UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ආනන්ද නා හිමියන්ගෙන් ඌරාපොළ මධ්‍ය මහා විද්‍යාල යට තෙමහල් පාසල් ගොඩනැගිල්ලක් - ශාසනික,ආගමික, සාමාජික හා අධ්‍යාපනික සේවාවේ යෙදෙන ආචාර්ය පන්නිල ආනන්ද නා හිමි

ආනන්ද නා හිමියන්ගෙන් ඌරාපොළ මධ්‍ය මහා විද්‍යාල යට තෙමහල් පාසල් ගොඩනැගිල්ලක්

ශාසනික, ආගමික, සාමාජික හා අධ්‍යාපනික සේවාවේ යෙදෙන ආචාර්ය පන්නිල ආනන්ද නා හිමි

ගමටම දහම් මිහිර බෙදා දෙන ගුණ දහමේ කේන්ද්‍රස්ථානය ගමේ පන්සලය. ගමයි පන්සලයි අතර පවතිනුයේ අවියෝජනීය සබඳතාවයකි. පන්සලේ නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ, ප්‍රධාන පූජනීය මහ සඟරුවන සිල්වත්, ගුණවත්, නැණවත්, උගත් ,ආදර්ශවත් හෙයින් ගම්වැසියන් විහාරස්ථානය ගමේ කේන්ද්‍රස්ථානය ලෙස එදා මෙන් අදත් ඉදිරියටත් සලකනු ලැබේ. ගම්වැසි, කුඩා, තරුණ, වියපත් කවර තරාතිරමක අයෙක් වෙත වුවද, ගමේ පන්සලත් පන්සලේ ස්වාමීන් වහන්සේ කෙරෙහිත් පවතිනුයේ අප්‍රමාණ ගෞරවයකි. ගම්වැසියන්ගේ ලෞකික දිවි පෙවෙත සාර්ථකව ගත කිරීමට පන්සලේ ස්වාමීන්ද්‍රයන් වහන්සේ අර්ථයෙන්, ධර්මයෙන් අවවාද අනුශාසනා පවත්වනු ලැබේ.

ගම්පහ දිසාවේ ඓතිහාසික අත්තනගල්ලේ අරහන්ත රාජමහා විහාරය රාජ පූජිත විහාරස්ථානයකි. දෙස් විදෙස් බොදු දනන්ගේ නිබඳ ගෞරවයට පාත්‍රව ඇති එම විහාරස්ථානය මගින් සම්බුදු සසුනට, පළාතට ,රටට සිදුකරනුයේ සුවිසල් මෙහෙරවරකි.


කඔුරාගල්ල මහා විද්‍යාලයේ පාසල් ගොඩනැගිල්ලට ඉකුත් 16 වනදා ආනන්ද නාහිමියන් මුල් ගල තැබු අවස්ථාව


උඩුගහ වල්පොළ කණිටු විදුහලේ "පන්නිල ශ්‍රී ආනන්ද නාහිමි" ගොඩනැගිල්ල සිසු අයිතියට පත් කළ දා...


ආචාර්ය පන්නිල ශ්‍රී ආනන්ද නා හිමි

ඓතිහාසික අත්තනගල්ල ශ්‍රී අරහන්ත රාජ මහා විහාරාධිපති, ඇමරිකාවේ හියුස්ටන් බෞද්ධ විහාරය සහ තායිවානයේ ථෙරවාද බෞද්ධ විහාරයේ අධිපති මහා විහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ මහෝපාධ්‍යාය ආචාර්ය පන්නිල ශ්‍රී ආනන්ද නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ස්වකීය විහාරස්ථානවලට මෙන්ම ප්‍රදේශයේ විහාරස්ථාන වලටත්, සම්බුදු සසුන්කෙතෙහි දියුණුවටත් අප්‍රමාණ වූ නිහඬ යුග මෙහෙවරක් ඉටුකරති.

මෙසේ නිහඬ ආදර්ශවත් යුග මෙහෙවරක නිරතව වැඩ සිටින පන්නිල ශ්‍රී ආනන්ද නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ රට, දැය, සමය වෙනුවෙන් පුරා දශකයකට අධික කාලයක් සිදුකළ මෙහෙවර මෙවන් කෙටි ලිපියකින් පැහැදිලි කළ හැකි නොවේ.

