UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.


දුරකතන‍‍:
94-11-2429598, 94-11-2429429

ෆැක්ස්:
94-11-2429329, 94-11-2449069

ඊමේල්:
[email protected]

වප් පුර අටවක 2015.10.20

සමාජයේ සාරධර්ම

හෙට වැඩිහිටියන් වන්නේ වර්තමානයෙහි වෙසෙන දරු පරපුරය. එබැවින් නිරුපද්‍රිතව ඔවුන් රැක බලාගැනීම මෙකල වැඩිහිටි පරපුරේ මූලික වගකීමකි. දරුවන් හැදී වැඩෙන තෙක් බලා නොසිට ඔවුන් හදා වඩා ගැනීමද යුතුකම සහ වගකීමය.

ප්‍රශ්න ගැටලු පැවතීම ස්වාභාවිකය. එහෙත් ඉඳහිට හෝ ඒවා පැන නැගීම සිදුවනුයේද මිනිස් ක්‍රියාකාරකම් මතය. ස්වකීය දරුවන් මව්පියවරුන්ට වටිනා මාණික්‍යයන් වැනිය. දරුවන් යනු මව්පිය වැඩිහිටියන් මෙන් දැනුම,අත්දැකීම් හා අවබෝධයෙන් සපිරි අය නොවේ. ඒ නිසාම දරුවන් ගැන විමසිලිමත් විය යුතුමය. එසේ සෙවීමෙන් බැලීමෙන්ම දරුවාගේ රැකවරණයද සැලසෙයි. එමෙන්ම දරුවා කෙරෙහි නිසි අවධානය යොමු කළ යුත්තේ අවධානය ගැන අවබෝධයක්ද දරුවාට නොමැති හෙයිනි. දරුවාට නිසි රැකවරණයක් නොමැති වුවහොත් දරුවාගේ පැවැත්මට ඉන් ඇති වනුයේ බලවත් බාධාවකි. දරුවාට හිංසාවක්, පීඩාවක්, කරදරයක් ,බාධාවක් නොමැතිව ළමා ලොව නිසි අයුරින් ගත කිරීමට ඉඩ කඩ සැලසීම සියලු දෙනාගේ වගකීමය. ගුණවත් , නැණවත් දරුවකු තනන්නට සෑම මව්පිය දෙපළක්ම වගකීමෙන් ක්‍රියාකිරීම අගයනු නොඅනුමානය.

දරුවා කුඩා කල මව්පිය දෙපළගෙන් යැපෙන අතර මව්පිය සෙනෙහස දයා, කරුණා ගුණයන්ද නිරතුරුව දරුවාට හිමිකර දිය යුතුවේ. එබදු කාරුණික දරුවන් වැඩි දියුණුවට පත් වූ කල ස්වකීය මව්පිය දෙපළටද මහත් ගෞරව කරති. සියලු සංග්‍රහ කරති. එමෙන්ම මව්පිය ගෞරවයෙන් ඔවුන් රැක බලා ගනිති.

ඇතැම් විට මව්පිය යුතුකම් අමතක කළහොත් දරුවා වෙත ඇතිවෙන කරදර සීමා කළ හැකි නොවේ. එමෙන්ම හැදී වැඩී දියුණුවන දරුවාද මව්පියන්ට සැලකීමේ යුතුකම අමතක කළහොත් එබදු මව්පියවරුද මහත් අසහනයට කලකිරීමට පත්වීම නොවැළැක්විය හැක්කකි. මෙසේ බලනවිට මව්පිය දෙපළ වෙතින් දරුවන් කෙරෙහිද දරුවන් විසින් මව්පියවරු වෙතද ඉටුකළ යුතු යුතුකම් හා වගකීම් සමුදායක් පවතී.

සමාජයෙන් පැමිණෙන අපවාද චෝදනා ආදියට බියෙන් නොව සද්භාවයෙන්ම කාරුණිකවම දරුවන් හදාවඩා පෝෂණය කරමින් රැක බලා ගත යුත්තේ මව්පියවරු විසින්ය. පවිටු ගති සිරිත් වලින් හෙබි මනුෂ්‍ය නාමයෙන් පෙනී සිටින ඇතැමෙකු පින, පව, හොඳ, නරක, යහපත, අයහපත ගැන නොසිතා ක්‍රියා කරයි. එසේ ක්‍රියා කිරීමෙන් එහි දුක් විපාක පරලොවදී පමණක් නොව මෙලොවදීම ඔවුනට විඳීමට සිදු වන බව කිසිවිටෙක අමතක නොකළ යුත්තකි.

