UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

වෑගම පියරතන නා හිමි

මහාවිහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ සත්කෝරළ මහ දිසාවේ ද්විතීය සංඝ නායක පදවිය හා සද්ධර්ම කීර්ති ශ්‍රී පඤ්ඤානන්ද ගෞරවනාමයෙන් පිදුම් ලබන ‍‍‍ෙජ්‍ය්ෂ්ඨ මහාචාර්ය

වෑගම පියරතන නා හිමි

නායකත්වය යන්න හුදෙක් පුද්ගල කීර්තිය සඳහා භාවිත අභිධානයක්ම නො වන්නේය. එය පුද්ගලයා විසින් උත්සාහයෙන් මෙන්ම සතිසම්ප්‍රජන්‍යයෙන් යුතුවම පහළ කර ගත යුතු වන නෛසර්ගික ගුණයක්ම වන්නේය. මේ බව මැනවින් අවබෝධ කරගෙනම නායක පදවි තානාන්තර පත්කිරීම තත් කාර්යයෙහි නියුක්ත වන පාර්ශ්ව විසින් පත්කිරීම පිළිබඳ සිහිකටයුත්තේය. එසේ වීමෙන් බහුනායකත්වය තුළින් සිදුවන අනර්තය අවම වන්නේය. මෙහිදී අපේ මාතෘකාවට බඳුන් වන ගෞරවාර්හ වෑගම පියරතන යතිවරයාණන් වහන්සේ වෙත අපේ මල්වතු මහා විහාරයෙන් ස්‍යාමෝපාලි මහා නිකායේ අතිසම්භාවිත සත්කෝරළ මහදිසාවේ ද්විතීය සංඝනායක පදවිය සමර්පණය කරන්නට යෙදුණේ තත් කරුණු කාරණා මැනවින් තර්කනය කිරීමෙන් යයි සිතීමට ඇති සාධක අතිමහත් වන්නේය.

ගෞරවාර්හ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය වෑගම පියරතන යතිවරයෝ මේ වන විට උතුම් උපසම්පත්තියෙන් සමසාළිස් වසක් පිරුවෝ ප්‍රව්‍රජ්‍යාවෙන් පනස් වසරකට ආසන්න වූවෝ ද වන්නාහ. “කථම්භූතස්ස මේ රත්තිංදිවා වීතිපතන්තීති පබ්බජිතෙන අභිණ්හං පච්චවෙක්ඛිතබ්බං” යන බුදුවදනින් අර්ථ දක්වන පරිද්දෙන් සිහියෙන් යුක්තව ඉක්ම වූ දින, මාස, වසර ගත් කල අර්ථවත් උතුම් පැවිදි ජීවිතයක මහා ස්ථවිරභාවයට පත්ව වැඩ වසන උන්වහන්සේ ශීලාදී ගුණයෙන් මෙන්ම සත්කෝරළ සසුන්කෙත මහනීයත්වයට පත්කරලමින් වැඩ වෙසෙන උත්තම ගණයේ බුද්ධශ්‍රාවකයෙක් වන්නේ අල්පේච්ඡතාදී සංඝශෝභන ගුණයෙන් මෙන්ම ව්‍යක්ත විනීත, විශාරද හා බහුශ්‍රැත භාවයෙන්ද පරෝපවාද රහිත උදාර පැවිදි ජීවිතයෙන්ද සමූපලක්ෂිත වීමෙන්ය.

