UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුරදුන් දෙව්ලොවින් සංකස්ස පුරයට වැඩම කළ වප් පොහොය

බුදුරදුන් දෙව්ලොවින් සංකස්ස පුරයට වැඩම කළ වප් පොහොය

බුදුරදුන් සත් වන වස් කාලය ගත කරණ ලද්දේ තවුතිසා දෙව්ලොවෙහිය. එහි දී වස් තෙමසෙහි මහාමායා දෙව්පුත් සහිත තවුතිසා වැසි දෙවියන්ට අභිධර්මය දේශනා කළ අතර එහි අවසානයෙහි මහාමායා දෙව්පුත් සෝවාන් භාවයට පත්විය. එපමණක් නොව අසූ කෝටියක් දෙවියෝ ද මගඵල ලබා ගැනීමට තරම් වාසනාවන්ත වූහ.

ඇසළ අව පෑළවිය දා වස් එළඹුන භික්ෂූන් ප්‍රතිපත්ති පූජාවන් හි වඩාත් නියැළී සිටිමින් ජනතාව ද දහම් මගෙහි යෙදවීමට ක්‍රියා කිරීම පොදු ලක්ෂණයකි. තුන් මාසයක් වූ මේ වස් කාලය නිම කරමින් පවාරණ කටයුතු සිදුකරනුයේ වප් පුර පසළොස්වක පොහොය දිනයේ දී ය. මේ අනුව විනය නියමය පරිදි වප් අව පෑළවිය දිනයේ සිට ඉල් පුර පසළොස්වක පොහොය දක්වා එකුන් තිස් දිනයන්ගෙන් එකක කඨින පින්කම් සිදුකිරීමේ අවස්ථාව උදාවෙයි. වප් පොහොයත් සමඟ එළඹෙන එම මාසය චීවර මාසය වශයෙන් හඳුන්වනුයේ කඨින චීවර පූජාවන් පැවැත්වීමට වෙන් වී ඇති හෙයිනි.

වප් පොහොයට පසු එළඹෙන මාසය තුළ සිදු කෙරෙන කඨින පූජාව අන් පින්කම්වලට වඩා සුවිශේෂත්වයක් ගනී. යම් ආරාමයක භික්ෂු නමක් වස් එළඹීමෙන් අනතුරුව වප් පොහොය දක්වා වස් කඩා නොගෙන වැඩසිටියහොත් පමණක් කඨින පූජාවක් පිළිගත හැකිය. එම පූජාව වූවත් එකී චීවර මාසය තුළ එක් විහාරස්ථානයක, එක් දිනයක් පමණක් කළ හැකි පින්කමක් නිසා දුර්ලභ පුණ්‍යක්‍රියාවක් වශයෙන් සලකයි. මේ පින්කම අට මහා පින්කම් අතුරෙන් ප්‍රධාන තැනක් ගනී. කාමාවචර කුසල ක්‍රියාවන්ගෙන් ප්‍රමුඛත්වය ගන්නා කඨින පූජාවෙන් හිමිකර ගන්නා උසස් ම ප්‍රතිඵලය නම් මරණින් මතු සතර අපායට නො වැටෙන අන්දමට සසර ගමනේ දී ආරක්ෂාව ලබා ගැනීමයි.

බුදුරදුන් සත් වන වස් කාලය ගත කරණ ලද්දේ තවුතිසා දෙව්ලොවෙහිය. එහි දී වස් තෙමසෙහි මහාමායා දෙව්පුත් සහිත තවුතිසා වැසි දෙවියන්ට අභිධර්මය දේශනා කළ අතර එහි අවසානයෙහි මහාමායා දෙව්පුත් සෝවාන් භාවයට පත්විය. එපමණක් නොව අසූ කෝටියක් දෙවියෝ ද මගඵල ලබා ගැනීමට තරම් වාසනාවන්ත වූහ. පවාරණයට සත් දවසකට පෙර මුගලන් හිමියන් විසින් කවර දිනෙක මනු ලොවට වඩින සේක් ද යි විමසූහ. එවිට මෙයින් සත්වන දින තවුතිසාවෙන් සංකස්ස නගරද්වාරයට වැඩම වන බව බුදුහු දැන්වූහ. මුගලන් හිමියන් විසින් මේ බව ජනතාවට දැනුම් දීම නිසා අසීමිත පිරිසක් බුදුරදුන් දැක ගැනීමේ ආශාවෙන් රැස් වූහ.