එම මෙහෙවර ආගමික , ශාසනික , අධ්‍යාපනික හා සාමාජික වශයෙන් වෙන්කර දැක්විය හැකි දිගු මෙහෙවරකි.

ගම්පහ දිසාවේ එගොඩපොත පේරුවේ පන්නිල ග්‍රාමයේ වික්‍රමාරච්චිලාගේ සේදරිස් සිඤ්ඤො හා සමරනායක මුදියන්සේලාගේ ලොකුහාමිනේ සමරනායක දම්පතීන්ගේ සෙනෙහබර දරුවන් හත්දෙනා අතර 1947 ජනවාරි 26 වනදා මෙලොවට බිහිවූ පින්බර පුත්රුවන නිසිවයසේදී කඹුරාගල්ල විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලැබීය. විහාරස්ථ දායක පවුලක් වූ හෙයින්ම සිය මව්පිය වැඩිහිටියන් සමඟ නිතර විහාරස්ථානයේ ඇසුර ලැබීමටද හැකි විය.

එවකට අත්තනගල්ල රාජමහා විහාරාධිපති පදවිය දරන ලද කෝන්ගොඩ ශ්‍රී පේමානන්ද නාහිමියන්ගේ සහ වල්ගම්මුල්ලේ ශී‍්‍ර ප්‍රඥාරාම නාහිමියන්ගේ හා එල්ලක්කල ධම්මාරාම නාහිමියන්ගේද ශිෂ්‍යයකු ලෙස අත්තනගල්ල රාජමහා විහාරයේදී "පන්නිල ආනන්ද" නමින් එම කුමරුවා සසුන්කෙතට ඇතුළත් විය.

උන්වහන්සේ 1960 දී බෝපැත්ත සිරිසඟබෝ පිරිවෙනෙන් මූලික අධ්‍යාපනය ලබා 1964 දී දෙමටගොඩ විද්‍යාලංකාර පිරිවෙනට ඇතුළත් වූහ. එහිදී උසස් ප්‍රතිඵල හිමි කර ගනිමින් අනතුරුව විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයට ඇතුළත් වූහ. 1967 දී මහා විහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහාවිහාර පාර්ශ්වයේ ඓතිහාසික මංගල උපෝසථාගාරයේදි අධිසිල් ලැබූහ.

1969 දී බෝපැත්ත සිරිසඟබෝ පිරිවෙනෙහි නියෝජ්‍ය පරිවෙණාධිපති ධුරයට පත්වූ උන්වහන්සේ 1973 සිට පස් වසරක් අත්තනගල්ල ප්‍රාදේශීය ශාසනාරක්ෂක මණ්ඩලයේ ලේඛකාධිකාරි පදවියද දැරූහ.

එකල මෙරට ශාසනාරක්ෂක බල මණ්ඩල අතර හොඳම ශාසනාරක්ෂක බල මණ්ඩලය ලෙස එකල අග්‍රාමාත්‍ය සිරිමා ආර්.ඩී. බණ්ඩාරනායක මැතිණිය අතින් ජය සංකේතද ලැබූහ.

ශ්‍රී ලංකා අධ්‍යාපන අමාත්‍යාංශය සහ ජපානයේ අධ්‍යාපන අමාත්‍යාංශය එක්ව මෙරට සිසුන්ට අධ්‍යාපන ශිෂ්‍යත්ව ලබාදීමේ වැඩසටහනක් පැවතුණි. ඒ අනුව එම අධ්‍යාපන ශිෂ්‍යත්වයට අයදුම් කළ ආනන්ද හිමියෝ එවකට ලංකා රාජ්‍යය මගින් ජපන් රජයට ශිෂ්‍යත්වයකින් කලා විෂයන් හැදැරීමට යවන ලද පළමුවන භික්ෂූන් වහන්සේ වීමේ ගෞරවයද හිමිවනුයේ උන්වහන්සේටය. ජපානයේ ඔසාකා සරසවියෙන් සහ කියෝතෝ සරසවියෙන්ද උන්වහන්සේ අධ්‍යාපනය ලැබූහ. එසේ අධ්‍යාපනය ලැබීමෙන් අනතුරුව මෙරටට වැඩම කළ අතර ඇමරිකාවට, වැඩම කරන ලෙස ආචාර්ය වල්පොළ පියනන්ද නාහිමියෝ උන්වහන්සේ වෙත ඇරැයුමක් කරන ලදී.

