UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුදහම හා මාර සංකල්පය 04 සමිද්ධි තෙරුන් බිය ගැන්වීමට ආ මාරයා

බුදුදහම හා මාර සංකල්පය 04

සමිද්ධි තෙරුන් බිය ගැන්වීමට ආ මාරයා

නවම් අමාවක පොහොයේ දී අපගේ සාකච්ඡාවට බඳුන් වූයේ සංයුත්ත නිකායේ මාර සංයුත්තයේ එන “සම්බහුල” නම් සූත්‍රය විස්තර කිරීමටයි. එහි දී සාකච්ඡා වූයේ බුදුරජාණන් වහන්සේට නුදුරෙහි කෙලෙස් තවන වීර්යයෙන් යුතුව භාවනායෝගීව සිටි තරුණ භික්ෂු පිරිසක් වෙත මහලු බමුණු වෙස් ගෙන පැමිණි මාරයා කම්සැප විඳීමෙහි අගය පසසමින් භික්ෂූන්ට කරුණු කියා දී අවසානයේ භික්ෂූන් ප්‍රතික්ෂේප කළ නිසා නොසතුටු සිත් ඇතිව දුර්මුඛව ඉවත්ව ගිය අයුරුය. අද දින විස්තර වන්නේ නිවන් පිණිස සිත යොමු කරමින් සිටි සමිද්ධි තෙරණුවන් වහන්සේගේ සිත වෙනතකට යැවීමට පැමිණි මාරයා පිළිබඳ කරුණු ඉදිරිපත් වන මාර සංයුත්තයටම අයත් සමිද්ධි සූත්‍රය විස්තර කිරීමටයි.

එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ ශාක්‍ය ජනපදයෙහි සීලාවති නම් ප්‍රදේශයෙහි වැඩ වසන සමයේ ආයුෂ්මත් සමිද්ධි තෙරුන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට නුදුරෙහි අප්‍රමාදීව කෙලෙස් තවන වීර්යයෙන් යුතුව නිවන කරා මොහෙය වූ සිත් ඇතිව වැඩවසන සේක.

එකල හුදකලාව වැඩහුන් ආයුෂ්මත් සමිද්ධි තෙරණුවන්ට මෙබඳුසිතක් ඇතිවිය. එනම් මාගේ ශාස්තෘන්වහන්සේ අර්හත් සම්‍යක් සම්බුද්ධය. ඉන් මට වූයේ මහත් ලාභයකි. මා මාගේ ආත්මභාවය මනාව ලද්දේය. එසේ වූ මේ ශාසනයෙහි මනාව පැවිදිව මනාව දේශනා කරන ලද ධර්ම විනයෙහි හික්මෙන්නේය. එය මට මහත්ම ලාභයකි. මා හා වාසය කර මාගේ සම්බ්‍රහ්මචාරීවරුන්ද සිල්වත්හ.

මනාවූ ගති පැවතුම් ඇත්තාහ. එයද මට මහත් ලාභයකි. ඒ මා මේ ආත්මභාවය මනාව ලත් නිසාය යන මේ සිතිවිලි උන්වහන්සේට උපන්නේ ය.

“ලාභා වත මෙ, සුලද්ධං වත මෙ, යස්ස මෙ සත්ථා අරහං සම්මාසම්බුද්ධො, ලාභා වත මෙ, සුලද්ධං වත මෙ, ය්වාහං එවං ස්වාක්ඛාතෙ ධම්මවිනයෙ පබ්බජිතො, ලාභා වත මෙ, සුලද්ධං වත මෙ, යස්ස මෙ සබ්‍රහ්මචාරිනො සීලවන්තො කල්‍යාණ ධම්මා”ති.

එකල පාපී මාරයා, තම සිතින් ආයුෂ්මන් සමිද්ධි තෙරණුවන්ගේ සිත දැන, සමිද්ධි තෙරුන් වහන්සේ යම් තැනක ද ඒ තැනට පැමිණියේ ය. පැමිණ ආයුෂ්මත් සමිද්ධි තෙරුන් වහන්සේට නුදුරෙහි සිට පොළොව පැලී යන කලෙක මෙන් බිය උපදවන මහත් හඬක් කළේ ය.

