UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බොදු පුනරුදයට කැපවූ ශ්‍රීමත් සිරිල් ද සොයිසා

බොදු පුනරුදයට කැපවූ ශ්‍රීමත් සිරිල් ද සොයිසා

ශ්‍රී ලංකාද්වීපයේ පහළ වූ ශ්‍රේෂ්ඨ ගිහි බෞද්ධ නායකයන් අතරින් ශ්‍රීමත් සිරිල් ද සොයිසා මැතිඳුන්ට හිමිවන්නේ අද්විතීය ස්ථානයකි. ඒ වෙන කිසිවක් නිසා නොව ඔහුගෙන් මේ සම්බුද්ධ ශාසනයටත් සිංහල ජන සමාජයටත් සිදුවූ අමිල මෙහෙවර නිසාවෙනි. ඔහුගෙන් සිදු වූ සේවාව එක් අංශයකට පමණක් සීමාවන්නේ නැත. ඔහු මේ සම්බුද්ධ ශාසනයටත් සිංහල ජන සමාජයටත් සිදු කළ අමිල මෙහෙවර එදාට මෙන්ම අදටත් අදට මෙන්ම හෙටටත් අතිශයින්ම වටිනාකමක් පවතින බව මගේ විශ්වාසයයි. ඔහු කළ අනභිබවනීය සේවාවන් අතර කළුතර බෝධීන් වහන්සේ සංරක්ෂණයට ගත් උත්සාහය වැදගත් තැනක් ගනියි.

සම්බුද්ධ ශාසනයටත් ලක්වාසී බෞද්ධ ජන සමාජයටත් අගනා මෙහෙවරක් කළ ශ්‍රීමත් සිරිල් ද සොයිසා මැතිතුමන් මෙලොව උපත ලබන්නේ ක්‍රි.ව. 1896 ඔක්තෝබර් 26 වැනි දින ගාලු දිස්ත්‍රික්කයේ බෙන්තර වලල්ලාවිට කෝරළයේ බලපිටිය මැතිවරණ කොට්ඨාසයේ වැලිතොට ග්‍රාමයේ දී ය. ශ්‍රීමත් සිරිල් ද සොයිසා මැතිතුමා ගාලු දිස්ත්‍රික්කයේ පමණක් නොව තුන්හෙළයම ආලෝකමත් කළ වීර ලංකා පුත්‍රයෙකි. ඔහු මුලින්ම අකුරු කළේ මාතර ශාන්ත තෝමස් විද්‍යාලයේ ය. ටික කලකින් ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ වසරක පමණ කාලයක් අකුරු කළ එතුමා කොළඹ රාජකීය විද්‍යාලයයට ඇතුළත් වී අධ්‍යාපන කටයුතු කළේ ය. කේම්බ්‍රිජ් සීනියර් විභාගයෙන් සමත් වූ ශ්‍රීමත් සිරිල් ද සොයිසා මැතිතුමා නීතිය හැදෑරීම සඳහා නීති විද්‍යාලයට ඇතුළත් විය. නීතිඥ විභාගයෙන් සමත් වූ ඔහු විද්‍යාලයෙන් සමුගෙන 1921 දී මුලින්ම සේවය සඳහා පැමිණියේ බලපිටිය පොලිස් උසාවියටය. බලපිටිය අධිකරණයෙන් සේවය ඇරැඹු ඔහු වැඩිකල් යන්නට පෙර දෛවය විසින් මෙහෙයවන ලද්දේ වැලිතොටින් කළුතොටටය. ඔහු වැඩිකල් යන්නට මත්තෙන් අවංක, දක්ෂ නීතිඥවරයෙකු වශයෙන් ප්‍රසිද්ධියට පත් වූයේ ය.

