UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ශ්‍රීමත් සිරිල් ද සොයිසාගේ 119වන ජන්ම සමරුව දා නිරාවරණය කෙරෙන කළුතර බෝධිඝරය

ශ්‍රීමත් සිරිල් ද සොයිසාගේ 119වන ජන්ම සමරුව දා නිරාවරණය කෙරෙන කළුතර බෝධිඝරය


අභිනව වාහල්කඩ

අභිනව ධර්මශාලාව

කළුතර පූජනීය ස්ථානය වූ කලී සියවස් 20ක් පමණ පැරැණි ඉතිහාසයක් ඇති රමණීය පින්බිමකි. දෙපසකින් සමනොළ ගිරි මුදුනින් ගලා බස්නා කළු ගං නදියෙන් ද, තවත් පසෙකින් පරතෙරක් නොපෙනෙන ගොළු මුහුදින් ද වටවී ඇති අසිරිමත් කළුතර බෝධිරාජ පින්බිම රමණීය පරිසරය නිසා සිත් බැඳගන්නා සුළුය. සියලු අංගයන්ගෙන් සපිරි විහාරස්ථානය බුදු මැදුරු , චෛත්‍යය, දාන ශාලා ධර්ම ශාලා සහ බෝධීන් වහන්සේලා තෙනමක් සහිත සුපිරිසුදු පරිසරය බොදු මහජනතාවගේ සිත් ඇදගනිමින් ගෞරව බහුමානයට ලක්වෙති.

බෝධි වංශකථාවල හා ජනප්‍රවාදවල දෙතිස් ඵල බෝධීන් වහන්සේ නමක් යැයි කියැවෙන උඩමළුවේ පිහිටි බෝධිරාජයාණන් වහන්සේ අවුරුදු දෙදහස් තුන්සීයක් තරම් පැරැණිය. ඒ වටා මනරම් රන් වැටක් ඉදිකොට, අටවිසි බුදුරජාණන් වහන්සේගේ බුදු පිළිම රන්වැටට පිටතින් තැන්පත් කොට තිබේ.

පහළ මළුවේ ඇති බෝධින් වහන්සේ ක්‍රි.ව1042 දී කළුතර ප්‍රාන්ත යුව රජෙකු වූ කාලිංග දේශයෙන් ලංකාවට පැමිණ, සිංහල කුමරියක් සරණ පාවාගෙන, බෞද්ධයෙකු වූ වික්‍රම පාණ්ඩ්‍ය නමැති කුමරෙකු විසින් රෝපණය කරන ලද බව චූලවංශ කථාවේ සඳහන් ය. ඒ වටා ද දර්ශනීය රන් වැටකි. තෙවැනි බෝධිරාජයාණන් වූකලී ශ්‍රීමත් සිරිල් ද සොයිසා මැතිඳුන් විසින් 20වන සියවසේ හයවන දශකයේ දී දඹදිව් තලයේ සිට බෝධි අංකුරයක් වැඩමවාගෙනවුත් රෝපණය කරන ලද්දකි. මෙය දඹදිව සැවැත්නුවර ජේතවනාරාමයේ වැඩසිටින ආනන්ද බෝධින් වහන්සේගේ බෝධි අංකුරයක් බව ද විශ්වාස කෙරේ. මෙම බෝධීන් වහන්සේ මහානුභාවසම්පන්න වූවක්බව මහජන විශ්වාසයයි. එහෙයින් නොයෙකුත් බාරහාර කටයුතු සඳහා සැදැහැවත් ජනතාව ඒ වටා පෙළ ගැසෙති.

ඉහත කී බෝධීන් වහන්සේ වටා ස්ථීර ආවරණයක් නොවූ හෙයින්, බෝධිඝරයකින් ආරක්ෂාව සලසමින් ඒ තුළ බැතිමතුන්ට බණ භාවනා කිරීමට පහසුකම් සැලසීමට බෝධි භාරකාර මණ්ඩලය තීරණය කරන්නට යෙදුණි. ඊට වඩාත්ම සුදුසු වන්නේ අනුරපුර යුගයේ ක්‍රි.ව. 6–7 වර්ෂවල ඉදිකළැයි පුරාවිද්‍යාඥයන් තහවුරු කර ඇති බෝධිඝරයට අනුරූපී බෝධිඝරයක් කළුගලින් ඉදි කිරීම බව බෝධි භාරකාර මණ්ඩලයේ අදහස විය.

