UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සදහම් දැනුම

 

ප්‍රශ්නය
පරිපටිබද්ධා මේ ජීවිකාති පබ්බජිතෙන අභිණ්හං පච්චවෙක්ඛි තබ්බං (දසධම්ම සූත්‍ර) බෞද්ධ භික්ෂු ජීවිතය සෑම විටම “පරපටිබද්ධ තාවයකින් (අන්‍යයන් හා නිරතුරුව බැඳී පවත්නා) යුක්ත ජීවිතයක් බව සිහි කළයුතුය. පරපටිබද්ධ” පැවිදි ජීවිතය පිළිබඳව පැහැදිලි කරන්න.

පිළිතුර
අගාරික (ගිහි) අනගාරික පැවිදි ජීවිතයට පත්වීමෙහිදී සිදු කරන බාහිර ක්‍රියාවලිය අංශ තුනක පරිවර්තනයක් නියෝජනය කරයි.

01. කායික වෙනස (මුඩු හිස - කසාවත් හැදීම)

02. භෞතික සම්පත් විරමණය (භවභෝග සම්පත් අතහැරීම)

03. සමාජ සම්බන්ධතා පිළිබඳ වෙනස (පෞද්ගලික ඥාතීත්වය හා සාම්ප්‍රදායික ප්‍රභේදයන්ගෙන් වෙන්වීම)

මෙම තෙවදෑරුම් පරිවර්තනයන්ගෙන් හැඟීයන්නේ පෞද්ගලික භාවයෙන් පොදු බවට පත්වීමයි. පැවිදි ජීවිතයේ කැපී පෙනෙන ආවේණික ලක්ෂණ අතර පෞද්ගලිකත්වය ඉක්මවූ පොදු වගකීමක් සහිත කෙනෙකු බවට පත්වීම සුවිශේෂ වූවක්ම විය. පුළුල් වශයෙන් අර්ථ කථනය කරනවිට ජීවිත පැවැත්ම සඳහා පොදු සමාජය මත තමන් යැපිය යුතු බව බුදුරජාණන් වහන්සේ දස ධම්ම සූත්‍රයෙහිදී පරපටිබද්ධා මෙ ජීවිකාති පබ්බ ජිතෙන අභිණ්හං පච්ච වෙක්ඛි තබ්බං යනුවෙන් පෞද්ගලික දේපළ අයිතිය අත්හළ භික්ෂුව තම මූලික අවශ්‍යතා වන චීවර පිණ්ඩපාත සේනාසන ගිලානප්‍රත්‍යය යන සිව්පසය ලබාගන්නා බව ඒ පිළිබඳව නිතර සිහි කළයුතු දහමක් ලෙස පැහැදිලි කළහ. මෙම පරපටිබද්ධතාවය විස්තර කරන අටුවා විවරණයේ මගේ ජීවිකාව අන්‍යයන් කෙරෙහි බැඳී ඇත. සිව් පසය සැපයීම අනුන්ට අයත් බව ප්‍රත්‍ය වෙක්ෂණය (සිහිගැන්වීම ආපසු බැලීම) කළයුතු බවත් එවිට භික්ෂුවගේ ආජීවය පාරිශුද්ධත්වයට (පිරිසුදු බවට) පත්වන බවත් දැක්වේ.

මෙලෙස තම මූලික අවශ්‍යතා පොදු සමාජය මඟින් ඉටුවීම මත භික්ෂු ජීවිතයට විශාල කායික හා මානසික විවේකයක් ලැබේ. සාමාන්‍ය ගිහි පුහුදුන් පුද්ගලයෙක් මෙම මූලික අවශ්‍යතා සපුරා ගැනීම සඳහා දරන වෑයම භික්ෂුවකට යෙදීමට අවශ්‍ය නැත. මෙම විවේකය ධර්මය ප්‍රගුණ කිරීම ආරාම වත් පිළිවෙත් කිරීම හා තම අධ්‍යාත්මික සංවර්ධනය සඳහා යොදාගත හැකිය.

මෙම පරපටිබද්ධතාවය නිවැරදිව පවත්වා ගැනීම සඳහා සාවද්‍ය ආකාර දෙකක් සහ නිරවද්‍ය ආකාර දෙකක් ද පැහැදිලි කොට ඇත. තමා දුසිල්වතෙකු සිට සැදැහැතියන්ගේ සිව්පස පරිභෝගය ථෙය්‍ය පරිභෝග (සිව් පසය සොරකමින් ලබාගන්නා) නම් වන අතර සිල්වතෙක් වුව ප්‍රත්‍යවේක්ෂාවෙන් තොරව පරිභෝග කරත් නම් එය “ඉණ පරිභෝග“ (සැදැහැවතෙකුට ණයවීමක්) නමින් සඳහන් කොට ඇත. “දසධම්ම” සූත්‍ර අටුවාව සඳහන් කරන පරිදි දයජ්ජ පරිභෝගය හ සාමි පරිභෝගය අධ්‍යාත්මික සංවර්ධනය සිව්පස පරිභෝජනයෙහිදී භික්ෂු ජීවිතයට අනවශ්‍ය අංගයක් සේ සැලකිය යුතු බව සඳහන් කොට ඇත. එසේ අධ්‍යාත්මික සංවර්ධනයට යොමු වූ ප්‍රතිපදාවක සිට සිව්පසය පරිභෝග කිරීම තමන්ගේ ශාසනික ජීවිතයේ සඵලත්වය පිණිසත් සිව්පසය පිරිනමන දායකයනට මහානිශංස පිණිස හේතුවන බව අග්ගික්ඛන්ධෝපම සූත්‍රයෙහිද සඳහන් වේ.