අථ ඛො මාරො පාපීමා ආයස්මතො සමිද්ධිස්ස චෙතසා චෙතොපරිවිතක්කම්ඤ්ඤාය යෙනායස්මා සමිද්ධි තෙනුපසංකම්, උපසංකමීත්වා ආයස්මතො සමිද්ධිස්ස අවිදුරෙ මහන්තං හයභෙරවං සද්දමකාසි, අපිස්සුදං පථවී මඤ්ඤෙ ඉන්ද්‍රීයති.

ඉන්පසු ආයුෂ්මත් සමිද්ධි තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ යම් තැනක වැඩ සිටියේ ද එතැනට පැමිණියහ. එතැනට පැමිණ භාග්‍යවතුන් වහන්සේ වැඳ, එක් පසෙක උන්හ. එසේ එක් පසෙක හුන් ආයුෂ්මත් සමිද්ධි තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට මෙසේ සැළකළහ.

ස්වාමීනි, මම මෙහි භාග්‍යවතුන් වහන්සේට නුදුරෙහි නොපමාව, කෙලෙස් තවන වීර්ය ඇතිව, නිවන් අතට මෙහෙයූ සිතැතිව, හුදකලාව විවේකයෙන් උන්නේය. එවිට මාගේ සිතේ මාගේ ශාස්තෘන් වහන්සේ වන භාග්‍යවතුන් වහන්සේ ගැන ද මාගේ පැවිදිවීම ගැනද උතුම් ශාසන බ්‍රහ්මචරියාව ගැනද මාගේ සබ්‍රහ්මචාරීන් වහන්සේලා ගැනද ප්‍රසන්න වූ සිතක් ඇතිවිය. එය මට මහත් ලාභයක් ලෙස සිත්විය. ස්වාමීනි, ඒත් සමඟම මහපොළව පැලීයන තරම් මහත් සේ බිය උපදවන ශබ්දයක් මට ඇසිනි. එය විමසනු පිණිස මා භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණියෙමි. යනුවෙන් භාග්‍යවතුන් වහන්සේට සැළකර සිටියහ.

එවිට භාග්‍යවතුන් වහන්සේ සමිද්ධි හිමියන්ට මෙසේ වදාළහ. සමිද්ධිය ඒ ඔබට ඇසුණු මහපොළොව පලායන තරම් වූ ශබ්දය ඉබේ අතිවූවක් නොවේ. ඔබගේ සිත වෙනතක යවා නිවන් මඟ අහුරා ඔබගේ නුවණ ඇස අඳුරුකරන්නට මුළා කරන්නට පාපී වූ මාරයා විසින් කරන ලද වෑයමකි. එබැවින් එයට අසු නොවන්න. නැවතත් එහිම ගොස් නොපමාව වීර්ය කරමින් සිත සමාධිගත කොට නිවන් අවබෝධ කර ගැනීම සඳහා උත්සාහ කරන්න යනුවෙන් පැවසූහ.

අධිෂ්ඨාන සිත් ඇති සමිද්ධි තෙරණුවෝ එසේය, ස්වාමීනි, යනුවෙන් භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දී නැඟීසිට භාග්‍යවතුන් වහන්සේ වැඳ පැදකුණුකොට එයින් නික්මුණහ.

දෙවෙනිවරද ආයුෂ්මත් සමිද්ධි තෙරණුවෝ එහිම, වැඩමකොට නොපමාවම, කෙලෙස් තවන වීර්ය ඇතිව නිවන් කරා යොමුකළ සිතැතිව විසූහ. දෙවෙනිවර ද මාරයා පැමිණ පෙරපරිදිම සමිද්ධි තෙරණුවන්ගේ නිවන් කරා යන ගමන අහුරනු සඳහා පෙර පරිදිම පොළොව පැලී යන කලෙක මෙන් බිය උපදවන මහත් හඬක් කළේ ය. ඒ අවස්ථාවේ භාවිත සිත් ඇති ආයුෂ්මත් සමිද්ධි තෙරණුවෝ ඒකාන්තයෙන් මේ පාපී මාරයාම වේයැයි දැන ඒ පාපී මාරයාට මේ ගාථාවෙන් පිළිතුරු දුන්හ.