ඒ අනුව ඇමරිකාවට වැඩම කළ උන්වහන්සේ එහිදී පියනන්ද නාහිමියන් සමග එක්වී එහි විහාරස්ථාන කීපයක් ආරම්භ කිරීමටද මුල්වූහ. ලොව රටවල් රැසකට ධර්මදූත මෙහෙවර සඳහා වැඩම කර ඇති උන්වහන්සේ අනතුරුව තායිවානයෙන් ලද ඇරැයුමකට අනුව තායිවානයට වැඩම කළේය. එහිදී ථේරවාදී විහාරාරාම ආරම්භ කළ උන්වහන්සේ එම විහාරස්ථාන සිය ශිෂ්‍ය හිමිවරුන් වෙත බාර කර නැවත මෙරටට වැඩම කරවන ලදී.

ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණියගේ රජයේ සහාය ලබා ගනිමින් අත්තනගල්ල රාජ මහා විහාරය අංග සම්පූර්ණ පූජා නගරයක් බවට පත් කිරීමට අවශ්‍ය ගොඩනැගිලි මං මාවත්, ජල විදුලි පහසුකම් ලබාදී විහාර මළුව සංවර්ධනය කර පූජා භූමිය, විහාරස්ථානය ඉතා දර්ශනීය පුද බිමක් බවට පත් කර ඇත.

විහාරස්ථ දහම් පාසල වෙනුවෙන් අවශ්‍ය දෙමහල් ගොඩනැගිලි , ළදරු පාසල්, දෙමහල් කෞතුකාගාර ගොඩනැගිලි, පුස්තකාල ගොඩනැගිලි ආදි නව විහාරාංග රැසක් ඉදිකර වූහ. අත්තනගල්ල පතිරාජ පිරිවෙන නැවත ප්‍රතිෂ්ඨාපනය කර තෙමහල් සිව්මහල්, ශිෂ්‍ය නේවාසිකාර ඇතුළු දුටුවන් ප්‍රසාදයට පත්කරවන ගොඩනැගිලි රැසක් ඉදිකර වූහ.

ඒ සියලු ගොඩනැගිලි ඉදිකරවීම සඳහා උන්වහන්සේගේ විදේශීය දානපති හිත මිතුරන් උන්වහන්සේට ආධාර කරමින් මහත් ශක්තියක් ලබා දුන්හ. කවර අයකුගෙන්වත් කිසිදු ආධාරයක් නොඉල්ලන ආනන්ද නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ උන්වහන්සේගේ එම උදාර ශාසනික මෙහෙවර දැක ප්‍රසාදයට පත්වීම නිසාම එම පරිත්‍යාගශීලිහු නොපැකිලව උපකාර කළ බව ඉතා කෘතවේදීව උන්වහන්සේ සිහිපත් කරති.

අත්තනගල්ල රාජ මහා විහාරය පමණක් නොව ආචාර්ය පන්නිල ශී‍්‍ර ආනන්ද නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ආධිපත්‍යය යටතේ පවත්නා කඹුරාගල්ල බෝධිරුක්ඛාරාමය, අලවල පොත්ගුල්ලෙන් විහාරස්ථානය, මාතලානේ පුණ්‍යවර්ධනාරාමය, යටියන ශ්‍රී ජයවර්ධනාරාමය, මාඉඹුල්කන්දේ පුරාණ ගල්ලෙන් විහාරය, වල්ගම්මුල්ලේ බෝධිනන්දාරාමය, කූරුවමුල්ල පුරාණ විහාරය, දඹුටුව පුරාණ විහාරය, හග්ගල්ල නාගවනාරාමය ආදි විහාරස්ථානයන්ද සංවර්ධනය කරමින් එම ප්‍රදේශ වෙත උදාර මෙහෙවරක් සිදු කරනු ලැබේ.

විහාරස්ථානයන්හි භෞතික සංවර්ධනය සඳහා ආනන්ද නාහිමියන් වැය කර ඇති මුදල රුපියල් කෝටි ගණනකි.

