UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

මුනි සිරිපා කරමු කරුණා

මුනි සිරිපා කරමු කරුණා

කරුණාවයි ,කරුණාවයි හඬ නගමින් ගමනේ යෙදෙති. සිරිපා වන්දනාව ආරම්භයේ සිටම නැතහොත් ඒ ගැන සිත් පහළ වූ අවස්ථාවේ සිටම සමන් දෙවිඳුට පඬුරු බැඳ,ගමන් අවසන් කොට නිවෙස් බලා එනතෙක්ම සමන් දෙවි පිහිට ඉල්ලන අයුරු බලන කල සමන් දෙවියන්ගේ බල පරාක්‍රමය ගැනද හැඟීමක් එයි. සීත ගඟුල, ඉදිකටුපාන, ගෙත්තම්පාන, මහගිරිදඹේ, ආදි සියලු තැන්හිදී සමන්දෙවි සිහිපත් කරමින් වන්දනා ගමනට ආශිර්වාද ඉල්ලති

කරුණාවයි, කරුණාවයි ,සමන් දෙවිඳු කරුණාවයි, සිරිපා සුරකින ,ලකටම සෙත දෙන සමන්සුරිඳු සබරගමු, පෙදෙසට පමණක් නොව මෙරට බොහෝ ප්‍රදේශයන්හි වැඳුමට පිදුමට ලක්වන සමන් දෙවියන් බෞද්ධ දෙවියෙකි.බුදුරදුන්ගේ පළමු ලංකා ගමනේදී කේශධාතුන් වහන්සේලා ලබමින් මහියංගණ බිමෙහි සත්රියන් උසැති මාණික්‍යමය දාගැබක් තැනූ සමන් දෙවියන් බුදු රදුන්ගේ තෙවන වර ලංකා ගමනේදී සමනොළ කඳු මුදුන සිරිපා පිහිටුවන්නට ඇරැයුම් කරමින් බුදුරදුන්ගේ වාම ශ්‍රී පාදය පිහිටු වූ “සොතාපත්ති ඵලං පත්වා” යනාදි ලෙසින් (මහාවංශය 1 පරි 33 පැවසෙන සෝවාන් වූ ශ්‍රී ලාංකික බෞද්ධ දෙවියෙකි.

සමන් දෙවි කවරහුද යන්න ගැන විවිධ මත ඇතත් මෙරට බලසම්පන්න පුද්ගලයෙකු බවත් බුදුරදුන් සරණ ගිය ආර්ය ශ්‍රාවකයෙකු බවත්, පරලොව ගිය කල දේවත්වයෙන් සැලකු බවත් යන්න බෙහෙවින් ප්‍රචලිතය. බුදුහිමියන්ගේ පාද ස්පර්ශයෙන් අති පාරිශුද්ධත්වයට පත් සමනොළ කන්දට අධිගෘහිත සමන් දෙවිඳු සියලු බෞද්ධයන්ගේ මහත් ගෞරවය ලබමින් වැඩ වසන්නාහ.

සම්බුද්ධ ශාසනයේ ධෘතරාෂ්ට්‍ර , විරූඪ , විරූපාක්ෂ, වෛශ්‍රවණ යන සතරවරම් දෙවිවරු වෙති. (මහාසම්මත සූත්‍රය) එසේ වුවත් ශී‍්‍ර ලාංකිකයන් අතර විෂ්ණු (දෙවිනුවර)

විභීෂණ (කැලණිය) සමන් (සබරගමුව) ස්කන්ධකුමාර (කතරගම) සතරවරම් දෙවිවරු ලෙස සැලකේ. සමන් දෙවිඳුන්, සමනල කන්දත් එකසේ එකට බැඳුණේය.

සුර රද සමන් සමගින් සුරඟන එව ර
පැහැ නද මදාරා පරසතු මල් පත ර
කැර පුද වඳින රැඳි මුනි සිරිපා තඹ ර
සකි සඳ පෙනේ සමනොළ ගල නැඟෙනහි ර

තොටගමුවේ ශ්‍රී රාහුල මාහිමියෝ සමන් සුරිඳු හා සමනොළ අභිරුචියෙන් වර්ණනා කරති.

