UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

‘බුදු දහමෙහි අපාය සංකල්පය’ – ලිපි මාලා අංක – 05 අපායන්ගේ විවිධ ස්වභාවයන්

 ‘බුදු දහමෙහි අපාය සංකල්පය’ – ලිපි මාලා අංක – 05

අපායන්ගේ විවිධ ස්වභාවයන්

වප් පුර අටවක පෝදා පත්‍රයේ පළවූ ලිපියෙන් අප සාකච්ඡා කළේ මජ්ක්‍ධිම නිකායෙහි ඇතුළත් බාලපණ්ඩිත සූත්‍රය ආශ්‍රයෙන් අපායෙහි නිරි සතුන් විදින දුක්ඛයන්ගේ ස්වභාවය විමසා බැලීමටයි. මෙම ලිපි මාලාවේ දෙවන ලිපියෙන් අටමහා නරකය පිළිබඳ කරුණු විමසා බැලුවෙමු. මේ අටමහා නරකයන්ට අමතරව තවත් අපායයන් (අප + අය - සැපයෙන් පහ වූ ස්ථානය) හෙවත් නිරිසතුන් දුක්විදින ස්ථාන 128ක් තිබේ. ඒවා පිළිබඳව ද ඉතා කෙටියෙන් විස්තරයක් ඉදිරිපත් කිරීම යෝග්‍යයැයි පාඨකයන් කිහිප දෙනෙක් ම ප්‍රකාශ කළ හෙයින් මෙම ලිපියෙන් ඒ පිළිබඳ කෙටි අවධානයක් යොමුකිරීමට කැමැත්තෙමි.

අබ්බුද නරකය

යොදුන් සියයක් උසින් ද යොදුන් තුන්සියයක් පළලින් ද යුතු මෙය ගිනිගෙන දිළිසෙන නවයොදුන් ප්‍රාකාරයකින් වට වී ඇත. මෙය වැසීමට හැකි නව යොදුන් ඝන යකඩ පියනක් ඇත. මෙහි එන නිරිසතුන්ට පාරාවළලු තෝමර දඬුමුගුරු ආදියෙන් ඇණ කපා කොටා තලා මහත් වධ කරති. මෙහි උපදින්නේ ශ්‍රමණ බ්‍රාහ්මණයින් වැඩි හිටියන් ආදී ගරු කළ යුතු අයට නිසි ගෞරව නොදැක් වූ බිය ගැන් වූ මෙන් ම ඒ අය බිම සිටිය දී උස අසුන්වල සිට හෙළා දැක කටයුතු කළ අයයි. මෙහි ආයුෂ මිනිස් වර්ෂවලින් ප්‍රමාණ කළ නොහැක.

නිරබ්බුද නරකය

මෙහි ද දිග පළල අබ්බුද නරකය මෙන් යොදුන් සියයක් උසින් ද යොදුන් තුන්සියයක් පළලින් ද යුතු වෙයි. මෙහි උපදින්නේ මත්පැන් හා වෙනත් මත්ද්‍රව්‍ය භාවිත කළ අය, මත්පැන් විකුණු අය, අන් අය මත්පැන්වලට හුරුකළ අය යන පිරිසයි. මෙහි උපදින නිරි සතුන් බිම දිගා කොට යමපල්ලන් විසින් ගිනිගෙන දිළිසෙන ඉතා තියුණු අවිවලින් අත් පා පපුව යන පස් ස්ථානයට අනිත්. මෙසේ වධ දෙන කල විලාප නගන ඔවුන්ට පඤ්චවිධ නම් වූ ඉවසීමට නොහැකි වධ බන්ධනය කරති. එසේ කොට ඔවුන්ගේ මුඛය ප්‍රවේශ කොට රත් වූ ලෝදිය දමත්. ඔවුන් කළ අකුසල කර්මය ගෙවී යන තෙක් කළුරිය නොකරති.

