UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
94-11-2429598, 94-11-2429429

ෆැක්ස්:
94-11-2429329, 94-11-2449069

ඊමේල්:
[email protected]

නිකිණි අමාවක 2015.09.12

දස පින්

නුෂ්‍යයා තුළ යහපත් ගති ගුණ පුරුදු පුහුණුවීමෙන්, ඒවා සිත තුළ වර්ධනය වීමෙන් යහපත් දෑ කිරීමට සිත පෙලඹේ. එසේ යහපත් සිතෙන් කරන යහපත් ක්‍රියා “පින්” යනුවෙන් ද හඳුන්වනු ලැබේ. එසේ යහපත් ගතිගුණ දියුණුවීමෙන් කරන හොඳ ක්‍රියා වර්ග දහයකි. ඊට "දස පින්" කියාද විස්තර කරනු ලැබේ.

එම දස පින් නම් දානය හෙවත් දීම, සිල් රැකීම, භාවනා කිරීම, අපචායන, වෙය්‍යාවච්ච, පත්තිදාන ,පත්තානුමෝදනා, ධම්ම දේශනා, ධම්ම සවණ දිට්ඨිජුකම්ම යනුය.

තමන්ට වඩා ගුණ දහමෙන් උසස් අය දුටු විට වැඳුම් පිදුම් කරන්නට හිත යොමුවේ. එසේ සිල්වත්, ගුණවත් උතුමන් පුරන ඒ ගුණ දහම් තව තවත් දියුණු කිරිමට සහාය වන්නට අපගේ සිත යොමුවේ. තමන් සතු දෑ කෙරෙහි ඇති ඇල්ම පවා අතහැර ඒවා විය පැහැදම් කර එබඳු උතුමන් පුදන්නට සිත්වේ. එබඳු උතුමන්හට දානාදිය පූජා කිරීම එක් දීමනාවකි. තමනට වඩා අසරණ දිළිඳු අයෙකු දුටුවිට එබඳු තැනැත්තාගේ දුක දැක කරුණාවෙන්, අනුකම්පාවෙන් පිහිටවනු ලැබේ. එසේ කාරුණිකව පිහිට වී දුකට පත් තැනැත්තා සැනසීමට කරන සංග්‍රහයද තවත් පරිත්‍යාගයකි. ඒ අනුව ගෞරවයෙන් කරන පරිත්‍යාගයත්, කරුණාවෙන් කෙරෙන පරිත්‍යාගයත් යන දෙකම දානය නමැති පින්කම් වේ.

පස් පවින් වැළකී ගත කරන ජීවිතය සීලයට යොමුවේ.

අපේ හිත නිතර ඒ මේ අත හැසිරෙන නිසාම හිතේ කලබල ගති ඇතිවේ. හිතේ හැම විට යහපත් ගතිගුණ ම වර්ධනය කළ යුතුවේ. එසේ හිත යහපත් අන්දමට එකඟ කර ගනිමින් දියුණු කිරීමත් එක් භාවනාවක් වේ. නිසරු දේ නිසරු ලෙස දැක ජීවිතයේ යථාර්ථය දන්නා නුවණද තවත් එක් භාවනාවක් වේ. ඒ අයුරින් හිතේ එකඟ බව වර්ධනය කිරීම සමාධි භාවනාව වන අතර විපස්සනා භාවනාව නම් නුවණ වර්ධනය කිරීමයි. භාවනාව වර්ධනය කිරීමෙන් නරක ගතිපැවතුම් සිතෙන් දුරු වේ. යහපත් ගුණ දහම් දියුණු වේ.

සිව්වන පින්කම හෙවත් අපචායන නම් මව්පිය, ගුරුවර වැඩිහිටි ආදින් වෙත ගරු බුහුමන් දක්වමින් වැඳුම් පිදුම් කිරීමාදියයි. ඒවා පුරුදු කිරීමෙන් උඩඟු බව ආදිය නැති වේ.