බුදුහු වප් පොහෝ දා තවුතිසා දෙව්ලොව දී වස් පවාරණය කොට දෙව් බඹුන්ගේ අපමණ ගරු පූජාවන් ලබමින් සංකස්ස නගරද්වාරය වෙත වැඩම වූහ. මේ අවස්ථාවෙහි මුළු මහත් ජනතාව අතොරක් නැතිව ස්තුති පූර්වකව ප්‍රසාදය පළ කළහ. මෙහි දී බුදුහු පහත සඳහන් ගාථාවෙන් එම පිරිසට ධර්මය දේශනා කළහ.

යෙ ඣාන පසුතාධීරා නෙක්ඛම්මුපසමෙරතා
දෙවාපි තෙසං පිහයන්ති
සම්බුද්ධානං සතීමතං

මෙහි අදහස නම් යම් නුවණැති කෙනෙක් ධ්‍යානයෙහි ඇළුණාහු ද, නිවණෙහි ඇළුණාහු ද, සිහි ඇත්තා වූ ද ඒ සම්බුදුවරයන්ට දෙවියෝ ද කැමැති වෙති යනුයි. මෙහි දී සිදු වූ තවත් වැදගත් කරුණක් නම් බුදුරදුන් නගන ලද ගැඹුරු ප්‍රශ්න මාලාවකට සැරියුත් මාහිමියන් නිවැරදිව විසඳුම් ලබා දීමයි. මේ නිසා බුදුරදුහු ශ්‍රාවකයන් අතුරෙන් සැරියුත් හිමියන් ප්‍රඥාවෙන් අග්‍රයයි අගතනතුර පිරිනැමූහ. වප් පුර පසළොස්වක පොහොය වැදගත් වීමට මෙය ද හේතුවකි. පැණ විසඳුම් අවස්ථාවෙහි පී‍්‍රතියට පත් ලක්ෂ සංඛ්‍යාත ජනතාව අතර සිටි මෛත්‍රීය බෝධිසත්වයෝ වඩාත් සතුටුව මේ උතුම් පොහොය දිනයේ දී පැවිදි බිමට පත් වූහ.

මිහිඳු මාහිමියන්ගෙන් බණ අසා අනුලා දේවිය ප්‍රධාන බොහෝ කාන්තාවෝ මගඵල ලැබූහ. එහෙත් පැවිද්ද ලබා ගැනීම සඳහා භික්ෂුණීන් අවශ්‍ය වූයෙන් මිහිඳු මාහිමියන්ගේ නියමය පරිදි දෙවන පෑතිස් රජතුමා සංඝමිත්තා රහත් මෙහෙණිය වඩමවා ගෙන ඒම පිණිස අරිට්ඨ ඇමතියන් ප්‍රධාන දූත පිරිස දඹදිවට පිටත්කොට යවන ලද්දේ වප් පුන් පොහෝ දිනයකය. මේ දූත ගමනේ ප්‍රතිඵලයක් වශයෙන් මෙයින් දෙමසක් ගතවත් ම ශ්‍රී ලංකාවේ ආගමික, ආර්ථික, සාමාජික හා සංස්කෘතික ආදී සෑම අංශයක ම විශාල ගුණාත්මක වර්ධනයක් ඇති විය.