පන්නිල ආනන්ද නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ මෙතෙක් සිදු කර ඇති සේවා අපමණය. මෙවන් කෙටි ලිපියකින් ඒ සියල්ල ආවරණය කළ නොහැකිය.

උන්වහන්සේ විසින් ගෙවී ගිය දශක එකහමාරක පමණ කාලය තුළ සිදු කළ ආගමික ශාසනික, අධ්‍යාපනික හා සාමාජික මෙහෙවර මෙසේ ඉතා කෙටියෙන් සඳහන් කරමු.

රුපියල් ලක්ෂ 400 ක පමණ වියදමකින් අංග සම්පූර්ණ විශාලතම දහම් පාසල් ගොඩනැගිල්ලක් අත්තනගල්ල රජමහා විහාරයේ ඉදිකරවා එයද දහම් පාසල් සිසු දරුවන් වෙත පරිත්‍යාග කරන ලදී. භාවනා ශාලාවක් හා ධාතු මන්දිරය සහිත කෞතුකාගාරයක් ඉදිකරවූ අතර අත්තනගල්ල විහාරස්ථානයේ නේවාසික භික්ෂූන් වහන්සේ උදෙසා නේවාසිකාගාර දෙකක් ඉදිකර වූහ.

සාමණේර භික්ෂූන් වහන්සේ පුහුණුකරවීම සඳහා රුපියල් ලක්ෂ 300 ක පමණ වියදමින් තෙමහල් අංග සම්පූර්ණ පුහුණු ගොඩනැගිල්ලක් හා රුපියල් ලක්ෂ 500 ක වියදමින් දෙවන ගොඩනැගිල්ලත් ඉදිකර වූහ. අත්තනගල්ල රජමහා විහාරයේ පෞරාණික බෝධින් වහන්සේ වටා රුපියල් ලක්ෂ 27 ක පෞද්ගලික ධනය යොදා දෙවන රන්වැට පූජාව සිදු කරන ලදී. මියන්මාරය (බුරුමයේ) කිරිගරුඬින් තනන ලද සිරිපතුල දඹදෙණිය චෛත්‍ය අසල පිහිටුවන ලදී.

චීනයේ කලුගලින් නිමකරන ලද ටොන් 14000 ක් බර ඇති රුපියල් ලක්ෂ 80 ක් පමණ වටිනා මහායාන බෝධිසත්ව පිළිමයක් විහාරස්ථානයේ පිහිටුවා ඇත.

අත්තනගල්ල රාජමහා විහාරස්ථානයේ සිල් සමාදන් වන උපාසක උපාසිකා පිරිසගේ ප්‍රයෝජනය සඳහා ලක්ෂ 40 ක වියදමින් දෙමහල් ධර්ම ශාලාවක් තනවා ලක්ෂ 35 ක් පමණ වැය කොට අංග සම්පූර්ණ දේවාල පද්ධතියක් ඉදිකරවා ඇත.

මීට අමතරව නව වැසිකිළි පද්ධතියක්, ප්‍රාකාර බැමි, විහාර අභ්‍යන්තර මාර්ග ප්‍රතිසංස්කරණය කොට විහාර සංවර්ධන කටයුතු සිදු කර තිබේ.

පරිසර අමාත්‍යාංශයේ ආධාර මත අටවිසි බෝධින් වනහන්සේ’ අත්තනගලු රජමහා විහාරයට වැඩම කරවූහ.

අවස්ථා දෙකක දී දහම් පාසල් සිසුන් දහසකට නිල ඇඳුම් පරිත්‍යාග කරන ලදී. රුපියල් ලක්ෂ 08 ක් වැයකොට දහම් පාසල් දරුවන් 1500 ක් සඳහා ඩෙස්ක් බංකු තනා දෙන ලදී. ඇමරිකාවේ හිතවතුන්ගේ සහයෝගයෙන් ලක් දරුවෝ සංවිධානය පිහිටුවා ප්‍රදේශයේ දූ දරුවන්ට පරිගණක සහ ඉංගී‍්‍රසි අධ්‍යාපනය ලබා දීමට කටයුතු සැලසූහ.