“සද්ධායාහං පබ්බජිනො,
අගාරස්මා අනගාරියං
සති පඤ්ඤා ච මෙ බුද්ධා,
චිත්තඤ්ච සුසමාහිතං,
කාමං කරස්සු රූපානි,
නෙව මං ඛ්‍යාධයිස්සසී” ති.

මම ශ්‍රද්ධාවෙන් ගිහිගෙයින් නික්ම පැවිදි වූ කෙනෙක්මි. එසේ වූ මාගේ සිහියත් ප්‍රඥාවත් වැඩී අවසන්ය. සිත මැනවින් සමාධිගත වූයේ වෙමි. ඔබට රිසි සේ බිහිසුණු දේ කරන්න. එහෙත් ඔබට මා කිසිදා සෙලවීමට නොහැකිය.

මේ අවස්ථාවේ පාපී වූ මාරයා සමිද්ධි භික්ෂුව මා දැනගත්තේ යැයි දුක්මුසු වූයේ දොම්නස්ව එහිම අතුරුදහන්ව ගියේ ය.

අථ ඛො මාරො පාපීමා “ජානාති මං සමිද්ධි භික්ඛු” ති දුක්ඛි දුම්මනො තත්ථෙවන්තරධායීති.

භාවනානුයෝගීව කෙලෙස් තවන වීර්යයෙන් යුක්තව කටයුතු කරන ලද සමිද්ධි තෙරණුවන්ට පාපී මාරයා බාධා කිරීමෙන් පැහැදිලි වන්නේ ඔහු නිවන් අවබෝධය සඳහා කටයුතු කරන සියලු දෙනාට විරුද්ධව කටයුතු කරන බවයි. ඔහුගේ විෂයෙහි එනම් පඤ්චකාම සම්පත්තියෙහි ඇලී ගැලී වාසය කරන පිරිසට ඔහු වැඩි වශයෙන් ඒවායෙහි නිරතවීමට අවස්ථාව දෙන බවත්, එයින් ඔහු ප්‍රමාද වූවන් නිසා සතුටක් ලබන බවත් පැහැදිලි වෙයි.

එබැවින් අප උත්සාහ කළ යුත්තේ මේ මාර විෂයයන්ගෙන් හෙවත් මාර බන්ධනයන්ගෙන් මිදී බුදුරජාණන් වහන්සේ අප කෙරෙහි කරුණාවෙන් දේශනාකොට වදාළ ශ්‍රී සද්ධර්මය අවබෝධ කරගනිමින් මාරයාගේ ඇස් අන්ධ කොට උතුම් නිර්වාණාවබෝධය ලබාගැනීමයි.

“යේ චිත්තං සඤ්ඤමෙස්සන්ති - මොක්ඛන්ති මාර බන්ධනා” යමෙක් සිත දමනය කරගනිමින් යථාර්ථාවබෝධය සඳහා උත්සහා කරන්නේද? ඔවුහු මාරයාගේ බැම්මෙන් මිදෙන්නේ ය. යනුවෙන් ද අර්ථවත් වන්නේ එයයි.

මතු සම්බන්ධයි.


බුදුදහම හා මාර සංකල්පය 03 - භික්ෂූන් නොමඟ යැවීමට උත්සාහගත් මාරයා

 

මැදින් පුර අටවක පෝය

මැදින් පුර අටවක පෝය පෙබරවාරි මස 25 වැනි දා බදාදා පූර්වභාග 10.54 ට ලබයි. 26 වැනි දා බ්‍රහස්පතින්දා පූර්වභාග 10.44 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම පෙබරවාරි 25 වැනිදා බදාදාය.

මීළඟ පෝය
මාර්තු 05 වැනිදා බ්‍රහස්පතින්දාය.
 


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

පෙබරවාරි 28

Full Moonපසෙලාස්වක

මාර්තු 05

Second Quarterඅව අටවක

මාර්තු 13

Full Moonඅමාවක

මාර්තු 20


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]