UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සම්බුදු උපත සිදුවූ බුද්ධභූමි වන්දනාව 49

සම්බුදු උපත සිදුවූ බුද්ධභූමි වන්දනාව 49

කොසඹෑ නුවර පුරා විහිදුනු බුදු ඇස

බුදුරජාණන් වහන්සේ මාගන්ධිය නම් බමුණකු රහත්වීමට හේතු සම්පත් දැක අතර මගදී කුරු රට දෙසට යන පාරට බැස කල්මාෂදම්‍ය නම් නිගමයට වැඩමවා පසුදා උදේ වරුවෙහි එහි පිඬු පිණිස හැසුරුණු සේක. එහිදී මාගන්ධිය බමුණු බුදුරජාණන් වහන්සේ දැක තම දුවට සුදුසු රූප ලක්ෂණයෙන් යුත් පුරුෂයෙක් ලැබිණැයි සතුටු ව දුව සරසවා කැඳවා ගෙන අවුත් මැය බිරින්දෑ කොටගත මැනැවැයි දැන්වූයේ ය.

එවිට කාම සම්පත්තියෙහි තමන් වහන්සේ නොඇලෙන බවත් මළ මුත්‍රා පිරුණ මේ ශරීරයක් පයින්වත් ස්පර්ශ කරන්නට නොකැමැති බවත් වදාළ සේක. ඇයගේ සිරුර මල මුත්‍රයෙන් පිරුණු එකෙකැයි අවමන් කළේ යැයි භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි ඇය වෛර බැන්දාය. බුදුරජාණන් වහන්සේ එය නොසලකා ඇයගේ මව්පිය දෙදෙනාට දහම් වදාළ සේක. දේශනාව අවසානයේදී ඒ දෙදෙනා අනාගාමී වූහ. දූ වූ තරුණ මාගන්දියා බැමිණිය ඇයගේ සුළු පියාට බාර කොට පැවිදි වී රහත් වූහ. තරුණ මාගන්දියා තොමෝද නොබෝ කලෙකින් ඇයගේ රූපශ්‍රීයෙහි ඇලුණු උදේනි රජු විසින් ගෙන්වා අග මෙහෙසියක් කරන ලදී.

ඉහත කී පරිදි භාග්‍යවතුන් වහන්සේ මාගන්දිය බමුණු බැමිණි දෙදෙනාට අනුග්‍රහ කොට ආපසු වැඩ කොසඹෑ පුරයට යන මාර්ගයට බැස සැරිසරා වඩනා සේක්. නොබෝ කලෙකින් එහි පැමිණි සේක. කොසබෑ නුවර සිටුහු ද පෙර ගමන් කොට භාග්‍යවතුන් වහන්සේ වැඩම කරවා තමන් කරවූ ආරාම තුන පිදූහ. ඉක්බිති පසුදා දනට වඩින ලෙස අයැද වැඳ පැදකුණු කොට තමන් ගෙවලට ගියහ. උදේනි රජුගේ භාර්යාව වී සිටින මාගන්දියා තෙමෝ බුදුරජාණන් වහන්සේ එහි වැඩි බව අසා නුවර වැසූ නොහික්මුණු පිරිසට අල්ලස් දී භාග්‍යවතුන් වහන්සේට නින්දා අපහාස කරන්නට නියෝග කළාය. එසේම ඔවුහු පසුදා නුවර පිඬු පිණිස හැසිරෙන බුදුරජාණන් වහන්සේ දැක නොයෙක් අන්දමින් නින්දා කළහ. මේ දුටු ආනන්ද තෙරුන්වහන්සේ මේ නගරය හැර යමු යැයි බුදුරජාණන් වහන්සේට සැළ කළේ ය.


කොසඹෑනුවර විහාරාරාම නටබුන්

 

ආනන්දය තථාගතවරු ලාභ අලාභ, යස අයස, නින්දා ප්‍රශංසා ආදී අෂ්ට ලෝක ධර්මයෙන් චංචල නොවෙති යැයි ද මේ නින්දා අපහාස කිරීම සතියකට වඩා නොපවතින්නේ යැයි ද වදාරා බුදුරජාණන් වහන්සේ එහිම වැඩ විසූ සේක. ඒ සිටුවරු තිදෙනා මාරුවෙන් මාරුවට දන් දෙමින් මාසයක් ගත කොට සෙසු නගරවාසීන්ට ද දන් දීමට අවකාශ දුන්හ. නුවර ඒ ඒ වීදිවල වැසියෝ එක්ව මහ දන් පැවැත් වූහ.

