UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුදහම හා මාර සංකල්පය 22 මහ පොළොව කම්පාවීමේ හේතු

බුදුදහම හා මාර සංකල්පය 22

මහ පොළොව කම්පාවීමේ හේතු

මාරයාගේ ආයාචනයට අනුගත වූ බුදුරජාණන් වහන්සේ මෙයින් තුන් මසකින් පිරිනිවන් පාන බව මාරයාට ප්‍රකාශ කළහ. මේ අවස්ථාවේ සිදු වූ මහ පොළොව කම්පාවීමෙන්, විවේකීව ගසක් මුල වැඩහුන් ආනන්ද හිමියන් පුදුමයට පත්ව, එසේ මහ පොළොව කම්පාවීමට හේතු බුදුරජාණන් වහන්සේගෙන් විමසයි. එවිට බුදුරජාණන් වහන්සේ මහපොළොව කම්පාවන අවස්ථා අටක් ඇති බව දේශනා කරයි. සම්බුද්ධ දේශනාවට අනුව එම කාරණා මෙසේය.

පසුගිය පොහෝ දිනයේ දී අපගේ සාකච්ඡාවට බදුන් වන්නේ බුදුරදුන්ට පිරිනිවන් පාන ලෙස පාපී මාරයා ආයාචනය කළ අවස්ථාව පිළිබඳ කරුණු ඇතුළත් වන අංගුත්තර නිකායේ අට්ඨක නිපාතයට අයත් ආයු සංඛාරොස්සජන සූත්‍රය හෙවත් භූමිචාලක හේතු සූත්‍රය විමසා බැලීමටයි.බුදුරජාණන් වහන්සේට පිරිනිවීම සඳහා ආයාචනය කිරීමට කල්යල් බලමින් සිටි මාරයා සුදුසුම අවස්ථාව තෝරාගෙන ආනන්ද හිමියන්ගේ සිහි විකල්කොට නොමග යවා සුදුසු අවස්ථාව තෝරාගත් බව පසුගිය සාකච්ඡාවෙන් පැහැදිළි විය.

මාරයාගේ ආයාචනයට අනුගත වූ බුදුරජාණන් වහන්සේ මෙයින් තුන් මසකින් පිරිනිවන් පාන බව මාරයාට ප්‍රකාශ කළහ. මේ අවස්ථාවේ සිදු වූ මහ පොළොව කම්පාවීමෙන්, විවේකීව ගසක් මුල වැඩහුන් ආනන්ද හිමියන් පුදුමයට පත්ව, එසේ මහ පොළොව කම්පාවීමට හේතු බුදුරජාණන් වහන්සේගෙන් විමසයි. එවිට බුදුරජාණන් වහන්සේ මහපොළොව කම්පාවන අවස්ථා අටක් ඇති බව දේශනා කරයි. සම්බුද්ධ දේශනාවට අනුව එම කාරණා මෙසේය.

01. ආනන්දය, මේ මහා පෘථිවිය ජලයෙහි පිහිටියේ වෙයි. ජලය වාතයෙහි පිහිටියේ ය. වාතය ආකාශගතය. ආනන්දය, යම් කලෙක ඒ මහා වාතායෝ හමත්, මහා වාතය හමනවිට ජලය කම්පා වෙයි. ජලය කම්පා වන විට පෘථිවිය කම්පා වෙයි. ආනන්දය, මහත් වූ භූමි චලනයක් ඇතිවීමට මේ පළමුවන හේතුවයි. පළමුවන ප්‍රත්‍යයයි.

02. ආනන්දය, නැවතද, සෘද්ධි ඇති, සිත වසඟ කරගත්, ශ්‍රමණයෙක් හෝ, බ්‍රාහ්මණයෙක් හෝ, මහත් සෘද්ධි ඇති, මහානුභාව ඇති දේවතාවෙක් හෝ ඔහුගේ ස්වල්ප වූ පෘථිවි සංඥාව වඩන ලද්දේ වෙයි. අප්‍රමාණ වූ ආපො සංඥාවෙන් හෙතෙම මේ පොළොව කම්පා කරයි. විශේෂයෙන් කම්පා කරයි. ආනන්දය, මහා භූමි චලනයක් ඇති වීමට මේ දෙවන හේතුවයි. දෙවන ප්‍රත්‍යයයි.

03. ආනන්දය, නැවතද බෝධිසත්ව තෙම තුසිත දෙවි ලොවින් චුතව, සිහි ඇතිව, මනා නුවණැතිව, මවු කුසට බැස ගනීද, එකල්හි මේ පෘථිවිය කම්පා වෙයි. විශේෂයෙන් කම්පා වෙයි. ආනන්දය, මහා භූමි චලනයක් ඇතිවීමට මේ තුන්වන හේතුවයි. තුන්වන ප්‍රත්‍යයයි.

