UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

විවිධ චරිත හා චිත්තවේග පාලනය

විවිධ චරිත හා චිත්තවේග පාලනය

සසර නිවීම සඳහා භාවනා කිරීම බුද්ධෝපදේශයයි. භාවනා කිරීමේදී යෝගාවචරයාට චරිතානුකූලව කමටහන් දීම සුදුසු පිළිවෙතයි. බුදු දහමට අනුව සෑම පුද්ගලයකුටම එකම ක්‍රමයකට භාවනා නූගන්වයි. විවිධ චරිත ලක්ෂණ තිබෙන පුද්ගලයන් සිටින හෙයින් එකී පුද්ගල චරිතටයන්ට ගැළපෙන ආකාරයෙන් භාවනාරම්මණ නියම කොට තිබේ. පෙර භවයෙන් වත්මන් භවයට එන වාසනා ගුණ නිසා පුද්ගල වේමත්තතාව ඇති වී තිබේ. ඔවුනොවුන්ගේ සන්තානගත උපක්ලේශ අඩු වැඩි වීම නිසා ගති ලක්ෂණ විවිධ වෙයි. සමහර අයෙක් නිර්ලෝභී වන අතර තවෙකෙක් ලෝභී වෙයි. තවෙකෙක් මානාධික වන අතර තවෙකෙක් නිහතමානී වේ.

තවකෙකු සතුව සොරකම, බොරුව, වංචාව, කේලාම්කීම, පරුෂ වචනය, කුහකකම තිබෙන අතර තවකෙකු එකී චර්යාවන් අපි‍්‍රය කරයි. පුද්ගලයාගේ වාසනා ගුණවල අඩු වැඩිතාව නිසා සසර දීර්ඝ කාලයක් නරක ක්‍රියාවල යෙදුණු අයගේ වත්මන් භවය තුළ නරක ක්‍රියාවෙහි ආශක්ත වීම දක්නට ලැබේ’. සසර හොඳ ක්‍රියාවෙහි යෙදුණු නිතර හොඳ ක්‍රියාවන් සිදු කරයි. නරක දෑ කෙරෙහි ලජ්ජා බිය සහිතව ක්‍රියා කරයි. පුද්ගල චරිතවල විෂමතා හේතුවෙන් භාවනා ආරම්මණ දීමේදී චරිත විශ්ලේෂණය හඳුනාගත යුතුය. එහිදී හමුවන්නේ පැතලි රචිත නොව සංකීර්ණ පුද්ගල චරිතයන්ය. සුපැහැදිලි චරිත ලක්ෂණවලින් යුත් චරිත හයක් මුල්කරගෙන චරිත රාශියක් හමුවෙයි. 01. රාග චරිත ,02. දෝස චරිත ,03. මෝහ චරිත, 04. සද්ධා චරිත, 05.බුද්ධි චරිත ,06. විතක්ක චරිත, සංකීර්ණ වූ පුද්ගල චරිතවල ඔවුනොවුන්ගේ චරිතානුකූලව වර්ග කළද එහි ප්‍රධාන ලක්ෂණ හා මිශ්‍ර ලක්ෂණ බොහෝ විට ඉස්මතු වන අවස්ථා දක්නට ලැබේ. මෙම චරිතවල තිබෙන චිත්තවේගී ලක්ෂණ හඳුනාගෙන ඒ ඒ චරිත පාලනය සඳහා සුදුසු කර්මස්ථාන තිබේ. චිත්තවේග පුද්ගල චරිත තුළ මිශ්‍රව ඇති