මහායාන සම්ප්‍රදායට අනුව දර්ශනීය ලෙස මහජන චීනයේ කළු ගලින් නෙළන ලද මෛත්‍රී බෝසතාණන් වහන්සේගේ පිළිරුවක් මහජන පූජෝපහාර සඳහා රුපියල් කෝටියක පමණ වියදමින් ඉදිකර ඇත.

අත්තනගල්ල රජමහා විහාරස්ථානයට අත්‍යවශ්‍ය අංග සම්පූර්ණ විශාල දාන ශාලාවක් සහිත තෙමහල් සංඝාවාස ගොඩනැගිල්ලක් රුපියල් කෝටි 4 ක පමණ වියදමින් ඉදිකර තිබේ.

ප්‍රදේශයේ ඉගෙනුමට දක්ෂ ආර්ථික අපහසුතා ඇති සිසු දරු දැරියන් වෙනුවෙන් මාස්පතා රු. 260,000 ක පමණ ශිෂ්‍යාධාර මුදලින් ලබා දෙති.

අත්තනගල්ල මහජන පුස්තකාලයේ සේවය කරන කාර්ය මණ්ඩල සඳහා පෞද්ගලික වියදමින් මාස්පතා වැටුප් ගෙවීම හා විවිධ ප්‍රදේශවල ආර්ථික දුෂ්කරතා වලින් පෙළෙන රෝගීන්ට වෛද්‍ය ප්‍රතිකාර සඳහා ආධාර කරනු ලැබේ.

අඩි 12 ක් උස අවලෝකිතේශ්වර බෝසතාණන් වහන්සේගේ ශෛලමය පිළිමයක් රුපියල් ලක්ෂ 100 ක පමණ වියදමින් චීනයේ තනා ලංකාවට වැඩම කොට අත්තනගල්ල රජමහා විහාරයේ තැන්පත් කර ඇත.

ලක්ෂ 70 ක් පමණ වටිනා අඩි 6 ක් පමණ උස කිරිගරුඬ සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් බුරුම රටේදී නිමවා ලංකාවට වැඩම කොට අත්තනගල්ල රජමහා විහාරයේ තැන්පත් කර ඇත.

අවට විහාරස්ථානවල දියුණුවට කරන ලද සේවා

නාහිමියන්ගේ විදේශගත මිතුරන්ගෙන් මූල්‍යාධාර සපයාගෙන හග්ගල්ල ශ්‍රී නාගවනාරාම විහාරස්ථානයේ රුපියල් ලක්ෂ 330 පමණ වියදමින් අභිනව සංඝාවාසයක් සහ රුපියල් ලක්ෂ 12 ක පමණ වියදමින් චෛත්‍ය රාජයාණන් වහන්සේ නමක් ඉදිකර වූහ.වල්ගම්මුල්ල ශ්‍රී බෝධිනන්දාරාම විහාරයේ රුපියල් ලක්ෂ 18 ක් වියදමින් බුදුමැදුර තනවා චෛත්‍යයේ වැඩ නිම කරවීම. මාඉඹුල්කන්ද පුරාණ ගල්ලෙන් විහාරයේ සංඝාවාසය තැනවීමට රුපියල් ලක්ෂ 18 ක් පරිත්‍යාග කිරීම .

යටියන ශ්‍රී ජයවර්ධනාරාම විහාරස්ථානයේ දහම් පාසල් ගොඩනැගිල්ලේ දෙවන මහල ලක්ෂ 16 කින් නිමකරවා දීම. කඹුරාගල්ල ශ්‍රී බෝධි රුක්ඛාරාම විහාරස්ථානයේ ධර්ම ශාලාව සහ ආවාස ගෙය සඳහා මූල්‍යාධාර ලබාදෙමින් රුපියල් ලක්ෂ 18 ක වියදමින් නව බුදු මැදුර ඉදි කිරීම. 2009 කඨින පින්කම් සමයේදී ප්‍රදේශයේ විහාරස්ථානවලට අංග සම්පූර්ණ ත්‍රිපිටක පොත් කට්ටල 18 ක් පරිත්‍යාග කිරීම. ප්‍රදේශයේ සහ පිටිසරබද පළාත්වල විහාරයන්හි දියුණුව සහ අභිවෘද්ධිය වෙනුවෙන් ලක්ෂ ගණනින් මූල්‍යාධාර සපයා දීම. මහනුවර දළදා මාලිගය විසින් තැනූ පල්ලේකැලේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ රෝහල් ගොඩනැගිල්ල සඳහා රුපියල් ලක්ෂ 60 ක් විදේශීය මිතුරන්ගෙන් ලබා දීම.