සාමාවතී දේවිය හා පිරිසගේ මරණය

ඒ සමයෙහි දිනක් බුදුරජාණන් වහන්සේ නුවර ප්‍රධාන මාලා කාරයාගේ ගෙයි දනට වැඩි සේක. උදේනි රජුගේ සාමාවතී නම් අග මෙහෙසියකගේ උපස්ථායිකාවූ ඛුජ්ජුත්තරා නම් ස්ත්‍රියක් මල් මිලදී ගැනීමට වෙනදා සේම එදාත් පැමිණි තැනැත්තී එහිදී බණ අසා සෝවාන් වූවාය. ඉක්බිති මාලිගාවට ගිය ඇයගෙන් බණ අසා සාමාවතී ද ඇතුළු පිරිවර ස්ත්‍රීහු ද සෝවාන් වී එතැන් පටන් ඇය දාස භාවයෙන් මුදා මවු තනතුරෙහි ද ඇදුරු තනතුරෙහිද තබා සත්කාර කළාය.

ඛුජ්ජුත්තරා උපාසිකා තොමෝද සියලු දිනයෙහිම භාග්‍යවතුන් වහන්සේගෙන් බණ අසා අවුත් සාමාවතිය ආදී හට කියන්නී කල් යෑමේ දී ත්‍රිපිටකධර වූවාය. සාමාවතීය භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි පැහැදී සිටි බව දත් මාගන්දියා බිසව නොයෙක් අයුරින් ඇය කෙරේ රජු බිඳවාලීමට උත්සාහ කළාය. කිසි විටෙක රජ ඒ විශ්වාස කළ නමුත් පසුව සාමාවතියගේ නිදොස් බව තේරුම් ගත්තේ ය.

ඉක්බිති සාමාවතී මාලිගාවට ආනන්ද තෙරුන් වහන්සේ කැඳවා සත්කාර කොට බණ ඇසුවාය. මේ කිසිවක් ඉවසිය නොහී වඩ වඩා කෝපයෙන් දිලිහුණු මාගන්දියා රහසින් ගිනි ලැව්වාය. සාමාවතී සහිත පන්සියක් පමණ ඇයගේ පිරිවර ස්ත්‍රීහු එයින් මළහ. රජ තෙම පසුව සිය මාගන්දියාව විසින් කරවන ලද බව දැනගෙන දරුණු වද දී ඇයගේ නෑදෑයින් ද මරවා දැමීය. භාග්‍යවතුන් වහන්සේගේ බුද්ධත්වයෙන් නව වන වර්ෂයෙහි වැසි සාරමසෙහි ද ඉන් පසු කොසඹෑ පුර ඝෝෂිතාරාමයේ වැඩ විසූ සේක.

භද්‍රවතිකා ඇතින්නට පිහිට වීම.


ඝෝෂිතාරාමය

මේ සමයෙහි උදේනි රජුගේ භද්‍රවතිකා නම් ඇතින්න රජු විසින් නොතකා අසරණ කොට අත් හැර දමන ලදී තැන තැන යමින් දුක සේ කල් යැවුවා ය. ඕ ශක්තිමත් සමයෙහි ඒ රජුගේ මඟුල් ඇතින්න වැසිටි මහත් සද්කාර ලැබුවාය. යුද්ධවලදී ද රජුට ජය ලබන්නට සහාය වූවාය. එහෙත් ඇය මහලුව දුර්වලව කිසිත් කරන්නට නොහැකි වූ විට රජු අන් ඇතකු මගුලැත් තනතුරට පත් කොට ඇයට නොසලකා හැරියේ ය. පසුව ඇය හට ආහාර හා ඉඳීමට පහසුකම් ප්‍රමාණවත් පරිදි නොලැබුණි. තැන තැන ඇවිදිමින් දුක සේ කල් ගෙවුවාය. දවසක් භාග්‍යවතුන් වහන්සේ කොසඹෑ නුවර පිඬු පිණිස වඩිනු දැක ඕ ශබ්ද නගා හැඬුවාය, ඇය ඇඟවූ අදහස භාග්‍යවතුන් වහන්සේ දත් සේක.

