UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

උපෝසථ අෂ්ටාංගික ශීලය සමාදන් විය යුත්තේ ය

උපෝසථ අෂ්ටාංගික ශීලය සමාදන් විය යුත්තේ ය

ලොව්තුරා තථාගතයන් වහන්සේ සත්වයා දුකින් දුකට පත්වන ආකාරය සහ දුකට පත්වන සත්වයා දුකින් මුදාලීමට අවශ්‍ය කාරනා දේශනා කොට වදාරන ලද්දේ තමන් වහන්සේ බුදු නුවණින් සත්‍ය වශයෙන්ම දැන ගැනීමෙන් අනතුරුවය. ලෙඩදුක් වීමෙන්, මරණයට පත්වීමෙන් අවශ්‍ය ප්‍රමාණයට ධනය නොලැබීමෙන්, වාසය කිරීමට සුදුසු නිවහනක් නොලැබීමෙන්, ඉෂ්ටවේ යයි සිතා සිටින දෑ ඉෂ්ඨ නොවීමෙන් මනුෂ්‍යයන් දුකට පත්ව සිටින අතර, මේ ආකාර දුකින් මිදීමට නොයෙකුත් ආකාරයේ පුද පූජා, කන්නලව් ආදියට බෞද්ධයන් යොමුවීම මේ වකවානුවේ දී සුලභව අසන්නට, දකින්නට ලැබෙන කරුණුය.

පංචසීලය ආරක්ෂා කිරීමෙන්, සිල් ආරක්ෂා කරන්නා හට අවශ්‍ය ප්‍රමාණයටත් වඩා ධන ධාන්‍ය ලැබෙන බවත්, කීර්තිමත් පුද්ගලයෙක් වන බවත් නොපැකිලිව ඕනෑම සභාවක ඉදිරියේ දී තම අදහස් නිර්භයව ප්‍රකාශ කිරීමට අවශ්‍ය අධිෂ්ඨාන ශක්තියක් ඇති පුද්ගලයෙක් වන බවත්, මරණාසන්නයේ දී සිහිමුලා නොවී මරණයට පත්වන බවත්, මරණින් මතු සුගති ලෝකවල උපදින බවත්, මහා පරිනිර්වාණ සූත්‍රයේ දී බුදු හිමියන් විසින් මනාව පැහැදිලි කොට දී ඇත. මේ අනුව මෙලොව සැප විපාක ලබාදෙන කුසලයන් පන්සිල් රැකීමෙන් ලබාගත හකි බව ඥානවන්ත බෞද්ධයෙකුට තේරුම් ගත හැක.

නිවන් මග සතර මග, සතර ඵල, පිළිවෙලින් අවබෝධ කරගත යුතු ය. බෞද්ධයන් වශයෙන් මෙලොව සැප විපාක ලබාගනිමින් කොතෙක් මෙලොව සැප වින්දත්, අවසානයේ දී මිය පරලොව ගොස් නැවත නැවත ඉපදීමේ දුක්වලින් මිදීමට පන්සිල් ආරක්ෂා කිරීම ප්‍රමාණවත් නොවන බව දැන ගත යුතු ය. බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම නම් මෙම නැවත ඉපදීම නැති කළයුතු ආකාරයේ පින්කම් කිරීමට බෞද්ධයන් අධිෂ්ඨාන කරගත යුතු බවයි. මේ අනුව නැවත ඉපදීම නැතිකළ මහරහත් වහන්සේලා විසින් ජීවිතාන්තය දක්වා ආරක්ෂා කළ “ආර්ය කාන්ත සීලය” සමාදන් විය යුතුමය. මෙම සිල්පද ආරක්ෂා කිරීම නිසා ලැබෙන ආනිශංස දැනගෙන ඒ අනුව බෞද්ධයෙක් වශයෙන් ලබා ගත යුතු ඒ නැවත ඉපදීම නැති කිරීමට අවශ්‍ය මූලික කරුණු, අප සම්පාදනය කර ගත යුතු ය.