ගුරු බිමට බැති සිත

වෑඋඩ බුජස්ලෙන රාජමහා විහාරාධිපති ව වැඩ විසූ අලුදෙණියේ ශ්‍රී ප්‍රඥානන්ද මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ වෙතින් පැවිදි බිමට පත් අප යතිවරයෝ දහර සාමණේර අවධියේදීම ශ්‍රී ලංකාවේ ප්‍රාචීන අධ්‍යාපනය පිළිබඳ ප්‍රදීපස්තම්භයක් ලෙස කීර්තිමත් විද්‍යෝදය මහා පරිවෙණස්ථානයට ඇතුළත් කෙරුණහ. තත් පරිවෙණස්ථානයේ වර්ග පටිපාටියෙන් කුසලතා පූර්ණ අසාමාන්‍ය දක්ෂතාවන්ගෙන් සමූපලක්ෂිත ධන්‍ය පුණ්‍ය ගතිසම්පත්තීන්හි පරිපූර්ණත්වයට පත්වෙමින් 1976 වර්ෂයේදී පිරිවෙනේ දීප්තිමත්ම ශිෂ්‍ය රත්නය බවට පත්වෙමින් ස්‍යාමරාජ ත්‍යාගය හිමිකර ගත්තේ අවශේෂ ත්‍යාග රැසක්ම දිනා ගනිමින්ය. නායක ලක්ෂණ සපුරමින් තවත් ඉදිරියට පිය මැන ගත් උන්වහන්සේ කොළඹ විශ්වවිද්‍යාලයෙන් අධ්‍යාපනවේදි විශේෂ උපාධිය හිමිකර ගත්තෝ ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය ආරම්භක අවස්ථාවේ දී එහි ශාස්ත්‍රවේදි උපාධිය දිනා ගත්තෝ ගෞරව පන්ති සාමාර්ථය ද ලබා විශ්වවිද්‍යාල ඉතිහාසය තුළ තවත් සටහනක් තබමින්ය. විද්‍යෝදය පිරිවෙනේ ආචාර්ය ධුරයකට පත්වීමත් නායකත්වය අර්ථවත් කෙරෙන තවත් පියවරක්ම බව පසක් කළ උන්වහන්සේ 1981 වර්ෂයේදී එම තනතුරටද පත්වූහ. අධ්‍යයන,අධ්‍යාපන හා පර්යේෂණ ක්ෂේත්‍රයෙහි උන්වහන්සේ විසින් ප්‍රදර්ශනය කෙරුණු කුසලතා ප්‍රමාණ කිරීමෙන් ශී‍්‍ර ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ පාලක සභා අනුමැතියෙන් එහි කථිකාචර්ය පදවියකින්ද සම්මානිත වූ උන්වහන්සේ තම ගුරුභූමිය කෙරෙහි මහත් භක්තියෙන් ලද අවකාශය තුළ විද්‍යෝදය පිරිවෙනේ දහර සාමණේරයන් වෙත කරුණාධ්‍යාශයෙන් ශබ්ද ශාස්ත්‍ර ප්‍රගුණ කරවමින් මනා ආකල්ප සම්පත් ජනිත කරවමින් විශ්වවිද්‍යාල අධ්‍යයන කාර්ය සාධන ක්ෂේත්‍රය තුළද හිණිහිස දක්වා පියවර මනින්නට සමත්වූහ. එහි හිණිහිසට පත්වූ උන්වහන්සේ ඒ වන විටත් ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, මහාචාර්ය, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය තනතුරු දක්වා වූ පර්යේෂණාත්මක ශක්‍යතාවන් ඉහළින්ම සනාථ කරමින් එම තනතුරු ලබද්දි, ප්‍රධාන ශාස්ත්‍රීය නිලධරයා මෙන්ම ප්‍රධාන විධායක නිලධරයා බවට ද පත්වෙමින් විශ්වවිද්‍යාල ක්ෂේත්‍රයේ ශ්‍රී ලාංකේය භික්ෂුවක් විසින් දිනාගත හැකි ඉහළම මහෝපාධ්‍යාය ධුරයෙන් පූජාර්හව ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්විද්‍යාලයාධිපති හෙවත් උපකුලපති බවටද පත්වූහ.

ප්‍රමාණික වියත්බව

ප්‍රාචීන භාෂා විෂයයෙහි වර්තමානයෙහි වැඩවසන ප්‍රාමාණික කීර්තිමත් විද්වතුන්ගේ ගෞරව සම්භාවනාවට ද පාත්‍රවෙමින් ලේඛන, දේශන, භාෂාණ කුසලතා පූර්ණ උන්වහන්සේ විසින් රචිත ශාස්ත්‍රීය පර්යේෂණ ඥානයෙන් ප්‍රතිබද්ධ ලිපි ලේඛන, ප්‍රබන්ධ හා ග්‍රන්ථ සංස්කරණය තුළින් වර්තමානයෙහි වචනාර්ථයෙන්ම මහාචාර්ය ධුරයෙහි ජ්‍යෙෂ්ඨත්වය අර්ථ ගැන්වීමට සමත් වන්නාහ. මේ නිසාම වර්මාන ශ්‍රී ලංකාවේ විද්වත් සංසද බවට සම්භාවනා ලබන ප්‍රාචීන භාෂෝපකාර සමාගම, රාජකීය ආසියාතික සංගමය වැනි සංවිධානයන්හි ක්‍රියාකාරි සාමාජිකත්වයක් දරන උන්වහන්සේ විද්වත්ජන සන්නිපාතයේදි මහත් වූ සම්භාවනාවට පාත්‍ර වූවෝ ශාස්ත්‍රීය නායකත්වට අවශ්‍ය සුදුසුකම් සාකල්‍යයෙන්ම සපුරාලමින්ය.