04. ආනන්දය, නැවත ද යම් කලෙක බෝධිසත්ව තෙම සිහි ඇත්තේ, මනා නුවණැත්තේ, මවු කුසින් නික්මේ ද, එකල්හි මේ පෘථිවිය කම්පා වෙයි. විශේෂයෙන්

කම්පා වෙයි. ආනන්දය, මහා භූමි චලනයක් ඇතිවීමට මේ හතරවන හේතුවයි. හතරවන ප්‍රත්‍යයයි.

05. ආනන්දය, නැවත ද තථාගත තෙම නිරුත්තර වූ සම්‍යක් සම්බෝධිය මනාව අවබෝධ කරගනී ද, (බුදුබව ලබා ද) එකල්හි මේ පෘථිවිය කම්පා වෙයි. විශේෂයෙන් කම්පා වෙයි. ආනන්දය, මහත් භූමි චලනයක් ඇතිවීමට මේ පස්වන හේතුවයි. පස්වන ප්‍රත්‍යයයි.

06. ආනන්දය, නැවත ද තථාගත තෙම නිරුත්තර වූ ධර්ම චක්‍ර දේශනාව පවත්වාද, එකල්හි මේ පෘථිවිය කම්පා වෙයි. විශේෂයෙන් කම්පා වෙයි. ආනන්දය, මහත් වූ භූමි චලනයක් ඇතිවීමට මේ සයවන හේතුවයි. සයවන ප්‍රත්‍යයයි.

07. ආනන්දය, නැවත ද තථාගත තෙම සිහි ඇත්තේ, මනා නුවණැත්තේ, ආයු සංස්කාරය හරිද, එකල්හි මේ පෘථිවිය කම්පා වෙයි. විශේෂයෙන් කම්පා වෙයි. ආනන්දය, මහත් වූ භූමි චලනයක් ඇතිවීමට මේ සත්වන හේතුවයි. සත්වන ප්‍රත්‍යයයි.

08. ආනන්දය, නැවත ද යම් කලෙක තථාගත තෙම නිරුපධිශේෂ නිර්වාණ ධාතුවෙන් පිරිණිවේද, එකල්හි මේ පෘථිවිය කම්පා වෙයි. විශේෂයෙන් කම්පා වෙයි. ආනන්දය, මහත් වූ භූමි චලනයක් ඇතිවීමට මේ අටවන හේතුවයි. අටවන ප්‍රත්‍යයයි. ආනන්දය, මහත් භූමි චලනයක් ඇතිවීමට මේ හේතු අටෙකි.

ආනන්දය, මම බුදු වූ පළමු අට වැනි සතියෙහි එක්තරා කාලයක උරුවෙල් දනව්වෙහි නේරංජනා නම් ගංගා තීරයෙහි වූ අජපාල නම් නුග ගසමුල සිටියෙමි. එකල්හි ආනන්දය, පවිටු වූ මාරයා මම යම් තැනෙක්හි ද එතැනට ආවේය. මාරයා මට මෙසේ කීවේ ය. ‘ස්වාමීන් වහන්ස, භාග්‍යවතුන් වහන්සේ දැන් පිරිනිවන් පානා සේක්වා. ස්වාමීන් වහන්ස, භාග්‍යවතුන් වහන්සේගේ පිරිනිවන් පෑමට දැන් කාලය වන්නේයයි’ දැන්වීය.

මෙසේ කී කල්හි ආනන්දය, මම පවිටු වූ ඒ මාරයා හට මෙසේ කීවෙමි. ‘පවිටු වූ මාරය, යම්තාක් කල් මාගේ භික්ෂු ශ්‍රාවකයෝ ද, භික්ෂූණී ශ්‍රාවිකාවෝද, උපාසක ශ්‍රාවකයෝද, උපාසක ශ්‍රාවිකාවෝ ද දක්ෂ නොවන්නාහු වෙත් ද, නොහික්මෙත්ද, මහත් දැනුමක් ඇත්තෝ නොවෙත් ද, බොහෝ දේ ගැන ඇසූවාහු (දැන ගත්තාහු) නොවන්නාහුද, ධර්මධර නොවන්නාහුද, ලෝකෝත්තර ධර්මයට අනුව පිළිපදින්නෝ නොවන්නාහුද, යහපත්ව පිළිපදින්නාහු නොවෙත්ද, ධර්මයට අනුව හැසිරෙන්නෝ නොවෙත්ද, තමන්ගේ ආචාර්ය මත ඉගෙන නොකියන්නාහු වෙත්ද, දේශනා නොකරන්නාහු වෙත්ද, නොපනවත්ද, නොපිහිටත්ද, විවෘත නොකරන්නාහුද, විභාග නොකරන්නාහුද, ප්‍රකට නොකරන්නාහු ද, උපන්නාවු අන්‍ය වාදයන් හේතු සහිතව, කරුණු සහිතව හොඳින් නිග්‍රහ කොට නිවනට පමුණුවන ධර්මයක් කොට දේශනා නොකරන්නාහු වෙත් ද ඒතාක් පිරිනිවන් මම නොපාන්නෙමි’යි කීවෙමි.