තායිවානයේ තායිපේ නුවර සහ කවුෂුං නුවර විහාරස්ථාන දෙකට රුපියල් ලක්ෂ 12 ක වියදමින් අඩි 08ක් උසැති කරඬු 02 ක් පරිත්‍යාග කිරීම ආදිය වේ .

රෝහල් සංවර්ධන පදනමේ සභාපති ලෙස ඉටුකර ඇති කාර්ය සම්භාරය

වතුපිටිවල ජේ.පී. ඔබේසේකර ආර්යා මූලික රෝහලේ ළදරු වාට්ටුව රුපියල් ලක්ෂ 250 ක වියදමින් ඉදි කිරීම. ලක්ෂ 32 ක් වැයකර භික්ෂූන් වහන්සේලා උදෙසා සියලු පහසුකම්වලින් යුත් භික්ෂු වාට්ටුවක් ඉදිකිරීම, රුපියල් ලක්ෂ 06 ක් පමණ වියදමින් දස සිල් මාතාවන්ට වාට්ටුවක් ඉදිකිරීම. වතුපිටිවල මහ රෝහලේ සියලු වාට්ටුවලට ශබ්ද විකාශන යන්ත්‍ර පද්ධතියක් සවිකිරීම සහ කොළඹ මහ රෝහලට රුපියල් ලක්ෂ 40 ක් වටිනා ගිලන් රථ දෙකක් අපවත්වී වදාළ ගුරුදේවයන් වහන්සේට පින්පිණිස පරිත්‍යාග කිරීම.

නිට්ටඹුව සමුපකාර රෝහලට අති නවීන ගිලන් රථයක් පරිත්‍යාග කිරීම ආදිය ද වේ.

සුනාමි උවදුරෙන් පසු කළ ඉදිකිරීම්

ගෙවල් 336 ක් හික්කඩුවේ තෙල්වත්ත, පැරෑලිය, දළුවතුමුල්ල හම්බන්තොට, රිදීගම ආදි ප්‍රදේශවල ඉදිකිරීම, දළුවතුමුල්ලේ දෙමහල් සංඝාවාසය හා බුද්ධ මන්දිරය. හික්කඩුවේ සුමංගල විදුහලේ බුදු මැදුර, ගොඩගම හා තෙල්වත්ත විහාරස්ථාන දෙක සංවර්ධනය හා ළදරු පාසල් දෙකක් ආරම්භ කිරීම, තොටගමුවේ ශ්‍රී රාහුල හිමි වැඩ සිටි තෙල්වත්ත ඓතිහාසික රන්පත් රාජමහා විහාරස්ථානය ප්‍රතිසංස්කරණය කිරීම, අම්පාර, කල්මුණේ සුනාමියෙන් විනාශ වූු ප්‍රදේශයේ දරුවන්ගේ අධ්‍යාපනයේ දියුණුවට රුපියල් ලක්ෂ 08 ක් වැයකොට ළදරු පාසලක් ඉදිකිරීම ද යනාදිය වේ.

අධ්‍යාපනික මෙහෙවර

වතුපිටිවල වැඩිහිටි නිවාසයේ හා ළමා නිවාසයේ ආගමික කටයුතු කිරීම සඳහා ලක්ෂ 18 ක වියදමින් බුදු මැදුර ඉදි කිරීම, අනුරාධපුර විහාර පාළුගම මහා විද්‍යාලයේ සිසු දරුවන්ගේ ප්‍රයෝජනය සඳහා ලක්ෂ 06 ක වියදමින් බුදු මැදුර ඉදිකිරීම,තමන් අධ්‍යාපනය ලද කඹුරාගල්ල මහා විද්‍යාලයේ රුපියල් ලක්ෂ 08 ක පමණ වියදමින් නව බුදු මැදුරක් ඉදිකිරීම, ඌරාපොළ මහා විද්‍යාලයේ පුස්තකාලය තැනවීමට මූල්‍යාධාර ලබාදම, ඌරාපොල ප්‍රාදේශීය සභාවට රුපියල් ලක්ෂ 15 ක වියදමින් පුස්තකාලය තනා දීම.

