UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සුව අහරින් සවිය ලබමු සවි බලයෙන් දැය නංවමු

සුව අහරින් සවිය ලබමු සවි බලයෙන් දැය නංවමු

ආහාරයෙහි අවශ්‍යතාව සෑම භේදයකින්ම තොරව සැමට පොදු වූවකි. “සබ්බේ සත්ථා ආහරට්ඨිතිකා” ලෙස බුදු දහම දක්වන්නේ එහෙයිනි. සියල්ලටම ශක්තිය බලය අවශ්‍ය වන අතර එය ලැබිය යුත්තේ ආහාරය තුළිනි. ආධ්‍යාත්මික ජීවිතය මෙන්ම සෞඛ්‍ය ජීවිතය වඩා අර්ථවත්ව පවත්වා ගැනීමට සමබර ආහාර වේලක් අවශ්‍යය. බුදු දහමෙහි ඉගැන්වෙන සේඛියා තුළින් සිදු කරනුයේ ද ආහාර රටාව හා ජීවන රටාව ක්‍රමවත් කිරීමය.

සඟරුවනට පිණ්ඩපාතය අනුදැන වදාරන්නේත්, ඇතැම්විට ධර්ම දේශනා කිරීමට පෙර දායකයන්ට ආහාර ලබාදෙන ලෙස බුදුරදුන් නියම කරන්නේද ආහාරයෙන් තොර ශක්තියක් නොමැති නිසාවෙනි. මේ ලෝකයෙහි ඇති දරුණුම රෝගය ලෙස බුදුදහම බඩගින්න හඳුන්වා ඇත්තේ ද ආහාරයෙහි අවශ්‍යතාව අනිවාර්ය බැවිනි. පොදුවේ ගත්විට ආධ්‍යාත්මික මෙන්ම (බාහිර) භෞතික දියුණුව විෂයෙහි ආහාර අත්‍යවශ්‍යය. මන්ද යත් ආහාරයෙන් තොර ශක්තියක් නොමැති බැවිනි.

ආහාරයෙහි පමණ දැන පරිභෝජනයෙහි සීමා හඳුනාගැනීම අවශ්‍යය. ආහාර අවශ්‍යවන්නේ සවිය හෙවත් ශක්තිය ලබාගැනීම සඳහා ය. ඒ සඳහා ගිජුබවක් නොදැක්විය යුතු ය. ආහාරයෙහි ගිජුවීම නිසා ශරීරයේ සමබරතාව පවා ගිලිහීයාම අනිවාර්යය. කොසොල් රජුට සිදුවූයේ එවැනි තත්ත්වයකි. බුදුරදුන්ගේ මඟ පෙන්වීම මත එයින් අත් මිදීමට ඔහුට හැකියාව සැලසුණි. තමා ශක්තිය ලබාගැනීමට ගනු ලබන ආහාර තම ආයුෂ කෙටිවීමට හේතුවන්නේ නම් එවන් ආහාර රටාවක් බුදුදහම අනුමත නොකරයි.

බුදුදහම දේශනා කරන අරියවංස, රාසිය හා කාමභෝගී යන සූත්‍ර තුළ ඉහත දැක්වූ පරිභෝජන දර්ශනය මනාව විස්තර කරයි. ආහාර පරිභෝජනයේ දී විමසුම් සහිතව පරිමාණය දැනීම අවශ්‍යය. මුළාව දැඩි ඇල්මෙන් එය නොගත යුතු ය. එසේම උතුම් ජීවිත පවත්වාගැනීමේ අරමුණ සහිතව ආහාර අනුභවය සිදුකළ යුතුවේ. එසේ නොමැති වූ විට සිදුවනුයේ පරිහානියකි. අටුවාව එය විස්තර කරනුයේ පැණි හැලියට වැටුණු ඇඹලයාටය. එසේම ආදීනව දැනගනිමින් ආහාරය ලබාගැනීම අවශ්‍යය.

ආහාර ඉහත සීමා අනුගමනය කරමින් ලබන්නේ නම් එය කාර්යක්ෂම හා ඵලදායී පිරිසක් නිර්මාණය කිරීමෙහිලා වැදගත් ය. එවිට අඩු ශ්‍රමයකින් වැඩිසහන සලසා ගැනීම පහසුවේ. පළමු රහත් 60 නම අමතා බුදුරදුන් අනුගමනය කරනුයේ මේ තත්ත්වයයි. එනම් පිණ්ඩපාතයෙන් යැපීම තුළ බොහෝ පිරිසකට ධර්ම දායාදය ලබාදීමයි. ‘චරථ භික්ඛවේ චාරිකං’ යන පාඨයෙන් එය වඩාත් හඳුනාගත හැකිය. රටක් ජාතියක් ලෙස ශක්තිමත්ව කටයුතු කිරීමේ දී සමබර ජීවිතය වැදගත් වේ. ව්‍යග්ඝපජ්ජ සූත්‍රයේ දී ‘සමජීවිකතා’ ලෙස සඳහන් වන්නේ එම තත්ත්වයයි. අය වැය සමව පවත්වා ගැනීම පරිභෝජනයේ දී ඉතා වැදගත්ය. එසේ නොමැති වූ විට, ‘අණන සුඛය’ හෙවත් ණය නොවීමේ සතුට නැතිවී යයි.