හෙයින් විමුක්ති මග්ගයේදී චරිත දාහතරක් දක්නට ලැබේ. රාග චරිත. ද්වේශ චරිත. මෝහ චරිත, ශ්‍රද්ධා චරිත, බුද්ධි චරිත, විතර්ක චරිත, රාගද්වේශ චරිත, රාගමෝහ චරිත, ද්වේශමෝහ චරිත, රාග ද්වේශ මෝහ චරිත. ශ්‍රද්ධාබුද්ධී චරිත, ශ්‍රද්ධාවිතර්ක චරිත, බුද්ධිවිතර්ක චරිත, ශ්‍රද්ධාබුද්ධිවිතර්ක චරිත මෙම චරිතවල පවත්නා මිශ්‍ර චරිත ස්වභාවයන් පිළිබඳ නොසිතා ප්‍රධාන චරිත ලක්ෂණ දෙස බැලූ විට විමුක්ති මග්ගය ද චරිත හතක් ලුහු කොට දක්වයි. විසුද්ධි මග්ගයේදී චරිත හයත් ඊට අමතර “මිස්සක චරිත” යනුවෙන් චිත්තවේග මිශි‍්‍රත චරිත ලෙස තණ්හා , මාන හා දිට්ඨී වශයෙන් චරිත කීපයක් හමුවෙයි. මෙම පුද්ගල චරිත පාලනය සඳහා ඔවුනොවුන් සතු චිත්තවේගීය ලක්ෂණවලට සුදුසු වූ කර්මස්ථාන ඉතාම වැදගත් වෙයි. රාග චරිතය සතු පුද්ගලයාගේ ප්‍රධාන චිත්තවේගීය ලක්ෂණය වන්නේ රාගාධික වීමයි. ඔහුගේ චර්යා ලක්ෂණවලින් ඒ බව පෙනෙයි. “රාගයා මූලික වු අරමුණෙහි වාසය කරයි” රාගය මූලික වූ අරමුණෙහි ඇළී වාසය කිරීම රාග චරිතයෙදී ප්‍රකටව පෙනෙන චිත්තවේග වශයෙන් හඳුනා ගැනීමට පුළුවනි. රාග චරිතයක් තිබෙන පුද්ගලයා මිහිරි ආහාර පි‍්‍රය කරයි. සිත් ඇදගන්නා පරිසරයක් තුළ ජීවත් වීමට ආශාව ඔහු සතු වෙයි.රාග චරිතය පාලනය සඳහා සුදුසු පරිසරය හා අරමුණ වන්නේ,”අපිරිසුදු ස්ථාන සතු මහල් නොමැති, බිත්තිවල සිතුවම් නොමැති ස්ථාන හා තණ කොළවලින් කළ අසුන්, පන්සල් හා ඉරියව් වශයෙන් පර්යංකය , සක්මන හා අරමුණ වශයෙන් දස අසුභ, කායගතා සතිය. නීල කසිණය මෛත්‍රි කර්මස්ථාන සුදුසුය. ද්වේශ චරිත ලක්ෂණ හිමිවන්නේ පූර්ව භවයේදී කල කෝලාහල බහුල වශයෙන් සිදුකිරීමේ ප්‍රතිඵල වශයෙන් වත්මන් භවයේ ද්වේශ චරිත ලක්ෂණ ඉස්මතු වෙයි. ඔහු නිතර ද්වේශයෙන් සිටී. සියුම් දෙයෙහි පවා දේවශාග්නිය ඇවිලී කෝපාවිෂ්ඨ ව කටයුතු කරයි. ද්වේශ චරිතයේ ලක්ෂණ වන්නේ ද්වේශාධික වීමයි. ඉරියව් විෂමය.

