UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
94-11-2429598, 94-11-2429429

ෆැක්ස්:
94-11-2429329, 94-11-2449069

ඊමේල්:
[email protected]

බක් පුර අටවක 2015.03.27

පැසසිය යුතුය

නාගතයේදී වැඩිහිටියෙකු බවට පත් වනුයේ වත්මන්හි වෙසෙන දරුවාය. එබැවින් අද දරුපරපුර හෙට දිනයේදී වැඩිහිටි පරපුර බවට පත්වේ. දරුපරපුර රටක ජීවනාලිය බඳුය. එසේ ජීවනාලිය බවට පත්වන දරු පරපුර දැනුමෙන් පෝෂණය විය යුතුය. දැනුම හෙවත් ඤාණය මෙන්ම ගුණ දහම් මඟින්ද දරුවා පෝෂණය කළ යුතුවෙයි. නැණ ගුණ පිරි දරුවා හැමවිට සමාජයට සලසනුයේ ඉමහත් සේවයකි. වෙසෙසින්ම දරුවාගේ බුද්ධිය වර්ධනය කරන කේන්ද්‍රස්ථානය පාසලය.

පන්සල කුඩා දරුවාගේ සිට වැඩිහිටියා දක්වා සෑම තරාතිරමකම සෑම වයස් කාණ්ඩයකම අය ඒකරාශි වන ගුණ දහමේ කේන්ද්‍රස්ථාන යයි. ගුණ දහම් වගාවේ කේන්ද්‍රස්ථානය වන පන්සල ඉතා නිහඩ පරිසරයක පිහිටි ආදර්ශවත් ස්ථානයකි. පන්සලේ වැඩ වසන ස්වාමින් වහන්සේ ගම්වැසියන්ට අර්ථයෙන් ධර්මයෙන් අවවාද අනුශාසනා කරන මාර්ගෝපදේශකයන් වහන්සේ වෙති.

මේ අනුව පාසලත්, පන්සලත්, සමාජය වෙත සිදු කරනුයේ යුග මෙහෙවරකි. පාසලත්, පන්සලත් සිදු කරන සේවය කියා හෝ ලියා සීමා කළ හැකිද නොවේ. පාසලේ අධ්‍යාපනය ලද ශිෂ්‍යයා තමා කවර තනතුරක් දැරුවද ඒ ගුරුභූමියට දක්වනුයේ මහත් ගෞරවයකි. දැනුම් සාගරයෙන් තම ශක්ති පමණින් දැනුමෙන් පෝෂණය වූ ගුරු භුමියට දක්වන්නේ අපමණ ගෞරවයකි. ඒ දැනුම ලබාගැනීමට සෙවන දුන් පාසලට මෙන්ම ගුරුභවතුන් වෙතද එසේ කළ ගුණ සලකනුයේ අන් කිසිදු ලාභාපේක්ෂාවකින්ද තොරව ගුරු භූමියේහි සවිය සිතටත්, ගතටත් නිරතුරුවම දැනෙන බැවිනි.

පාසලේ අධ්‍යාපනය ලබන ශිෂ්‍යයා පාසලටත් ගුරු භවතුන්ටත් ගෞරව උපහාර දක්වන්නාසේම පන්සලේ ස්වාමින් වහන්සේගේ ඇසුර ලබමින් සිය ජීවිතය ගුණ දහමෙන් පෝෂණය කර ගත් තැනැත්තා පන්සලට මෙන්ම ස්වාමීන් වහන්සේ වෙතද දක්වනුයේ අපමණ ගෞරවයකි. ඒ ගුණ දහම් මඟ කියාදීමට කෘතෝපහාර ලෙසය. විහාරස්ථානය ඇතුළු ආගමික ස්ථාන සිදුකරන මෙහෙවර අගය කළ යුතුවේ.

මේ අයුරින් කල්පනා කර බලන විට පාසලත්, පන්සලත්, ආගමික ස්ථානත් සිදු කරන මෙහෙවර පරපුරෙන් පරපුරට සදාමතකයේ රැඳෙන සුවිශේෂි මෙහෙවරක්ම ඉටුකරනු ලැබේ.