මව්පිය ආදීන් වෙත ලෙඩ දුක් අවස්ථාවන්හිදි උපස්ථාන කිරීම, සංග්‍රහ කිරීම, ඔවුනගේ කටයුතුවලට උපකාරිවීම ආදියෙන් වතාවත් කිරීම පස්වන පින්කමය. එය වෙය්‍යාවච්ච නම් වේ.

පින්දීම හෙවත් පත්තිදාන හයවන පින්කමයි. යම් කෙනකු කරනු ලබන යහපත් ක්‍රියාවන් දැක අප ඊට සතුටුවනු ලැබේ.අප යහපත් ක්‍රියාවක් කරනු දුටු විට අන් අයද සතුටට පත්වේ. එබඳු යහපත් ගතිගුණ දකින අය තුළද ඇතිවේ. එමඟින් අපට මෙන්ම දකින අයටද සැලසෙනුයේ යහපතකි. අප පින්කමක් කළ විට මේ පින හේතුවෙන් අන්‍යයන්ද සතුටට පත්වෙනවා. ඒ පිනින් ඔවුන් සැනසීමට පත්වේවා යි සිතීම, වචනයෙන් ප්‍රකාශ කිරීම උපකාර කිරීමකි. පරලොව ගිය ඤාතිමිත්‍රාදීන් එබඳු පින් ගැනීමට හැකි ස්ථානයක ඉපිද සිටි නම් ඒ පින් ලැබ ඔවුන්ද සතුටට පත්ව සැපතට පත් වේ. එය උතුම් පින්කමකි.

හත්වන පින්කම නම් පින් ගැනීම හෙවත් පත්තානුමෝදනාවයි. අප අන් අය වෙත පින්දීම මෙන්ම අනෙකුත් අය අපටද පින් දෙනු ලැබේ. පින් කැමැත්තන් විසින් එසේ දෙන පින සතුටෙන් අනුමෝදන් විය යුතුයි.

කෙනෙකු නරක සිතුම් පැතුම් වලින් ඈත් කරවා ගෙන යහපතෙහි යොදවන අදහසින් උපදෙස් ලබාදීම උදාර පින්කමකි. එය අට වන පින්කම වේ.

බණ ඇසීම නව වන පින්කමය.අපට යහපත , අයහපත හොඳ , නරක යහපත් උතුමන් විසින් පැහැදිලි කර දෙනු ලැබේ. පින, පව පිළිබඳව දැනුවත් කරති. එසේ ධර්ම ශ්‍රවණයෙන් දැනීම වර්ධනය වේ. එමඟින් හිත අයහපතින් ඈත්ව යහපතෙහි යොමු වේ.

දිට්ඨුජුකම්ම නම් නිවැරැදි දැකීම හෙවත් හරි නුවණ ඇතිකර ගැනීමයි.

ලොව යම්තාක් යහපත් ක්‍රියා සියල්ල මෙම දස පින්වලට අයත් වේ. එබැවින් මේ දස පුණ්‍යක්‍රියා පුරුදු කිරීමෙන් තමාට මෙන්ම සමාජයටද තමා යහපත් කෙනෙක් වෙයි.

ජීවිත කාලය පුරා අකුසල් දුරුකර කුසල් වඩා ජීවිතය සුවපත් කර ගැනීමට උත්සාහ කිරීම බුද්ධිමත් මනුෂ්‍යයාගේ වගකීම වේ.

 

     ‍ නිකිණි අමාවක පෝය 

නිකිණි අමාවක පෝය සැප්තැම්බර් මස 12 වැනිදා සෙනසුරාදා පූර්වභාග 09.43 ට ලබයි. 13 වැනිදා ඉරිදා දිවා 12.11 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම සැප්තැම්බර් 12 වැනිදා සෙනසුරාදාය.

මීළඟ පෝය සැප්තැම්බර් 21 වැනිදා සඳුදාය.
 


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

සැප්තැම්බර් 12

First Quarterපුර අටවක

සැප්තැම්බර් 21

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 27

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 04


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]