UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

මරණය සහ පින් දීම

මරණය සහ පින් දීම

කැඩපත ඉදිරියට ගොස් තමා දක්වන ඉරියව් නැවැත තමාට දැක ගැනීමට හැකිවේ. ඒ අනුව මිනිසාට තමා ජීවත්වන ක්‍රමය අනුව බොහෝ දුරට ඊළඟ භවයේ ස්වභාවය තීරණය කර ගැනීමේ හැකියාව පවතී. එය යම් ලෙසකින් වෙනස් වුවද සම්පූර්ණව වෙනස් නොවේ. මේ නයින් බලන කල්හි ජීවිතයේ වටිනාම කොටස මෙලොව වන අතර පරලොව නොවේ. මේ ලෝක ජීවිතය තුළ පුද්ගලයා කරන ක්‍රියාවන් දෙලොවටම බලපානු ලබයි. එමනිසා උපතේ සිට මරණය දක්වා පුද්ගල ජීවිතය යහපත් ලෙස ගත කිරීමට කටයුතු කළ යුතු අතර ඒ තුළින් පරලොව ද සුගතිගාමී කර ගැනීමේ හැකියාව පවතී.

මේ ලෝකයේ ඉපදුනා වූ සියලු සත්වයෝ අනිවාර්යෙන්ම මරණීය ධර්මතාවට පත් වෙති. උප්පත්තියා සහෙවෙදං මරණං ආගතං සදා යන බුදු වදන එය සනාථ කරයි. සියලු සත්වයෝ යනු මිනිසා පමණක් නොවේ. ප්‍රාණය සහිත සියලු දෙනා මෙම සත්ව කොට්ඨාසයට අයත් වේ. මිනිසා යන සත්වයා මේ අතරින් ඉතා විශේෂ වේ. එයට හේතුව දියුණුකළ හැකි මනසකින් යුක්ත වීමය. තමාගේ ඉරණමද තමාටම විසඳා ගැනීමේ හැකියාව මිනිසා සතුව පවතී. එසේ නම් තමා මරණින් පසුව දිව්‍ය ලෝකයට යනවාද? නැතිනම් අපායට යනවාද? යන්න මිනිසාට තීරණය කළ හැකිය. එය දැන ගැනීමටද හැකිවේ. එය ලොව්තුරා බුදුරදුන්ගේ ධර්මයට අනුව ධම්මාදාස ධර්ම පර්යාය ලෙස හැඳින්වේ. කැඩපත ඉදිරියට ගොස් තමා දක්වන ඉරියව් නැවැත තමාට දැක ගැනීමට හැකිවේ. ඒ අනුව මිනිසාට තමා ජීවත්වන ක්‍රමය අනුව බොහෝ දුරට ඊළඟ භවයේ ස්වභාවය තීරණය කර ගැනීමේ හැකියාව පවතී. එය යම් ලෙසකින් වෙනස් වුවද සම්පූර්ණව වෙනස් නොවේ. මේ නයින් බලන කල්හි ජීවිතයේ වටිනාම කොටස මෙලොව වන අතර පරලොව නොවේ. මේ ලෝක ජීවිතය තුළ පුද්ගලයා කරන ක්‍රියාවන් දෙලොවටම බලපානු ලබයි. එමනිසා උපතේ සිට මරණය දක්වා පුද්ගල ජීවිතය යහපත් ලෙස ගත කිරීමට කටයුතු කළ යුතු අතර ඒ තුළින් පරලොව ද සුගතිගාමී කර ගැනීමේ හැකියාව පවතී. මජ්ක්‍ධිම නිකායේ චූල පුණ්ණම සූත්‍රයට අනුව

අධම්මචරියා විසමචරියා ඛො භික්ඛවෙ කායස්සභෙදා පරම්මරණා දුග්ගති විනිපාතං නිරයං උපපජ්ඣති

අධාර්මික වූ විෂම චරියා හේතු කොට ගෙන පුද්ගලයා කය බිඳී මරණයට පත් වූ පසු දුගතියට නිරයට ගමන් කරන බව ඉගැන්වේ. එබැවින් ජීවත් වන කෙටි කාලය තුළ කායික වාචසික මානසික වශයෙන් සිදු කරන අයහපත් ක්‍රියා දුරු කොට යහපත් ක්‍රියාවන් සිදු කිරීමට වෑයම් කළ යුතු ය.

ලෝකයේ පහළ වූ දර්ශනවාදයන් අතර බුදුදහම මඟින් පුද්ගලයාට තමාගේ විමුක්තිය තමාටම සලස ගැනීමේ ක්‍රමවේදය හඳුන්වා දී ඇත. මෙසේ පුද්ගලයා ජීවත්වන කාලය තුළ සිදු කරනු ලබන කර්ම ශක්තිය විඤ්ඤාණය තුළ රඳා පවතී. ඒ අනුව මරණයත් සමඟ ශරීරයෙන් ආයුෂය, විඤ්ඤාණය, උෂ්ණය යන සාධක ඉවත්ව යයි. මෙයින් විඤ්ඤාණය හෙවත් පරිවර්තනය වන විඤ්ඤාණය ඊළඟ භවය කරා ගමන් කරයි. චුති සිත හෙවත් මරණාසන්න අවස්ථාවේ ඇති වන සිත අනුව ඊළඟ භවයේ ස්වභාවය තීරණය වේ. බොහෝ විට චුති සිතට නැගෙන්නේ ජීවිත කාලය තුළ කරන ලද හොඳ නරක ක්‍රියාවන්ය. මේ පිළිබඳ ස්ථිර නිගමනයකට එළඹීමට නොහැකි අතර එයට හේතුව කර්ම විෂය අචින්ත්‍ය බැවිනි. කෙසේ හෝ වේවා පුද්ගලයා ජීවත්වන කාලය තුළ කරන ලද කර්මවලට අනුරූපව විපාක ලැබීම වැළැක්විය නොහැකිය.

