UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

මහා විහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ කෝරළතුන හා පහත බුලත්ගම දෙපළාතේ ප්‍රධාන සංඝනායක පදවිය හා සද්ධර්ම කීර්ති ශ්‍රී ධම්මකිත්ති ගෞරව නාමයෙන් පිදුම් ලබන කොටගම වාචිස්සර නාහිමි

මහා විහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ කෝරළතුන හා පහත බුලත්ගම දෙපළාතේ ප්‍රධාන සංඝනායක පදවිය හා සද්ධර්ම කීර්ති ශ්‍රී ධම්මකිත්ති ගෞරව නාමයෙන් පිදුම් ලබන

කොටගම වාචිස්සර නාහිමි

නිට්ටඹුව හා දඹදෙණිය සාරිපුත්ත ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ පීඨාධිපති කොටගම වාචිස්සර හිමියන් වෙත කෝරළ තුන හා පහත බුලත්ගම දෙපළාතේ ප්‍රධාන සංඝනායක පදවිය පිරිනමා ඇත. ඒ පිළිබඳ ශ්‍රී සන්නස්පත්‍ර ප්‍රදානෝත්සවය 2015 මාර්තු 27 එනම් අද දින රාජපූජිත මහනුවර මල්වතු මහා විහාරයීය උපෝසථාගාරයේදී පැවැත්වේ. මෙම ලිපිය ඒ නිමිත්තෙනි. මහින්දාගමනයත් සමගින් ඇරඹි ලාංකේය සම්බුද්ධ ශාසනය එදා මෙදා තුර අවිච්ඡින්නව පැවතියේ මහසඟරුවන නිසාය. ව්‍යක්ත විනීත. විශාරද, බහුශ්‍රැත, ධර්මධර, විනයධර, යතිවරුන් කලින් කලට පහළ වූයේ ලක් මවගේ පුණ්‍ය මහිමය නිසාමය. කොටගම වාචිස්සර නාහිමියෝ වනාහි එවන් අභිමානවත් යතිපරපුරක් නියෝජනය කරන නූතන ලක් සසුනඹරේ සුදිලෙන කනක තාරකාවකි.

දෑ හිතකාමී ආගමාලයෙන් යුත් ධීර වීර සූර හෙළ දරුවන්ගේ නිජ බිමක් වූ සතරකෝරළය හෙවත් කෑගලු දිසාවේ කොටගම නම් රමණීය ගම් පියසේදී දසනායක මුදියන්සේලාගේ සෝමාවති මැණිකේ මැතිනිය හා රත්නායක මුදියන්සේලාගේ ලොකුබණ්ඩාර නිලමේතුමා මව්පියන් කොට අප කතානායකයාණෝ මෙලොව එළිය දුටුවහ. සසරගත කුසල මහිමයත් මව්පියන් සතු ශාසනික හැඟීමත් කරණකොටගෙන එවකට යටියන්තොට ශ්‍රී නන්දාරාමාධිපතිව වැඩ විසූ රාජකීය පණ්ඩිත අලවතුරේ ධම්මකිත්ති නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ හා සීතාවක පුර පිරිවෙන් ගුරු අභ්‍යාස විද්‍යාලයේ ආයතනාධිපති බොස්සැල්ලේ ධම්මාවාස මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ ආචාර්ය උපාධ්‍යායව කොටගම වාචිස්සර නමින් සසුන්ගත වූහ. ලොව ප්‍රකට කීර්තිමත් පඬිරුවනක් වූ අපවත් වී වදාළ විද්‍යෝදය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය අතිපූජ්‍ය කොටගම වාචිස්සර නාහිමියන්ගේ වැඩිමහල් සොහොයුරාගේ පුතණුවන් වීම තවත් සුවිශේෂී කරුණකි. උන්වහන්සේට කරන ගෞරවයක් ලෙස කොටගම වාචිස්සර යන ශාසනික නාමයම භාවිතා කිරීමට ගුරුදේවයන් වහන්සේලා කටයුතු කළහ. ස්වකීය ආචාර්යන් වහන්සේලාගේ ආශිර්වාදයෙන් පොල්ගහවෙල දෙනගමුව බෝධිගුප්ත පිරිවෙනෙන් මූලික අධ්‍යාපනය ලබා දිවයිනේ ප්‍රකට විද්‍යාස්ථානයක් වූ පැපිලියාන සුනේත්‍රාදේවී මහා පිරිවෙනෙන් ද්විතීයික අධ්‍යාපනය ලදහ. ඉන් අනතුරුව ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට ඇතුළත්ව ගෞරව සමාර්ථ සහිතව සිය ප්‍රථම උපාධිය සම්පූර්ණ කරගත්තේ තමන් වෙත පැමිණි නොයෙක් බාධක අභියෝග සියල්ල ජයග්‍රහණය කරමින්ය. පසුකාලීනව කැලණි විශ්ව විද්‍යාලය, කොළඹ විශ්වවිද්‍යාලය ආදියෙන් පශ්චාත් උපාධි ලබමින් ස්වකීය දැනුම් සම්භාරය පෝෂණය කරගැනීමට උන්වහන්සේ සමත් වූහ.