ප්‍රාදේශීය දෙවියෙකු ලෙසින් වැඳුම් පිදුම්ලද සුමන සමන් දෙවි වශයෙන් ප්‍රචලිතය , සිරිපා පිහිටුවීමෙන් පසුව බුදු සසුන පැතිරීමත් සමඟ සමන්දෙවි මුළු දිවයිනේම පූජ්‍යත්වයට පත් දෙවියෙක් වූහ.

බුදු හිමියන්ගේ ශ්‍රී පාදය පිහිටි සමනොළ ගිර ලංකාවට අධිපති ලෙස සැදැහැවත්හු කීහ.

ලංකාවට අධිපති පර්වත මුදුනේ
සිංහාසනේ වද මුනිදුට පහළ උනේ “

රාත්‍රි කාලයේ ගැල් පදවන ගැල්කරුවා අලගල්ල, බතලේගල, හුන්නස්ගිරි කඳු තුනට වඩා නායකත්වය දෙන්නේ සමනොළ කන්දටය.

“මෙකඳු තුනට නායක සමනොළ කන්ද” ගැල්කරුවන්ගේ සැදැහැ බැතියද ඉන් හැඟේ.

සබරගමුවාසීහු සතර වරම් දෙවිවරු ගැන භක්තිවන්තයෝ වුවද ඉන් ප්‍රධානත්වය දුන්නේ සමන් දෙවිඳුන්ටය. එම මුළු ප්‍රදේශයම සමන්දෙවි අඩවිය ලෙස ව්‍යවහාරය වන අයුරු සිහිකළ හැකිය. 'සමන් දෙවියන්ගේ අඩවිය මේක. කට වරද්දා ගන්න එපා'යන කාරුණික අවවාදය නිරතුරු ඇසෙන්නකි. සිරිපා වන්දනාව පහසු කාර්යයක් නොවේ. පෙර දවස සිරිපා වන්දනාවට යාමට පෙර සිය අන්තිම කැමති පත්‍රය පවා ලියා තැබු බව කියැවේ. සීතලෙන් මිරිකි මිරිකි සැතපුම් ගණනක් කඳු ශිඛරයක් නැඟීම දුෂ්කර කරුණකි. මේ සියලු ගමනේදී සමන් දෙවිඳුගේ රැකවරණය, ආරක්ෂාව, පිහිට සැදැහැතියෝ ඉල්ලති. සමන් දෙවිඳුන්ට පුද පඬුරු බැඳ දෙවියන්ගේ පිහිට ඉල්ලමින් කරුණාවයි ,කරුණාවයි හඬ නගමින් ගමනේ යෙදෙති. සිරිපා වන්දනාව ආරම්භයේ සිටම නැතහොත් ඒ ගැන සිත් පහළ වූ අවස්ථාවේ සිටම සමන් දෙවිඳුට පඬුරු බැඳ. ගමන් අවසන් කොට නිවෙස් බලා එනතෙක්ම සමන් දෙවි පිහිට ඉල්ලන අයුරු බලන කල සමන් දෙවියන්ගේ බල පරාක්‍රමය ගැනද හැඟීමක් එයි. සීත ගඟුල, ඉඳිකටුපාන, ගෙත්තම්පාන, මහගිරිදඹේ, ආදි සියලු තැන්හිදී සමන්දෙවි සිහිපත් කරමින් වන්දනා ගමනට ආශිර්වාද ඉල්ලති.

සිරිපා කන්ද අසල සමන් දෙවියන්ගේ උයන ඇතැයි ද සිරිපා වන්දනාවේ ගොස් පාරතොට මග හැර ගියවුන් සමන්දෙවි පිහිටෙන් මෙම උයන වෙත ළඟාවෙන බවද ඔවුන් සොයා ගත හැකි වන බවද අදහස් වේ.