යම් පුද්ගලයෙකු මිය පරලොව ගිය පසු එම පුද්ගලයා සිහිකොට පින්දීමේ චාරිත්‍රයක් පවතී. මිය ගිය අයට පින්දීම පිළිබඳ විවිධ මත වාද පවතින අතර එහි පවතින ගැටලු තවමත් විසඳී නොමැත. මිය ගිය ඤාතීන් සමඟ අපට ඇත්තේ කායික බැඳීමක් නොව මානසික බැඳීමකි. මනස තුළ හට ගන්නා අනුකම්පාව කරණ කොට ගෙන ඤාතීන්ට පින්දීම කරනු ලබයි. මිය ගිය පසු ජීවත්ව සිටියදී මෙන් පින්දහම් කිරීමට නොහැකිය. එම නිසා ජීවිතයේ වටිනාම කාලය ජීවත් වන කාලය බැව් ඉහත අවධාරණය කෙරිණ. යමකුට පින්දීමට නම් අප පළමුව පින්රැස් කර ගත යුතු ය. අප ළඟ නැති දෙයක් කිසිවෙකුටත් දීමට නොහැකිය. එසේම ජීවත් වන අය සතුව පුණ්‍ය ශක්තියක් නොමැතිව අනුමෝදන් කළ නොහැකිය. මිය ගිය ඤාතීන් සුදුසු ස්ථානයක සිටී නම් පින් අනුමෝදන් වන අතර අනුමෝදන් නොවුනා කියා පින අපතේ නොයයි. පින ජීවත් වන අයට රැස් වී හමාරය. මිය ගිය අය ජීවත් වන කාලය තුළ අපට කරන ලද යුතුකම් සිහිකොට කෘතවේදී හැඟීමෙන් පින් අනුමෝදන් කිරීම සිදු කරන අතර මළගිය අයට පින්දීම නිමිතිකොට පින්කම් සිදු කිරීම සුජීවත්ව සිටින අයට පින්රැස්කර ගැනීමට ලැබෙන මහානීය අවස්ථාවකි.

මළ ගිය ඥාතීන්ට පින්දීම හරහා සමාජය තුළ විවිධ මිථ්‍යාමත ද ඇති වී ඇත. ජීවත් වන කාලය තුළ ඉතා අධාර්මිකව ජීවත් වූ පාපියෙකු තමා මිය ගිය පසු පින් දීම තුළින් සම්පූර්ණයෙන් සුවපත් වේ යැයි සිතීම මිත්‍යාවකි. නිදසුනක් ලෙස කෝටිපතියෙකු විෂමාචාරී ලෙස ජීවත් වී මිය ගිය පසු පින්දීමට මුදලක් ඉතිරි කොට තබයි. ඔහුගේ ප්‍රතිසන්ධිය වෙනස් කිරීමට පින් අනුමෝදන් කිරීමෙන් හැකිද? මෙය සිතා බැලිය යුතු ය.

සමාජය දෙස බලන විට මවුපියන් ඥාතීන් නැති මිය ගිය පසු පින්දීමට කිසිවෙකු නැති කොපමණ පිරිසක් ජීවත් වේද? පොදුවේ පින්දීම් කලාතුරකින් දක්නට ලැබේ. එමනිසා පුද්ගලයා ජීවත්වන කාලය තුළ දී දැහැමිව පින්කම් කොට ජීවත් වීමට කටයුතු කළ යුතු ය. එවිට පරලොව ගැන බිය විය යුතු නැත.

මේ සියලු කරුණු අනුව පැහැදිලි වන්නේ යාදිසං වපතෙ බීජං - තාදිසං හරතෙ ඵලං යන බුදු වදනට අනුව තමා වැපිරූ ලෙස අස්වැන්න ලබා ගැනීමට හැකිය. එබැවින් මිය ගිය අයට පින්දිය හැකිද? පින්දිය යුතු ද? යන තර්ක විතර්ක වලින් දුරස්ව ජීවත් වන කෙටි කාලය තුළ සබ්බපාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා අකුසල් දහම් දුරු කොට කුසල් දහම් සිදු කරන දැහැමි දිවියකට පුද්ගලයා යොමු කිරීම ධර්මධරයන්ගේ යුතුකමකි.

 

     ‍වප් පුර අටවක පෝය 

වප් පුර අටවක පෝය මේ මස 20 වැනිදා අඟහරුවාදා අපරභාග 2.23 ට ලබයි. 21 වැනිදා බදාදා අපරභාග 1.30 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ඔක්තෝබර් මස 20 වැනිදා අඟහරුවාදාය.

මීළඟ පෝය
ඔක්තෝබර් 27 වැනිදා අඟහරුවාදාය.
 


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ඔක්තෝබර් 20

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර් 27

Second Quarterඅව අටවක

නොවැම්බර් 03

Full Moonඅමාවක

නොවැම්බර් 11


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]