උපෝසථ අෂ්ටාංග සීලය, බොහෝ බෞද්ධයන් දින භාගයකට සීමා කරගෙන ඇති අතර මෙයින් ශීලය සම්පූර්ණ නොවන බව එම බෞද්ධයන් නොදන්නා කරුණකි. මෙය සිදුව ඇත්තේ සිල් පද වල ඇති කරුණු, පාලි භාෂාවෙන් පමණක් කියවීම නිසා බව පැහැදිලිය. මේ නිසා උපෝසථ අෂ්ඨාංග ශීලය සමාදන් වීමේ දී සිල්පද වල සඳහන් කරුණු සිංහල භාෂාවෙන් කියවීමෙන් තමන්ගේ ශීලය පිළිබඳ දැනුම දියුණුකරගෙන බෞද්ධයන් බලාපොරොත්තු වන අඩුම තරමින් නැවත ඉපදීම භව හතකටවත් සීමා කිරීම කර ගැනීම වන සෝවාන් තත්ත්වයට පත්වීමට අවශ්‍ය කරුණු මෙම සිල් ආරක්ෂා කිරීමෙන් ලබා ගැනීමට උත්සාහවන්ත විය යුතු යි. උපෝසථ අෂ්ටාංග සීලය සිංහල භාෂාවෙන් සමාදන් වීමේ දී පහත ඇති වෙන ආකාරයට එය ප්‍රකාශ කිරීමෙන් සිල් පදවල අඩංගු කරුණු තේරුම් ගැනීමට, හා ඒවා ආරක්ෂා කිරීමට අප පෙළෙඹෙනු ඇත.

බුදුරජාණන් වහන්සේගේ සිතෙහි ආශාව, තරහ සහ මෝහ සිතිවිලි නොඉපදෙන හෙයින් ද, නැවත විපාක දෙන කම් රැස් නොකරන හෙයින් ද, රහසින්වත් පව් නොකරන හෙයින් ද සියලු දෙවියන්ගේ සහ මනුෂ්‍යයන්ගේ පූජා සත්කාරවලට සුදුසු වන හෙයින් ද, දුක්ඛ, සමුදය, නිරෝධ මාර්ග යන චතුරාර්ය සත්‍යයන් තමන් වහන්සේ විසින් අවබෝධ කළාවූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා.

දෙවනුව ද මාගේ නමස්කාරය වේවා.
තෙවනුවද මාගේ නමස්කාරය වේවා.

නැවත හටගැනීම් නැතිකර ගැනීමට පිළිපැදිය යුතු කරුණු ඇතුළත් ආර්ය අෂ්ටාංගික මාර්ගය දේශනා කළ බුදුරජාණන් වහන්සේ සරණ යමි. බුදුරජාණන් වහන්සේ දේශනා කළ නැවත ඉපදීම නැති කිරීමට පිළිපැදිය යුතු මාර්ගය වන ආර්ය අෂ්ටාංගික මාර්ග සරණ යමි. එම ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සඳහන් ධර්ම කරුණු පිළිපැදීමෙන් නැවත ඉපදීම නැතිකළ මහා සංඝරත්නය සරණ යමි. දෙවනුවද? බුදුරජාණන් වහන්සේ සරණ යමි, ධර්මය සරණ යමි, සංඝරත්නය සරණ යමි, තෙවනුවද මම සරණ යමි.

1. මහ රහතන් වහන්සේලා ජීවිතාන්තය දක්වා, සතුන්ට හිංසා කිරීමෙන් සහ සත්ව ඝාතනයෙන් වැළක්කාහ. මම ද මේ පැය විසි හතර තුළ දී, මහරහතන් වහන්සේලා අනුව හැසිරෙමි. මහ රහතන් වහන්සේලා කරන ලද දෙයම කරමි.

2. මහ රහතන් වහන්සේලා ජීවිතාන්තය දක්වා, නොදුන්දෙය ගැනීමෙන් වැළැක්කාහ. මම ද මේ පැය විසිහතර තුළ දී, මහ රහතන් වහන්සේලා අනුව හැසිරෙමි. මහරහතන් වහන්සේලා කරන ලද දෙයම කරමි.

3. මහරහතන් වහන්සේලා ජීවිතාන්තය දක්වා, ස්ත්‍රී, පුරුෂයන්ගේ ලාමක හැසිරීම්වලින් වෙන්ව වාසය කළහ. මම ද මේ පැය විසිහතර තුළ දී මහරහතන් වහන්සේලා අනුව හැසිරෙමි. මහරහතන් වහන්සේලා කරන ලද දෙයම කරමි.