අබබ නරකය

මෙහි ද දිග පළල අබ්බුද නරකය මෙන් යොදුන් සියයක් උසින් ද යොදුන් තුන්සියයක් පළලින් ද යුතු වෙයි. මෙහි උපදින්නේ දූ කෙළියෙහි ලොල් වී තමනුත් තම පවුලත් විනාශයට පත් කරගත් අයයි. පෙර මෙන් අන් අය දූ කෙළියට හුරුකළ අය අන් අය දූ කෙළියෙහි යොදවන අය ද මෙහි උපදී. මෙහි උපදින නිරිසතුන්ට බුර බුරා නැගෙන ගිනිදැල් මත්තෙහි ඇවිද යෑමට සිදුවෙයි. එසේ ඇවිදින අතර යමපල්ලෝ ඔවුන් ලුහුබැඳ ඇවිත් ගිනිගෙන දිලිසෙන යකඩ මුගුරුවලින් පහර දෙති. එයින් ඔවුන් ජීවිතක්ෂයට පත් වූව ද කර්ම බලය නිසා නැවත එහිම උපදිති.

අටට නරකය

මෙම අටට නරකයෙහි ද දිග පළල පෙර නරකයන්හි මෙනි. මෙහි උපදින නිරිසතුන්ගේ උස ගව් තුනක් පමණ වෙයි. යම පල්ලන් විසින් බිම දිගාකරන ඔවුන් වහල පලයක් පමණ දිග ඇති වෑවලින් සසිත් කුල්ලක් පමණ මහත ඇති කෙටේරිවලින් සසිත්. පය උඩට ඔසවා හිස බිමට යටිකුරු කරවා ගිනිගත් වෑවලින් ශරීරය පිට කටුව තෙක් සසී. මෙහි උපදින්නේ ආර්යයන් වහන්සේලාට නිගරු කළ මෙන් ම ආර්ය ධර්මයන් හෙළා දකිමින් මිත්‍යාදෘෂ්ඨියෙන් යුතුව ක්‍රියා කළ අයයි.

අහහ නරකය

මෙම අහහ නරකයෙහි ද දිග පළල පෙර නරකයන්හි මෙනි. මේ නරකයෙහි උපදින අය යම පල්ලන් විසින් ගාලකය රැගෙන යන ගෙරි රැළක් මෙන් රත් වී දිළිසෙන අවි ආයුධ අතැතිව ගෙන ගොස් බුර බුරා නැගෙන ගිනි දැල් ඇති මහා වළවල්වල හෙළති. ගව් තුනක් පමණ උස ඇති මේ නිරිසතුන් බෙල්ල තෙක් එම වළවල්වල එරෙන අතර ගොඩඒමට නොහැකිව විලාප නගති. එවිට ඔවුන්ගේ හිස මත රත් වූ යවට බදු වූ ගිනි අඟරු දමති. මෙහි උපදින්නේ දානාදි පිංකම් කරන්නටැයි සම්මාදන් කර එම මුදල් ඒවාට නොයොදවා තමාගේ පරිභෝජනයට යොදාගත් අය හා දන් දෙන අන් අයට නිගරු කළ මෙන් ම දන්දීම වැළැක්වීමට කටයුතු කළ අයයි.

කුමුද නරකය

මෙහි ද දිග පළල පෙර නරකයන්හි මෙනි. මෙහි උපන් සත්වයන් නිරන්තරයෙන් පිපාසයෙන් පෙළෙන අතර යමපල්ලෝ ඔවුන්ගෙන් කුමක් අව්‍යදැයි විචාරති. එවිට ඔවුහු පිපාසයැයි පවසති. එවිට යමපල්ලන් විසින් ගිනිගෙන දිලෙන යකඩ අඬුවලින් මුව දෙපසට කොට ගින්නෙන් පැසී තිබෙන ලෝගුලි හා ලෝදිය මුඛයෙහි දමනු ලැබේ. එකෙණෙහිම ඒ ලෝදිය ඔවුන්ගේ උගුර ළය, බඩ, පපුව දාගෙන විත් අධෝමුඛයෙන් පිටවෙයි. මෙසේ ඒ වේදනාවෙන් ඔවුන් මැරෙන අතර නැවත අකුසල් ගෙවෙන තෙක් එහිම උපදිති. නැවත යමපල්ලෝ එසේ ම කරති. නැවත ඔවුහු වේදනාවෙන් මැරෙති. මෙහි උපදින්නේ බුදුපිළිම චෛත්‍ය කඩා දැමූ අය. ඒවා දැක නොසතුටු වූ අය, ඒවාට නිගරු කළ අය, හා ඒවා හෙළාදැක කටයුතු කළ අයයි.