උඩුගහ වල්පොල කනිෂ්ඨ විද්‍යාලයට රුපියල් ලක්ෂ එකසිය අසූවක වියදමින් තෙමහල් පාසල් ගොඩනැගිල්ලක් ඉදිකරවා පිරිනැමීම.

ඌරාපොල මධ්‍ය මහා විද්‍යාලයටද රුපියල් ලක්ෂ එකසිය අනූවක වියදමින් එවැනිම තෙමහල් පාසල් ගොඩනැගිල්ලක් ඉදිකරවා පරිත්‍යාග කිරීම ද වේ.

ඌරාපොල මහා විද්‍යාලයීය එම තෙමහල් පාසල් ගොඩනැගිල්ල විවෘත කිරීමට පෙර 2015.10.16 වනදා එවැනි තවත් තෙමහල් පාසල් ගොඩනැගිල්ලක් ඉදිකරවීම සඳහා මුල්ගල තබන ලදී. ඒ පන්නිල ආනන්ද නාහිමියන් අධ්‍යාපනය ලබන ලද කඹුරාගල්ල මහා විද්‍යාලයීය තෙමහල් පාසල් ගොඩනැගිල්ල සඳහාය.

අලවල සහ එල්ලක්කල මහා විද්‍යාල සඳහා ද එවැනිම තෙමහල් පාසල් ගොඩනැගිල්ල බැගින් ඉදිකරවා පරිත්‍යාගකිරීමද නාහිමියන්ගේ පාසල් ව්‍යාපෘතියේ අරමුණ වේ.

ඌරාපොල මධ්‍ය මහා විද්‍යාලයට (2015.10.25) ඓතිහාසික අනුස්මරණීය දිනයක් වනු නොඅනුමානය. එනම් මහෝපාධ්‍යාය ආචාර්ය පන්නිල ශී‍්‍ර ආනන්ද නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසින් ඉදිකරවා පරිත්‍යාග කරනු ලබන පන්නිල ශී‍්‍ර ආනන්ද නාහිමි පාසල් ගොඩනැගිල්ල ශී‍්‍ර ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සුරතින් හා හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණියගේ විශේෂ සහභාගිත්වයෙන් විවෘත කර පාසල් සිසු දරුවන්ගේ පරිහරණයට යෙදවීමය.

නියංගොඩ ශී‍්‍ර ධර්මාලෝක පිරිවෙනට රුපියල් එක්කෝටි හතළිස් දෙලක්ෂයක ධන පරිත්‍යාගයත් ශිෂ්‍ය භික්ෂු නේවාසිකාගාරයක් සඳහා ඉකුත් 23 වනදා මුල්ගල තැබූහ.

ආචාර්ය පන්නිල ශී‍්‍ර ආනන්ද නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසින් සසුනඹරට විහාරාරාම වෙත, අධ්‍යාපනයට,සෞඛ්‍යයට මහජන මෙහෙවරට කළ මෙහෙවර අපරිමිතය.

උන්වහන්සේගේ ශාසනික, ආගමික ,අධ්‍යාපනික, සාමාජික මෙහෙවර කරගෙන යාමට ශක්තිය හා ධෛර්ය පතමු!.

 

    වප් පුර පසළොස්වක පෝය ‍

වප් පුර පසළොස්වක පෝය ඔක්තෝබර් මස 26 වැනිදා සඳුදා අපරභාග 9.10 ට ලබයි. 27 වැනිදා අඟහරුවාදා අපරභාග 5.35 දක්වා පෝය පවතී. සිල් සමාදන් වීම ඔක්තෝබර් 27 වැනිදා අඟහරුවාදාය.

මීළඟ පෝය නොවැම්බර් 03 වැනිදා අඟහරුවාදා ය.
 


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර් 27

Second Quarterඅව අටවක

නොවැම්බර් 03

Full Moonඅමාවක

නොවැම්බර් 11

First Quarterපුර අටවක

නොවැම්බර් 19


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]