මහමෙවුනා නම් උයන මිහිඳු මාහිමියන් ප්‍රධාන භික්ෂූන් වෙත සඟ සතුකොට පූජා කිරීමෙන් පසු සම්බුද්ධ ශාසනය ලංකාවේ පිහිටියේ ද? යි රජතුමා මිහිඳු මාහිමියන්ගෙන් විමසීය. ලාංකිකයෙකු මෙරටේ දී පැවිදිව, විනය හදාරා, විනය සංගායනා කරණතුරු සම්බුදු සසුන මෙරටෙහි නො පිහිටන බව මිහිඳු මාහිමියෝ ප්‍රකාශ කළහ. එයින් පසු අරිට්ඨ මහා ඇමතියන් සමඟ පන්සියයක් පැවිදිව රහත් භාවය ලබා විනය හදාරා ථූපාරාමයට රැස්ව එයින් අටසැට නමක් මුල්කොට විනය සංගායනා කළහ. වප් පොහෝ දිනක සිදු වූ මෙම සිදුවීමත් සමඟ සම්බුද්ධ ශාසනය සිරිලක මුල්බැස ගත් බව මිහිඳු මාහිමියෝ ප්‍රකාශ කළහ.

මහා වංශය ප්‍රධාන වංශකතාවලත්, සමන්තපාසාදිකාව වැනි අටුවා ග්‍රන්ථවලත් ‘අරිට්ඨ’ යන නම මේ කාලය තුළ නිතර දැක්වෙන අතර එහි පැටළිලි බවක් ඇති බව සමහරු පවසති. මහා අරිට්ඨ නම පළමුව දැක්වෙන්නේ දෙවන පෑතිස් රාජ්‍යත්වයට පත්වීමෙන් අනතුරුව තුටු පඬුරු ගෙන අශෝක අධිරාජ්‍යයා වෙත යෑමේ අවස්ථාවයි. මිහිඳු මාහිමියන් ලංකාවට පැමිණ සත්වන දිනයෙහි අරිට්ඨ ඇමතියන් පණස් පස් දෙනෙකු සමඟ පැවිදි වූ බව දැක්වෙන්නේ දෙවන අවස්ථාවයි. තුන්වන අවස්ථාව නම් අනුලා දේවිය ඇතුළු කාන්තාවන් පැවිදි කිරීමට සංඝමිත්තා තෙරණිය වඩමවා ගෙන ඒමට දඹදිවට ගිය අවස්ථාවයි. දඹදිව සිට පැමිණීමෙන් පසු පන්සියයක් හා පැවිදිව විනය සංගායනා කිරීම හතරවන අවස්ථාව වශයෙන් සැලකේ. මෙයින් මිහිඳු මාහිමියන් සිරිලකට සැපත් වීමෙන් සත්වන දිනයෙහි පැවිදි බිමට පත් වූයේ අරිට්ඨො නාම අමච්චො යනුවෙන් හඳුන්වන අරිට්ඨ නමැති ඇමතිවරයාය. වාර කිහිපයක් ම දඹදිව දූත මෙහෙවරෙහි යෙදුනේත්, පන්සියයක් සමඟ පැවිදි බිමට පත්ව ථූපාරාමයෙහි විනය සංගායනාව පවත්වන ලද්දේත් භාගිනෙය්‍යං මහාරිට්ඨං අමච්චං යනුවෙන් දැක්වෙන රජුගේ බෑනනුවන් වූ ද, ප්‍රධාන ඇමතිවරයා වූ ද මහා අරිට්ඨ කුමාරයාය යි සලකන විට අප තුළ පවතින සැකය පහවනු ඇත. කෙසේ වුවත් සිරිලක බුදු සසුන මුල්බැස ගැනීම ථූපාරාමයේ විනය සංගායනාවත් සමඟ වප් පොහොයදාක සිදුවීම වැදගත් ය.

 

    වප් පුර පසළොස්වක පෝය ‍

වප් පුර පසළොස්වක පෝය ඔක්තෝබර් මස 26 වැනිදා සඳුදා අපරභාග 9.10 ට ලබයි. 27 වැනිදා අඟහරුවාදා අපරභාග 5.35 දක්වා පෝය පවතී. සිල් සමාදන් වීම ඔක්තෝබර් 27 වැනිදා අඟහරුවාදාය.

මීළඟ පෝය නොවැම්බර් 03 වැනිදා අඟහරුවාදා ය.
 


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර් 27

Second Quarterඅව අටවක

නොවැම්බර් 03

Full Moonඅමාවක

නොවැම්බර් 11

First Quarterපුර අටවක

නොවැම්බර් 19


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]