ප්‍රාචීන රාජකීය පණ්ඩිත උපාධිය, අධ්‍යාපනවේදී විශේෂ උපාධිය, ශාස්ත්‍රවේදී ගෞරව උපාධිය, ශාස්ත්‍රපති උපාධිය, දර්ශනපති උපාධියද උන්වහන්සේ විශිෂ්ට ලෙස සමත්වූවේ ඉංගී‍්‍රසි අකාරාදියෙහි එන අක්ෂර රාශියක් ගණනය කර කර ස්වනාමාභිධානය සරසාලීමට නොව අදාළ තානාන්තර ලාභයට නූතන ව්‍යවහාරයෙහි පවත්නා ලිඛිත සුදුසුකම් සපුර ගැනීමේ පරමාර්ථයෙන්ම ය.

උන්වහන්සේ තම බුද්ධි ප්‍රභාව විකසිත කරමින් පෙරදිග භාෂා අධ්‍යයනයෙහි මෙන්ම අපරදිග භාෂා අධ්‍යයනයෙහිද සමත්කම් පෑවෝ වෙති. ස්වකීය ශාස්ත්‍රීය ඥානය සඳහා ප්‍රාචීන මූලාශ්‍රය අධ්‍යයනය මෙන්ම ප්‍රතිචීන විදග්ධයන් විසින් ඒ පිළිබඳ පර්යේෂණ සාහිත්‍යයට එකතු කරන ලද විවිධ මාතෘකාගත ශාස්ත්‍රීය ලිපිලේඛන හා ග්‍රන්ථ සංසන්දනාත්මකව ලද පරිචය තුළින් උද්ග්‍රහනය, ධාරණය මෙන් ම වීමංසනයෙන් උකහා ගත් නවතම දැනුම් සම්භයාර විශ්ව ව්‍යාප්ත පාඨක සංසදයනට යොමු කරවීමටද උන්වහන්සේ තම ශාස්ත්‍රීය මෙහෙවර සවිමත් කර ගත්හ. එමෙන්ම උන්වහන්සේ ඉංගී‍්‍රසි භාෂා මාධ්‍යයෙන් රචිත ශාස්ත්‍රීය ලිපිලේඛන රැසක්ම පර්යේෂණ සාහිත්‍යයට මුදාහරිමින් ස්වඡාත්‍ර සමූහයට එම මාධ්‍යයෙන්ද ශාස්තී‍්‍රය සංග්‍රහයකට දායක වෙමින් වැඩ වසති. ගෞරවාර්හ වෑගම පියරතන යතීන්ද්‍රයන් වහන්සේගේ එම මහඟු සේවය විද්‍යාර්ථින් සඳහා යොමු වූවක් වූවා නම් එයද නායකත්වයට ප්‍රමාණ නොවන බව උන්වහන්සේ ප්‍රත්‍යක්ෂ කර ගත්හ. ඒ නිසාම උන්වහන්සේ කොළඹ අගනුවර වෙසෙමින්ම තම කාලය ගත නොකර ලද අවකාශයෙහි ස්වකීය පැවිදි දිවිමගට සෙවණ දුන් බුජස්ලෙන මහ වෙහෙරට වැඩමවා තමන් වහන්සේගේ අන්තේවාසික, සද්ධිවිහාරික,අනුගාමික, ඡාත්‍ර ගණයා කෙරෙහිද කරුණාධ්‍යාසය ඇතිව නිරුතුරුව ඒ බව පසක් කරමින් දැන උගත් ශිෂ්‍ය පුත්‍රවරයන්ද සසුනටත් ජාතියටත්, දායාද කොට ඇත්තේමය. එමෙන්ම ස්වකීය විහාරස්ථානයෙහි දායක කාරකාදීන්ගේ ළමා ලපැටියන් අරමුණු කොට දහම් පාසලක්ද ආරම්භ කර දහම් සිප් සතර ලබාදීමෙහිද තත්පර වෙති. එම දහම් පාසලේ ප්‍රධානචාර්යවරයාද වන්නේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ගෞරවාර්හ වෑගම පියරතන යතිවරයෝමය. මල්වතු මහා විහායෙන් උපහාර සමර්පණය එසේ හා මෙසේ සිත් යොමන කල්හි උදාර පැවිදි ජීවිතය,ආදර්ශවත් පැවිදි ආකල්ප සම්පත්තිය,ශාස්ත්‍රීය ඥානය හා පර්යේෂණ ශික්ෂණය, සැහැල්ලු ජීවන ප්‍රතිපදාව සිදු කෙරුණු ලෝකශාසනික මෙහෙවර හා දැනුමෙන් තේරුමෙන් සවිමත් කළ අනුගාමික ශිෂ්‍ය ප්‍රවේණිය යන මේ පුද්ගලබද්ධ නායක ලක්ෂණ පිළිබඳ ප්‍රමාණ කරමින් ස්‍යාමෝපාලිවංශික මහා නිකායේ මල්වතු මහා විහාරපාර්ශ්වයේ අතිපූජ්‍ය මහා නායක ස්වාමීන්ද්‍රවර ප්‍රමුඛ ගරුතර සානුනායක කාරක මහා සංඝ සභාවෙන් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ගෞරවාර්හ රාජකීය පණ්ඩිත වෑගම ශී‍්‍ර පියරතන ස්වාමීන්ද්‍රයන් වහන්සේට සත්කෝරළ මහදිසාවේ ද්විතීය සංඝනායක පදවිය සමර්පණය කරන මේ අවස්ථාවේදී උන්වහන්සේට අපිත් නිදුක් නිරෝගි සුව හා චිරජීවනය ප්‍රාර්ථනා කරමු.

