රදේශයක දරුවන් කිහිප දෙනෙකු මෙලොවට දායාද කළ අම්මා කෙනකු හිටියා.

ඇයගේ ස්වාමිපුරුෂයා ඇය දමා ගිහින්. ඇය සමාජය තුළ අසම්මතව ජීවත්වුණ තැනැත්තියක්. ඇය දරුවන් වෙනුවෙන් මුදල් හම්බ කළේ ඇඟ මස් විකුණලා. එය සම්භාවනීය නොමැති වුවත් එම අම්මා දරුවන්ට අසීමිතව ආදරය කළා. ඇය හැම සතයම දරුවන් සඳහා වියදම් කළා. හැමදාම ඇය දරුවන් තුරුල්කරගෙන නිදාගත්තා. දරුවන් මෙම අම්මාගේ චර්යා රටාව පසුකාලීනව දැන ගත්තත් එම කිසිම දරුවකු අම්මා ගෙදරින් එළවා දමන්නේ නැහැ. අදටත් එම අම්ම හුඟාක් වයසයි. එම දරුවන් ඒ අම්මා පණවගේ රැකබලාගෙන අම්මාට ආදරය කරනවා. ඒ අම්මාගේ සියලු අවශ්‍යතා සම්පූර්ණ කරන්නේ දරුවන්. අම්මා ජීවත්වුණ ආකාරයත් අම්මා හම්බ කළ ආකාරයත් දරුවන් හොඳට දන්නවා. ඒත් ඒ දරුවන් අම්මාට අතිශයින් ආදරය කරනු ලබන්නේ අම්මා දරුවන්ට ගොඩක් ආදරය කළ නිසා. දැනටත් ඒ අම්මා දරුවන් නැතිව නිදන්නේ නැහැ. දරුවන්ගේ දරුවෝ බලනවා. එම දරුවන් පෝෂණය කරන්නට එම අම්මා වුණ මහන්සිය හොඳට දන්නවා. දරුවන් තුරුලු කරගෙන නිදා ගත්තා.

දරුවන් තම පොත් පත්වල වැඩ කළා. දරුවන් සමඟ සෙල්ලම් කළා. දරුවන් සමඟ ගමන් බිමන් ගියා. සැම වේලාවෙම දරුවන් ඇඟට තුරුලු කරගෙන හිටියා. පුදුම සහගත ආදරයක් මෙම දරුවන්ට ලැබුණා. ඇගේ ඉහත සඳහන් ආකාරයේ චර්යාවන් ඇතිකරගෙන වුවත් ඇය දරුවන්ට ආදරය කළා. ඇයට වෙන කළ හැකි දෙයක් නොතිබුණාම වෙන්න ඇති. ඒත් ඇය දරුවන් අතහැර දැමුවේ නැහැ.

සමාජයේ අසම්මත චරිත සමාජයේ සම්භාවනාවට පත්වූ චරිත නොවේ. ඇය දරුවන්ගේ ආදරය දිනාගන්නා මවක් වන්නේ ආදරය කිරීමත් සමඟ. ඒ නිසා හොඳ අම්මා කෙනකු වන්නේ දරුවන්ට පෑන්, පැන්සල්, බෑග් ලබා දුන්න නිසාම නොවෙයි. හොඳ අම්මා කෙනකු වන්නේ කියන්නේ මුදල් ඉතිරිකර තිබූ පමණින්ම නොවේ. හොඳ අම්මා කෙනෙකු වෙන්න කළ යුත්තේ දරුවන්ට දැවැන්තව ආදරය කළ යුතු යි.

දරුවන්ට වැස්සක් වගේ ආදරය කරන්න. දරුවන්ට වෙහෙරක් වගේ ආදරය කරන්න. දරුවන්ට සයුරක් වගේ ආදරය කරන්න. සුළඟක් වගේ ආදරයෙන් තම ආදරණීය දරුවාව වෙළාගන්න. එවිට හොඳ අම්මා කෙනකු විය හැකියි. මතු උපදින නිවන් දක්නා ජාති දක්වා තමාටත් හොඳ අම්මා කෙනකුම ලැබේවි.

හේමමාලා රන්දුනු

 

    වප් පුර පසළොස්වක පෝය ‍

වප් පුර පසළොස්වක පෝය ඔක්තෝබර් මස 26 වැනිදා සඳුදා අපරභාග 9.10 ට ලබයි. 27 වැනිදා අඟහරුවාදා අපරභාග 5.35 දක්වා පෝය පවතී. සිල් සමාදන් වීම ඔක්තෝබර් 27 වැනිදා අඟහරුවාදාය.

මීළඟ පෝය නොවැම්බර් 03 වැනිදා අඟහරුවාදා ය.
 


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර් 27

Second Quarterඅව අටවක

නොවැම්බර් 03

Full Moonඅමාවක

නොවැම්බර් 11

First Quarterපුර අටවක

නොවැම්බර් 19


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]