4. මහරහතන් වහන්සේලා ජීවිතාන්තය දක්වා, බොරු කීමෙන්, කේලාම් කීමෙන් පරුෂ වචන කීමෙන්, හිස් වචන කීමෙන් වැළැක්කාහ. මම ද මේ පැය විසි හතර තුළ දී මහ රහතන් වහන්සේලා අනුව හැසිරෙමි. මහරහතන් වහන්සේලා කරන දෙයම කරමි.

5. මහරහතන් වහන්සේලා ජීවිතාන්තය දක්වා, මනස විකෘති කරන්නාවූ මත් ද්‍රව්‍ය පානයෙන් හා පරිහරණයෙන් වැළැක්කාහ. මම ද මේ පැය විසිහතර තුළ දී ද, මහරහතන් වහන්සේලා අනුව හැසිරෙමි. මහරහතන් වහන්සේලා කරන ලද දෙයම කරමි.

6. මහ රහතන් වහන්සේලා ජීවිතාන්තය දක්වා, ඉර අවරට යාමේ මොහොතේ සිට නැවත ඉර නැගීම දක්වා කාලය තුළ ආහාර ගැනීමෙන් වැළැක්කාහ. මම ද මේ පැය විසි හතර තුළ දී, මහරහතන් වහන්සේලා කරන ලද දෙයම කරමි.

7. මහරහතන් වහන්සේලා ජීවිතාන්තය දක්වා, අකුශල පක්ෂයට නැඹුරුවන, නැටීම්, ගැයීම්, වැයීම් කිරීමෙන්ද, කරවීමෙන්ද, බැලීමෙන්ද, ඇසීමෙන් ද, මල්, සුවඳ විලවුන් ආදියෙන් ශරීරය සුවඳ කිරීමෙන්ද, වර්ණවත් කිරීමෙන් ද, ශරීරයෙහි හා ඇඳුම්වල අඩුතැන් පුරවා සැරසීමෙන්ද වැළැක්කාහ. මම ද මේ පැය විසි හතර තුළ දී, මහරහතන් වහන්සේලා කරන ලද දෙයම කරමි.

8. මහරහතන් වහන්සේලා ජීවිතාන්තය දක්වා, රියන් එකහමාරට වැඩිවූ උස්, අසුන් සහ සම්මත මහා ආසන පරිභෝජනයෙන් වැළැක්කාහ. මම ද මේ පැය විසිහතර තුළ දී, මහ රහතන් වහන්සේලා කරන ලද දෙයම කරමි.

මේ සමඟ මේ සිල් ආරක්ෂා කරන පැය විසිහතර තුළ දී නොකළ යුතු දෙතිස් කථාවක් ද දක්වා ඇත.

ඉර අවරට ගොස් නැවත ඉර නැගීම අතර කාලය තුළ දී පහත සඳහන් පානයන් පමණක් ගැනීම සිල්පද ආරක්ෂා කිරීමට ප්‍රමාණවත් ආහාරයක් වේ.

අනුමත අෂ්ඨ පානයන්

1. අඹ යුෂ පානය
2. ජම්බු යුෂ පානය
3. ඇට කෙසෙල් යුෂ පානය
4. වෙනත් කෙසෙල් යුෂ පානය
5. අමු මිදි යුෂ පානය
6. වියළි මිදි යුෂ පානය
7. හෝලු ගෙඩි යුෂ පානය
8. මසන් ගෙඩි යුෂ පානය

මේ අනුව මසකට, සතර පොහොය දිනවලදී මේ ආකාරයෙන් ඉහත ශීලය සම්පූර්ණ කරන බෞද්ධයාට අනිවාර්යයෙන්ම මෙම ගෞතම බුද්ධ ශාසනයෙන් ලබාගත හැකි ඉහළම ලාභය ලබාගැනීමට හැකිවේවා.

තෙරුවන් සරණයි!

 

 

   අධි ඇසළ පුර අටවක පෝය

අධි ඇසළ පුර අටවක පෝය ජූනි 24 වැනිදා බදාදා පූර්වභාග 3.16 ට ලබයි. 25 වැනිදා බ්‍රහස්පතින්දා 5.46 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජූනි මස 24 වැනිදා බදාදා ය.

මීළඟ පෝය
ජූලි 01 වැනිදා
බදාදා ය.
 


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජූනි 24

Full Moonපසෙලාස්වක

ජූලි 01

Second Quarterඅව අටවක

ජූලි 08

Full Moonඅමාවක

ජූලි 15


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]