ශ්‍රී සන්නස් පත්‍රය ප්‍රදානය කිරීම හා අතිපූජ්‍ය මහා නායක මාහිමිපාණන් වහන්සේ ප්‍රමුඛ සානුනායක ගරුතර කාරක මහා සංඝ සභාව වෙත චිරාගත සම්ප්‍රදායානුකූල ප්‍රසාද පූජා පැවැත්වීමේ මහෝත්සවය මෙම 28 වනදා පස්වරු 3 ට මහනුවර මල්වතු මහා විහාරස්ථ ඓතිහාසික මංගල උපෝසථාගාරයේදී සිදු කැරේ.

එකි පදවි ප්‍රාප්තිය නිමිත්තෙන් අභිනව නාහිමියන් පිළිගැනීමේ උත්සවයක් අපේල‍්‍ර් 05 වනදා පස්වරු 3 ට නියංගොඩ විජිතසිරි අනු නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් හා බුද්ධ ශාසන, රාජ්‍ය පරිපාලන අමාත්‍ය කරූ ජයසූරිය, අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්, වයඹ පළාත් සභාවේ සහ ප්‍රාදේශීය සභාවේ මැති ඇමැතිවරුන්ගේ විශේෂ සහභාගිත්වයෙන් වෑඋඩ, බුජස්ලෙන රජ මහා විහාරස්ථානයේදී පැවැත්වේ.

 

 
බක් පුරඅටවක පෝය

බක් පුරඅටවක පෝය මාර්තු මස 27 වැනිදා සිකුරාදා පූර්වභාග 0.54 ට ලබයි. 28 වැනිදා සෙනසුරාදා පූර්ව භාග 1.42 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මාර්තු මස 27 වැනිදා සිකුරාදාය.

මීළඟ පෝය
අපේ‍්‍රල් මස 03 වැනිදා සිකුරාදාය.

 


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

මාර්තු 27

Full Moonපසෙලාස්වක

අප්‍රේල් 03

Second Quarterඅව අටවක

අප්‍රේල් 12

Full Moonඅමාවක

අපේ‍්‍රල් 18


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]