UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

කෑගල්ලේ – මොලගොඩ කුඹල්දීවෙල ගල්ගනේ රජ මහා විහාරස්ථානය

කෑගල්ලේ – මොලගොඩ කුඹල්දීවෙල ගල්ගනේ රජ මහා විහාරස්ථානය

අදට වසර 300කට පෙර කෑගල්ලේ – මොලගොඩ කුඹල්දීවෙල ප්‍රදේශයේ ජනතාව විසින් කුඩාගල් ලෙනක් තුළ සමාධි බුද්ධ ප්‍රතිමාවක් තැන්පත් කිරීමෙන් පුද පූජා ආරම්භ වී ඇතැයි ඉතිහාසගත තොරතුරු ඇති මොලගොඩ ගල්ගනේ රජ මහා විහාරස්ථානය අද කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ ගමන් ගන්නා ලක්ෂ සංඛ්‍යාත ජනතාවගේ නෙත ගැටෙන බොහෝ බැතිමතුන් වන්දනා කරනු ලබන ඉතා දර්ශනීය විහාර පුදබිමක් ලෙස ප්‍රකටව ඇත. එම පළමුව තැන්පත් කරන ලද බුද්ධ ප්‍රතිමාව බුරුමයෙන් වැඩම කරනලද සමාධි පිළිමයක් බවත් ඉන් අනතුරුව ක්‍රමයෙන් තවත් පිළිම වහන්සේලා එම ස්ථානයේ නිර්මාණය කර ඇති බවටත් මේ පිළිබඳ ඉතිහාසගත තොරතුරු ඇත.

පසුව කල්යාමේදී එම ගල්ලෙන වැඩිදියුණු කර පුදපූජා හා වන්දනා කිරීමට සුදුසු අයුරින් විහාරස්ථානයක් ලෙස සකස්කර ඒ අසලින්ම බෝධි අංකුරයක් රෝපණය කර තිබේ. අදට වසර 300 ක් පැරණි බවට සාක්ෂි ඇති එම බෝධින් වහන්සේ ඉන්දියාවේ දඹදිව ආනන්ද බෝධීන් වහන්සේගේ අංකුරයක් බවද කියවේ. ඉපැරැණි ගල්කණු වලින් ආරක්ෂා කර ඉතා සුරක්ෂිතව අදටත් පවතී.


ඉරහඳ කොඩිය

මෙම විහාරස්ථානයේ ආරම්භක ස්වාමීන් වහන්සේ ලෙස එහි භාරකාරත්වය ගෙන ආරම්භක කටයුතු සිදුකර ඇත්තේ වැලිවිට සරණංකර හිමියන්ගේ ශිෂ්‍ය ස්වාමින් වහන්සේ නමක්ව සිටි කුඹල්දීවෙල හාමුදුරුවෝ ලෙස හැඳින් වූ හිමිනමක් බවට සංඝරාජ සාදු චර්යාව නම් ග්‍රන්ථයක සාක්ෂි සටහන්ව ඇත.

ඉන්පසුව ගල්ගනේ විහාරස්ථානයේ භාරකාරත්වය හිමිව ඇත්තේ වේකොළදෙනියේ සුමංගල හිමියන්ට බවත් සුමංගල හිමියන් එහි වැඩ වාසය කරමින් විහාරස්ථානයේ දියුණුව සැලසූ වගත් සඳහන් ව ඇත.


බුද්ධ ප්‍රතිමා වහන්සේ

මෙම කාලසීමාවේ මෙම විහාරස්ථානයට ඉතා සමීප පැරැණි ගම්මානයක් වන වේකොළදෙනිය ගම්පියසේ ඉතා දක්ෂ පැරැණි සිංහල වෛද්‍යවරු වාසය කර ඇති අතර ඔවුන්ගේ එම වටිනා හෙළ වෙදකම මෙකී සුමංගල හිමියන්ට උගන්වා තිබේ. ඉන් කලක් ගතවීමෙන් පසු මෙම විහාරස්ථානය රටේ ප්‍රසිද්ධවී ඉතා දක්ෂ ලෙස වෙදකම ඉටුකළ සිද්ධස්ථානයක් ලෙස පැවැති බවට සාක්ෂි දරයි. මෙරට ඉතා දුර ප්‍රදේශවල සිට රෝගීන් මෙම සුමංගල හිමියන් වෙත පැමිණ ප්‍රතිකාර ලබා සුවවී ඇති අතර එම රෝගීන් විසින් පසුව එම ස්වාමින් වහන්සේට කරන කෘතගුණ සැලකීමක් ලෙස බොහෝ ත්‍යාග , තාන්න මාන්න විහාරස්ථානය වෙන පූජාකර පරිත්‍යාග කළ බව සඳහන් වේ.

එම කරන ලද පරිත්‍යාගයෙන් අතර සබරගමුවේ ඉර හඳ කොඩිය, ඉලුක්කෝලය ඇතුළු තවත් පෞරාණික වස්තු 16 ක් ගැන කියවෙන අතර සතරකෝළය අයත් මෙම ඉරහඳ කොඩිය දැනට ශී‍්‍ර ලංකාවේ ආරක්ෂිතව ඇති එකම ස්ථානය මෙම විහාරස්ථානය වීම ගෞරවයට පාත්‍ර වන්නකි. එදා සිට අද දක්වා වසර 300 ක ඉතා දිගු ඉතිහාසයක් තුළ මෙම විහාරස්ථානයේ අදත් වැඩවාසය කරනු ලබන්නේ එම වේකොලදෙනියේ සුමංගල හිමියන්ගේ ඥාතිපරපුරට අයත් හිමිවරුන්ය.