දැන සිතට දුක් නොගන්න.මම ගොස් පළමුවෙන් ඔබට ලැබී තිබුණු ලෙසටම සද්කාර සලස්වන්නෙමියි වදාළ සේක. රජු බුදු පාමොක් මහ සඟනට දන් පුදා අවසානයේ භාග්‍යවතුන් වහන්සේ භද්‍රවතිකා ඇතින්න කොයිදැයි වදාළ සේක. නොදැනිමි වහන්සේ යැයි රජ කීහ. ඒ වන විට භාග්‍යවතුන් වහන්සේ රජුට අවවාද කරන සේක. මහ රජ තමාට විපතකදී උදව් උපකාර කරන ලද පුද්ගලයන්ට ශක්තිමත් කාලයේ දී සද්කාර සම්මාන කොට උන් මහලු වූ කළ අත් නොහළ යුතු ය. භද්‍රවතිකා දැන් මහලුය. ජරාජීර්ණ අනාථ වන්නට ඉඩ හැරීම ඔබ නොකළ යුතු ය. පෙර සේම ඇයට සද්කාර කරන්නැයි වදාළ සේක. රජුට තමන් කරන ලද වැරැද්ද පැහැදිලි විය. කෙනෙකු යවා ඇතින්න ගෙන්වා ඇයට පෙර පරිදි සත්කාර කරන ලදී. බුදුරජාණන් වහන්සේ මිනිසුන්ට පමණක් නොව සතුන්ට ද ආදරය කරන ලද ශාස්තෘවරයෙකි.

ඝෝෂිතාරාමයෙහි ඇති වූ සංඝ භේදය

මේ සමයෙහි කොසඹෑ නුවර ඝෝෂිතාරාමයෙහි වැඩ සිටි විනයධර ස්ථිවිර නමකගේත්, ධර්ම කථික ස්ථිවිර නමකගේත් විවාදයෙක් වීය. ස්වල්පයෙන් පටන් ගත් විවාදය ඒ දෙදෙනා ගේ පක්ෂයට බොහෝ පෘථග්ජන ගිහි පැවිද්දන්ගේ බැඳීමක් වී ක්‍රමයෙන් දියුණු විය. භාග්‍යවතුන් වහන්සේ ඔවුනට අවවාද කළහ.

විවාද අසමගි බව සඳහන් කරමින් එහි ආදීනව දක්වමින් ලටුකික ජාතකය, වට්ටක ජාතකය, දිඝිති කෝසල ජාතකය යන මෙයින් අවවාද අනුශාසනා කළ සේක. එහෙත් ඔවුහු සමථයකට නොපැමිණියහ. බුදුරජාණන් වහන්සේ මතු ඔවුන් සමගියට පැමිණවිය හැකි අයුරුද ඊළඟ වස් කාලයෙහි පාරිලේ්‍ය හස්ති ආදී කිහිප දෙනෙකුට තමන් වහන්සේ නිසා ලැබෙන අර්ථ සිද්ධිය ද දැක විවේකය ද කැමැතිවැ පාරිලේ්‍ය. වනය දෙසට යන්නට අදහස් කළ සේක. එසේ අදහස් කොට කොසැඹෑ පුරයෙහි පිඬු පිණිස හැසිර කිසිවකුටත් නොදන්වා හුදකලාවෙම වැඩි සේක.

තවත් කොටසක් නිකිණි පුර අටවක පොහෝදා අගෝස්තු 22 වනදා පත්‍රයේ


පසුගිය සතියෙන් - සම්බුදු උපත සිදුවූ බුද්ධභූමි වන්දනාව 48

 

    ඇසළ අමාවක පෝය

ඇසළ අමාවක පෝය අගෝස්තු මස 13 වැනිදා බ්‍රහස්පතින්දා අපරභාග 6.49 ට ලබයි. 14 වැනිදා සිකුරාදා අපරභාග 8.23 පෝය පවතී. සිල් සමාදන්වීම අගෝස්තු 14 වැනිදා සිකුරාදාය.

මීළඟ පෝය
අගෝස්තු 22 වැනිදා සෙනසුරාදාය.
 


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

අගෝස්තු 14

First Quarterපුර අටවක

අගෝස්තු 22

Full Moonපසෙලාස්වක

අගෝස්තු 29

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 05


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]