ස්වකීය උත්සාහයෙන් ලද දැනුම දැනුම් පිපාසිතයන් වෙත බෙදා දීමට වාචිස්සර හිමියෝ නිර්ලෝභී වූහ. කැස්බෑව නන්දන පිරිවෙනෙන් ඇරඹි අධ්‍යාපන සේවය ගංගොඩවිල සුභද්‍රාරාම පිරිවෙන් විද්‍යායතනය, යටියන්තොට සිරිවර්ධන මහා විද්‍යාලය, හා කොළඹ ඉසිපතන විද්‍යාලය යන අධ්‍යාපනික ආයතනයන් තුළින් දහස් සංඛාත සිසු දරුවන්ගේ නුවණැස පෑදූහ. උන්වහන්සේගෙන් අධ්‍යාපනය ලැබූවන් කිසි දිනක උන්වහන්සේ අත්නොහැරියහ. අත් නොහරින තරමට ගුරු භක්තිය සිසු හදවත් තුළ ඇතිවූයේ වාචිස්සර නාහිමියන් සතු අසිරිමත් ගුරු පෞරුෂය නිසාම විය යුතුය. තරුණ වියේදීම ශාස්ත්‍රීය ලේඛනයට පිවිසි නාහිමියෝ පුවත් පත් සඟරාවල පළ කළ ලිපි තුළින් පාඨකයින් දිනාගත් දක්ෂ ලේකඛයෙක් මෙන්ම දක්ෂ දේශකයෙක් ලෙස විද්වත් ජනප්‍රසාදයට පත්වූහ.

වසර 1989 දී නිට්ටඹුව සාරිපුත්ත ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයට සහකාර කථිකාචාර්යවරයෙකු ලෙස බඳවාගැනීමත් සමඟ වාචිස්සර හිමියෝ සිය අධ්‍යාපනික සේවය වඩවඩාත් සාඵල්‍යත්වයට පත්කළහ. කථිකාචාර්ය ධුරය, උප පීඨාධිපති ධුරය දරමින් සිට වර්තමාන එහි පීඨාධිපති ධුරය දක්වා ගමන් කිරීමට සමත් වූහ.