විහාරාධිපති සිද්ධත්ත නා හිමි

 

ගෙවී ගිය වසර 300 දීර්ඝ කාලපරිච්ඡේදය තුළ මෙම විහාරස්ථානය පාලනය කළ වැඩිදියුණු කළ නායක හිමිවරු වශයෙන් කුඹල්දීවෙල හිමි, වේකොලදෙනියේ සුමංගල හිමි, තුංපනේ සෝභිත හිමි, එළැඟිපිටියේ රතනපාල හිමි, වල්ගම්පායේ පියරතන හිමි, නිල්වත්තේ සෝමානන්ද හිමි, මුවපිටියේ පියදස්සි හිමි හා වර්තමානයේ විහාරස්ථානය පාලනය කරන සබරගමු පළාතේ ප්‍රධාන සංඝනායක මාවනැල්ල ශාසනාරක්ෂක බල මණ්ඩලයේ සභාපතිධුරය හා කෑගල්ල දිස්ත්‍රික් පරිවෙණාධිපති තනතුර හොබවන කෘත්‍යාධිකාරි මණ්ඩලයේ සභාපති හෙට්ටිමුල්ලේ සිද්ධත්ත යන හිමිවරු මෙහිදී ඉතා ගෞරවයෙන් සිහිපත් කළ යුතුය. ඒ මන්දයත් මෙම විහාරය වටා එක්රොක්ව ඇති ගම්මාන 10 ක ජීවත්වන 2000 ට අධික බෞද්ධ හා සෙසු ආගමික ජනතාවටද මෙම විහාරස්ථානයෙන් ඉටුවන්නා වු ආගමික හා ශාසනික සේවය වෙනුවෙනි.

එනම් 1968 වසරේ පටන් මේ දක්වා ප්‍රදේශයේ දූ දරුවන්ගේ දහම් දැනුම වර්ධනය කිරීමේ අරමුණින් පවත්වාගෙන එනු ලබන දහම් පාසල එසේම විහාරස්ථ ශී‍්‍ර සද්ධර්මෝදය පිරිවෙන ඒ අතර මුල්කොට සැලකිය හැකිය.


ආනන්ද බෝධියේ ශාඛාවක් වන විහාරස්ථ බෝධීන් වහන්සේ

තවද 28 වසරක් තුළ අඛණ්ඩව කරනු ලබන වෙසක් මහා පෙරහර ඈත අතීතයේ පටන්ම වාර්ෂිකව කරනු ලබන මල් පෙරහර සිහිපත් කළ යුතුය. අම්බුළුගල කුමරුගේ සමයේ ඉදිවු ආරම්භ වුණු විහාරස්ථානයක් ලෙසට ජනප්‍රවාදයේ පවතින විශ්වාසයක් ඇති මෙම හල්ගානේ විහාරස්ථානයටම අයත් මාවනැල්ලේ උතුවන පිහිටි බෝධිරාජාරාම විහාරස්ථානයද මේ හා බැඳී පවතී.

දඹදිව බුද්ධගයාවේ විහාරාධිපති තනතුරට පත්කරනු ලැබු අපවත්වී වදාළ නිල්වත්තේ සෝමානන්ද හිමියන් පැවිදි බව ලබා ඇත්තේද මෙම පුණ්‍ය භූමියෙන් වීම මහත් ගෞරවයන් වන අතර එම ඉතිහාසය ශ්‍රීමත් අනගාරික ධර්මපාල යුගය දක්වා දිවයන්නකි.

1983 සිට උදාවු විහාරස්ථානයේ වර්තමාන පාලන යුගය භාරව කටයුතු සිදුවනුයේ හෙට්ටිමුල්ලේ සිද්ධත්ත නා හිමියන්ගේ ප්‍රධානත්වයෙනි. මෙම වකවානුව තුළ අභිනවයෙන් ඉදිකරන ලද 18 රියන් බුද්ධ ප්‍රතිමා, නව බෝධි ප්‍රාකාරය, සත්සතිය, අභිනව චෛත්‍යය ධර්මශාලාව , නව සංඝාවාසය සඳහන් කළ යුතුය. එසේම මෙම පුදබිමෙන් ගම් 10 ක ජනතාවට ඉටුවන ආගමික හා ශාසනික සේවාව අතිමහත්ය. එය ප්‍රදේශයේ බෞද්ධ හා සෙසු ආගමිකයින්ටද ආගම් බේදයකින් තොරව සිදුවන්නකි.

 

     ‍ නිකිණි අමාවක පෝය 

නිකිණි අමාවක පෝය සැප්තැම්බර් මස 12 වැනිදා සෙනසුරාදා පූර්වභාග 09.43 ට ලබයි. 13 වැනිදා ඉරිදා දිවා 12.11 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම සැප්තැම්බර් 12 වැනිදා සෙනසුරාදාය.

මීළඟ පෝය සැප්තැම්බර් 21 වැනිදා සඳුදාය.
 


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

සැප්තැම්බර් 12

First Quarterපුර අටවක

සැප්තැම්බර් 21

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 27

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 04


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]