උතුම් සාරධර්ම අගයන ගුණගරුක මනුෂ්‍යයන් කවදත් දහමට ලැදිව හා නැඹුරුව කටයුතු කරති. එහෙත් ඒවා අගය නොකරන්නන්ට එහි ප්‍රතිවිපාක කියා දෙන විවිධ ක්‍රමෝපායන්ද බිහිකළ යුතුව ඇත.

දහම් පාසලට යන දරුවාට කුඩා කාලය ගෙවී යන තෙක්ම නිසි දහම් අධ්‍යාපනය ලබා දෙයි. එහෙත් ඒ මග නොයන දරුවාද දහම් පාසල වෙත ගෙන්වා ගැනීමට ගුරු දෙගුරුන් සමත් විය යුතුය. පෝදා පන්සල වෙත යන වැඩිහිටියන්ද නිරතුරුව පෝදාට පන්සලට ගොස් තෙරුවන් පුදති. එහෙත් පෝදාටවත් පන්සලට නොයන මනුෂ්‍යයා කෙසේ හෝ පන්සලට ගෙන්වා ගැනීමට උත්සුක විය යුතුය. දරුවාට සිදුවන අකටයුතුකම් ගැන ස්වකීය මව්පියවරු පමණක් නොව නෑදෑ හිතවත් අසල්වැසි ආදීන්ද අවධානයෙන් පසුවිය යුතුය. මව්පියන්ටද එසේමය.

ඔවුනොවුන් ගැන නිසි අවබෝධයෙන් ස්වකීය වගකීම යුතුකම පැහැර නොහැර එය මනා ලෙස ඉටු කළ යුතුය. සමාජයේ පවත්නා උසස් චාරිත්‍ර ධර්මයන් සාරධර්මයන් සමාජයෙන් ගිලිහී ගියහොත් යහපත් සමාජයක් බිහි නොවනු ඇත. එබැවින් එබඳු බරපතළ වගකීමක් සමස්ත සමාජය වෙතද පැවරෙන බව අමතක නොකළ යුතුය.

දරුවා ආදරයෙන් රැක බලා ගනිමින් ආරක්ෂා කරන හෙයින් එබඳු දරුවා අනාගතයේදී මව්පිය වැඩිහිටියන්ද මහත් ගෞවරයෙන් පෝෂණය කරමින් ආරක්ෂා කරනු ඇත.

රටක ජීවනාලිය බඳු දරු පරපුර වෙත කාගේත් අවධානය වෙනදාටත් වඩා යොමු විය යුත්තේ දරුවන්ට ඇතිවන කරදර බාධකවලින් ඔවුන් මුදවා ගැනීම සඳහාය. දරුවන් සහ මව්පියන් අතර පවතිනුයේ මහත් වූ ගෞරවාදරයෙකි. එය අපගේ සම්බුදු දහම තුළින් මෙන්ම බෞද්ධ සංස්කෘතිය තුළින්ද ඔපවත් වේ. මව්පිය ආශිර්වාදය දරුවාගේ දියුණුවට ප්‍රධාන එක් හේතුවකි. එමෙන්ම මව්පියවරුන්ගේ ආශිර්වාදයෙන් ඈත් වූ සාපයද පරිහානියට මගකි. සාපය ආදී පාපයන් ගෙන් වැළකී සෙනෙහසින් හදන වඩන දරුවා සමාජයට මහත් සම්පතකි. එබඳු දරුවන් ඇති දැඩි කරන මව්පියවරු ද සමාජයට ආශිර්වාදයකි. ආදර්ශයකි.

සමාජයේ යහපැවැත්ම වෙනුවෙන් මෙකල තමන්ට කළ හැකි දේ නොපැකිලව ඉටු කළහොත් අනාගත සමාජය එදිනට එය මහත් ගෞරවයෙන් සිහිපත් කරනු ඇත. සමාජ වගකීම් පිළිබඳ සෑම අයෙක්ම අවබෝධයෙන් කටයුතු කළ යුතු වන්නේ සමාජ සාරධර්ම මතුවටද ආරක්ෂා කරගත යුතු බැවිනි.

 

     ‍වප් පුර අටවක පෝය 

වප් පුර අටවක පෝය මේ මස 20 වැනිදා අඟහරුවාදා අපරභාග 2.23 ට ලබයි. 21 වැනිදා බදාදා අපරභාග 1.30 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ඔක්තෝබර් මස 20 වැනිදා අඟහරුවාදාය.

මීළඟ පෝය
ඔක්තෝබර් 27 වැනිදා අඟහරුවාදාය.
 


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ඔක්තෝබර් 20

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර් 27

Second Quarterඅව අටවක

නොවැම්බර් 03

Full Moonඅමාවක

නොවැම්බර් 11


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]