නිට්ටඹුව සාරිපුත්ත ජාතික අධ්‍යාපන විද්‍යාපීඨය වනාහි නූතන ලාංකේය භික්ෂූ අධ්‍යාපනයේ සන්ධිස්ථානයකි. කොටගම වාචිස්සර නාහිමියන් සතු පරිපාලනයේ දක්ෂබව, ඍජුබව, මෘදුබව දූරදර්ශීබව හා ඉවසීම ආදිකොටගත් ශ්‍රේෂ්ඨ නායකත්ව ලක්ෂණ තුළින් සාරිපුත්ත විද්‍යාපීඨය සෝභමානවිය. විවිධ අභියෝග හමුවේ භික්ෂූන් වහන්සේ සතු එකම විද්‍යාපීඨය වූ මෙය අනාගත පරපුරට සුරක්ෂිත කරදීමට සිය කථිකාචාර්ය මණ්ඩලය සමඟ දරන උත්සාහය අගයකළ යුතුය. දැනුම ආකල්ප මෙන්ම ගුරු කුසලතාවයන්ගෙන් පිරිපුන් ශික්ෂාකාමි භික්ෂූ පිරිසක් පාසල් පද්ධතියට දායාද කරන්නට දිවා රාත්‍රි කරන මෙහෙවර ප්‍රශංසනීයය. රාජකාරිමය වශයෙන් අධික ලෙස කාර්ය බහුල වුවත් කිසිවිටෙකත් තම දායක පිරිස අමතක නොකළහ. හෝකන්දර බෞද්ධමධ්‍යස්ථානයේ මෙන්ම යටියන්තොට විහාරස්ථ දායක කාරකාදීන්ගේ කුදු මහත් සියලු කටයුතු නොපිරිහෙළා ඉටුකරනු ලබන්නේ ශාසනමාමක හැගීමෙනි. එමෙන්ම භික්ෂුව සතු ආධ්‍යාත්මික කාර්යත්, ශාසනික කාර්යත්, සාමාජීය කාර්යත්. මැනවින් වටහාගෙන සිය භික්ෂූ පෞරුෂය ගොඩනගා ගත්හ.ආගමික කටයුතුවලදී මෙන්ම ශාසනික හා ජාතික කටයුතුවලදී තමන් වහන්සේට පැවරෙන වගකීම නිසිලෙස නිසිවෙලාවට ඉටුකිරීම වාචිස්සර නාහිමියන් සතු සුවිශේෂි ලක්ෂණයකි. සැබවින්ම කොටගම වාචිස්සර නායක හාමුදුරුවෝ ශ්‍රමණ සාරුප්‍යට අනුව භික්ෂූ ආකල්ප මැනවින් වටහාගත් පරමාදර්ශි සංඝ පීතෘන් වහන්සේ නමකි. ධර්ම ඤාණයෙන්, භාෂාඤාණයෙන්, සාහිත්‍යඤාණයෙන් පිරිපුන් ප්‍රාමාණික උගතෙකි. ගුරු සිසු හදවත් ජයගත් ගුරුවරයෙකි. දෙස් විදෙස් බොහෝ දෙනා අතර පි‍්‍රය ජනක ධර්මදේශකයෙකි. ඇසුරු කරන්නන් හට දුක සැප දෙකේදී ළඟ සිටින කල්‍යාණ මිත්‍රයෙකි. මෙවන් ගුණයන්ගෙන් පිරිපුන් වාචිස්සර නාහිමියන්ට පදවි තනතුරු සොයා යෑමට අවශ්‍ය නොවූහ. පදවි තනතුරු උන්වහන්සේ සොයාගෙන පැමිණියේ එම තනතුරු පදවි දැරීමට අවැසි සුදුසුකම් උන්වහන්සේ සතු නිසාමය. යම් භික්ෂුවක් පැවිදි වී බොහෝ කලක් ගතවීද, බොහෝ දෙනා පිරිවරන ලද කීර්තියෙන් යුක්ත වන්නේද සිවුපසය නොඅඩුව ලබන්නේද වේද ධර්ම විනය පිළිබඳ මනා දැනුමැතිව බහුශ්‍රැත වන්නේද, සම්‍යග්දෘෂ්ඨික වන්නේද මෙබදු ලක්ෂණයන්ගෙන් පිරිපුන් භික්ෂුව දෙවියන් මිනිසුන් සහිත බොහෝ දෙනාට හිතසුව පිණිස පවතින්නේය. (අංගුත්තර නිකායේ තෙරවර්ගය) මෙම බුදුවදනට අනුව සිය පැවිදි දිවිය වඩාත් අර්ථවත් කළ කොටගම වාචිස්සර නාහිමියන් වෙත “සද්ධර්ම කීර්ති ශ්‍රී ධම්මකිත්ති” යන ගෞරව නාමය සහිතව කෝරළ තුන හා පහත බුලත්ගම දෙපළාතේ ප්‍රධාන සංඝනායක පදවිය පිරිනැමීම ගිහිපැවිදි හැමදෙනාගේම අමන්දානන්දයට හේතුවකි. සුදුස්සාට සුදුසු තැන ලබාදෙමින් ගෞතම ශාසනයේ අනන්‍යවූ සුවිශේෂ ලක්ෂණය යථාර්ථයක් බවට පත්කළ රාජපූජිත මහනුවර මල්වතු මහාවිහාරයීය අතිපූජ්‍ය මහානායක ස්වාමීන්ද්‍රවර ප්‍රමුඛ කාරක මහා සංඝ සභාවටත් කොළඹ දිසාවේ ප්‍රධාන අධිකරණ සංඝනායක පූජ්‍ය වේරහැර අරියවංශ නාහිමි ප්‍රමුඛ ප්‍රාදේශීය මහා සංඝරත්නයටත් අපගේ ගෞරවය හිමිවිය යුතුය. අභිනව නායක පදවියෙන් පිදුම් ලබන පූජ්‍යපාද කොටගම වාචිස්සර නාහිමියන්ට ලෝ සසුන් වැඩ වඩන්නට තවතවත් ශක්තිය ධෛර්යය තෙරුවන් සරණින් ලැබේවා!

අභිනව නාහිමියන් පිළිගැනීමේ උත්සවයක් යටියන්තොට නන්දාරාමයේදී නියංගොඩ විජිතසිරි අනුනාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් මෙම 29 සවස 2.30 ට පූජනීය සම්භාවනීය මහ සඟ රුවනෙහි සහ බුද්ධශාසන හා රාජ්‍ය පරිපාලන අමාත්‍ය කරු ජයසූරිය මහතා ඇතුළු මැතිඇමැතිවරුන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වේ.

 

 

 
බක් පුරඅටවක පෝය

බක් පුරඅටවක පෝය මාර්තු මස 27 වැනිදා සිකුරාදා පූර්වභාග 0.54 ට ලබයි. 28 වැනිදා සෙනසුරාදා පූර්ව භාග 1.42 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මාර්තු මස 27 වැනිදා සිකුරාදාය.

මීළඟ පෝය
අපේ‍්‍රල් මස 03 වැනිදා සිකුරාදාය.

 


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

මාර්තු 27

Full Moonපසෙලාස්වක

අප්‍රේල් 03

Second Quarterඅව අටවක

අප්‍රේල් 12

Full Moonඅමාවක

අපේ‍්‍රල් 18


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]