පාලනය සඳහා සුදුසු ස්ථාන හා ඉරියව් මෙන්ම අරමුණු වන්නේ, “උස් නො වූ ද මිටි නොවූ ක්‍රමානුකූලව සැකසූ ස්ථාන , සිත් ගන්නා දේ ඉරියව් වශයෙන් නිදාගැනීමත්, හිඳගැනීමත්, සුදුසු වෙයි. අරමුණු වශයෙන් නීල, පීත,ලෝහිත හා ඕදාත යන වර්ණ කසින හා සතර බ්‍රහ්ම විහාර සුදුසුය.” ද්වේශ චරිතය සතු පුද්ගලයා නිරන්තරයෙන්ම “ද්වේශ සහගත අරමුණුවල හා චර්යාවන්වල යෙදේ,ආහාරපාන ගැනීමේ රූක්ෂ වූ කටුක ආහාර පි‍්‍රය කරයි. පූර්ව භවවල බහුල වශයෙන්ද මත්ද්‍රව්‍ය පාවිච්චි කිරීම හා ධර්ම ශාස්ත්‍රඋද්ග්‍රහණය නොකිරීමේ ප්‍රතිඵල වශයෙන් වත්මන් භවයේදි මෝහ චරිත ලක්ෂණ ඉස්මතු වෙයි. ගමන් කරන විට එහි අපිළිවෙළ දක්නට ලැබේ. නොසන්සුන්ය. ස්ථීරසාර අරමුණක් නොමැත.අනන්‍යයන්ගේ අරමුණුවල එල්බගනී. අලසකම නිතර පවතී. සැකයෙන් හා මිත්‍යාවෙන් ජීවත්වීම මෝහ චරිතයේ පොදු සුලක්ෂණ වෙයි.මොහුගේ චරිත පාලනය සඳහා සුදුසු ස්ථාන මෙන්ම ඉරියව් හා අරමුණු වන්නේ “විවෘත ස්ථාන ඉරියව් වශයෙන් සක්මන් කිරීම අරමුණ වශයෙන් ආනාපනාසතිය සුදුසු වෙයි” මෝහ චරිතයා නිරන්තරයෙන්” මුලාවීම් බහුලව අරමුණුවල තැතිගෙන හැසිරෙයි” ඔහු මුග්ධ ස්වභාවයෙන් කටයුතු කරයි. ශ්‍රද්ධා චරිතය සතු පුද්ගලයා ශ්‍රද්ධාධිකය. “රාග චරිතයට හිමි ලක්ෂණ මොහු සතු වෙයි” බුද්ධානුස්සතිය වැඩීම සුදුසු වෙයි. ශ්‍රද්ධා චරිතය නිරන්තරයෙන් “අධික වූ විශ්වාසයෙන් යුතුව වාසය කරයි”එමෙන්ම තෙරුවන් කෙරෙහි ඇලුම්කරයි. දීමට කැමතිය. බුද්ධි චරිත සතු පුද්ගලයාගේ නුවණ අධිකය. මොහු ආහාරයේ ප්‍රමාණය දැන ආහාර ගනී. සතියෙන් යුක්තව කටයුතු කරයි. ද්වේශ චරිතයට දක්වන ලද ලක්ෂණ බුද්ධ චරිතය සතු වෙයි, කුමන ස්ථානයක් වුවත් බුද්ධි චරිතයට ගැළපේ, බුද්ධි චරිතය. “නුවණාධිකවීම නිසාම ඤාණ චරිත යනුවෙන් හඳුන්වයි. නුවණ මුල් කොට කටයුතු කරන නිසා ඔහුට සුදුසු වන්නේ මරණසති, උපසමානුස්සති, චතුධාතුවවත්තාන හා ආහාරෙ පටික්කූලසංඥා ආදි කර්මස්ථානයන්ය, විතක්ක චරිත සතු පුද්ගලයාට ස්ථීර ක්‍රියාවක යෙදීම අපහසුය. ඔහුට “විවෘත ස්තාන,ආරාම , වන, පොකුනු , ගම් , නියම්ගම්, ජනපද සුදුසු නොවේ’. ගිරි. ගුහා ස්ථාන වශවෙන්ද අරමුණු වශයෙන් විශාල අරමුණූ සුදුසු නොවේ. “ විතක්ක චරිතය, විතර්කනය, රැස්කිරීම හා කල්පනා කිරීම මුල් කොට වාසය කරයි” මෙම සයාකාර වූ පුද්ගල චරිත විශ්ලේෂනයෙන් ඔවුනොවුනගේ ජීවන ස්වභාවය මත පිහිටා චරිත විභේදනය සිදු කොට තිබෙන බව පෙනේ. සෑම චරිතයක්ම පාලනය සඳහා භාවනා වැඩීමට සුදුසු ස්ථාන ඉරියව් හා අරමුණු නිවැරදි ලෙස හඳුනා ගැනීම, සුවිශේෂ වෙයි. මානව සමාජය මෙසේ හඳුනාගෙන පුද්ගල චරිත හයකට වෙන්කර එකී චරිතවල කැපීපෙනෙන මූලික ලක්ෂණ තුළින් චිත්තවේග පාලනය කළ හැකිය. එකි පාලනයට මාර්ගය වන්නේද පුද්ගල චරිත විශ්ලේෂණයයි.

 

 
බක් පුරඅටවක පෝය

බක් පුරඅටවක පෝය මාර්තු මස 27 වැනිදා සිකුරාදා පූර්වභාග 0.54 ට ලබයි. 28 වැනිදා සෙනසුරාදා පූර්ව භාග 1.42 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මාර්තු මස 27 වැනිදා සිකුරාදාය.

මීළඟ පෝය
අපේ‍්‍රල් මස 03 වැනිදා සිකුරාදාය.

 


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

මාර්තු 27

Full Moonපසෙලාස්වක

අප්‍රේල් 03

Second Quarterඅව අටවක

අප්‍රේල් 12

Full Moonඅමාවක

අපේ‍්‍රල් 18


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]