ඉංගී‍්‍රසි ආධිපත්‍යය පැවැති දිනවල කළුතර බෝධීන් වහන්සේට මලක්, පහනක් පුදන්නටවත් කිසිවකුට ඉඩ ලැබුණේ නැත. කළුතර ඒජන්ත තැන පොලීසිය ලවා එතැන මුරකරුවා ලවා වන්දනාවට යන එන බෞද්ධ ජනතාව පන්නා දැමුවේ ය. මේ සිද්ධිය සැලවුණ පසු නීතිඥ සිරිල් ද සොයිසා මැතිතුමා බලහත්කාරයෙන් එම ස්ථානයේ මල් ආසනයක් සෑදෙව්වේ ය. එසේ ආරම්භ කළ සේවාව එතුමා නොනවත්වා ඉදිරියටම කරගෙන ගියේ ය. කළුතර බෝධීන් වහන්සේට අරක්ගත් දෙවි කෙනෙකුගේ ඇල්ම බැල්ම තමන්ට ලැබෙන නිසා බෝධීන් වහන්සේගේ සංවර්ධනය දිනෙන් දිනම සාර්ථක වන බව ඔහු විශ්වාස කළේ ය. කළුතර බෝධීන් වහන්සේ කේන්ද්‍ර කරගෙන ඔහු සම්බුද්ධ ශාසනයේ ප්‍රගමනය වෙනුවෙන් සුවිසල් සේවාවක් කළේ ය. විශේෂයෙන්ම එතුමාගේ දැක්ම බවට පත් කළුතර බෝධීන් වහන්සේ අවට සුන්දර පරිසරයක් නිර්මාණය කිරීමත් බෝධීන් වහන්සේ වැඳපුදා ගැනීමට පැමිණෙන අයට නිදහසේ එම කටයුතු කිරීමටත් අද අවකාශ ලැබී තිබේ. ලංකාවේ ප්‍රමුඛ පෙළේ බෞද්ධ ආගමික ස්ථානයක් ලෙසට කළුතර බෝධීන් වහන්සේ පත්ව ඇත.

බෞද්ධ පුනර්ජීවනය පමණක් නොව ජනසමාජයේ දියුණුව ද ඔහු අපේක්ෂා කර ඇත. ඒ වෙනුවෙන් ද ඔහු සුවිශාල වැඩ කොටසක් සිදුකොට ඇත. සමාජ මෙහෙවර තම රැකියාවෙන් ලබන වේතනයෙන් පමණක් කළ නොහැකි බව අවබෝධ කර ගත් ඔහු “ස්වර්ණපාලී” නමින් බස් සමාගමක් ආරම්භ කළ අතර එම බස් සේවය පසු කාලයේ “සවුත් වෙස්ටර්න්” බස් ව්‍යාපරය බවට පරිවර්තනය කළේ ය. දකුණු කෙළවර දක්වා ධාවනය වූ මෙම බස් සේවය දිනෙන් දිනම දියුණුවට පත් විය. කළුතර බෝධීන් වහන්සේ පසුකර යන ඔහුගේ බස්වල මගීන්ට කළුතර බෝධීන් වහන්සේට පඬුරක් පූජා කරන ලෙසට ආයාචනා කළේ ය. ඔහු එමගින් අපේක්ෂා කළේ බෞද්ධ ජනතාව තුළ ශ්‍රද්ධාව ඇති කිරීමත් කළුතර බෝධීන් වහන්සේ සංරක්ෂණය සඳහා ජනතා සහාය ලබා ගැනීමත් වන්නට ඇත. මෙම බස් සමාගම මඟින් ජනතා සේවය උපරිමයෙන් ඔහු කළ අතර එමඟින් ලැබූ ආදායම ද සම්බුද්ධ ශාසනයේ දියුණුවට හා ජනතා සේවයට වැය කළේ ය. “ධම්මෝ හවේ රක්ඛති ධම්ම චාරී” යන බුදු වදනට අනුව ශ්‍රීමත් සිරිල් ද සොයිසා මැතිතුමාට වැඩිකලක් ගතවන්නට පෙර රටේ පාලකයෝ ද, බෞද්ධ භික්ෂූන් වහන්සේද, විවිධ ව්‍යාපාරිකයෝ ද, පැහැදුණි. ඕනෑම දෙයකට අත තැබුවොත් එම දෙය සාර්ථක කිරීමට තරම් වාසනාවන්ත අතක් ඇති කරුණා, මෛත්‍රී ගුණ දෙකින් හෙබි හදවතක් ඇති දුර්ලභ ගණයේ මනුෂ්‍ය රත්නයක් සේ ද ඔහු බොහෝ දෙනා විසින් සලකනු ලැබීය. පදවි, තාන්න මාන්න ගරුබුහුමන් ඔහු සොයා ආවා මිස ඔහු පදවි, තාන්නමාන්න, ගරුබුහුමන් සොයා කිසි දින හඹා ගියේ නැත.