මධ්‍යම ප්‍රතිපදාව හෙවත් ආර්ය අෂ්ටාංගික මාර්ගය ලෞකික පැවැත්මටද එකසේ අදාළ කරගත හැකිය. අධික පරිභෝජනය හා නොකා නොබී නොසිට ශක්ති උත්පාදනය සඳහා පමණක් ආහාරගෙන ණය නොවී පැවතීම බුදුදහම නිරන්තරව අගය කරයි. සමජීවිකතාවට විරුද්ධ සහ නොගැළපෙන අන්ත දෙක වනුයේ අජද්ධුමාරිකා හෙවත් නොකා නොබී මිය යාම හා උදුම්බරඛාදිකා හෙවත් අතුකපා දිවුල් කන්නාසේ භුක්ති විඳීමයි. මෙම අවස්ථා දෙකම තුළ නිවැරදි භාවයක් නොමැත.

මේ ජීවිතය තුළ දියුණුව ඇතිවීම විෂයෙහි කරුණු සතරක් අවශ්‍ය බව ව්‍යග්ඝපජ්ජ සූත්‍රයේම සඳහන්ය. එය සම්පූර්ණ නොවන විටදී ශක්තිමත් ජනතාවක් බිහිනොවේ. එම කරුණු සතර මෙසේ ය.

1. උඨඨාන සම්පදාව - උත්සාහය
2. ආරක්ඛ සම්පදාව - ආරක්ෂාව
3. කල්‍යාණමිත්තතාව - කල්‍යාණමිත්‍රත්වය
4. සමජීවිකතාව වශයෙනි.

උත්සාහය මහන්සිය මෙන්ම ලබන ලද ධනය ආරක්ෂා කරගත යුතු ය. ඒ සඳහා යහපත් සමාජ සම්බන්ධතා අවශ්‍ය වේ. ඒ මත අයවැය තුලනය කරගත් ජීවිතයක් ගත කිරීම අපහසු නොවේ. මෙහිදී කරණීයමෙත්ත සූත්‍රයේ දී දක්වනු ලබන සුභරතා, අප්පිච්චතා, සන්තුට්ඨිතාව අමතක කළ නොහැක. මන්දයත් පරිභෝජනයේ දී සම්පත් සීමිත අතර මිනිස් අවශ්‍යතා අසීමිත වේ. අසීමිත වුමනාවන් ඉටුකර ගැනීමට යාමේ දී ගැටුම් ඇතිවේ. එහෙයින් ලද දෙයින් සතුටුවීම මෙන්ම පහසුවෙන් පෝෂණය කිරීමට හැකියාව තිබීම වැදගත් ය.

පරිභෝජනය අවබෝධයෙන් සිදුකළ යුතු ය. ජීවිත ක්‍රියාවලියේ අවසානය පරිභෝජනය නොවේ. මිනිස් ක්‍රියාකාරීත්වයේ අවසාන අරමුණ ආහාර නොවේ. පරිභෝජනය කරන ප්‍රමාණය මත උස් පහත් බව මැනිය නොහැකිය. උස්පහත් බව මැනෙනුයේ ආහාරයෙන් ලද ශක්තිය දියුණුව විෂයෙහි යොදා ගන්නා ප්‍රමාණය මතය.

ශ්‍රමය කැපකිරීමට අවශ්‍ය ශක්තිය ආහාරයෙන් ලැබේ. එහෙයින් ශ්‍රමය කැපනොකර අන් අයගෙන් යැපීමට උත්සාහ කිරීම පිරිහීමට හේතුවේ. දියුණුව හෝ පරිහාණිය මත එකිනෙකාගේ ශ්‍රේෂ්ඨත්වය පවතී. විවිධ වෘත්තීන් හා ක්‍රියාකාරකම් සිදුකරමින් පවතින බොහෝ පිරිසක් මේ මිහිපිට ඇත. ඒ සෑම කාර්යකදීම වඩාත් ඵලදායිව පෞද්ගලික අරමුණූ හා ජාතික අරමුණු ජයග්‍රහණය කළ යුතු ය. (කෘෂිකර්මය, වෙළෙඳාම රාජ්‍ය සේවය නිෂ්පාදනය යන ඕනෑම, ක්ෂේත්‍රයකට ඉහත කාරණාව පොදුය. මෙම කාර්යයන් විධිමත්ව සංවිධානය කළ යුතු ය. වැඩි ඵලදාවක් ලැබෙනුයේ එවිටය. එය ක්‍රියාවට නැන්වීම පිළිබඳ ව්‍යග්ඝපජ්ජ සූත්‍රයේ දී බුදුදහම පැහැදිලි කරයි. එහිදී කරුණු පහකින් මෙසේ විස්තර කරයි.