බෞද්ධයාගේ නිත්‍ය ශීලය පංචශීලයයි. දිනපතා උදේ සවස පන්සිල් සමාදන් වෙමින් පංච ශීල ප්‍රතිපදාව ආරක්ෂා කිරීමට බෞද්ධයා නිරන්තරයෙන්ම හුරු පුරුදු වී සිටියි. පංච ශීලයේ දැක්වෙන පස්වන සිල් පදය “සුරා මේරය මජ්ජපමාදට්ඨානාවේරමණී සික්ඛාපදං සමාදියාමි” යන්න බව බෞද්ධ කුඩා දරුවන් පවා කටපාඩමින් දන්නා සිල් පදයකි. සුරාවෙන් වැළකීම යහපත් සෞඛ්‍ය සම්පන්න ජීවිතයකට මඟ පාදන්නකි. තමාගේ එබඳු වැරැදි පැවැතුම් හේතුවෙන් නිරෝගී සිරුරක් වුවද රෝගී විය හැකිවේ. පැමිණෙන රෝග පීඩාදියෙන් ඈත්ව නිරෝගීමත් සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කිරීමට රටපුරා ආරෝග්‍යශාලා වෙතින් රජය කෝටි සංඛ්‍යාත මුදල් වැය කරමින් සුව සේවයට පහසුකම් නොමිලයේ සපයනු ලැබේ. එහෙත් එබඳු සේවයකදී නොමිලයේ සපයනු ලබන සේවාව තුළින් තමන්ගේ වැරැදි පැවැත්ම නිසා රෝගාබාධ හටගැනීමෙන් අසරණ රෝගීන් වෙත වැය කළ යුතු ඖෂධ , වෛද්‍ය සේවය පවා මනුෂ්‍යයාගේ වැරැදි පැවැත්මෙන් රෝගී වුවකු වෙත වැය කිරීමට සිදුවේ. මත්වතුරට හා මත්ද්‍රව්‍යයට යොමුවී ස්වකීය ජීවිතයේ නිරෝගිමත් බව ආරක්ෂා කර නොගැනීමෙන් ඇතැම්විට අකාලයේ තම ජීවිතයෙන් පවා සමුගැනීමට සිදුවේ. ධන හානිය පමණක් නොව සමාජ අපවාදද එබඳු අයට අපමණය.

සුරා බඳු ආඥා පනතේ නියමයන් උල්ලංඝනය කරමින් නීති විරෝධි ලස දිවයින පුරා පාසල් විහාරස්ථාන සහ ආගමික ස්ථානවලට මීටර් පන්සියයක් ඇතුළත පවත්වාගෙන යන සුරාසැල් වසා දැමීමට කටයුතු කරන ලෙස ජනාධිපතිතුමා සුරාබදු කොමසාරිස් ජනරාල්වරයාට උපදෙස් දුන් බව පසුගියදා වාර්තා විය. එලෙස පවත්වාගෙන යන පුරාසල් 349 ක් පිළිබඳව ඒ වන විට තොරතුරු අනාවරණය වී ඇති අතර ඉකුත්දා සිට ක්‍රියාත්මක වන පරිදි ඒවා වසා දැමීමට වහාම පියවර ගන්නා ලෙස ජනාධිපතිතුමා උපදෙස් දුන් බවට වාර්තා විය. දැයක් විනාශ මුඛයට ඇද දමන මත්වතුර මත්ද්‍රව්‍ය භාවිතය වැලැක්වීමට අදාළ පියවර ගැනීම පැසසිය යුතුය.

 

 
බක් පුරඅටවක පෝය

බක් පුරඅටවක පෝය මාර්තු මස 27 වැනිදා සිකුරාදා පූර්වභාග 0.54 ට ලබයි. 28 වැනිදා සෙනසුරාදා පූර්ව භාග 1.42 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මාර්තු මස 27 වැනිදා සිකුරාදාය.

මීළඟ පෝය
අපේ‍්‍රල් මස 03 වැනිදා සිකුරාදාය.

 


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

මාර්තු 27

Full Moonපසෙලාස්වක

අප්‍රේල් 03

Second Quarterඅව අටවක

අප්‍රේල් 12

Full Moonඅමාවක

අපේ‍්‍රල් 18


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]