මෙවන් සුවිසල් බැරෑරුම් කාර්ය භාරයකට අත තැබීමට කළුතර බෝධි භාරකාර මණ්ඩලයට ශක්තිය හා ධෛර්ය ලැබුණේ. ඒ සඳහා අවශ්‍ය වූ අරමුදල් ශ්‍රීමත් සිරිල් ද සොයිසා මැතිතුමා තම පුද්ගලික බූදලයෙන් කළුතර බෝධි භාරකාර මණ්ඩලය වෙත. “ශ්‍රීමත් සිරිල් ද සොයිසා අරමුදල” නමින් භාරයක් ස්ථාපනය කර තිබූ හෙයිනි. එයින් ජනිත වන පොලී මුදල් සම්පූර්ණයෙන් මේ භාරදූර කාර්යය සඳහා යෙදැවුණි. පරිත්‍යාග ශීලීන්ගෙන් ද ආධාර මුදලක් ලැබුණු බැව් වාර්තාගතයි.

මෙම කාර්යය නිමා කිරීමට අවුරුදු හයක පමණ කාලයක් ගතවූයේ කළු ගලින්ම නිම කළ ආශ්චර්යමත් සියුම් කැටයමින් නිමැවිය යුතු වූ හෙයිනි.

ඉහත කී බෝධිඝරයේ වැඩ නිමවීමෙන් ඉක්බිතිව, එය මහජනතාව සඳහා කැප කිරීමට ඉතාම සුදුසු දිනය, ශ්‍රීමත් සිරිල් ද සොයිසා මැතිඳුන්ට කරනු ලබන උපහාරයක් ලෙසින් එතුමාගේ 119වන උපන්දිනය යෙදෙන 2015 ඔක්තෝබර් 26වන දින බව යැයි භාරකාර මණ්ඩලයේ අදහස විය. ඒ අනුව බෝධිඝරය පොදු බොදු මහජනතාව වෙත පිළිගැන්වීමේ උත්සවය කථානායක කරූ ජයසූරිය මැතිතුමා විසින් සිදු කෙරේ.


ගුණ සමරු පින්කම

කළුතර ඓතිහාසික බෝධි පුදබිමේ නිර්මාතෘ දිවංගත ශ්‍රීමත් සිරිල් ද සොයිසා මැතිතුමාගේ 119 වන ගුණ සමරු පින්කම මේ මස 26 වනදා බෝධි පරිශ්‍රයේදී පැවැත්වේ.

එදින පෙරවරු හයට කිරිපිඬු පූජාව පැවැත්වෙන අතර එය මෙහෙයවනු ලබන්නේ විචිත්‍ර භාණක පනාපිටියේ විජිතනන්ද හිමියන් විසිනි.

අනතුරුව පෙරවරු 8.45ට බෝධි පරිශ්‍රයේ පිහිටි ශ්‍රීමත් සිරිල් ද සොයිසා මැතිතුමාගේ පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීම සිදුකෙරේ.

අභිනවයෙන් ඉදි වූ බෝධිඝරය විවෘත කිරීම කථානායක කරු ජයසූරිය මහතා අතින් පෙරවරු 10ට සිදුවනු ඇත.

26 වනදා දවල් සංඝගත දක්ෂිණාවක් ද රාත්‍රී පරිත්‍රාණ ධර්ම දේශනාව ද පැවැත්වේ. කළුතර බෝධි භාරකාර මණ්ඩලයේ සභාපති අජිත ද සොයිසා මහතා ඇතුළු එහි සාමාජිකයන් ද මහා සංඝරත්නය ඇතුළු ප්‍රභූන් රැසක් ද මේ පුණ්‍යෙීත්සවයට සහභාගිවීමට නියමිතය.

බෝධි භාරකාර මණ්ඩලය මඟින් මෙම පින්කම සංවිධානය කර ඇත.

කළුතර විශේෂ වාර්තාකරු - සැම්සන් ප්‍රේමසිරි

 

    වප් පුර පසළොස්වක පෝය ‍

වප් පුර පසළොස්වක පෝය ඔක්තෝබර් මස 26 වැනිදා සඳුදා අපරභාග 9.10 ට ලබයි. 27 වැනිදා අඟහරුවාදා අපරභාග 5.35 දක්වා පෝය පවතී. සිල් සමාදන් වීම ඔක්තෝබර් 27 වැනිදා අඟහරුවාදාය.

මීළඟ පෝය නොවැම්බර් 03 වැනිදා අඟහරුවාදා ය.
 


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර් 27

Second Quarterඅව අටවක

නොවැම්බර් 03

Full Moonඅමාවක

නොවැම්බර් 11

First Quarterපුර අටවක

නොවැම්බර් 19


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]