ශ්‍රීමත් සිරිල් ද සොයිසා මැතිතුමා ජීවිතය ධනය, කාලය, ශ්‍රමය, බුද්ධිය, හැමවිටම, ගම ,රට, ජාතිය, ආගම හා දේශපාලනය වෙනුවෙන් කැපකොට ක්‍රියා කළ බෝසත් උතුමෙකි.

බාලදක්ෂ සංගමය, සිංහල ක්‍රීඩා සමාජය, කළුතර නාගරික සමාජය, ලංකා ක්ෂයරෝග මර්දන ව්‍යාපාරය, ලංකා ජාතික අඳගොළුබිහිරි සංගමය, ළමා ආරක්ෂක සංගමය, නීති සංගමය, මහාබෝධි සංගමය, කොළඹ තරුණ බෞද්ධ සමිතිය ආදී සමිති සමාගම්වල සභාපතිවරයකු, නිලධරයෙකු, වශයෙන් ඔහු කළ සේවය අමිලය.

ශ්‍රීමත් සිරිල් ද සොයිසා මැතිතුමාගේ ප්‍රධාන අධිෂ්ඨානය වූයේ තමා ඇරැඹූ සෑම ව්‍යාපාරයක්ම, කඩා වැටෙන්නට නොදී සංවර්ධනය කර ඒ මඟින් පුළුල් සේවයක් සමාජයට ඉටු කිරීමයි. එය ඔහු අකුරටම ඉටු කළේ ය. ඔහු කළ සේවාවන් අතර අනුස්මරණීය සේවාවන් ලෙස කොළඹ කොටුව තරුණ බෞද්ධ සංගමයට ශාලාවක් ඉදිකිරීමට මුල්වීම, නීතිඥ සංගමයට ශාලාවක් ඉදිකිරීමට මුල්වීම දැක්විය හැකිය.

දැයේ දරුවන්ගේ අධ්‍යාපන අවශ්‍යතා සපිරීම අරමුණු කරගෙන ඔහු විසින්ම කළුතර විද්‍යාලයත් කළුතර බාලිකා විද්‍යාලයත් ආරම්භ කරන ලදී. එමගින් ප්‍රදේශයට සිදු වූ සේවාව අපරිමිත වේ. එම පාසල් කේන්ද්‍ර කරගෙන බොහෝ දරුවන් හොඳින් අධ්‍යාපනය ලබා සමාජයේ ඉහළ තත්ත්වයන් ලබා කටයුතු කිරීම ඔහුගේ ඉදිරි දැක්මේ ප්‍රතිඵල ලෙස අවිවාදයෙන් පිළිගත යුතු ය.

තවද ඔහු කතරගම කිරිවෙහෙරේ ප්‍රතිසංස්කරණ කටයුතු වලදී ද මුල් වී කටයුතු කරමින් එහි දියුණුවට විශාල දායකත්වයක් ලබා දී ඇත. එපමණක් නොව බෙල්ලන්විල රජමහා විහාරය, කුප්පියාවත්ත ජයශේඛරාරාමය, බම්බලපිටිය වජිරාරාමය හා කළුවාමෝදර කඩරද විහාරය ආදී විහාරස්ථානයන්හි දියුණුව වෙනුවෙන් ද සුවිශල් දායකත්වයක් ඔහු ලබා දී ඇත.