පරපටිබද්ධ පැවිදි ජීවිතයෙහි තවත් අවස්ථා දෙකක් පෙළපොත්හි සඳහන්ව ඇත. එනම් සංඝ පටිබද්ධතාවය සහ සමාජ සම්බන්ධතාවයයි. කෙනෙක් භික්ෂුවක් බවට පත්ව උප සපන් බවින් යුක්ත වූ විට සංඝ සමූහයේ සාමාජිකත්වය මෙන්ම සාමාජිකයන් සමඟ අන්තර් සම්බන්ධතාවයකින් වගකීම් හා යුතුකම් සමූහයකින් යුත් අයෙකු බවට පත්වේ. එබැවින්, භික්ෂු ජීවිතයේ පරිපටිබද්ධ තාවයේ වැදගත් අංශයක් සංඝ සංවිධානය සමඟ ඇති සබඳතාවලින් නියෝජනය වේ.

භික්ෂු ජීවිතය සමාජයෙන් පෝෂණය වන පද්මයක් (නෙළුමක්) පමණක් නොව සමාජය නමැති විලද සුවඳවත් කරන පියුමක් (සුචිගන්ධං මනොරමං) බඳුය. ආධ්‍යාත්මික සංවර්ධනය උදෙසා පවුල වැනි සමාජ සංස්ථාවන් අභි- නිෂ්ක්‍රමණය කළ ද උන්වහන්සේ සමාජයෙන් ද අභිනිෂ්ක්‍රමණය කොට වනගතව නිරතුරුව අතීතය භාවනානුයෝගීව හුදෙකලා වූවෙක්ද නොවේ. භාරතීය අනගාරික ශ්‍රමණ සම්ප්‍රදායට පටහැනිව සමාජ වගකීමක් ඇති පරපටිබද්ධ ජීවිතයක්ම අනුදැන වදාළහ. බුදුරජාණන් වහන්සේ ප්‍රථම ශ්‍රාවක ධර්මදූත කණ්ඩායම අමතා මහණෙනි, බොහෝ ජනයාට හිත සුව පිණිස ලෝකානුකම්පාව පිණිස දෙව් මිනිසුන්ට වැඩ පිණිස හිත පිණිස සැප පිණිස චාරිකාවේ හැසිරෙන්න. එක් මගකින් දෙදෙනෙක් නොයන්න. මුල, මැද අග යහපත් වූ ව්‍යාංජන සහිත අර්ථ සහිත සියල්ලෙන් සපිරි පිරිසුදු බ්‍රහ්ම චරියාව ප්‍රකාශ කරන්න. (මහා වග්ග පාලි)

පොදු සමාජය වරදින් මුදා ගැනීමත් යහපතෙහි යෙදවීමත් භික්ෂු ජීවිතයට අදාළ කාර්යයක් වේ. පොදු සමාජයෙන් සිව්පසය ලබාගන්නා භික්ෂුව ආපසු පොදු සමාජයට ලබාදිය යුත්තේ මෙම ධාර්මික භාවයයි. මීට අමතරව පොදු සමාජය පිළිබඳ සංවේදිවීම හා එහි දියුණුවට කටයුතු කිරීම පැවිදි පක්ෂයට අදාළ ප්‍රධාන යුතුකමක්ද වන බව බුදුරජාණන් වහන්සේ අවධාරණය කළහ. සිඟාලෝවාද සූත්‍රයේ අනික් සමාජ කොටසකටම යුතුකම් 05 බැගින් දක්වා පැවිදි පක්ෂය සඳහා යුතුකම් 06 ක් මෙසේ දක්වා ඇත.

01. පවින් වැළැක්වීම.
02. යහපතෙහි යෙදවීම.
03. යහපත් සිතින් අනුකම්පා කිරීම.
04. නොඇසූ ධර්මය අසන්නට සැලැස්වීම
05. ඇසූ ධර්මය සැක දුරලා පහදා දීම.
06. සුගතියට මඟ කියා දීම.

පොදු ජන ජීවිතය පිළිබඳව භික්ෂුවකගේ බැඳීම හා වගකීම වඩා වැදගත් කොට සලකා ඇති බව ඉන් පැහැදිලි වේ.

 

   අධි ඇසළ පුර අටවක පෝය

අධි ඇසළ පුර අටවක පෝය ජූනි 24 වැනිදා බදාදා පූර්වභාග 3.16 ට ලබයි. 25 වැනිදා බ්‍රහස්පතින්දා 5.46 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජූනි මස 24 වැනිදා බදාදා ය.

මීළඟ පෝය
ජූලි 01 වැනිදා
බදාදා ය.
 


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජූනි 24

Full Moonපසෙලාස්වක

ජූලි 01

Second Quarterඅව අටවක

ජූලි 08

Full Moonඅමාවක

ජූලි 15


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]