1. දක්ඛෝ - දක්ෂවීම
2. අනලසෝ - කම්මැළි නොවීම
3. තත්‍රෑපාය විමංසය – ඒ ඒ අවස්ථාවන්ට බුද්ධිමත් වීම
4. අලංකාතුං - කළ යුතු දේ තෝරා ගැනීම
5. අලංසංවිධාතුං - තෝරාගත් දේ මනාව සිදු කිරීම

ඕනෑම කාර්යක් වඩා සාර්ථකවීමට හා ඉන් වැඩි ඵලයක් ලැබීමට කාර්යෙහි නියුක්තවන්නන් දක්ෂ විය යුතු ය. යමක් කිරීමට නොව වඩා හොඳින් සිදුකිරීම අවශ්‍යය. ආයතනයන්හි කළමනකාරීත්වය මේ පිළිබඳව සැළකිලිමත් වීම වැදගත් ය. දක්ෂභාවය සමගම අනලස්භාවය අවශ්‍යය. පිරිහීමේ දොරටු අතරද අලසකම එකකි. ධනවිනාශමුඛයන් තුළ එක් විනාශ මුඛයකි. ඇතැම් අලසයන් කෑම අඩුය දැන් බඩ පිරී වැඩිය. සිතා තම ශක්තිය අපතේ හරියි. එහෙයින් අනලස්ව ලබන වේතනයට සරිලන සේවාවන් සිදුකිරීමට වගබලාගත යුතු ය.

විමසිලිමත්වීම හෙවත් ඒ ඒ අවස්ථාවන්ට ගැළපෙන ලෙස බුද්ධිමත්වීම තවත් ප්‍රධාන කාර්යයකි. එසේ නොමැති වූ විට සම්පත් අපතේයාම හා වැඩිකාලයක් භුක්තිවිඳිය හැකි සම්පත් ඉක්මනින් විනාශ විය හැකිය. එය එසේ නොවීමට නම් අවස්ථාවට අනුරූපව බුද්ධිය මෙහෙය වීම වැදගත් වේ.

වඩා අර්ථවත් ක්‍රියාකාරකම් සඳහා ශක්තිය කළමනාකරණය කරගනිමින් යෙදවීම වැදගත්ය. වඩා ඉක්මණින් කළයුතු දෑ සඳහා ප්‍රමුඛත්වයක් ලබාදිය යුතු ය. කාර්යක්ෂමතාව පමණක් වැදගත් නොවේ. ඵලදායිතාවක් අවශ්‍යය. එය දීර්ඝ කාලීන විය යුතු ය. එදා වේල ගැන පමණක් සිතීම කළයුතු දේ තෝරාගැනීම නොවේ. කරන සෑම කාර්යක්ම ආර්ථික ලාභය පමණක් ඉලක්ක කරගැනීම දියුණූව ලෙස අරුත්ගැන්විය නොහැකිය. සදාචාරයට පරිසරයට මිනිස් පැවැත්මට අවැඩදායක ක්‍රියාකාරකම් තුළින් ඉවත් විය යුතු ය. යෝග්‍ය සුදුසු කටයුතු තීරණය කර තෝරාගැනීම අවශ්‍යය. එවිට ඇතිවන දියුණුව තිරසාර වේ.

මනාව කටයුතු සම්පාදනය කිරීම මෙහිදී අවධාරණය කරන අවසාන කාරණයයි. ඒ සඳහා භෞතික කාරණා මෙන්ම මිනිස් දින චරියාව හැඩගස්වා ගන්නා ආකාරය වැදගත් වේ. බුදුරදුන් හතළිස්පස් වසරක් වැනි කෙටිකාලයක් තුළ ගොඩනැඟූ සාසනය 2600 වසරක්ම නොනැසී පැවතීමේ රහසද එයමය. උන්වහන්සේ තුළ භික්ෂූන් හැසිරවීමේ මනා නිපුණත්වය හා වැඩ බෙදීම සරලම උදාහරණය වේ. වර්තමානයේ සම්පත් කළමනාකරණය ලෙස දක්වනුයේ එම තත්ත්වයයි. පුද්ගලයන් සතුටු කිරීමට නොව රැකියාව අවශ්‍ය පුද්ගලයෙකු තෝරා ගැනීම මනා සංවිධානයයි. සෑම කාරණාවකටම මිල නියම කිරීමෙන් පමණක් සෑහීමකට පත්නොවිය යුතු ය. භෞතික සම්පත් මෙන්ම මානව සම්පත් පිළිබඳ වටිනාකම හඳුනාගත යුතු ය.

 

   අධි ඇසළ පුර අටවක පෝය

අධි ඇසළ පුර අටවක පෝය ජූනි 24 වැනිදා බදාදා පූර්වභාග 3.16 ට ලබයි. 25 වැනිදා බ්‍රහස්පතින්දා 5.46 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජූනි මස 24 වැනිදා බදාදා ය.

මීළඟ පෝය
ජූලි 01 වැනිදා
බදාදා ය.
 


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජූනි 24

Full Moonපසෙලාස්වක

ජූලි 01

Second Quarterඅව අටවක

ජූලි 08

Full Moonඅමාවක

ජූලි 15


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]