සෝගන්ධික නරකය

මෙහි ද දිග පළල පෙර නරකයන්හි මෙනි. මෙහි උපන් නිරිසතුන් යමපල්ලන් විසින් ගිනිගත් තියුණු අවිවලින් ඇණ කපා කොටා මරනු ලැබේ. ඔවුන්ගේ අකුසල කර්මය ගෙවී යනතෙක් නැවත උපදිති. නැවතත් යමල්ලෝ එසේ ම කරති. මෙහි උපදින්නේ ධර්මයට ගරු නොකළ ද්වේශ කළ මෙන්ම යහපත් ධර්මය තිබිය දී එය හැර අවඥාකොට අධර්මයෙහි පිහිටා කටයුතු කළ අයයි.

උප්පල නරකය

මෙහි ද දිග පළල පෙර නරකයන්හි මෙනි. මෙහි උපන් නිරිසතුන්ගේ ශරීර තුන්ගව් පමණ වේ. යමපල්ලන් විසින් මේ නිරිසතුන් නහඹු තල්කඳන් පමණ වූ ගිනිගෙන දිලෙන යකඩ මුගුරුවලින් ගසා දෙකකුල් බිඳ බිම හෙළා ලෝදිය වත්කිරීම පෙවීම ආදී වූ වධ කරති. මෙහි උපදින්නේ සුපිළිපන් මහසඟනට දොස් නැගූ, අපහාස කළ, බැණවැදුණු හා තැලීම් පෙළීම් කළ අයයි.

පුණ්ඩරික නරකය

මෙහි ද දිග පළල පෙර නරකයන්හි මෙනි. මෙහි උපදින නිරිසතුන්ගේ සිරුරුද ගව් තුනක් පමණ උසවෙති. යම පල්ලන් විසින් නහඹු තල්කඳන් පමණ වූ ගිනිගෙන දිලෙන යකඩ මුගුරුවලින් ගසා තළා පෙළන කල්හි මහ හඬින් හඬ හඬා ගොස් ගිනිගෙන දැවෙන යකඩ භූමියෙහි වැටෙති. එයින් ම මරණයට පත්වන අය නැවත අකුසල කර්මය ගෙවී යනතෙක් එහිම උපදිති. නැවතත් යමපල්ලෝ එසේම කරති. මෙහි උපදින්නේ ගුණවතුන්ට සිල්වතුන්ට අපහාස කළ අය, ඒ අය තළා පෙලා දුක් දී මරණයට පත් කළ අයයි.

පදුම නරකය

පදුම නරකයෙහි ද දිග පළල පෙර නරකයන්හි මෙනි. මෙහි උපන් සත්වයන්ට ද යමපල්ලන් විසින් ගිනිගෙන දැවෙන දඬුමුගුරුවලින් තැලීම් පෙළීම් කිරීම ද ලෝදිය පෙවීම ද සිදු කරයි. එයින් මරණයට පත්වන අය අකුසල කර්ම ගෙවෙන තෙක් නැවත එහිම උපදිති. මෙහි උපදින්නේ අන් අයගේ නියෝගවලින් යම් යම් අයට තැලීම්, පෙළීම් සිදුකිරීම හා වධ බන්ධන ආදිය පැමිණ වූ අයයි.

මතු සම්බන්ධයි


පසුගිය සතියෙන් - ‘බුදු දහමෙහි අපාය සංකල්පය’ – ලිපි මාලා අංක – 04 අපායෙහි දුක කියා නිමකළ හැකිද?

 

    වප් පුර පසළොස්වක පෝය ‍

වප් පුර පසළොස්වක පෝය ඔක්තෝබර් මස 26 වැනිදා සඳුදා අපරභාග 9.10 ට ලබයි. 27 වැනිදා අඟහරුවාදා අපරභාග 5.35 දක්වා පෝය පවතී. සිල් සමාදන් වීම ඔක්තෝබර් 27 වැනිදා අඟහරුවාදාය.

මීළඟ පෝය නොවැම්බර් 03 වැනිදා අඟහරුවාදා ය.
 


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර් 27

Second Quarterඅව අටවක

නොවැම්බර් 03

Full Moonඅමාවක

නොවැම්බර් 11

First Quarterපුර අටවක

නොවැම්බර් 19


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]