යම්තාක් කල් මාගේ මේ සියලුම ශාසන මාර්ග බ්‍රහ්මචර්යාව සම්පූර්ණ භාවයට නොපැමිණියේ ද, දියුණුවට නොපැමිණියේ ද, ඒ ඒ දිශාභාගයෙහි පැතිර නොපවත්නේ ද, බොහෝ දිව්‍ය මනුෂ්‍යයන් විසින් ප්‍රකාශ කරන ලද බවට නොපැමිණේ ද ඒ තාක් කල් පිරිනිවන් නොපාන්නෙමි’යි කීවෙමි.

ආනන්දය, දැන් අද චාපාල චෛත්‍යයෙහි දී පවිටු වූ මාර තෙම මා වෙත පැමිණියේ ය. මාරයා මට මෙසේ කීයේය. ‘ස්වාමීන් වහන්ස, භාග්‍යවතුන් වහන්සේ දැන් පිරිනිවන් පා වදාරණ සේක්වා. ස්වාමීන් වහන්ස, භාග්‍යවතුන් වහන්සේගේ පිරිනිවන් පෑමට දැන් කාලය වන්නේ ය. භාග්‍යවතුන් වහන්සේ විසින් මේ වචනය වදාරණ ලද්දේමය’යි ඉහත සඳහන් කළ ලෙස කීවේය.මෙසේ කී කල්හි ආනන්දය, මම ඒ පාපී වූ මාරයාට මෙසේ කීවෙමි. ‘පවිටු මාරය, ඔබ මන්දෝත්සාහී නොවන්න. තථාගතයන් වහන්සේගේ පිරිනිවන් පෑම නොබෝ කලකින් වන්නේ ය. මෙතැන් සිට තුන් මසක් ගිය කල්හි තථාගත තෙම පිරිනිවන් පාන්නේයැයි’ කීවෙමි. ආනන්දය, දැන් අද මේ චාපාල නම් චෛත්‍යයෙහි දී තථාගතයන් වහන්සේ විසින් සිහි නුවණින් යුක්තව ආයු සංස්කාරය හරින ලද්දේ යයි’ කී සේක.මෙසේ වදාළ කල්හි ආනන්ද හිමියන් භාග්‍යවතුන් වහන්සේට දෙතුන් වරක් මෙසේ කීහ. ‘ස්වාමිනි, බොහෝ ජනයාගේ හිත පිණිස, සැප පිණිස, ලොවට අනුකම්පා පිණිස, දිව්‍ය මනුෂ්‍යයින්ට යහපත පිණිස හා හිත සැප පිණිස භාග්‍යවතුන් වහන්සේ සම්පූර්ණ ආයුෂ කාලය මුළුල්ලෙහි පිරිණිවන් නොපා වැඩ සිටිනා සේක්වායි’ කියා යාඥා කළේය. ‘ආනන්දය, තථාගතයන් වහන්සේට ඉල්ලීම් නොකරව. ආනන්දය, තථාගතයන් වහන්සේට යාඥා කිරීමට දැන් මේ කාලය නොවන්නේ’යැයි කීහ.ආනන්දය, තෙපි තථාගතයන් වහන්සේගේ සම්‍යක් සම්බෝධිය අදහන්නාහුදැ’යි ඇසුවෝය.

‘එසේය, ස්වාමිනී’ කියා උත්තර දුන්හ.

‘ආනන්දය, ඔබ දැන් එසේ අදහන්නේ නම් තුන් වැනි වර දක්වා කුමක් නිසා තථාගතයන් වහන්සේට අතිශයින් පීඩා කරන්නේදැ’යි ඇසූහ.

මතු සම්බන්ධයි


බුදුදහම හා මාර සංකල්පය 21 - බුදුරදුන්ට පිරිනිවන් පාන ලෙස මාරයා ආයාචනය කරයි

 

    ඇසළ අමාවක පෝය

ඇසළ අමාවක පෝය අගෝස්තු මස 13 වැනිදා බ්‍රහස්පතින්දා අපරභාග 6.49 ට ලබයි. 14 වැනිදා සිකුරාදා අපරභාග 8.23 පෝය පවතී. සිල් සමාදන්වීම අගෝස්තු 14 වැනිදා සිකුරාදාය.

මීළඟ පෝය
අගෝස්තු 22 වැනිදා සෙනසුරාදාය.
 


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

අගෝස්තු 14

First Quarterපුර අටවක

අගෝස්තු 22

Full Moonපසෙලාස්වක

අගෝස්තු 29

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 05


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]