” කිරි කොඩුල වන්දවන්න – සමන් දෙවිඳු පිහිටවන්න” මුලින්ම සිරිපා යන්නන් ගැනය. ඒ

සිරිපා සම්බන්ධයෙන් පමණක් නොව නොයෙක් කරුණුූ සම්බන්ධයෙන් සමන්දෙවි පිහිට ඉල්ලයි.

ගමන් යන්ට නැකතින් පාරු පැද ගෙන
සමන් දෙවියන්ට පුද පඬුරු දී ගෙන
කළු ගඟේ ඔරු පාරුවලින් යන්මෝ එසේ පවසති.

දෙවන ලෝක මහා යුද්ධයේ ගිනිදැල් නිවා ශාන්තිය දෙවිඳුගෙන් අපේක්ෂා කරයි.

“සිද්ද සමන් දෙවි යුද්දෙ නිමා කර දුප්පත් සෙනගගෙ ගිනි නිවනා තවත් විටක පුතෙකු ඉල්ලයි.

“පුතෙකු දෙවන් මට සුමන සුරින්ද”

සැදැහැතියෝ තම පින් සුමන සමන් දෙවිඳුන්ට අනුමෝදන් කරති. සුමන සමන් දෙවියෝ පින් ගන්නාය පැමිණ තිබුණු හැම දොස් දුරලන්නය අපේ ජන කවියා සමන් දෙවිඳුන් ගැන සිරිපාද පද්මය ගැන බොහෝ පෙර කී අයුරු පෙනේ.

සමන් දෙවිඳුන් ගැන පමණක් නොව දෙවිඳුගේ වාහනය ගැනද කියති. ඒ සුදු ඇතෙකි. “සමන් සුරරද පළමු සිරිපද බඳියි වඩිමින් බැති ස තා

එයින් ඉක්බිති වඳිති සුරකැල නොයකේ වන දෙව් මොක් පතා
මොවුන්ගෙන් පසු වඳින්නට යෙයි සමන් සුරිඳුගෙ අලි ඇතා

යනුවෙන් දෙවියන්ගේ වාහනය සුදු ඇතෙක් බවත්, එම ඇතා සිරිපා වඳින ආකාරයත් සඳහන් කරයි.

සමන් දෙවියන් වෙනුවෙන් ප්‍රධාන වනුයේ රත්නපුර මහ සමන් දේවාලයයි. බොහෝ අනුසස් ඇතැයි විශ්වාස කරන මෙම දේවාලය ලංකාවට තිලකයක්ය. සබරගමුව මාලිගාව“යි ජනකවියා වර්ණනා කරයි. ශ්‍රීපාදය, මහියංගණය, දැරණියගල බොල්තුඩේ යන ස්ථානවල පමණක් නොව දිවයිනේ දේවාල පවත්නා සියලු ස්ථානයන්හි සමන් දෙවි වෙනුවෙන් දේවාලයක් දක්නට ලැබීම විශේෂ ලක්ෂණයකි.

ශ්‍රී පාද ස්ථානය හා බැඳුණ, සමනොළ ගිර අධිගෘහිත සුමන සමන් දිව්‍යරාජයාණෝ, සබරගමුවට පමණක් නොව සමස්ත ශ්‍රී ලංකාද්වීපයටම සෙත සලසන්නාවු දෙවි රජෙකු ලෙසින් දීපවාසින්ගේ මහත්වු භක්ත්‍යාදරයට ගෞරවයට පාත්‍රව විරාජමාන වන්නාහ.

 

 
බක් පුරඅටවක පෝය

බක් පුරඅටවක පෝය මාර්තු මස 27 වැනිදා සිකුරාදා පූර්වභාග 0.54 ට ලබයි. 28 වැනිදා සෙනසුරාදා පූර්ව භාග 1.42 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මාර්තු මස 27 වැනිදා සිකුරාදාය.

මීළඟ පෝය
අපේ‍්‍රල් මස 03 වැනිදා සිකුරාදාය.

 


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

මාර්තු 27

Full Moonපසෙලාස්වක

අප්‍රේල් 03

Second Quarterඅව අටවක

අප්‍රේල් 12

Full Moonඅමාවක

අපේ‍්‍රල් 18


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]