1956 දී බලයට පත් වූ බණ්ඩාරනායක අගමැතිතුමාගේ රජය 1958 දී බස් ව්‍යාපාරය ජනසතු කළේ ය. එම අවස්ථාවේ දී “සවුත්වෙස්ටර්න්” බස් සමාගමට අයිති බස් රථයන්හි පැරැණි ටයර් ඉවත්කර අලුත් ටයර් යොදා දීමට තරම් ඔහු දානපතියෙක් විය. එමඟින්ද ඔහු අපේක්ෂා කළේ ජනතා සේවයයි. ආත්මාර්ථය පිටුදැක පරාර්ථය වෙනුවෙන් ක්‍රියා කළ පුද්ගලයෙක් ලෙසද ශ්‍රීමත් සිරිල් ද සොයිසා මැතිතුමන් හැඳින්විය හැකිය. ශ්‍රීමත් සිරිල් ද සොයිසා මැතිතුමන්ගේ ඉදිරි දැක්ම ප්‍රඥා ගෝචර බවින් යුක්ත විය. රුපියල් මිලියන 200 ක භාරකාර අරමුදලක් පිහිටුවීම එයට සාක්ෂි දරයි. එයින් ලබන පොලිය සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය වෙනුවෙන් කැප කළ යුතු බවද ඔහුගේ දැක්ම බවට පත් විය.

ශ්‍රී මත් සිරිල් ද සොයිසා මැතිතුමන් අපේක්ෂා කළ බොහෝ දේ ඔහු ජීවත් වූ අවධියේ දී මල්ඵල ගැන්වුණු අතර එම සියලු අභිමතාර්ථ වර්තමාන භාරකාර මණ්ඩලය මඟින් ද සිදු කිරීම පැසසිය යුතු ය. වර්තමාන භාරකාර මණ්ඩලය ක්ෂේත්‍ර ගණනාවක් ඔස්සේ තම සේවාවන් සම්බුද්ධ ශාසනයේ දියුණුවටත් සමාජයේ දියුණුවටත් සිදු කරයි. ත්‍රස්තවාදී ප්‍රහාරයට ලක්ව විනාශයට පත් වූ දළදා මැදුරේ ප්‍රතිසංස්කරණවලට දායකවීම, බෝධිඥාන පුස්තකාලය ආරම්භ කිරීම, ප්‍රාචීන අධ්‍යාපනය ලබන භික්ෂූන්ට ශිෂ්‍යත්ව ලබාදීම, සුනාමියෙන් අවතැන්පත් වූවන්ට නිවාස තනාදීම, මරණයට කැප වූ ගවයන් නිදහස් කිරීමට අරමුදලක් පිහිටුවීම, සිල් මෑණිවරුන්ට කළුතර නගර ශාලාව අසල ආරාමයක් ඉදිකර පවත්වාගෙන යෑම, නාගොඩ රෝහලේ භික්ෂු වාට්ටුවක් ඉදිකර පවත්වාගෙන යෑම, බෝධි මඟ පදනමින් දහම් පාසල්හි නොමිලේ ඉංගී‍්‍රසි ඉගැන්වීමේ පාඨමාලා පැවැත්වීම, සිල්වතුන්ට දානාදී පහසුකම් සැලසීම අතර ප්‍රධාන තැනක් ගනියි.

මෙවන් උදාර සේවාවක් කළ ශ්‍රීමත් සිරිල් ද සොයිසා මැතිතුමන් සදා අනුස්මරණීය වන්නේ ය. ශ්‍රීමත් සිරිල් ද සොයිසා මැතිතුමන්ට නිවන් සුව ලැබේවා.

 

    වප් පුර පසළොස්වක පෝය ‍

වප් පුර පසළොස්වක පෝය ඔක්තෝබර් මස 26 වැනිදා සඳුදා අපරභාග 9.10 ට ලබයි. 27 වැනිදා අඟහරුවාදා අපරභාග 5.35 දක්වා පෝය පවතී. සිල් සමාදන් වීම ඔක්තෝබර් 27 වැනිදා අඟහරුවාදාය.

මීළඟ පෝය නොවැම්බර් 03 වැනිදා අඟහරුවාදා ය.
 


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර් 27

Second Quarterඅව අටවක

නොවැම්බර් 03

Full Moonඅමාවක

නොවැම්බර් 11

First Quarterපුර අටවක

නොවැම්බර් 19


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]